හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ
ශ්‍රීල.නි.ප.ය දෙකට කැඩුවෙ වත්මන් සභාපතියි නායකයොයි
මහින්ද රාජපක්ෂට විරුද්ධ අයත්එතුමගෙ ෆොටෝ ගහන් ඡන්ද කරන්න හදනවා
යූ.ඇන්.පී.යයි මුක්කුකාරයොයි එකටම පරද්දනවා
අපට ඩිලාන්ලා එක්ක එකට වැඩකරන්න පුළුවනි
මහින්ද රාජපක්ෂ පක්ෂයකට අයිති කෙනෙක් නෙවේ ජාතික නායකයෙක්
හිටපු ජනාධිපතිතුමා අපි රටේ නායකයා කරනවා
2015 ජනාධිපතිවරණයේ පරාජයෙන් පස්සේ ඔබ විදෙස් ගත වුණා. පස්සේ නැවත ලංකාවට ආවා. ඇවිත් ඔබ කිව්වා නැවත ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ නෑ කියලා. නමුත් ඔබ නැවතත් එහි යෙදිලා ඉන්නවා.
ක්‍රියාකාරී දේශපාලනය ගැන නෙමෙයි. ඡන්දය ඉල්ලීම් වගේ දේවල්වලට එන්නේ නෑ කියලා කිව්වේ.
ඒ කියන්නේ ආයි ඡන්දය ඉල්ලන්න අදහසක් නැද්ද ඔබට?
නෑ. එහෙම අදහසක් නෑ.
එහෙනම් ඔබ ඇයි මේ අවස්ථාවේ ක්‍රියාකාරී දේශපාලනයට එකතු වුණේ?
ලෝකයේ තියෙනවා පවතින රජයට එක්ව පවතින පක්ෂ සහ ඒ රජයට විරුද්ධ පක්ෂ. අපේ රටේ ජනවාරි 08 වෙනිදායින් පස්සේ ලොකු විකෘතියක් වුණා. ඡන්දය දිනපු නායකයා පැරදී කණ්ඩායමේ නායකත්වය ගත්තා. ඒ වගේම ජාතික ආණ්ඩුවක් හැදුවා. හැබැයි විරුද්ධ මතයක් දරන්න කෙනෙක් නෑ. ඒ නිසා තමයි මේ ඒකාබද්ධ විපක්ෂය හැදුණේ. ඔවුන් විරුද්ධ මතයක් දැරුවේ. එතනදි ඒ මතයට පක්ෂයක් තිබ්බේ නෑ. ඒ තුළයි මේ පක්ෂය හැදෙන්නේ. ඒක හරි අමාරු කාර්යයක්. ඒ අමාරු කාර්යයට තමයි මම පිවිසුණේ. ඒ බහුතර ජනමතය සංවිධානය කරන්න තමයි මම ආවේ.
පොදුජන පෙරමුණ හැදුණේ ඔබේ තීරණයකට අනුව?
නෑ. පොදුජන පෙරමුණ සංවිධානයේ ව්‍යුහය හදන්න මැදිහත් වුණත් හිටපු සාමාජිකයන් සහ මහජනතාව බිහිවුණේ ඉබේම. ඒ යුගයේ අවශ්‍යතාව නිසා. ඒක ඉතිහාසයේ පටන් පක්ෂ බිහිවෙන්න හේතුවක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණෙත් එහෙම. ඒ වගේම මේ පවතින ඊනියා රජය බිහිවීමත් සමඟ මේ තත්ත්වය ඇතිවෙලා පක්ෂය හැදුණා. ඒකයි වුණේ.
ඔබේ තනතුර මොකක්ද?
තනතුරක් නෑ. සාමාජිකත්වය විතරයි.
තනතුරක් නැති ඔබ කොහොමද ඉදිරි පළාත් පාලන මැතිවරණය හසුරුවන්නේ?
