2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ක්‍රිකට් අනල ඉවරයි දැන් ඉතින් කමු!

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

අවශ්‍ය වුණොත් ක්‍රිකට් ආයතනය විසුරුවා හරින බවට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා පැවැති මාධ්‍ය  හමුවකදී කළ ප්‍රකාශය රට තුළ හොඳ “කට ගැස්මක්” බවට පත්වී තිබේ. ක්‍රිකට් ආයතනය කෙරෙහි ක්‍රීඩා ඇමතිවරයා අන්තයට කලකිරී සිටින බවට එම ප්‍රකාශය ප්‍රබල ඉඟියක් ලබා දී තිබේ. හරියට කිව්වොත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ජනතාව නම් තම සිත් සතන්වලින් ක්‍රිකට් ආයතනය විසුරුවා හැර දැන් බොහෝ කල් ගතවී ගොසිනි. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයේ වැඩ කටයුතු මේ තරම් “අජපල්” ලෙසින් විවේචනයට ලක්වූ යුගයක් මින් පෙර නොතිබි බැව් පැවසීම මුසාවක් නොවේ. ක්‍රිකට් තරගවලින් “මාර” විදිහට පරදිනවිට මීට පෙර යුගවලදී නම් ක්‍රිකට් රසිකයන්ගේ විරෝධය එල්ල වූයේ පාලක මණ්ඩලයේ නිලධාරීන්ට “බොස්ලා”ට එරෙහිව නොවේ. ක්‍රීඩකයන්ට එරෙහිවය. දැන් නම් එනම් වත්මන් පරිපාලනය යටතේ නම් විරෝධය දැඩි ලෙස එල්ල වන්නේ ක්‍රිකට් පරිපාලනයේ ඉහළ නිලධාරීන්ට එරෙහිවය. ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව ද දෙතුන් වතාවක් විරෝධතා එල්ල වුව ද ඒවාද ක්‍රිකට් පරිපාලනයට එල්ල වූ විරෝධයේම අතු ඉති මිස කෙළින්ම එල්ල වූ චෝදනා නොවන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයට එරෙහිව මුලින්ම නැගුණු චෝදනාවක් වූයේ කණ්ඩායම් තේරීමේ කමිටුවට අනවශ්‍ය බලපෑම් එල්ල කරන බවටය. මේ නිසා කණ්ඩායමට හරිහැටි ස්ථාවර වීමට ඉඩකඩ ඇහිරී ගිය බවත් දරුණු පරාජයන්ට එම හේතුව බලපෑ බවත්ය. තේරීමේ කමිටුවට උඩින් ප්‍රබල හස්තයක් ක්‍රියාත්මක වනවිට ඒ බව අන් සියලුම දෙනාට වඩා මුලින්ම සහ හොඳින්ම දැනෙන්නේ ජාතික කණ්ඩායම් ක්‍රීඩකයන්ටය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ සියලුම ක්‍රීඩකයන් තමන්ගේ “තැන” රැකගැනීම සඳහා ක්‍රීඩා කිරීමට පෙළඹීමයි. රට හෝ කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ කැපවීම ප්‍රදර්ශනය කිරීම ඊළඟ තරගයේදී බෙල්ලම කපාගැනීමක් බව දැන දැන ඊට බිලිවීමට ක්‍රීඩකයන් ඉදිරිපත් වන්නේ නැත. ඉතාම දක්ෂ ක්‍රීඩකයන් සිටියදී කණ්ඩායම තරග පරදින්නේ මෙවැනි හේතු නිසාවෙනි. මේ බව ලෝලීන්ට දැනෙන්න පටන්ගත්විට ඔවුන්ට ක්‍රිකට් එපාවීමට පටන් ගනී. ක්‍රිකට් යනු තමන්ගේ ආත්මය හා බැඳුණු ක්‍රීඩාවක් වුව ද එය එපාවන තරමට කරැණු යෙදුණේ පාලකයන්ෙග් වැරදි හේතුවෙන් බව පැවසීම නිවැරදිය. මේ බව අවසානයේ ක්‍රීඩා ඇමැතිවරයාට වැටහී තිබීම සියලු දෙනාට මහත් අස්වැසිල්ලකි. යළි බලාපොරොත්තුව දැල්වීමකි.

ක්‍රිකට් තරග පැරදීම පසෙකින් තබමු. පසුගියදා ගුවන් තොටුපළේදී ක්‍රීඩකයන් 10 දෙනකු ආපසු හරවා ගෙදර යැවීමේ සිද්ධිය සැලකිල්ලට ගැනීම පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින අර්බුදය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකාවේ එක්දින ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නම් ලැයිස්තුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබා ගැනීමකින් තොරවම ක්‍රීඩකයන් පිටත්ව යැවීමට කටයුතු කර තිබීම ඊට හේතු කාරණාව විය. මෙය ලංකාවේ ක්‍රීඩා පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ක්‍රිකට් නිලධාරීන් බබාලා නොවන නිසා එය අත් වැරැද්දකින් සිදුවිය නොහැක්කකි. 

මේ බරපතළ වැරැද්දට වගකිවයුතු නිලධාරියා ලවා අලාභ අයකර ගැනීමටත් ඒ පිළිබඳව සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් අමැතිවරයා නියෝගකර තිබිණි. නමුත් ක්‍රිකට් ආයතනයේ මේ වාර්තාව ලබා ගැනීමනම් කවදාවත් නොකෙරෙන කටයුත්තක් බව අපට කැට තබා කිව හැකිය. කිසිදු නිලධාරියකුට සත 5ක් හෝ අතින් ගෙවන්නට සිදුවන්නේ ද නැත. මේ ක්‍රියාමාර්ග දෙකම සාර්ථක කරගැනීමට  ක්‍රීඩා ඇමැතිවරයා සමත් වූවොත් ඔහු හැබෑම දක්ෂයකු බව රටම පිළිගනු ඇත. මේ වසර මුලදී සිදු වූ පානදුර ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ තරග පාවාදීමේ සිද්ධියේ වාර්තාවක් ලබාගෙන වැරදිකරුවන් සොයාගන්නට අසමත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මේ වැරැද්ද සොයාගෙන වැරදිකරැවන්ගේ අලාභ අය කරගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමට දෙවැනි නොවන බව අපගේ වැටහීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් ලොක්කන් තමන් සියල්ලම දන්නා බවත් අන් සියලු දෙනා කිසිත් නොදන්නා “බබ්බු” වැනි බවත් සිත්හි තබාගෙන කටයුතු කිරීම මේ සියලු අලකලංචිවලට හේතුවයි. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම පෙන්නුම් කරන්නේ සියල්ලම දන්නේ යැයි සිතාගෙන සිටින ලොක්කන්ට ද විශාල වැරදීමක් සිදු වී ඇති නිසා බව පැහැදිලිය. නුමුත් අවාසනාව ඔවුන් ඒ බව නොදැන සිටීමය. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය නංවාලීමට ගතයුතු එක් පියවරක් වන්නේ ක්‍රිකට් පරිපාලනය තෝරාපත්කර ගැනීම සඳහා දැන් තිබෙන දූෂිත ක්‍රමවේදය සංශෝධනයට  ලක්කිරීමටය. මේ බවද ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. දැනට ඡන්දය හිමි නාම ලේඛණයේ සඳහන් ක්‍රීඩා සමාජ 140කට අධික ප්‍රමාණය අඩුම තරමින් 75 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ඔහු කියා තිබුණි. මෙයද ගතයුතුම පියවරක් බව ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව බලාපොරොත්තුවන සියලු වැදගත් ක්‍රිකට් ප්‍රවීණයන්ගේ අදහස බවට සැකයක් නැත. විවිධ වරදාන, වරප්‍රසාද සහ සාක්කු පුරවාගැනීම් බලාපොරොත්තුවෙන් ඡන්දය භාවිත කර ලොක්කන් පත්කර ගැනීමේ ක්‍රමවේදයට දැන්වත් තිත තැබීම අවශ්‍යය. එය ක්‍රිකට් ඇමැතිවරයාගේද අදහස බවද දැන ගැනීමට ද සතුටක් බව කිවයුතුය. 

ක්‍රීඩා අමාත්‍යංශය මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය යළි ඔසවා තැබීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කරන ලද ක්‍රිකට් උපදේශණ කමිටුවද රැඩිකල් ගණයේ ප්‍රතිසංස්කරණ රුසක් යෝජනා කර තිබේ. ඒවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පියවර ගනී දැයි යන්න නම් සැක සහිතය. එසේ  නොවන්නේනම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගැනීම සඳහා වත්මන් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැරීම අවශ්‍ය බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා හරි බව අපගේ විශ්වාසයයි.