සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා
කන්ද උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී. දිසානායක
• බණ්ඩාරනායකවරු වගේම රාජපක්ෂවරුත් පක්ෂයට ඕනෑ
• ඒකාබද්ධය ජනාධිපතිතුමාට කෙනෙහිලිකම් කිරීම වැරදියි
• ආණ්ඩුවේ ඉන්න අපටත් කලකිරීම් තියෙනවා
• ගෝඨාභය අපේ පක්ෂයට එනවා නම් ශක්තියක්
• මහින්ද මහත්තයා පක්ෂය ඇතුළේ ජනප්‍රිය චරිතයක්
• මහින්ද මහත්තයා පක්ෂය ඇතුළේ ජනප්‍රිය චරිතයක්
• තනියම ගිහින් පොහොට්ටුව ඇන ගන්නවා
• යුඇන්පියෙන් එදා ලක්ෂ 34ක් මෛත්‍රීට ලැබුණා
• මීට කලිනුත් පක්ෂය කැඩුණා මැතිනිගෙ පුතාත් ගියේ
• පාක්ෂිකයන් කියන්නේ එකතුවෙන්න කියලයි
දේශපාලනය ටිකක් උණුසුම් වෙලා බලු පොරයක් වගේ දැන්?
මම හිතන්නේ ජනාධිපතිතුමා විසින් පත්කරපු බැඳුම්කර කොමිසමේදී එක් පක්ෂයක පිරිසකගේ නම්ගම් කියවුණා. ඒ නිසා සමහර අය හිතනවා මේක මේ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට එල්ල කරනු ප්‍රහාරයක් හැටියට. ඇත්තටම එහෙම නෙමෙයි. ජනාධිපතිතුමාට ඕන වුණේ මේ මහා හොරකම හොයන්න. මේ හොරකම රාජපක්ෂ කාලෙත් සූක්ෂමව වුණා. ඒත් මේ පාර මේක දෙගුණයකින් තුන්ගුණයකින් සිය ගුණයකින් වංචාව සිද්ධ වුණා. ඉස්සර වංචාවට රාජපක්ෂලගේ අයත් හිටියා. හැබැයි සුළු පරිමාණයෙන්.
ඒ කියන්නේ මේ පොරයට හේතුව බැඳුම්කර කොමිසමද?
පැහැදිලිවම මම විශ්වාස කරනවා. ඒ වගේම මේ මැතිවරණයත් බලපාලා තියෙනවා. මොකද අපේ පිරිසයි අපෙන් වෙන්වුණු විපක්ෂයේ පිරිසයි සාකච්ඡා කරනවා එකතුවෙන්න. මේකත් බලපාන්න ඇති.
බැඳුම්කර කොමිසම කියන්නේ නීතිමය ක්‍රමවේදයකට බිහිවෙච්ච ආයතනයක්. ඒත් සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේ මේ කොමිසම පලිගන්න ජනාධිපති පත්කරපු ආයතනයක් හැටියට? මෙහෙම විවේචනය කරන්න පුළුවන්ද?
මේක මට නම් ලොකු දෙයක් හැටියට පේන්නේ නෑ. මේ ආණ්ඩුව අලුත් දෙයක්නේ ලෝකෙටම. මොකද ප්‍රධාන පක්ෂ දෙකක් එකතුවුණා. එහෙම වෙන්න හේතු වුණේ රටේ කිසිම පක්ෂයකට බහුතර බලයක් ජනතාව දුන්නේ නෑ. ඊට පස්සේ තමයි මේ පක්ෂ දෙක එකතුවෙලා මේ ආණ්ඩුව පිහිටෙව්වේ. මේ පිහිටුවීම තුළ ප්‍රශ්න ගොඩක් විසඳගත්තා. ජිනීවා ප්‍රශ්නයම ඇතිනේ. රාජපක්ෂලාටවත් විසඳගන්න බැරිවුණු ප්‍රශ්නයක්.
එච්චර වැඩකරපු ජනාධිපතිව කොහොමද සුජීව සේනසිංහ විවේචනය කළේ?
ඒක ඉතින් සුජීවගෙන්ම අහන්න ඕනෑ.
ඇයි ඔබ වැනි ජ්‍යෙෂ්ඨයන්ට මේ ගැන කෙළින් කතා කරන්න බැරි?
ඇත්ත. මේක අවාසනාවන්ත තත්ත්වයක්!
හැබැයි ඒකාබද්ධයේ දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කිව්වා මේක වැරදි වැඩක් කියලා?