එහෙමම කියන්න බෑ. තව විශාල පිරිසක් සමානව හෝ ඉදිරියෙන් හෝ පසුපසින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස්, ජාතික සංවිධාන වගේ විශාල පිරිසක් ඉන්නවා. ලක්ෂ 20කට අයත් පිරිසක් සාමාජිකත්වය අරගෙන තියෙනවා. ඒ වගේ ඉල්ලුමක් තියෙනවා.
මේ සියලු බලවේග හැදුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා හරහා. ඒත් මෙතෙන්දි ඔහුව පේන්නේ නෑ. පක්ෂයක් විතරයි පේන්න තියෙන්නේ?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂයකට පාටකට අයිති කෙනෙක් නෙමෙයි. එයා ජාතික නායකත්වයට පත්වෙලා ඉවරයි. අද මම දැක්කා එයාට විරුද්ධ වෙච්ච අය එයාගේ පොටෝ දාගෙන ඡන්දයට ලෑස්ති වෙනවා. වැරදි කියන්නේ නෑ. හැබැයි පක්ෂයක් හැටියට බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන ඉදිරියට යන අරමුණ අපිට තියෙනවා. අපේ ප්රතිපත්තිවල නැතිවෙලා තියෙන්නේ බණ්ඩාරනායක මහත්තයගේ සිතුවිලියි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ චින්තනයයි. ඒ නිසා එතුමාගේ වැඩිම අයිතිය තියෙන්නේ අපේ පක්ෂයට.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිව්වා ශ්‍රීලනිපයෙන් යන්නේ නෑ කියලා. ඒත් දැන් ඔහුත් ශ්‍රීලනිපයේ පිරිසකුත් නෙළුම් පොහොට්ටුවට වැඩ. සාමාජිකත්වයත් අරගෙන. ශ්රීලනිපය දෙකට කැඩීමේ පවට රාජපක්ෂලා කරගහන්න ඕන නේද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුවා නම් දෙකට කැඩුවේ වර්තමාන ශ්‍රීලනිපයේ සභාපති යැයි කියාගන්නා අය ඇතුළු නායකයෝ.
ඇයි මේ පක්ෂ දෙක එකතු කරන්න බැසිල් රාජපක්ෂට වුවමනාවක් නැත්තේ?
මම අහන්නේ එකතුවිය යුත්තේ මොකක්ද? මොකක්ද අපි දෙගොල්ලෝ අතර තියෙන සමානත්වය. එක පක්ෂයක හිටිය කාරණය විතරයි මෙතන තියෙන්නේ. නැත්තන් වෙන කිසිම හේතුවක් නෑ.
ඒ කියන්නේ ශ්‍රීලනිපයේ කට්ටිය කියන කතාව හරි. ඔබ තමයි මේක එකතු කරන්න බාධා කරන්නේ?
එහෙම හිතනවා නම් සතුටුයි. මොකද මෙතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ඉන්නේ. ප්‍රතිපත්ති ආරක්ෂා කරන කට්ටිය. ජනතාව ඉන්නෙත් අපිත් එක්ක. එහේ තියෙන්නේ නමයි, ලාංඡනයයි, බෝඩ් ලෑල්ලයි. ඔච්චර කයිය ගහන අයගේ වැඩ බලන්න. කට්ටියක් පුටුවෙන් ඉල්ලනවා. තව කට්ටියක් අතින් ඉල්ලනවා. බුලත් කොළෙන් ඉල්ලනවා. මොකක්ද මේ දේවල්වල තේරුම. ද්විත්ව චරිතනේ. උදේට කැබිනට් එකේ එකට ඉන්නවා. හවසට දෙගොල්ලෝ ගහගන්නවා. මොකක්ද මේ දේවල්වල තේරුම. එයා ගිහිල්ලා හංසයාගෙන් ඉල්ලනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයට පක්ෂයේ මහලේකම් හැටියට අස්සන් කරලා තිබ්බේ එයා. කරඬුවට අත තියලා දිවුරලා එයා ගියේ. කාර් එකට නගිනකොටත් එයා යන්නේ නෑ කිව්වේ.
