2018 ජනවාරි 06 වන සෙනසුරාදා

මැති ඇමතිලාට හොඳ පාඩම්

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

සමහර දේශපාලනඥයන්ට මැති ඇමැති පදවි ලැබීම වැල්ලේ ගැහුවත් කැරකෙන බමරයක් වැනිය. අත ගසන හැමදේම රත්තරන් වන්නේය. සියලු වාසි තමන්ගේ පැත්තටම කරකැවෙයි. රටට කුමන පාඩුවක් වුණත් මගේ මඩිය තර වේ නම් ඒ ඇති යන න්‍යාය මෙවැනි දේශපාලනඥයන්ගේ තේමා පාඨය බවට සැකයක් නැත.

වැල්ලේ බමර කරකවන දේශපාලනඥයන් අමාරුවේ වැටෙන්නේ බලය ගිලිහී ගිය දාටය. පොලීසි, උසාවි, හිර ගෙවල්වල තම විවේක කාලය ගෙවීමට සිදුවන්නේ පොත් ලිවීමට සිදුවන්නේ එවැනි අපල කාලයක් උදා වූවිටය. කොතරම් වැරදි කළත් බලයේ සිටියදී චෝදනා විමර්ශන විභාගවලට මුහුණ දීමට මැති ඇමැතින්ට සිදුවන අවස්ථා අපේ රටේ දේශපාලනයේ ඇසීමට ලැබෙන්නේ කලාතුරකිනි. එවැනි කලාතුරකින් ලද හැකි අත්දැකීමක් දැන් කරළියේ පෙරළි කරමින් සිටී. බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මෙම පෙරළියට හේතුවය.

මෙවැනි වාර්තාවක් මගින් පවතින රජයේ මැති ඇමැතිවරුන්ගේ නිලධාරීන්ගේ නම් සඳහන් වීම සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය නොහැකිය. මේ රටේ දේශපාලනයේ මෑත අතීතය සකලා බැලීමේදී එය පැහැදිලිව වටහා ගත හැකිය. විවිධ ආණ්ඩු මගින් විවිධ දූෂණ - වංචා පිළිබඳව වෛවාරණ කොමිෂන් සභා පිහිටුවනු ලැබුවත් ඒවායේ ප්‍රතිඵල ගඟට කැපූ ඉනි සේ විය. ඒවායේ වාර්තා නැවතුණේ මකර කටේය. රටේ ජනතාව දැකබලා ගත්තේ කොමිෂන් වාර්තා රටේ ප්‍රධානීන්ට පිරිනමන ඡායාරූප සහ රූපවාහිනී රූප රාමු පමණි. බොහොමයක් වාර්තා එම ඡායාරූපවලටම පමණක් සීමා විය. 

වත්මන් ජනාධිපතිවරයා ඒ අතින් ඉදිරි පියවර ගණනාවක් තබා තිබේ. මුලින්ම ඔහු විවිධ බාධා කිරීම් මැද බැඳුම්කර වංචාව පිළිබඳව කරුණු සෙවීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය. එහි සාමාජිකයන් වශයෙන් රටේ සියලු දෙනාටම පිළිගත හැකි පුද්ගලයන් පත් කිරීමට ද ඔහු වගබලාගෙන තිබිණි. එම කොමිෂන් සභාවට තම කටයුතු නිදහසේ කරගෙන යාමට අවශ්‍ය වාතාවරණය ද සකස් කර තිබිණි. ඊළඟට එහි වාර්තාව රටට ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කර ඒ පිළිබඳ කෙටි විස්තරයක් රට හමුවේ තැබීමට ද ජනාධිපතිවරයා ක්‍රියා කළේය. එය හොඳ පූර්වාදර්ශයක් වනු ඇති බව අපගේ වැටහීමය. 

බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් ජනාධිපතිවරයා විසින් උපුටා දක්වන ලද කරුණු අතර නම් සඳහන් වූ එක් ඇමැතිවරයකු වූයේ රවී කරුණානායකය. නිලධාරියකු වූයේ අර්ජුන මහේන්ද්‍රන්ය. ඔවුන් දෙදෙනා තවමත් නීතිය හමුවේ වැරදිකරුවන් නොවූව ද තමන් නිවැරදිකරුවන් බවට නිදොස් විය යුත්තේ උසාවිය හරහා බව ඔවුන් දැන සිටීම අවශ්‍යය. මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තුළින් පමණක් නිදොස් විය නොහැකි බව අවබෝධ කර ගැනීම අවශ්‍යය. 

