2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ඒදා රට වික්කා අද අපි කළමනාකරණය කරනවා

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා
බැසිල් මට නම් පොරක් නොවේ  
විජේමුණි නෙවෙයි වෙසමුණිත් මහින්ද මහත්තයට බයයි  
අපි එ.ජා.පය කසාද බැඳලා නැහැ  
අප්පච්චි මළා කිව්ව නිසයි මම  පැරදුණේ  
මේක තමයි සුපිරි යහපාලනේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වෙච්ච ගමන් ඔබ කිව්වා අප්පච්චි මළා කියලා. දැන් මැරුණයි කිව්වට අප්පච්චි පක්ෂයකුත් හදාගෙන උඩට ඇවිත්. දැන් ශ්‍රීලනිපයට අභියෝගයක් නේද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිහාසයේ ඉඳලාම අභියෝග ඇවිත් තියෙනවා. ඒවා ජයග්‍රහණය කරලා තියෙනවා. ඔය මොන අභියෝගයක්වත් පක්ෂයට අභියෝගයක් නෙවෙයි. විජය කුමාරණතුංගල, චන්ද්‍රිකාල, අනුරල පක්ෂයේ නැති කාලේ ඉඳන් ඉන්න මිනිහෙක් මම. මැතිනියගේ ප්‍රජා අයිතියත් නැතුව වැඩ කළේ. ඒවා වැඩක් නෑ. ඔය පටන් ගත්තේ අප්පච්චි මළා කියන තැනින්නේ. ඇයි ඒක නැතුවම බැරිද? මෙහෙමයි. අපිට වැදගත් වෙන්නේ පංචස්කන්ධ නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති.
ඒත් පොහොට්ටුවත් ඔබලාත් පොදු හතුරෝ කියලා ඉන්ෙන දෙගොල්ලක්නේ?

අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න. එජාපයට ඕන අපිව පරාජය කරන්න. පක්ෂ දෙක එකතු කරලා දේශපාලන කසාදයකට ගිහින් නෑ. අපි ගිහින් තියෙන්නේ රාජ්‍ය කසාදයකට. බුදු හාමුදුරුවොත් කිව්වනේ පුද්ගලයෝ වැදගත් නෑ ධර්මයයි විනයයි වැදගත් කියලා. මෛත්‍රීපාල මහත්තයා ගාවත් ප්‍රතිපත්තියයි විනයයි තියෙන්නේ. ඒ නිසා අපි එතුමාව ගුරුතුමා කියලා සලකනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ශ්වයෙන් කියන්නේ ඔය රාජ්‍ය කසාදයේදී බණ්ඩාරනායක ප්‍රතිපත්ති පාවලා දුන්නා කියලා?

ශ්‍රීලනිප ප්‍රතිපත්ති පාවලා දුන්නා නම් එහෙම පාවාදීමක් වෙලා තියෙන්නේ ගිය අය අතින්. එහෙම නැතුව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ආරක්ෂා කරන අපි පාවාදීලා නෑ. අපියි පක්ෂය ආරක්ෂා කරන්නේ. මේක මැදුම්පිළිවෙත් පක්ෂයක්. අන්තවාදී පක්ෂයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන විදිහට ආණ්ඩු කරන්න බෑ. එතුමා කියන්නේ වරාය හදලා නිකන් තියපන්. වරායෙන් පටවන්න දේවල් තියෙන්න ඕන. එහෙම නැතුව වරායෙන් පටවන්නේ හුළංද? සංචාරක කලාප හැදෙන්න ඕන. සංචාරකයෝ ප්ලේන් එකෙන් බැහැලා එන්න තියෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ කර්මාන්තපුර හදපු පක්ෂයක්. එහෙම පක්ෂයක ප්‍රතිපත්ති ගැන බයවෙන්න දෙයක් නෑ. අපි මේ වරායත් එක්ක ඒවා හදනවා.මේ සත්‍ය දන්න නිසා මහින්ද මහත්තයා කොළේ වහලා ගහන්නේ. එහෙම ගහන නිසයි අපි ආණ්ඩුවේ ඉන්නේ. මොකද අපි ඕපන් ගහන්නේ.

ඔබතුමා ඔහොම කිව්වට?

ඔව් ඉතින් ඕන එකකුට ඕන දෙයක් කියන්න පුළුවන්.

නෑ. නෑ. ඔබතුමා ඔහොම කිව්වට මහින්ද මහත්තයා කියන්නේ රටේ ඉඩම් විකුණන්නේ මේ ආණ්ඩුව කියලා?

