බැඳුම්කර කොමිසමේ වාර්තාව එළියට එනතුරු එවැනි වාර්තාවක් මෙතරම් ඉක්මනට එනු ඇතැයි සිතුවා නම් ඒ බොහොම ටික දෙනෙකි. නමුත් දෙසැම්බර් 31 වැනිදා වනවිට ජනාධිපතිවරයා අතට බාරදෙනු ලැබූ වාර්තාව ගැන 03 වැනිදා තමන් විශේෂ ප්‍රකාශයක් කරන බවට ජනාධිපතිවරයා කියන විට යථාර්ථය තවදුරටත් ඈත නොවන බව රටේ මිනිස්සුන්ට දැනුණේය. එම දැනීම ඉහළම මට්ටමින් සිදුවූයේ දේශපාලනඥයන් අතරය. එයට ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයක් තිබුණේ නැත. වෙනසක් තිබුණේ නිල විපක්ෂය වන ටී.එන්.ඒ. කණ්ඩායම පමණි. බැඳුම්කර වාර්තාව රටේම පෙරළි කරන විට නිල විපක්ෂය ෆෙඩරල් කතාබහේම එල්ලී සිටීම විශේෂයක් විය.
මහ පොළොව දෙදරවාගෙන, ගහකොළ අඹරවාගෙන යන සුළි කුණාටුවක් වැනි හෙළිදරව්වක් ජනාධිපතිවරයා අතින් 03 වැනිදා සිදුකෙරෙනු ඇතැයි බොහෝ දෙනකු තුළ යන්තම් හෝ බලාපොරොත්තුවක් තිබෙන්නට ඇත. එහෙම වුණත් හවුල් ආණ්ඩුවක ගති සොබාව දන්නා අය වැදගත් කිසිවක්ම ප්‍රකාශයේ සඳහන් නොවනු ඇතැයි සිතන්නටද ඇත. එහෙත් ජනපතිගේ ප්‍රකාශය එම අදහස් දෙකේම සංකලනයක් විය. කඩුව කොපුවෙන් ගෙන මඳක් ලෙලවා එසේම තිබෙන්නට හරින බවක් පෙනෙන්නට තිබිණි. එම ප්‍රකාශයේ කිහිප දෙනෙකුගේ නම් සඳහන් වුවද ඔවුන්ට එරෙහිව ඍජුව චෝදනා නැගීමක් එම ප්‍රකාශය තුළින් සිදුවූයේ නැත. එහෙත් යූ.එන්.පී.යේ මොරාල් එකට වදින යෙදුම් ගණනාවක්ම ඊට ඇතුළත් වූ බව එය කියවාගෙන යනවිට පැහැදිලි වෙයි.
එපමණක් නොව එම ප්‍රකාශය තමන් ඉදිරියේදී තෝරා ගැනීමට බලාපොරොත්තු වන දේශපාලන ගමන් මඟ ගැන පැහැදිලි ඉඟියක් ලබාදී තිබුණේය. තමන් වංචා - දූෂණ රජයන ආණ්ඩු පවතින රටක ඒවාට එරෙහිව සටන් වදින නායකයකු සේ ඉස්මතු වීමට තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සූදානම් බව එම ඉඟිය විය. බලයට පත්වී අවුරුදු තුනකට පසුව රටපුරා ක්‍රියාත්මක වන ඡන්දයකට සති කිහිපයක් තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීමත් අදාළ බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සූදානම්වීමත් හොදින් ගණන් හදා ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළක් බව වටහා ගැනීම දේශපාලන පොරපිටියේ ඔස්තාද්ලාට අසීරු නොවනු ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ විශේෂ සඳහන් කිරීම් ගණනාවක් තිබුණේය.
ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නීතිපතිගේ උපදෙස් අනුව ඉදිරියේදී වගකිව යුතු අයට එරෙහිව කඩිනමින් කටයුතු කරනවා.
මෙම කොමිෂන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වයක් 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිෂන් සභාවේ අදහසයි. වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිෂන් සභාව සඳහන් කරනවා.
මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමේදී ගරු අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වෙනවා.
ප්‍රකාශය අවසන් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙසේය. මේ කොමිෂන් සභා පත්කිරීම කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන හෝ මෙම කොමිෂන් සභා මා විසින් පත් නොකළ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුද්ගලයන් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙනවා.
මේ ප්‍රකාශය යූ.එන්.පී.යට සිතන්නට බොහෝ දේවල් ඉතිරිකර තිබෙන බව ඉතාම පැහැදිලිය. ජනාධිපතිවරයා මේ කතාව අතරතුරදීම බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව ලබාදුන් වාර්තාව ගැනද සඳහන් කළේය. ඒ සම්බන්ධ කටයුතු ඉදිරියේදී සිදුකෙරෙන බවද ජනාධිපතිවරයා කීවේය. මේ වගන්ති කිහිපය යූ.එන්.පී.යට අදාළ නැත. එය කෙළින්ම මහින්ද රාජපක්ෂ පාලන කාලයට අදාළය. ජනාධිපතිවරයා යූ.එන්.පී.යට එරෙහිව කඩුව ළෙලවා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂයට පෙනෙන්නට කඩුව මුවහත් කරන බවක්ද එම ප්‍රකාශවලින් ඇඟවෙයි.