දිනේෂ්ලට කියන්න ලේසිනේ. ඒ අය විපක්ෂයේ ඉන්නේ. අපි ඉන්නේ එක ආණ්ඩුවක. එජාපය තමයි තීරණය කරන්න ඕන.
එතුමා කතා කරන්නේ කලකිරීමකින්. කලකිරීමෙන් ආණ්ඩුවක ඉන්න පුළුවන්ද?
පුළුවන්... පුළුවන්.... ආණ්ඩුවේ ඉන්න හැම කෙනාටම කලකිරීම් ඇති. අපිටත් කලකිරීම් තියෙනවා.
ඔබ කියනවා කාටවත් බහුතර බලයක් ලැබුණේ නෑ කියලා. එජාපය කියන්නේ බලය තියෙන්නේ ඔවුන්ට කියලා. ඔවුන් නැත්නම් ශ්‍රීලනිපයට යන එනමං නෑ කියලා?
ඒක ඇත්තනේ. බහුතර බලය එයාලට ලැබුණේ අපිට කරගන්න බැරිවුණු නිසානේ. අපි පිළිගන්න ඕනනේ. පහුගිය මැතිවරණ දෙකෙන්ම ජයගත්තේ අපි නෙමෙයි එජාපය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඡන්දවලින් ලක්ෂ 34ක් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද. ඒ ළඟටවත් එන්න කවුරැවත් නෑනේ.
ඒ කියන්නේ එජාපයෙන් එන දෝෂාරෝපණ ශ්‍රීලනිපය අහගෙන ඉන්න ඕන යථාර්ථය තේරැම් අරගෙන කියලද?
නෑ... නෑ... නෝක්කාඩු අහන එක සාධාරණ නෑ. එහෙම අහන්න ඕනේ නෑ. ශ්‍රීලනිපයේ සභාපති වර්තමාන ජනාධිපතිතුමා. එතුමගේ ආරාධනාවකට අනුව ආණ්ඩුවට එකතුවුණා. කොටසක් විපක්ෂයේ ඉඳගත්තා. එතුමගේ මැතිවරණ ප්‍රකාශයෙත් තිබ්බා ශ්‍රීලනිපයේ සහාය ගන්නවා කියලා. එතුමට පක්ෂයේ සභාපතිකම දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා.
ඔය දෝෂාරෝපණ අහන්න බැරි නිසයි පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වුණේ?
මහින්ද රාජපක්ෂ මහත්තය සභාපතිකම දීලා පිරිසක් අරගෙන විපක්ෂයට ගියා. එහෙම ගිහින් ජනාධිපතිතුමාට කෙනෙහිලිකම් කරනවා. ඒක වැරදියි. අතීතයේ දේශපාලන උදාහරණ ගත්තොත් ජේ.ආර්. ප්‍රේමදාසට අපේක්ෂකත්වය දුන්නේ කැමැත්තෙන් නෙමෙයි. ඒත් ප්‍රේමදාසට වැඩකරන්න දුන්නා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහින්ද රාජපක්ෂට අපේක්ෂකත්වය දුන්නේ අකමැත්තෙන්. ඒත් මහින්දට කරන්න ඉඩදුන්නා. ඒත් මහින්ද පක්ෂයේ කණ්ඩායමක් අරගෙන ගිහින් ජනාධිපතිතුමාට කෙනෙහිලිකම් කරනවා.
ජේ.ආර්. ජනාධිපතිවරයා කිව්වා විධායකයට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකයි. පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි කියලා. එහෙව් තනතුරකට මෙහෙම ගහනකොට හෑල්ලු වෙනවා නේද?
දැන් එහෙම බලයක් නෑ. බලය අත ඇරියනේ. හැබැයි ඔය කියන විදියට තර්ක කරන්නත් පුළුවන්. හැබැයි විධායකයේ බලතල නිසා රට ඒකාධිපති තත්ත්වයකට අරගෙන යනවා කියලා කතාවක් තිබ්බනේ. ඒක මෙතුමා නතර කළානේ.
හැබැයි තිබ්බ බලය වැඩි කරන්න උදව් කළේ ඔබලනේ?
ඔව්... ඔව්... අපේ පක්ෂයේ හිටපු සභාපති හිටපු ජනාධිපති බලතල වැඩි කරගත්තා.
එදා ඒකට එකඟ වුණේ ඇයි? මොකක්ද හේතුව?