එහෙනම් පෝර්ට් සිටිය වික්කේ මහින්ද මහත්තයානේ. බණ්ඩාරනායක පිළිරුව එක්ක ඉඩම වික්කේ මහින්ද මහත්තයානේ. එහෙම බැලුවොත් මම හිතන්නේ නෑ එතුමා එහෙම කියයි කියලා. මොණරාගල හෙක්ටයාර 6000 ක් දුන්නා පෞද්ගලික සමාගම්වලට. ඒවා අධිසංවේදී කලාප. අන්න විකිණීම. මේක කළමනාකරණය රනිල් මහත්තයා කළා. යූ.ඇන්.පීය කළා කියලා කරේ දාන්නේ නෑ. අපි ආණ්ඩු කළේ හවුලේ. අපි ඒ වගකීම බාරගන්නවා. අත හෝදගන්නේ නෑ.

රාජපක්ෂ මහත්තයා කළා කියන දේවල්වලටත් ඔබ වගකියන්න ඕන එහෙමනම්?

බාරගන්නවා යම් ප්‍රමාණයකට.

ඇයි යම් ප්‍රමාණයක් කියන්නේ?

රාජ්‍යයේ සියයට 60ක මූල්‍ය කළමනාකරණ බලය තිබ්බේ මුදල් ඇමැති වෙච්ච විධායකයට. ඒක පවුලක් කළමනාකරණය කළේ. ඒ නිසා ඒක බාරගන්න බෑ. පෝර්ට් සිටිය දෙන පත්‍රිකාව මම දැක්කෙවත් නෑ. මම කැබිනට් ඇමැති වුණාට දැක්කේ නෑ. කොටින්ම අපිට දුන්න සොච්චමෙත් වැඩ කළේ බැසිල් රාජපක්ෂ. මම කරපු අමාත්‍යාංශවල කිසිදෙයක් කරන්න දුන්නේ නෑ. වනජීවී ඇමැති මම. ඒත් අලිවැට ගහන්නේ බැසිල්.

ඉස්සර හිටිය ඇමැතිවරු පෙනුමට විතරද?

ඒක මගෙන් නෙමෙයි අහන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන්. නැත්නම් බැසිල්ගෙන්. හැබැයි අපි නිකං හිටියේ නෑ. ඉන්න ගමන් අපි අපේ වගකීම රට වෙනුවෙන් ඉෂ්ඨ කළා. අලි හොරකම අල්ලද්දි අලිපොත නැතිවුණා කිව්වා. අපි නිකං හිටියෙ නෑ එහෙම කියලා. ඔය හැම ඇතකුටම මම ගාර්ඩ් එක දැම්මා. ඔය මරපු දළ පූට්ටුවාට හැම මාසෙම බෙහෙත් දැම්මා. එස්.ටී.එෆ්. එකෙන් දැම්මා ගාඩ් එකට.

ඔබ කියනවා බැසිල් රාජපක්ෂ වගකිව යුතු පුද්ගලයෙක් කියලා ඉස්සෙල්ලා ආණ්ඩුවේ ප්‍රශ්නවලට. ඒත් මේ නෙළුම් පොහොට්ටුවේ සංවිධායකකම් කරන්නෙත් එතුමා. ශ්‍රීලනිපයේ කට්ටිය ගිහින් කතා කරන්නෙත් ඔහුත් එක්ක?

බැසිල් රාජපක්ෂ කියන්නේ ඔය වගේ කොන්ත්‍රාත්තු කරලා පුරුදු කෙනෙක්. එතුමා රට දාලා යන්න ගියාම කවුද ගෙන්න ගත්තේ. එතුමාගේ නඩුවලට කොහොමද ඇප හම්බවෙන්නේ. අපි නම් ඒවා දන්නේ නෑ. එතුමාගේ ගේ කවුරුවත් නැති ගෙයක් බවට පත්වුණේ කොහොමද? ඕවා අපෙන් අහනවාට වඩා හොඳයි බැසිල්ගෙන්ම අහන එක. ඔය බැසිල් රාජපක්ෂ නැක්සලයිට් කුමන්ත්‍රණයට අපේ තාත්තලාව, විජය කුමාරණතුංගලා හිරේ දාලා ගාමිණී දිසානායක ගාවට ගියේ බඩ වියතට. බඩ වියතට පක්ෂය පාවලා දීලා ගියේ හුළුගල්ල ගාවට. අපි නොදන්න බැසිල්. අපිට ඔය පූජානම් නම් කියන්න බෑ රාජපක්ෂලාට. බැසිල් රාජපක්ෂ දැන් ඉන්න හාල් කෑලිවලට පොරක් වුණාට අපිට නම් පොරක් නෙමෙයි. ඕකමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට වැරදිච්ච තැන. හැමදාම මේ පක්ෂය විනාශයට යනකොට බැසිල් පක්ෂය අතහැරියා.

