අවුරුදු දෙකහමාරකට පස්සේ එන ඡන්දයක තිබිය යුතු උණුසුම මේ ඡන්දයේදීත් දැකගන්න හැකිවෙයිද? අවුරුදු පතා ඡන්දයක් තිබ්බත් ඇති නොවන ඡන්දදායකයන් සිටින රටක කාලෙකට පස්සේ එන මේ පාර පුංචි ඡන්දය තීරණාත්මක එකක් බවට හරවාගන්න ඡන්දදායකයෝ උනන්දු වෙයිද?
පේන්න නම් තිබෙන්නේ ලබන පෙබරවාරියේදී පැවැත්වෙනු ඇති බවට විශ්වාස කෙරෙන පළාත් පාලන මැතිවරණය උණුසුමත් උනන්දුවත් දෙකම අඩුවිය හැකි වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බවය. එහෙම වෙන්නෙ ඇයි කියා සොයා බලන්න නම් තරග වදින ප්‍රධාන පක්ෂ මුහුණ දී සිටින ප්‍රශ්න හඳුනාගැනීම පමණක් මදිය. රටේ ඡන්දදායකයන් රටේ ඡන්ද ගැන හිතන විදියත් සොයාබැලීම අවශ්‍යය.
මේ රටේ මෑත කාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වශයෙන් තිබුණේ යූ.එන්.පී, ශ්‍රී ලංකා සහ ජවිපෙ පමණි. අප මෙහිදී සලකා බලන්නේ දකුණේ දේශපාලන සංයුතිය සම්බන්ධයෙන් පමණි. එහෙම වුණත් දැන් මේ ප්‍රධාන පක්ෂ තුනට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සිටී. එය පසුගිය කාලය පුරාවටම රටේ ප්‍රශ්න ඇදගෙන ගිය ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන පක්ෂයයි. අලියයි, අතයි, පොහොට්ටුවයි, සීනුවයි දැන් හරි හරියට තරගයට සූදානම්ය. ප්‍රශ්නය ඇත්තේ මේ සූදානම ඡන්දදායකයන් තුළ තිබෙනවද යන්නය.
මේ පක්ෂවල සූදානම කෙසේද යන්න ඒ ඒ පක්ෂවල නායකයන් පසුගිය දිනවල කළ කතාවලද සඳහන් විය. කෙසේ වුවද මෙවර වැඩි දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙන ශ්‍රීලනිපයේ බෙදීම විසින් පුංචි ඡන්දයට විශේෂ වටිනාකමක් එක්කර තිබෙන බව පැහැදිලිය. පක්ෂයේ ඡන්ද ගොනුවී තිබෙන්නේ කා අතදැයි නිගමනය කිරීමට මේ ඡන්දයේ ප්‍රතිඵල හොඳම මිනුම් දණ්ඩක් වී තිබීම ඊට හේතුවය. ඒකාබද්ධ විපක්ෂය වශයෙන් සන්ධානගත වී සිටීමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් ක්‍රියාකාරී දේශපාලනයට බැසීමත් අතර ලොකු වෙනසක් තිබෙන බව නම් මේ වනවිට ඒකාබද්ධයේ සියලු නායකයන්ට තේරුම් ගොස් තිබිය යුතුය.
විපක්ෂයේ වේදිකාවට ගොඩවැදී එකට කොතරම් සද්දෙ දැම්මත් ඡන්දයක් අවස්ථාවේදී මේ සියලු කතා වෙනස් වෙයි. තම තමන්ගෙන් ඒකාබද්ධ වේදිකාවට සැපයුණු සවි ශක්තිය ගැන මේ සියලු නායකයෝ තුළ අදහසක් තිබෙන බව ස්ථීරය. එම ශක්තියට ලැබෙන වටිනාකම තීරණය වන එක මංසලකුණක් වන්නේ නාමයෝජනා ලැයිස්තු සැකසීමයි. බලයේ සිටින පක්ෂ අතර කොතරම් ගැටුම් තිබුණත් ඒවායින් පිරිස් කඩාගෙන යන්නේ කලාතුරකිනි. එහෙම ගියත් යන්නේ ලොකු ලොකු නම් ඇති පිරිස් නොවන බව ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. නමුත් විපක්ෂයේ සිටින විට ඔය කතාව වෙනස් වෙයි. ආණ්ඩු පක්ෂයට පනින්නේම ලොකු ලොකු අතුය. ඒ සඳහා විවිධ හේතු බලපෑවත් තමන්ගේ පක්ෂයට නිසි වටිනාකම නොලැබීමත් බොහෝ කාලයක් විපක්ෂයේ සිටීමට තිබෙන අකැමැත්තත් මේ පියවරට හේතුවෙයි. වෙනත් බොහොමයක් රටවලට වඩා දේශපාලන බලය තිබෙන පක්ෂයට ප්‍රාදේශීය මට්ටමින් හෝ හේත්තු වී සිටීම ලංකාවේදී නම් ඇතැම් විට ඇලඩින්ගේ පුදුම පහනක් මට්ටමින් ක්‍රියාත්මක වෙන බව බොහෝ දේශපාලනඥයෝ දැන සිටිති.