අපේ රට ලොව දූෂිතම රටවල් ලැයිස්තුවේ ඉහළම ස්ථානයක්... එනම් අංක 04 හිමිකර ගැනීමට සමත් වී සිටින බව පසුගියදා අනාවරණය කර තිබුණේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගිනි. ඔවුන් අදාළ දත්ත උපුටාගෙන තිබුණේ වත්කම් ප්‍රතිසංවිධානය සඳහා වන ගෝලීය සංසදය නම් අන්තර්ජාතික ආයතනය මගින් සිදු කරන ලද සමීක්ෂණයක් ඇසුරිනි. මේ සමීක්ෂණයේ නිරවද්‍යභාවය හෝ ලොව තුළ ඊට ඇති පිළිගැනීම කොතරම්දැයි අපි හරිහැටි නොදනිමු. එහෙත් කුමන තත්ත්වයක් යටතේ වුවුද එවැනි සමීක්ෂණයක ඉහළට පැමිණීම රටට ඇති කරන්නේ බලවත් කැළලකි. අපේ රටේ නම ටියුනීසියාව, නයිජීරියාව වැනි රටවල් සමග සඳහන් වීම මහත් සංවේගයට කරුණකි. මේ අපවාදය ඇති වීමට මූලිකවම වගකිව යුත්තේ කාලාන්තරයක් තිස්සේ අප රට කරවූ පාලකයන් මිස කරටේ ජනතාව නොවේ. එහෙත් දූෂිත පාලකයන් යළි යළි බලයට පත් කිරීම සඳහා තම ඡන්දය ලබාදීමෙන් ජනතාව ද එම වරදට හවුල් වී සිටින බවද කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.
දූෂණය සහ වංචාව පිටුදැකීමට නම් එය ආරම්භ කළ යුත්තේ ඉහළ සිට බව අපි කියමු. ඉහළ යනු රට පාලනය කරන ආණ්ඩුවේ ප්‍රධානීන් මිස වෙන කිසිවකු නොවේ. බැඳුම්කර කොමිසමේ වාර්තාව නිකුත් කිරීම පමණක් නොව පසුගිය රජය කාලේ සිදු වූ දූෂණ වංචා සෙවීම සඳහා පත්කරන ලද බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව ද දැන් බාරදී තිබේ. එම කොමිසම මගින් විමර්ශනය කරන ලද දූෂණ ක්‍රියා 34ක වාර්තා මේ වනවිට බාරදී තිබේ. එයින් 17ක තොරතුරැ මීට වසර එකහමාරකට පමණ පෙර බාර දී තිබූ අතර ඊයේ පෙරේදා ජනාධිපතිවරයා අතට පත් කර තිබුණේ ඉතිරි 17 තොරතුරුය. මේ සිදුවීම් සම්බන්ධයෙන් ද සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. එය එසේම විය යුතුය. එහෙත් කලින් බාරදුන් දූෂණ ක්‍රියා 17 පිළිබඳව වාර්තා වසර එකහමාරක් තිස්සේ පුස් කකා තිබීම දූෂණ ක්‍රියා පිටුදැකීමට කිසිම අයුරකින් උදව් නොවන බව ඒ සමඟ සඳහන් කළ යුතුය. බැඳුම්කර වාර්තාවේ නිර්දේශ මත ක්‍රියාත්මක වීම අවශ්‍ය වන්නා සේම බරපතළ දූෂණ සෙවීමේ කොමිසමේ වාර්තාව අනුව ක්‍රියාත්මක වීමද අවශ්‍ය බව අපි කියමු.

මේ රටේ ජනතාවට අවශ්‍ය වන්නේ දූෂණ සහ වංචාව අවම වූ රටක ජීවත් වීමය. එවැනි රටක පුරවැසියන් බව පැවසීම පවා ආඩම්බරයට කරැණකි. නමුත් කරැමය වන්නේ රටේ ඇතැම් මැති ඇමැතින්ට මේ බව නොවැටහීමය. මඩේ ලගින ඌරන් මෙන් ජරාව ඇත්තේ කොතැනද එතැනට ඇදී ගොස් ජරාව අනුභව කිරීම එවැනි මැති ඇමැතින්ගේ ගති සොබාවය. ඒ බව අපි අතීතයේදීත් දැක ඇත්තෙමු. වර්තමානයේත් දකිමින් සිටිමු. අඩුම වශයෙන් අනාගතයේදී හෝ මේ මඩේ ලගින ඌරන් දේශපාලනයෙන් අතු ගා දැමීමට බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවත් බරපතළ දූෂණ සෙවීමේ කොමිෂන් සභා වාර්තාවත් උදව් වනු ඇතැයි අපි බලාපොරොත්තු දල්වාගෙන සිටිමු.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00