ඔබ කිව්වා බැසිල්ව ගෙන්නුවේ කවුද? ඇප ලැබෙන්නේ කොහොමද කියලා. මේවා ඔබලාගේ ආණ්ඩුනේ. අපෙන් අහලා හරියන්නේ නෑ නේද?

ඒක තමයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳගන්න ඕන. එජාපයේ අය කියන්නේ මේ වැරදිකාරයන්ට දඬුවම් දෙන්න ඕන කියලනේ. සමාජයේ කතාවුණේ ඒකනේ. එතනට ඇවිත් නෑනේ තවම. එතන විචිකිච්ඡාවක් තියෙනවා. මේ කූඹි ගිය තැන් වහලා වැඩක් නෑ. අලි ගිය හිල් වහන්න ඕන. ඒ නිසානේ නාමල්ලා බැසිල්ලා සමගියට විරුද්ධ. මහින්ද මහත්තයා නෙමෙයි. ඔය හැමදාම කැඩිලා ගිය කට්ටිය ගියේ හරි කියලා. පස්සේ සොරි කිව්වා කියලා ආවා. මහින්ද රාජපක්ෂටත් හරි කියලා ගිහින් සොරි කියලා එන්න වෙනවා.

මෛත්‍රීපාල මහත්තයත් ගියානේ පක්ෂය අතහැරලා?

ඔව්. ඉතින් අපි එයට විරුද්ධ වුණානේ. අපි ඡන්දය දුන්නේ නෑනේ. විරුද්ධවනේ වැඩ කළේ. ඔය කැබිනට් එකේ ඉන්න ගොඩක් දෙනෙක් විරුද්ධවනේ වැඩ කළේ. අපි කිව්වේ නෑ ඒක හරි කියලා. එතුමා ඒ ගියේ අපි කාටත් කරන්න බැරි වැඩක් කරන්න. අපි නකුට දෙපරැන්දෙ අස්සෙ ගහගෙන ඉන්නකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කොන්ද කෙළින් කරගෙන එළියට අඩිය තිබ්බේ. සරත් ෆොන්සේකා මහත්තයාට වෙච්ච දේ දැක දැක අඩිය තිබ්බේ අඩි 7ක් යටට. ඒ නිසා ඒක වෙනයි.

ඔබටත් තිබ්බනේ නකුට දෙපරුන්දේ ගහගන්නේ නැතුව එළියට එන්න?

බෑ. මට එච්චර හයියක් තිබ්බේ නෑ. මෛත්‍රීපාල මහත්තයාගේ පිටකොන්ද මට තිබුණේ නෑ. බොරු කියන්නේ නෑ. අනික මම පක්ෂය දාලා යන්නේ නෑ.

වෙනදට හරි කියලා ගිය අය සොරි කියලා ආවා. ඒත් මෛත්‍රීපාල මහත්තයා දින්නයින් පස්සේ ඔබලා සොරි කියාගෙන එතෙන්ට ගියා. එහෙම නේද?

නෑ. නෑ. සොරි කියලා ගියේ නෑනේ. ව්‍යවස්ථාව අනුව වුණේ. පක්ෂ ව්‍යවස්ථාවේ තියෙනවා පක්ෂයේ කෙනෙක් ජනාධිපති වුණොත් ඔහු පක්ෂයේ සභාපති වෙනවා කියලා. ඔය චන්ද්‍රිකාව එළියට දාන්න මහින්ද මහත්තයා කරපු දේ. අන්තිමට එයාටම වැරදුණා. අපි නෙමෙයි පුතෝ වැරැද්ද කළේ.

හැබැයි මොන දේ කිව්වත් මහින්ද මහත්තයා පැරදුණාම අප්පච්චි මළා කියලා කිව්ව වචනය නිසා නේද සොයිසාට මොණරාගල පරාද වෙන්න වුණේ?

ඒක ඇත්ත. මම පිළිගන්නවා. මට මුළු රටම ගැහුවනේ. මම මිනිස්සුන්ව රවට්ටලා නෑ. මිනිස්සුන්ට බොරු කියලා නෑ.