නෑ... නෑ... එදා පක්ෂය ඇතුළෙ විරුද්ධව කතා කළා මේ ගැන. හැබැයි අති බහුතරය එදා හිතුවේ ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න ඕන. ඉතින් ඒ මතය ජයගත්තා.
දැන් ඔබ කිව්වා රාජපක්ෂවරු තමයි පක්ෂය කඩන්නේ කියලා. ඒත් සමාජයේ වැඩි බහුතර ජනතාවක් මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ඉන්නවානේ?
ඇත්තටම රාජපක්ෂවරු අපේ පක්ෂයට ඉන්න ඕන. බණ්ඩාරනායකවරු වගේම. ඊටත් වඩා මහින්ද රාජපක්ෂ තමයි තිස් අවුරුදු යුද්ධය නතර කළේ. එතුමට දැවැන්ත සහයක් දුන්නා ගෝඨාභය රාජපක්ෂ. මේ කරැණු පුංචි කාරණා නෙමෙයි. ඒ නිසයි පහුගිය මහ මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් යෝජනා කළා. හිටපු ජනාධිපතිතුමාට අගමැති හැටියට ඔබගේ පවුලේ චෝදනා නැති චමල් රාජපක්ෂට දෙන්න කියලා. එහෙම කරා නම් දිනනවා. ඒත් ඒකට මහින්ද රාජපක්ෂ මහත්තය එකඟ වුණේ නෑ.
ඔබ හිතනවද මහින්ද රාජපක්ෂ මහත්තයා නැතුව ශ්‍රීලනිපයේ ගමනක් තියෙනවා කියලා?
ඔව්... ඔව්... එහෙම අදහස් තිබ්බනේ බණ්ඩාරනායකවරු නැතුව පක්ෂයට යන්න බෑ කියලා. ඒත් ගියානේ. සාර්ථකව ගියානේ. 2010 වෙනකල් මහින්ද රාජපක්ෂ යුගය සාර්ථකයිනෙ.
ඒත් මේ පක්ෂය ඉතිහාසයේ මේ වගේ වෙනම පක්ෂයක් හදාගෙන ජනතා බලවේගයක් සහිතව කණ්ඩායමක් බිහිවුණේ නෑනේ?
කැඩිලා ගියා. මේ හතර වැනි පාර. මේ තමයි කැඩිච්ච හතරෙන් පුංචිම කැඩිල්ල. මතකනේ කැඩිලි හැටියට පක්ෂයේ හිටපු සභාපතිවරු, ලේකම්වරු, උප සභාපතිවරු ගියා. ඒත් මේ කැඩිල්ලේදී එක්කෙනෙක්වත් ගියේ නෑ. කොටින්ම කිව්වොත් මීට කලින් මැතිනිගේ පුතත් ගියා. මීට කලින් මධ්‍යම කාරක සභාවේ, සමස්ත ලංකා කාරක සභාවේ බහුතරය පිටින් ගියා. ඒත් මේකෙදි කවුද ගියේ. දැනුනෙවත් නෑ.
දැන් අප්පච්චි මළා කිව්ව විජිත් විජයමුණි ඇමැතිවරයත් කියනවා අප්පච්චි එක්ක ඡන්දයට එන්නේ කියලා. පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයොත් කියනවා?
නෑ. මම හිතන්නේ නෑ එහෙම. ඔබතුමාලගේ මාධ්‍යයෙන් ඒවා හදන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා අපේ පක්ෂය ඇතුළේ ජනප්‍රිය චරිතයක්. එතුමත් එක්ක හිටගත්ත සමහර අය පාර්ලිමේන්තුවට ආවා. හැබැයි පක්ෂයට ඇතුළු වුණේ නෑ. පක්ෂය එතුමා එක්ක හිටියා කියලා පක්ෂයට දිනන්න බැරිවුණානේ. මහින්ද සුළඟ, මහින්ද සුනාමිය, 58 ලක්ෂයේ ඉඳලා 48කට බැස්සා. අන්තිමට කුරැණෑගලට ගියා. රට බේරගත්ත වීරයා. අන්තිමට මොකක්ද වුණේ. 89,000කින් දිනල තිබූ එක 28,000කට බැස්සා. තව පොඩ්ඩෙන් පරදිනවා. අපිට මන්ත්‍රීවරු 3 දෙනෙකුත් නැතුව ගියා. මේකනේ ඇත්ත. අද ඒ පැත්තේ ඉන්න හුඟක් දෙනෙක්ට තියෙන්නේ මහින්ද සරණ විතරයි. නැත්තන් එන්න බෑ. ඒ වගේම ඉතාම ප්‍රබල චරිත මහින්ද රාජපක්ෂ නිසා පැරදුණා. මම දිස්ත්‍රික්කයේ පළවැනියා වෙන අයෙක්. ඒත් පැරදුණා. ඒ පක්ෂය අපිත් එක්ක නැතිවුණ නිසා. ඒ නිසා දැනුත් පාක්ෂිකයෝ කියන්නේ දෙකට එකතුවෙන්න ඕන කියලා.