මේ දෙගොල්ලෝ වෙන්වෙලා ඉන්නකොට එක්සත් ජාතික පක්ෂයට නෙමෙයිද වාසිය?
නෑ. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒකට මුක්කු ගහන, ඒක ආරක්ෂා කරන දොගොල්ලම එකපාර පරද්දන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය විතරක් පරද්දලා හරියන්නේ නෑනේ. පැරදුණත් ආයි ආණ්ඩුවක් පිහිටුවන්න එකතු වෙනවානේ.
දැන් බලාගෙන යනකොට ශ්රීලනිපයටත් ඔබලටත් පොදු හතුරා වෙලා ඉන්නේ ඔබ දෙගොල්ලොම?
ඔව් වෙන්න පුළුවන්. පොදු හතුරෙක් කියලා. හැබැයි අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ. ජනතාවට හතුරුකම් කරන ඕනම කෙනෙක් අපේ හතුරා.
ඔබට ඕනේ ශ්රීලනිපය ආයි රාජපක්ෂලා අතට එන්නද?
මට නම් කිසිම ඕනකමක් නෑ. මොකක්ද බෝඩ් ලෑල්ලක් විතරනේ? පාක්ෂිකයෝ අපි ගාව ඉන්නේ.
මහින්ද රාජපක්ෂට පාර හැදුවේ මහින්ද සුළඟ රැළියෙන්. ඒක පටන් ගත්තේ දිනේෂ්, විමල්, ගම්මන්පිල වගේ අය. කෝ ඒ අය අද නෑනේ? තරහවෙලාද?
නෑ... නෑ.... එහෙම කතා නෑ... ඔය සියලු දෙනා තමයි අපේ වැඩපිළිවෙළට ශක්තිය දෙන්නේ. පාන්දර දෙක තුන වෙනකල් හිටියා.
හැබැයි විමල් වීරවංශ ඇමැතිවරයා කිව්වා නාමයෝජනා ගැටලුවක් තියෙනවා කියලා?
ඒක හැමෝටම තියෙනවා. එතුමට විතරක් නෙමෙයි එතුමා නිවැරදි වෙන්න පුළුවන්.
ඔච්චර ආණ්ඩු විරෝධී බලවේගය ශක්තිමත් නම් ඇයි දෙන්නෙක් ගියේ ඔබලව අතහැරලා?
අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම් කවුරුත් ගියේ නෑ.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ගියානේ?
එහෙම කියනවා නම් ඒ පැත්තේ හිටිය අයත් දැන් එන්නේ. මේ ළඟදිත් නියෝජ්‍ය ඇමැති කෙනෙක් අයින් වුණේ?
මෙහෙන් ගිය කට්ටිය කිව්වේ නාමයෝජනා ගැටලුවක් නිසා කියලා?
හැබැයි එහෙන් ආපු අය ආවේ පක්ෂවල ප්‍රශ්න හින්ද නෙමෙයි. රටේ ස්වෛරීත්වයට වෙන හානිය රැකගන්න. සියලු ජාතික සම්පත් විකුණනකොට ඒවාට විරුද්ධවයි ඒ අය ආවේ. මේ කට්ටිය ගියේ ලැයිස්තුවල ප්‍රශ්න කියලා. ඇත්ත කිව්වා නම් ඉවරනේ මට නියෝජ්‍ය ඇමැතිකමක් ලැබෙනවා. වාහනයක් හම්බවෙනවා කිව්වා නම් ඉවරනේ. අපේ රටේ මිනිස්සුන්ටත් ජනවාරි 08 වෙනිදා වුණේ ඔය දේනේ. ඒ නිසා ඒ අය ගිය කාරණය දන්නේ නෑ තවම.
ඔබ ඒකාබද්ධ විපක්ෂය ගොඩනගපු මහින්දලාගේ ජනබලය පක්ෂයක් හදලා දාලා හයිජැක් කළා නේද?