දැන් ඔය වගේ තත්ත්වයක් තුළ ප්‍රාදේශීය සභාව ටික දිනන්න පුළුවන් වෙයිද?

ඔව්. අපි හිතනවා පුළුවන් වෙයි කියලා. මෙහෙමයි පක්ෂ දේශපාලනය වෙනස්. මැතිවරණ දේශපාලනය වෙනස්. දැන් බලන්න ටිල්වින් මහත්තයා ඡන්දය ඉල්ලනවාද නෑ. එතුමා කරන්නේ පක්ෂ දේශපාලනය. ඒ වගේම තමයි පක්ෂයට දාන්නේ ජාතික ලැයිස්තුවෙන් පක්ෂයට ආදරේ මිනිස්සු. එහෙම නැතුව එයා දිනුවද පැරදුණාද? ඩොක්ටර්ද ආචාර්යද අනාචාර්යද? කියන එකට වඩා වැදගත් වෙන්නේ ඔහු පක්ෂයට කොතරම් වැදගත්ද කියන එක.

ඒ කියන්නේ ඉදිරියේ ඔබ ලැයිස්තුවෙන් එන්නේ?

මම ඉල්ලනවා. බයවෙන්න එපා. මැතිවරණයෙන් එන්නේ ඊළඟ පාර.

බැසිල් රාජපක්ෂ කියනවා යූ.ඇන්.පී එකයි ඒකට මුක්කු ගහපු අයයි පරද්දනවා කියලා. ඩිලාන් පෙරේරා කියනවා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ පොහොට්ටුවයි අතයි එකතුවෙලා කියලා. මොකක්ද මේ කතා ?

මේක ඩිලාන් පෙරේරාටවත් මටවත් තීරණය කරන්න බැහැ. අපේ සභාපති කෙනෙක් ඉන්නවා. මධ්‍යම කාරක සභාවක් ඉන්නවා. තව ගොඩක් තියෙනවා. ඒ වගේම මේ මැතිවරණයෙන් දිනන පිරිසත් ඉන්නවා. ඒ අයගේ අවසරය අරගෙන කරන්න ඕන. තනි පුද්ගලයකුට එහෙම කරන්න බෑ. පස්සේ බලමු.

ඔබ කිව්වේ නෙළුම් පොහොට්ටුවත් එක්ක සන්ධානගත වෙනවා කියලා?

කවදාවත් නෙළුම් පොහොට්ටුව එක්ක සන්ධාගත වීමක් නෑ. අනික පොහොට්ටුව කියන්නේ පක්ෂයක්ද? ජී.එලුයි, බැසිලුයි දෙන්නම යූ.ඇන්.පී කාරයෝ. අපි දන්නේ නෑ ඒ අය යූ.ඇන්.පීයට කඩේ යනවාද කියලා.

ඒ වුණාට විශාල ජන ප්‍රසාදයක් තිබ්බනේ. රැස්වීම්වලට පුදුම සෙනඟක් ඉන්නවනේ පොහොට්ටුවට?

ඇයි ඔය පහුගිය කාලේ විතරද දැක්කේ. මහින්ද මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලනකොට කොච්චර සෙනඟ හිටියද?

ඒත් පරාජය වුණාම සෙනඟ එනවද?

එහෙනම් ඔයා දැකලා නෑ සිරිමාවෝ මැතිනියට කොච්චර සෙනඟක් හිටියද? ඒත් අවුරුදු 17 ක් විපක්ෂයේ. මහින්ද මහත්තයත් කියන්නේ ඕකම කරන්න කියලා. මැතිනිය චන්ද්‍රිකා එනකල් විපක්ෂයේ. මහින්ද මහත්තයත් කියන්නේ නාමල් එනකල් විපක්ෂයේ ඉඳපන් කියලා.

ඉතින් ආණ්ඩුව එච්චර හොඳයි නම් ඇයි මේ ඇමැතිවරු අයින්වෙලා විපක්ෂයට යන්නේ?

ඇයි ආපු අය ගැන කතා කරන්නකෝ.

නෑ බලතල දාලා යනවා කියන්නේ වෙනම දෙයක්නේ?

කිසි අමුත්තක් නෑ. සමහරුන්ට දිනන්න පුළුවන් ලේසි හා පහසු ක්‍රම හොයනවා.