මහින්ද රාජපක්ෂ නම් කියා තිබුණේ එවැනි විමර්ශනයක් අරඹන්නේ නම් තමන් එයට කැමැති වන බවය. යූ.එන්.පී.යද ජනාධිපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊට පසුදිනම (04) නිවේදනයක් නිකුත් කළේය. සුදුසු ක්‍රියාමාර්ග නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගනු ඇතැයි අපේක්ෂා කරන බව එහි සඳහන් විය. එහි වඩාත් වැදගත් සඳහනක් වූයේ බැඳුම්කර නිකුතුව සම්බන්ධව සුදුසු නෛතික පියවර ගැනීමේ වගකීම 2016 වසරේ දෙසැම්බරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද 2018 ජනවාරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද නීතිපති දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බවට කළ ඇති සඳහනය. බැඳුම්කර නිකුතුව ගැන නීති කටයුතු මුලින්ම ආරම්භ කළේ යූ.එන්.පී. බව එම නිවේදනය මගින් කියන බව පැහැදිලිය. එසේම යහපාලන ජාතික ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිගරුක පිළිවෙත මෙම ක්‍රියාමාර්ග ඔස්සේ යළි තහවුරු කිරීමට තමන්ට හැකි වූ බවද එහි සඳහන්ය. පසුගිය ආණ්ඩුවේ ද්වේශ සහගත ක්‍රියාකලාපය පිළිබඳවද එහි සඳහනක් කර තිබේ. එසේම 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ නිසි පරීක්ෂණ සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවද එම නිවේදනය කියයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ හෝ යූ.එන්.පී.යේ නිවේදනය කළ හෝ හවුල් ආණ්ඩුවේ දෙදරීමක් පිළිබඳව ඉඟියක්වත් නැත. එසේ වුවත් ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස කියන්නේ පාර්ලිමේන්තුව ඉක්මණින් කැඳවා බැඳුම්කර වාර්තාව පිළිබඳව විවාදයක් පැවැත්විය යුතු බවය. ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදී බ්‍රහස්පතින්දා (04) පැවැති මාධ්‍ය හමුවේදී මහින්ද අමරවීර කියා තිබුණේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවත් බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසමේ වාර්තාවත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගත යුතු බවය. නමුත් මෙහිදී අමරවීර කළ අදහස් දැක්වීම කෙළින්ම යූ.එන්.පී.යට එරෙහි වීමක් බව පෙනෙන්න තිබුණි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මුලින්ම අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කළ පුද්ගලයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත් මා ආඩම්බරයට පත්වෙනවා. කොමිසම පත්කළ අවස්ථාවේ එය එජාපය බේරා ගැනීමට හා බැඳුම්කර සිද්ධිය යට ගැසීමට සිදුකළ දෙයක් බවට ඇතැමුන් චෝදනා කළත් එය එසේ නොවන බව දැන් තහවුරු වෙලා තිබෙනවා. යැයි අමරවීර කියා තිබුණේය.
මෙය කෙළින්ම ඡන්දයේ වාසිය ශ්‍රීලනිපය වෙතට හරවා ගැනීම සඳහා කළ කතාවක් බව පැහැදිලිය. ශ්‍රීලනිපය ඡන්දය ඉල්ලා තම පාක්ෂිකයන් ළඟට යාමට නම් ඔවුන් දැඩි ලෙස යූ.එන්.පී. විරෝධී ස්ථාවරයකට යා යුතුය. මහින්දලාගේ පොදුජන පෙරමුණ දැඩි ලෙස යූ.එන්.පී. විරෝධී ස්ථාවරයක් පෙන්නුම් කළේ ඒකාබද්ධ විපක්ෂය ආරම්භයේ සිටය. ජනාධිපතිවරයා යූ.එන්.පී.යට ඍජුවම පහර නොගැසුවත් ශ්‍රීලනිපයට එසේ සිටිය නොහැකිය. ඔවුන්ට තරගය ඇත්තේ යූ.එන්.පී. සමඟ නොව ශ්‍රීලනිපයේ සාමාජිකත්වය අතිවිශාල ලෙස ආකර්ශනය කරගෙන සිටින පොදුජන පෙරමුණ සමඟ වීම ඊට හේතුවය. පොදුජන පෙරමුණ අතදිග හැර යූ.එන්.පී.යට පහර දෙයි. රටම විකුණාගෙන කන බවට, රට දෙකඩ කිරීමට පිඹුරැපත් හදන බවට දැඩි මතධාරී යූ.එන්.පී. විරෝධයක් කර තබාගෙන යයි. මෙහිදී ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසට සිදුවන්නේ ