ලංවිමට බිලියන 29ක “කරන්ට් වැදීමක්”
මේ රටේ අධික ලෙස පාඩු ලබන ආයතනයක් වශයෙන් සැලකෙන ලංකා විදුලිබල මණ්ඩලය මේ වසර තුළ රුපියල් බිලියන 29ක පාඩුවක් ලබනු ඇතැයි ගණන් බලා තිබේ.
ලංවිම නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ එහි අලෙවි ආදායම බිලියන 206 ක් බවත් වෙනත් ආදායම් ද සමඟ එම සමස්ත ආදායම බිලියන 222 ක් වන බවත්ය. එසේ වන විට සමස්ත වියදම වශයෙන් රුපියල් බිලියන 287 දැක්වීම හේතුවෙන් වෙනස බිලියන 65 ක් වෙයි. එහි ක්ෂය වීමේ ප්‍රමාණය ඉවත් කළ විට අවසන් පාඩුව වශයෙන් බිලියන 29 ක් සටහන් වී තිබේ.
මේ මුදල ලංවිම විසින් හදිසි අවශ්‍යතා සඳහා විදුලිය මිලදී ගැනීමට යෙදවූ රුපියල් බිලියන 50ට අමතරවය.
මේ හෙළිදරව් කිරීම් සිදුවෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් 2014 වසරේ පටන් රටේ බලශක්ති වර්ධනය සඳහා කිසිදු ප්‍රධාන පෙළේ වැඩසටහනක් ක්‍රියාත්මක කර නොමැති තත්ත්වයක් තුළ වීම ද විශේෂයකි.
පෙට්‍රල් හිඟය:
ඇමැතිගේ හදිසි මිලදී ගැනීම් තීන්දුවට හේතුව නොදනී
රට තුළ පසුගිය කාලයේ දී ඇති වූ දින කිහිපයේ පෙට්‍රල් හිඟය පිළිබඳව කරුණු සොයාබැලීම සඳහා ජනාධිපති විසින් පත් කරන ලද කැබිනට් කමිටුව මගින් තවත් කරුණු ගණනාවක්ම හෙළිදරව් කරගෙන තිබේ.
ඉන් එක් කාරණාවක් වන්නේ ඛනිජ තෙල් සම්පත් ඇමැති අර්ජුන රණතුංග විසින් ඊට කලින් තෙල් මිලදී ගැනීමේ පැවැති දීර්ඝකාලීන ගිවිසුම් තුනක් අවලංගු කොට හදිසි මිලදී ගැනීම් කළ යුතු බවට සිදුකෙරුණු නියෝගයයි. කැබිනට් කමිටුව ප්‍රකාශ කර තිබුණේ එසේ හදිසි මිලදී ගැනීම් සිදුකිරීම නිසා රටේ ප්‍රමාණවත් තරම් තෙල් සංචිතයක් රඳවාගැනීමට නොහැකි වීම පෙට්රල් හිඟයට හේතු වූ බවය.
හදිසි මිලදී ගැනීම් පවතින වෙළෙඳපොළේ මිල ගණන් මත පදනම්ව සිදුකෙරෙන අතර දීර්ඝකාලීන මිලදී ගැනීමේ ගිවිසුම් ඇතිකරගනු ලබන්නේ දිගු කාලයකට සාධාරණ වන මිල ගණන් මතය.
මීළඟට, සතියේ කැබිනට් රැස්වීමක දී අර්ජුන රණතුංග ඇමැතිවරයා යෝජනා කළේ රජයට අයත් තෙල් සංස්ථාව දීර්ඝකාලීන ගිවිසුම් ඇතිකරගැනීමට යොමු විය යුතු බවයි. එහිදී ජනාධිපතිවරයා කැබිනට් කමිටුවට නියෝග කර තිබුණේ ඇමැතිවරයා සමඟ සාකච්ඡා කොට සුදුසු තීන්දුවක් ගෙන ක්‍රියා කරන ලෙසටය. සරත් අමුණුගම, අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක සහ චන්දිම වීරක්කොඩි ඇමැති කමිටුව නියෝජනය කරති.
මේ අතර, කලින් වාර්තා කර තිබූ පරිදි තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටී. අයවැය විවාදය එම තීන්දුව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමට හේතු විය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පැමිණිල්ල ගැන කොමිසම පොලිස්පතිගෙන් ප්‍රශ්න කරයි
පොලිස්පතිවරයාට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ගණනාවක් විසින් එල්ල කරන ලද චෝදනා හේතුවෙන් පැනනැගී ඇති අභ්‍යන්තර ගැටුම ඉහළ තලයටම ගොස් තිබෙන අතර පොලිස් කොමිසම ඒ ගැන පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් ද කර තිබේ.
මීට කලින් පැවැති රැස්වීමක දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරැ සහ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් දක්වා තිබිණි. රහස් පොලිසියේ අධ්‍යක්ෂ රවී සෙනෙවිරත්න මහතා එහිදී ප්‍රකාශ කර තිබුණේ විස්තර සොයා දෙන්නැයි තමන් අතට පත් කළ ජංගම දුරකතන අංක ලැයිස්තුවේ තමන්ගේ ද ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ගේ අංක ඇතුළත්ව තිබූ බවය. එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු කියා තිබුණේ තමන්ගේ ප්‍රධානියා අපහාසාත්මකව කතා කළ බවය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසම ඉදිරියේ පෙනී සිටියේ ලිපිගොනු සහ ලිපි ලේඛන වලින් සන්නද්ධවය. ඔහු චෝදනා කර තිබුණේ තමන් පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ක්‍රියාකරැවකුට පහර දීමට උත්සාහ කරන බවට වාර්තා වූ වීඩියෝ ක්ලිප් එක කැබිනට් ඇමැතිවරයකු හරහා මාධ්‍යයට ලීක් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෙසනෙවිරත්න මහතා බවය. පොලිස්පතිගේ භාවනා වැඩසටහන ක්‍රියාත්මක නොකිරීම එම සිද්ධියට හේතු වූ බවද ප්‍රකාශ වී තිබිණි.
නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න මහතා මීට පෙර එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි. එවැනි සිද්ධියක් පිළිබඳව තමන් කිසිවක් නොදැන සිටි බවද ඔහු කියා තිබිණි. කෙසේ වුවද කොමිසමේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ පොලිස්පතිගේ මේ චෝදනාවෙන් ඔප්පු වන්නේ එවැනි ක්ලිප් එකක් තිබුණු බව පොලිස්පතිම පිළිගන්නා බවයි.
මේ සිදුවීම්වලින් පසුව නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡාවකට කැඳවා ඔවුන් අතර සංහිඳියාවක් ඇති කිරීමට පියවර ගෙන තිබිණි. ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ මතගැටුම් ඕනෑම ආයතනයක පවතින බවය.
- සන්ඩේ ටයිම්ස්