ඉතින් ඇයි පක්ෂ දෙක එකතු කරගන්න සූදානමක් නැත්තේ?

අපි පක්ෂ දෙකක් එකතු කරන්න සූදානමක් කොහෙත්ම නෑ. අපි හදන්නේ පක්ෂයෙන් ඉවත්වෙලා ගිය අය ගෙන්නගන්න. එහෙම නැතුව පක්ෂ එකතු කරන්න සූදානමක් නෑ.

යහපාලනය ගේනවා කිව්ව ආණ්ඩුව අන්තිමේ ඉතිහාසයේ ලොකුම වංචාව වන බැඳුම්කර චෝදනාවට ලක්වුණා. ඇයි හොරකමකට ගෑවුණේ?

යහපාලන ආණ්ඩුවක්ද, මිලිටරි ආණ්ඩුවක්ද කියන එක හොරාට වැදගත් නෑ. හොරාට වැදගත් හොරකම. යහපාලන ආණ්ඩුවක් තිබ්බ නිසා තමයි මේ හොරු අල්ලන්න ක්‍රමයක් හැදුවේ. ඉස්සෙල්ලා ආණ්ඩුවේ හොරකම් තවම හොයලා නෑ. මේ යහපාලනය නිසා තමයි මහ බැංකු අධිපති ගෙදර ගියේ. මුදල් ඇමැති ගෙදර ගියේ. අගමැතිතුමා කොමිෂන් ආවේ. ඒ නිසා මේක සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්, සුපිරි යහපාලනයක්.

හරි ඔබට පොරොන්දුවක් දෙන්න පුළුවන්ද මේ හොරුන්ට දඬුවම් ලැබෙයි කියලා?

අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ දේවල්වලට විතරක් නෙමෙයි. ඉස්සෙල්ලා ආණ්ඩුවේ ඒවා වලට පවා දඬුවම් ලැබෙයි.

හැබැයි මේ සිද්ධිය නිසා සමහර ඇමැතිවරු ප්‍රසිද්ධියේ ජනාධිපතිව විවේචනය කළා?

අද ඊයේ නෙවෙයි. එදත් තිබ්බා. බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ කැබිනට් වර්ජනය කළා. මෛත්‍රී මහත්තයා ඔය අඳබාලයන් කියන කරන දේවල් ගණන් ගන්නේ නෑ. මම නම් කියන්නේ එහෙම කෑගහන්නේ නැතුව ඉන්න ඕන. ගලේ පැහැරුවා නම් වහන්න යන්න නරකයි. හත්පොළේ ගාගන්න වෙනවා. ගලේ පැහැරුවා නම් පවනේ වේලන්න යවන්න ඕන. දැන් වුණේ ගලේ පහරලා වහන්න ගියාම හත්පොළේ ගාගත්තා.

ඇයි මේ ආණ්ඩුව හැම ප්‍රශ්නයක්ම අල කරගන්නේ. දුම්රිය වර්ජන, තෙල් හිඟවෙනවා. මොකද මේ?

වෙඩි තියලා මරන්නේ නෑ. ඒ කාලේ මහින්ද මහත්තයගේ ආණ්ඩුවට බයයි.

ඔබලත් බයයිද මහින්ද රාජපක්ෂ මහත්තයට?

ඔව්. අපිත් බයයි. විජේමුණි විතරක් නෙමෙයි වෙසමුණිත් බයයි. මහින්ද මහත්තයා එනවා නම් වෙසමුණියත් මඟහැරලා යනවා. දැන් මිනිස්සු බය නෑ. රතුපස්වල වෙඩි තියලා මැරුවා. හොරෙන් මැරුවා. නොමරා මරපුවා ඒ දවස්වල කීයක් කතන්දර තියෙනවද? වැඩක් නෑ කතා කරලා.

ඒ දේවල්වලට ඔබලත් වගකියන්න ඕන එහෙනම්?

හරි කතාවක්නේ. මේ ආණ්ඩුව ගලේ පහරපු උන්ට අපිට වගකියන්න පුළුන්ද? ඒ වගේ ඒ කාලෙත් කරපු උන් ඉන්නවා නම් උන්ව අල්ලලා හිරේ දාන්න ඕන.

කට නිසා තමයි පරාද වුණේ ගියපාර. දැන්වත් කට බේරගෙන වැඩ කරනවද?

නෑ. කතා කරන එක නවත්වන්නේ නෑ.

► ගයාන් ගාල්ලගේ
සේයාරූව I සුමුදු හේවාපතිරණ