මෙවර පුංචි ඡන්දයේදී ද උඩු පිනුම් යටි පිනුම් බලාපොරොත්තු විය හැකි වුවද තවත් පෙනෙන්නේ උඩු පිනුම් පමණි. එනම් විපක්ෂයෙන් රජයට පැනීම පමණකි. සාමාන්‍යයෙන් ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක විපක්ෂයටද පනින දේශපාලනඥයන් සිටියත් එසේ සිදුවීමට නම් ප්‍රතිඵලය ගැන පැහැදිලි අදහසක් තිබීම අවශ්‍යය. නැත්නම් වෙනත් වරප්‍රසාද හෝ වරදාන පිළිබඳ පොරොන්දු තිබිය යුතුය. එහෙම නැතුව පිල් මාරු කිරීම් සිදුවන්නේ කලාතුරකිනි. එසේ නම් නාමයෝජනා දොරකඩදීම පොදුජන පෙරමුණේ එනම් පොහොට්ටුවේ කිහිප දෙනෙකු පිල් මාරු කළේ ඇයි? අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ආණ්ඩුවට වඩා විපක්ෂයේ ශක්තිය පෙන්වමින් සිටි ඒකාබද්ධ විපක්ෂයේ ඉරිතැලීම් හටගත්තේ ඇයි? ආණ්ඩුවේත් විපක්ෂයේත් දෙකේම එකම පක්ෂයකින් පැමිණි මන්ත්‍රී පිරිසක් වෙන්වී සිටීම ඊට ප්‍රබල හේතුවක් සපයා තිබේද? මේ ගැන අදහසක් ගැනීමට ප්‍රාදේශීය දේශපාලනය සහ ශ්‍රීලනිපය වැනි දැවැන්ත පක්ෂයක බෙදීයාම පිළිබඳ පසුබිම් කතා සොයාබැලිය යුතුය.
ප්‍රාදේශීය දේශපාලනය හරි නම් යොදාගත යුත්තේ රටේ පොදු මහ ජනතාවගේ යටිතල පහසුකම් සපයාදීම සඳහාය. ඉහළ මට්ටමේ දේශපාලන වැඩට ඔවුන්ගෙන් ලැබෙන තල්ලුව වැටෙන්නේ නොව වැටිය යුත්තේ දෙවැනි තැනටය. නමුත් කාලයක් තිස්සේ අපේ රටේ සිදුවී තිබෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතා පැත්තකට දමා රටේ ඉහළ මට්ටමේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා ඉටුකරන ඔවුන්ගේ තගරි වැඩට අතදෙන තත්ත්වයකට ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇද වැටීමය. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව දැකගත හැකි වූ මේ තත්ත්වය ජේ.ආර්.ගේ, ප්‍රේමදාසගේ, චන්ද්‍රිකාගේ, මහින්දගේ පාලන යුග සියල්ලේම වරින්වර දැකගත හැකි විය. නමුත් එහි භයානක අදියරක් දැකගත හැකිවූයේ පසුගිය පාලන කාලය තුළදීය. මෙරට ප්‍රාදේශීය දේශපාලනය ගමන් කර ඇති දිශාව ගැන අදහසක් ගැනීමට ඒ සඳහා උදාහරණ කිහිපයක් පමණක් මෙහිදී සඳහන් කිරීම අවශ්‍යය.