වැඩකරන එකට එහෙම චෝදනා කරන්න පුළුවන්ද? අනික මේ ජනරැල්ල තිබ්බේ මහින්ද ජනාධිපතිතුමාට. ඒකනේ මහින්ද සුළඟ කිව්වේ. නැත්තන් ඕකට ජේ.ආර්. සුළඟ කියන්න තිබ්බනේ. මෙතන තියෙන්නේ සංවිධායක ව්‍යුහය සකසන එක. ඒක ලොකු අමාරු වැඩක්. ඒ නිසා එවැනි සංවිධානයක පක්ෂයක් තියෙන්න ඕන. නිකන් ෆුඩ්බොඩ් එකේ එල්ලිලා බස් එකේ යන්න බෑ. හොඳ පක්ෂයක් තියෙන්න ඕන.
ඒ බස් එකට අලුත් අයට වැඩිය ඔබතුමාගේ ගෝලබාලයන්ට තැන දුන්නේ?
පරණ කට්ටිය විතරක් නෙමෙයි අලුත් කට්ටියත් හුඟක් ඉන්නවා. ඒ වගේම පරණ කට්ටියට නොදුන්න තැනුත් තියෙනවා. හැබැයි ඒ අය අතඇරලා ගිහිල්ලත් නෑ අපිට.
මේ නාමයෝජනා සම්බන්ධ බලය තියෙන්නේ ඔබට. එතනදි වෙන දේවල් ගැන වගකීම ඔබ දන්නවද?
ඔව්. අපේක්ෂකයෝ 67,000 ඉල්ලුවා. දෙන්න පුළුවන් වුණේ 9,000කට විතරයි. උදාහරණයක් කියන්නම්. අපි ශ්‍රී ලංකා හමුදාවට බැඳෙන්න ඇප්ලිකේෂන් දානවා. එයා රිජෙක්ට් වෙනවා. එහෙම කියලා එල්.ටී.ටී.ඊ. එකට ගිහින් බැඳෙන්නේ නැනේ. දැන් අර ශ්‍රියානිලා කරලා තියෙන්නේ ඒ වගේ දෙයක්.
කොළඹ මහ නගර සභාවට ඕමාර් කාමිල් මහත්තය දාන්න ලොකු උත්සාහයක් ගත්තා නේද? මොකද ඒකට වුණේ?
මම නම් කිසිම උත්සාහයක් ගත්තේ නෑ. මං කිසිම පුද්ගලයෙක් පදනම් කරගෙන වැඩ කරන්නේ නෑ.
ඩිලාන් පෙරේරා ඇමතිවරයා කියනවා ශ්‍රීලනිප නාමයෝජනා ප්‍රතික්ෂේප වෙච්ච ආසනවලදී උදව් කරන්නේ පොහොට්ටුවට කියලා දැන් ඔබලාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙච්ච තැන්වලදී ශ්‍රීලනිපයට උදව් කරනවද?
එහෙම සාකච්ඡාවක් නෑ. අපි එවැනි තැන්වල නීතිමය කටයුතු සඳහා අරගෙන ගිහින් තියෙනවා. අපි කියන්නේ මේ සර්වජන ඡන්ද බලයේදී ජනතාවට අවස්ථාව දෙන්න ඕන තමන් කැමති කෙනාව තෝරන්න. දෙන්නම ඕන කෙනා නැත්තන් දෙන්නේ කාටද? නිකන් හරි අපි එකතු වුණා නම් එතකොට කාටද දෙන්නේ. සමහර තැන්වල අපිට ඉන්නවා ස්වාධීන කණ්ඩායම් එවැනි විකල්ප අපිට තියෙනවා. බලමු අපි මොකද කරන්නේ කියල. එහෙම තීරණයක් අරගෙන තියෙනවා නම් අපි අගය කරනවා ඒක.
ඩිලාන් පෙරේරා ඇමැතිවරයාට කිව්වා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි එකතුවෙලා කියල?