ඒකාබද්ධ විපක්ෂයෙන් කියනවා එකතු වෙනවා නම් අගමැතිකම හරි විපක්ෂ නායකකම හරි ඕන කියලා?
ඒ ඉතින් පත්තරේට කියන ඒවනේ. ඔය කිව්ව ඒවයි ඇත්ත කතායි අතර ලොකු වෙනසක් තියෙනවා.
පහුගිය කාලයේ ශ්‍රීලනිපයට ගෝඨාභය ගේන්න හැදුවා නේද? මොකද වුණේ වැඩේට?
ගෝඨාභය ගේන්න යෝජනා කළා. පහුගිය මහමැතිවරණයේදී. ඒ වෙලාවේ එකඟ වුණේ චමල්ට විරුද්ධ වෙච්ච නිසානෙ. හැබැයි ගෝඨාභයට ප්‍රශ්නයක් තියෙනවා. සිංහල බෞද්ධයන් අතර ජනප්‍රිය වුණාට සුළු ජාතීන් අතර ඔහුට විරෝධයක් තියෙනවා. ගෝඨාභය අපේ පක්ෂයට එනවා නම් ශක්තියක්. ඔහු ගැන රටේ මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවානේ.
මෙතන තව එක් ප්‍රශ්නයක් තියෙනවා. පක්ෂයේ මහලේකම් තනතුර තරුණයකුට දීම ගැන. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ම ඔහු ජ්‍යෙෂ්ඨයකු මහලේකම්වරයකු හැටියට පිළිගන්න බෑලු?
ඔතන කවුද ජ්‍යෙෂ්ඨයෝ. වෙල්ගම විතරයි. ජ්‍යෙෂ්ඨයෙක් වුණාට එයාව පිළිගත්ත නායකයෙක් නෙමෙයි. පක්ෂයේ පිළිගැනීමක් තිබ්බේ නෑ. හැබැයි පරණ මිනිහෙක් තමයි. ජ්‍යෙෂ්ඨයෝ ටික ඉන්නේ මෙහේ.
වෙල්ගම මන්ත්‍රීවරයා කිව්වා ඔබටත් කවදා හරි බඩගාගෙන එන්න වෙනවා කියලා මහින්ද රාජපක්ෂ ළඟට?
නෑ. මහින්ද එක්ක ඉන්නේ නෑ. මම පක්ෂය එක්ක ඉන්නේ. මහින්ද එක්ක ඉඳලත් නෑ. ඉන්නෙත් නෑ. පක්ෂයත් එක්ක හිටියේ. ඒ නිසා ජ්‍යෙෂ්ඨයෝ ඉන්නේ මෙහේ. ඔය පරණ ලේකම්වරු ටික වර්තමාන ජනාධිපතිතුමා ඉවත් කළා. ඒත් ඔවුන් ගියාද? නෑ. කවුරුවත් ගියේ නෑ. ඒ නිසා මහින්ද රාජපක්ෂත් ගිහිල්ලා බලන්න ඕන. එයා දන්නවා පක්ෂයෙන් ගියොත් මොකද වෙන්නේ කියලා.
ඒ කියන්නේ ශ්‍රීලනිපයට පිටුපෑ කෙනෙක්ට හරි ගියේ නෑ කියලද?
කවදාවත් නෑ.
ඉතින් එකපාරක් පක්ෂයෙන් ගිය ඔබට හරි ගිහිල්ලා තියෙන්නේ?
මම ආපහු පක්ෂයට ආවනේ. මම එජාපයට ගිහින් ඒකේ ජාතික සංවිධායක තනතුර දක්වා ගියා. හැබැයි ශ්‍රීලනිපයෙන් ගිය කෙනෙක්ට හරි ගියේ නෑ. විනාශ වුණා. ඒ නිසා මම කියන්නේ මේ ගිහින් තියෙන්නේ ඉතිහාසයේ දුර්වලම කණ්ඩායම.
පහුගියදා කැබිනට් එකේදි සාකච්ඡා වුණා නේද මේ වසරේ කරපු ව්‍යාපෘතිවලට දෙන්න සල්ලි නෑ කියලා?