මෙහිදී මුලින්ම සඳහන් විය යුත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා චූදිතයා වූ විදෙස් කාන්තාවක් දූෂණය කිරීම සහ ඇයගේ පෙම්වතා මරාදැමීමේ සිද්ධියයි. ඊළඟට අකුරැස්ස හිටපු සභාපතිවරයාට එරෙහිව නගා තිබූ කන්‍යාවන් සියයකට ආසන්න සංඛ්‍යාවක් දූෂණය කිරීමේ චෝදනාවයි. දැරණියගල හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සහචරයන් විසින් නූරි වත්තේ අධිකාරිවරයා ම්ලේච්ඡ ලෙස මරා දැමීමද එවැනිම අපරාධයකි. එසේම විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සහායකයා තම නිල වාහනයෙන් මරිජුවානා ගෙන යද්දී පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ 2014 වසරේදීය. මේ ලැයිස්තුව තව බොහෝ දික් වන බැවින් මෙතැනින් තිත තැබීම අවශ්‍යය. ඊට පෙර සඳහන් කළ යුත්තේ 2015 ජනවාරි මාසයේ තිබූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී කහවත්තේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී කහවත්ත හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාද සැකකරුවෙක් වූ බවය.
මේ අපරාධ ගණයට වැටෙන සියලු “ඡන්දාපේක්ෂකයන්ට” නාමයෝජනා ලැයිස්තුවේ ඉඩ ලබාදුන්නේ වෙන කවුරැත් නොව පක්ෂ නායකයන් විසින්මය. මීට පෙරද ගෝනවල සුනිල්, සොත්ති උපාලි වැනි අපරාධ චෝදනාවලට ලක් වූවන්ට යූ.එන්.පී.යෙන්ද නාමයෝජනා ලැබී තිබුණේය. ඒ අනුව ප්‍රාදේශීය දේශපාලනයට මැරකම් හඳුන්වාදීම සම්බන්ධයෙන් මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම වගකිව යුතුය. එහෙත් ජවිපෙ පමණක් මේ වැරැද්දෙන් සම්පූර්ණයෙන් වැළකී සිටී. මේ අතීතය මතක තිබෙන මේ රටේ ඡන්දදායකයන් පුංචි ඡන්දය කෙරෙහි එතරම් උනන්දුවක් නොගැනීම පිළිබඳව පුදුම විය යුතු නැත.
පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයන් 8.365ක් තෝරාගැනීම වෙනුවෙන් නාමයෝජනා ලබාගැනීම ලබන 21 වැනිදා වනතෙක් සිදු කෙරෙයි. එහි මුල් අදියර වූ පසුගිය බ්‍රහස්පතින්දා (14) ශ්‍රීලනිපයේත් එහි කැඩීගිය කොටස වන පොදු ජන පෙරමුණේත් නාමයෝජනා ලැයිස්තු ගණනාවක් ප්‍රතික්ෂේප වී තිබීම එම පක්ෂ දෙකටම ප්‍රශ්නයක් වී තිබිණි. ඉදිරියේදී ලබාදෙන නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් මේ නිසා එම පක්ෂ දෙකටම වැඩිපුර අවධානයක් යොමු කිරීමට සිදුවනු ඇත.
කෙසේ වුවත් ශ්‍රීලනිපය වෙන්වී නොගොස් එකට යාමේ උත්සාහය කඩාකප්පල් වී යාම පාක්ෂිකයන්ගේ “මොරාල්” එක පහළ දැමූ බවද පෙනෙන්නට තිබේ. පොදුජන පෙරමුණේ ඉදිරි ගමනට බලපෑමක් ඇතිවන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුද ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකුද ශ්‍රීලනිපයට එකතු වීමට බලපෑවේද එම උත්සාහය ව්‍යර්ථ වීම බව හඳුනාගත හැකිය. එය ඡන්දය කිරීමේ බරපතළ අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රීලනිපයට නම් අස්වැසිල්ලකි. පොදුජන පෙරමුණට පසුබෑමකි. එහෙත් ඉදිරි දිනවලදී ශ්‍රීලනිපයෙන් පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් එක්වුවහොත් මේ තත්ත්වය කනපිට හැරෙන්නට ඉඩ තිබේ. කෙසේ වුවද පුංචි ඡන්දය ශ්‍රීලනිපයේ බරපතළ බිඳීයාමක් සලකුණු කිරීම වැළැක්විය නොහැකි බව මේ සිදුවීම්වලින් පෙනේ.
