පාර්ලිමේන්තුව කලින් කැඳවයි?
පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 23 වැනිදාය. එසේ වුවද එදිනට පෙර පාර්ලිමේන්තුව කැඳවන්නැයි එ.ජ.නි.ස, ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයා ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. බැඳුම්කර කොමිසමේ වාර්තාව විවාදයට ගැනීම එහි අවශ්‍යතාව වශයෙන් සඳහන් වී තිබේ. මේ ඉල්ලීම පසුගිය 04 වැනිදා පැවැති මාධ්‍ය හමු තුනකදී එ.ජ.නි.ප මහ ලේකම් මහින්ද අමරවීර, ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන සහ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් යන මැති ඇමැතිවරුන් විසින් සඳහන් කර තිබුණි.
කෙසේ වුවද මෙවැනි ඉල්ලීමක් මුලින්ම ඉදිරිපත් කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසිනි. එය නියෝජනය කරන මන්ත්‍රීවරැන් 55 දෙනකුගේ අත්සන් සහිතව පසුගිය දෙසැම්බර් 29 වැනිදා කථානායකවරයාට යොමු කරන ලද ඉල්ලීම රැගත් ලිපිය දැන් ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතේය. පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර කැඳවිය යුතු බවට නියෝග කළ හැක්කේ අගමැතිවරයාටය. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අගමැති හැකියාව තිබෙන බවය. ජනාධිපතිවරයාටත් දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. මහ බැංකු විමර්ශන වාර්තාව බාරදී ජනාධිපතිවරයා ද ප්‍රකාශයක් කර ඇති නිසා එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම නිවැරදි ක්‍රියාවයි. අපි ලිපිය යැවූ දිනයේ ඒක අදාළ කාරණාවක් නොවුණත් දැන් එම වාර්තාව මන්ත්‍රීවරුන් අතට පත් කිරීම අවශ්‍යයි. ස්ථාවර නියෝග අනුව මේ කාරණාව දැන් අගමැතිවරයාට යොමු කර තිබෙනවා. දිනේෂ් කියයි.
කෙසේ වුවත් ඒකාබද්ධ විපක්ෂය දෙසැම්බරයේ යැවූ ලිපියේ සඳහන් වී තිබුණේ රටේ උද්ගතව තිබෙන බරපතළ ආර්ථික කඩා වැටීම් පිළිබඳව සාකච්ඡා කිරීමට වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවය. ඊ.ටී.අයි (එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස්) සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් සමාගම් මහ බැංකුවේ අධීක්ෂණයට යටත් කිරීම රටේ ආර්ථිකයේ කඩා වැටීමක ලක්ෂණ බවත් තත්ත්වය තවත් බැරූරුම් වීමට පෙර පාර්ලිමේන්තුව කැඳවා ඒ ගැන සාකච්ඡා කළ යුතු බවත් එම ලිපියේ සඳහන් කරුණු අතර විය.
- ඩේලි එෆ්.ටී
චීන මංගල්ලේ බිල ගෙවන්නේ කවුද?
චීනයේ තරුණ ජෝඩු සියයකගේ කොළඹ පැවැති විවාහ මංගල්‍යයට මහත් ප්‍රසිද්ධියක් ලැබී තිබිණි. ඉන් පසුව අමුත්තන් 600ක් වෙනුවෙන් බත්තරමුල්ලේ ප්‍රමුඛ පෙළේ හෝටලයක ප්‍රිය සම්භාෂණයක් ද පැවැත්විණි.
මේ තරුණ ජෝඩු කෙටි මධුසමයකින් පසුව සිය රට බලා ගියහ. ඔවුන්ගේ ඥාතීහු ද ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳ ආපසු ගියහ. මේ මංගල්‍යයේ පසුපස කතා එළියට එන්නේ දැන්ය.
මේ මහා මඟුල සංවිධානය කළේ සංචාරක ප්‍රවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු ඇමැතිවරයාගේ සමීප උපදේශකයකුගේ සහෝදරයකුට අයත් පෞද්ගලික සමාගමක් මගිනි. කොමියුනිස්ට් චීනයේ රාජකීය කතාවක් නැතත් මේ අවස්ථාව නම්කර තිබුණේ ශ්‍රී ලංකාවේ රාජකීය මහා මංගල්‍යොත්සවය යනුවෙනි.
සංවිධායක සමාගම කියා තිබුණේ උත්සවය පැවැති කොළඹ පුරහල් පිටිය ඉතාම අලංකාර ලෙස සරසා තිබූ බවය. චීනයේ සිට පැමිණි 500ක් අමුත්තන්ට එහි ඉඩකඩ සලසා තිබූ බවද සඳහන් විය. සංචාරක අමාත්‍යංශය ද මෙයට හොඳ තල්ලුවක් දෙනු ලැබුවේ මේ සිද්ධිය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හේතු විය හැකි බැවින් විය යුතුය.
කෙසේ වුවද සියල්ල කනපිට පෙරළුණේ සමාගම මගින් මේ මංගල්‍යය උළෙලේ සහ ඉන්පසුව පැවැති ප්‍රිය සම්භාෂණයේ බිල ගෙවන්නැයි සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති උදය නානායක්කාරගෙන් ඉල්ලීමක් කිරීමත් සමගිනි. මේක හරියට කපුවගේ වැඩේ විතරක් නෙවෙයි. මඟුල් ගෙදරත් වියදම රජයට දරන්න වීමක් යැයි එක් නිලධාරියෙක් කියා තිබිණි.
උදය නානායක්කාර මහතා එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කියා තිබුණේ මෑතකදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සංචාරක අමාත්‍යවරයා මේ උත්සවය සඳහා තම අමාත්‍යංශයෙන් හෝ අමාත්‍යංශය යටතේ ඇති කිසිදු ආයතනයකින් හෝ වියහියදම් නොදරණු බව ප්‍රකාශ කර ඇති බවයි. මේ නිසා එම ඉල්ලීම තම මණ්ඩලයේ පාලනාධිකාරියට යොමු කිරීමට තමන්ට හැකියාවක් නැති බව ඔහු කියා තිබිණි.
එහෙත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉන්පසුව සභාපති නානායක්කාර මහතා වෙත ලිඛිත නියෝගයක් දෙමින් කියා ඇත්තේ මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමට ලැබීම අපේ වාසනාවක් බවය. මේ නිසා අදාළ සමාගමට රැපියල් මිලියන 3ක (ලක්ෂ 30ක) ගෙවීමක් කිරීමට තමන් රෙකමදාරු කරන බවය.
සභාපති නානායක්කාර මහතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ භාණ්ඩාගාරයේ හෝ පාලනාධිකාරයේ හෝ අනුමැතිය නැතිව තමන්ට එවැනි ගෙවීමක් සිදුකළ නොහැකි බවය. බිල තවමත් එතැනය.
- සන්ඩේ ටයිම්ස්