ඔය ප්‍රශ්නය හැමදාම තිබ්බා. හැමදාම පියවන්නෙ ණය අරගෙන. ලෝකයේ රටවල් එක්ක බලද්දි අපි හොඳයි. හැබැයි මම දකින්නේ ඒ දේ නෙමෙයි. මහින්ද රාජපක්ෂ යුගයේදී නාස්ති තිබ්බා, වංචා තිබ්බා, හොරකම් තිබ්බා බරපතළ විදිහට. හැබැයි ආර්ථිකය නැගිට්ටා. ආර්ථික සංවර්ධන වේගය සීඝ්‍රයෙන් ඉහළ ගියා. හැබැයි රට අද එතන නෑ. එතනයි මේ අවුල.
ඔබ හිතන්නේ මොකක්ද හේතුව?
හරි සැලැස්මක් නෑ. දවස් සීයෙ අයවැය යෝජනා තවම ගැසට් වෙලා නෑ. ගිය අවුරුද්දේ සමහර යෝජනා තවම ගැසට් වෙලා නෑ. එකක් තමයි රජය සහ මුදල් අමාත්‍යංශය අතර තිබුණු ගැටුම. විශේෂයෙන් රජය සම්බන්ධයෙන් අවිශ්වාසය ඇතිවන සිදුවීම් වුණා. විශේෂයෙන් මුදල් අමාත්‍යංශයෙයි, මහ බැංකුවෙයි. මිනිස්සු බය වුණා. ඇත්තටම ජාතික ආර්ථිකයක් හරහා නැගිටින ශ්‍රී ලංකාවක් තනන්න පටන් ගත්තේ මේ රජය. හැබැයි දේශීය ව්‍යාපෘති රැසක් පටන් අරගෙන තියෙනවා. මේවා පහුගිය කාලේ තිබ්බේ නෑ. පිස්සුවෙන් වගේ ලොකු ලොකු ව්‍යාපෘති විතරයි කළේ.
හැබැයි ඔබට හිතෙන්නේ නැද්ද ඔය කිසිදෙයක් නෙමෙයි දැනෙන්නේ මිනිස්සුන්ට හාල් මිලයි පොල් මිලයි කියලා?
ඇත්ත. ඒවා දැනෙනවා තමයි. මිනිස්සු බණිනවා. හැබැයි ඒ මත තීරණ ගන්නවා කියලා පේන්නේ නෑ. එහෙනම් අපි පහුගිය ඡන්ද කාලේ මොනවද නොකළේ. යනකොටත් සල්ලි දුන්නා. ගණන් කරන්න යන අයටත් සල්ලි දුන්නා. පෝස්ටර් ගහන්න යන අයට පාප්ප ටික යැව්වා. බ්‍රෂ් එක යැව්වා. හේත්තු කරන්න ඉණිමගත් යැව්වා. අන්තිමට මොකද වුණේ?
දැන් එජාපයයි, අනෙකුත් පක්ෂයි චෝදනා කරන්නෙ ශ්‍රීලනිපය තමයි ඡන්ද කල්දාන වැඩේ පිටිපස්සේ ඉන්නේ කියලා?
අනේ අපිට ඡන්ද කල්දාන්න වුවමනාවක් නෑ. මේ ඡන්දයේදී තුන්කොන් සටනක් වෙයි. සමහර තැන් එජාපය දිනයි, සමහර තැන් අපි දිනයි, සමහර තැන් පොහොට්ටුව දිනයි. ශ්‍රී ලංකා එකට යූ.ඇන්.පී. එකත් එක්ක ප්‍රාදේශීය සභාව පිහිටුවන්නත් පුළුවන්. නෙළුම් පොහොට්ටුව එක්ක ප්‍රාදේශීය සභාව පිහිටුවන්නත් පුළුවන්. අපිට ගැටුමක් නෑ. ඒක අපිට ශක්තියක් මේක. හැබැයි පොහොට්ටුව තනියෙන් තරග කරලා ඇණගත්තම මොකද වෙන්නේ. පොහොට්ටුවට දිනන එක ලේසි නෑ.
හැබැයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මේ ඡන්ද කල්දැමීමෙන් නැති වෙනවා නේද?
නෑ. ජනතාවට බලය ආපුවම තීරණය කරයි කවුද තෝරන්නේ කියලා. එදාට බලාගන්න පුළුවන්.
♦ ගයාන් ගාල්ලගේ
සේයාරූව: සුමුදු හේවාපතිරණ