පාක්ෂිකයන්ගේ මාරුවීම්වලින් පසුව ශ්‍රීලනිපයේ මාධ්‍ය සාකච්ඡාද තරමක සැරට සිදුවෙන බව පෙනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර පසුගිය අඟහරැවාදා (12) කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී කෙළින්ම කියා තිබුණේ “දැන් අපි බය නෑ” කියාය. 18 දෙනකු යනවා කිව්වත් දැන් යන අය නැති බවත් ඉන්නේ එන අය බවත් කියූ ඔහු කාට කාටත් වැඩ කරන්න සිදුවෙන්නේ ජනාධිපතිවරයා යටතේ බවද කිව්වේය. ඔහු එහිදී විශ්වාසයෙන් යුතුව කියා තිබුණේ ශ්‍රීලනිපය ප්‍රමුඛ එ.ජ.නි.ස. ලොකු ජයක් ලබන බවය.
මෙයට පිළිතුරු දෙමින් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පක්ෂ කාර්යාලයේ එදිනම (12) පැවැති මාධ්‍ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ මන්ත්‍රීවරැන් කිහිප දෙනෙකු ඉවත්ව ගියාට ඒකාබද්ධ විපක්ෂය දෙදරා ගොස් නැති බවය. මෙහෙන් එහාට ගියාට එහෙන් මෙහාටත් එන බවත් ඔහු කියා තිබිණි.
මේ අතර පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින මහින්ද පසුගිය බ්‍රහස්පතින්දා (14) නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබුණේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී යූ.එන්.පී. - ශ්‍රී ලංකා ආණ්ඩුවක් තමන් අනුමත කරන්නේද යන්න සැලකිල්ලට ගනිමින් තම ඡන්දය භාවිත කරන ලෙසටය. අනෙකුත් සියලු කාරණා පසෙක තබා වත්මන් එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව අනුමත කරන්නේද නැද්ද යන මත පමණක් පදනම් වෙමින් ඡන්දය පාවිච්චි කරන ලෙසට ඉල්ලා සිටින බවට එහි සඳහන් විය.
රටේ සම්පත් විකුණාගෙන කෑම, රට කඩන ව්‍යවස්ථාව වැළැක්වීම වැනි දැඩි මතවාදී අදහස් මගින් නාමයෝජනා දීමට පෙර ඡන්ද දායකයන්ට ආමන්ත්‍රණය කළ මහින්ද හදිසියේම යූ.එන්.පී. - ශ්‍රී ලංකා ආණ්ඩුවක් අනුමත කරන්නේද යන ස්ථාවරයට මාරුවීම කෙළින්ම ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ හදවතට කතා කිරීමක් බව පැහැදිලිය. එවැනි ස්ථාවරයක් ගැනීමට මහින්දට හේතු දෙකක් බලපාන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. එකක් ශ්‍රීලනිපය යළි එක් කිරීමේ උත්සාහය තමන් නිසා වැළකී ගිය බවට පාක්ෂිකයන් අතර මතයක් පැතිරීම නැවැත්වීමය. අනෙක ඒකාබද්ධයෙන් මන්ත්‍රීවරුන් එක්කෙනා දෙන්නා ඉවත් වී යාමය. මේ දෙකම මහින්දගේ ඉදිරි දේශපාලන ගමනට හොඳ නැත.
කෙසේ වුවද ප්‍රතිඵල එනතුරු කවුරු ප්‍රාදේශීය ආණ්ඩු පිහිටුවා ගනීදැයි සිතාගැනීම අපහසු තත්ත්වයක් පවතින පසුබිමක ජනතාවගේද උනන්දුව හීන වී තිබීම නම් විපක්ෂයට වගේම ආණ්ඩුවටත් හොඳ නැති බවට කතා දෙකක් නැත.
ශශීන්ද්‍ර