ඒක පුද්ගලික මතයක් වෙන්න ඇති. හැබැයි අපිට ඩිලාන් පෙරේරා මහත්තයා එක්ක වැඩ කරන්න පුළුවන්. අපිට හැමෝ එක්කම පුළුවන් වැඩකරන්න.
දැන් ඔබත් එකතුවෙන්න කැමැත්තක් නෑ. හැබැයි ජනාධිපතිවරයා සමඟ හොරෙන් දුරකථන සංවාද යනවා නේද?
ජනාධිපතිතුමා විතරක් නෙමෙයි වෙනත් දේශපාලන පක්ෂවල නායකයන් එක්කත් කතාබහ කරනවා. අනුර කුමාර දිසානායක මහත්තයත් කතා කළා.
එතැනදිවත් ආවේ නැද්ද පක්ෂ දෙක එකතු වෙන්න ඕන කියන එක?
නෑ. එහෙම කියන එක හරි නෑනේ කතාවුණේ මොනවද කියලා. එහෙම නොවෙන්නත් හේතුවක් නෑ.
එකතුවෙන්න බැරි සාධකය මොකක්ද?
හරි මට කියන්න එකතුවෙන්න තියෙන සාධකය මොකක්ද කියල. කාලයක් එකට හිටියා කියන එක විතරනේ සාධකයක් හැටියට තියෙන්නෙ.
ඉතිහාසයේ දේශපාලන පවුලක් හැටියට චෝදනා ලැබුවේ රාජපක්ෂ පවුල. එහෙම පවුලක් කොහොමද රටේ මිනිස්සු විශ්වාස කරන්නේ?
ඔය කියන චෝදනා හැම එකක්ම නිර්මාණ කරපු කතා. ඕවා නිර්මාණය කරන්නේ මාධ්‍ය. දැන් ෆේස්බුක් තියෙනවා. අනගාරික ධර්මපාලතුමාටත් මොකද කළේ. අන්තිමට එතුමා කිව්වා හිස ලංකාව පැත්තටවත් දාන්න එපා කියලා. මේ රටේ නායකයන්ට අද ඊයේ නෙමෙයි අපහාස කරලා තියෙනවා.
හැබැයි රාජපක්ෂවරැන්ටත් බලය තියෙන කාලේ ගොඩක් දේවල් අමතක වුණා නේද?
ඔව්. මේ වගේ පළිගන්න විදිහ අපිට අමතක වුණා.
සිල්රෙදි සිද්ධියේදී ඔබ නේද ඒ නියෝග දුන්නේ ලලිත් වීරතුංගට. ඒත් ඔබලා බේරුණා එතුමා හිරේ ගියා?
මගේ තනි නමක් ඕකට ගෑවිලාවත් නෑ. ඕක බුද්ධ ජයන්තිය වෙනුවෙන් පත්කළ කමිටුවකින් තමයි තීරණ ගත්තේ. ඊට පස්සේ ජනාධිපතිතුමා තමයි නියෝග දුන්නේ. ඒවා මේ නිත්‍යනුකූලව කරපු දේවල්. ඔය වගේ කතාවක් මම ඇහුවමයි.
ඇත්තද මේ පක්ෂ හදාගෙන කරගෙන එන්නේ 2020 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වෙන්න කියලා?
අනේ එහෙම බලාපොරොත්තුවක් නෑ. රටේ නායකයෝ බිහිකරන්නේ රටේ ජනතාව.
හිටපු ජනාධිපතිවරයා කවුද මේක ඇතුළේ?
එතුමා තමයි අපේ නායකයා රටේ නායකයා වෙන්න ඕනෙත් ඔහු.
නැවත ජනාධිපති කෙනෙක් වෙන්න අවස්ථාවක් නෑනේ?
එහෙම බාධා ආපු අවස්ථා තියෙනවා ලෝකේ. ඒවා ජයගත්ත අවස්ථා තියෙනවා. රුසියාව, බුරුමය වගේ රටවල් ජයගත්තා.
► ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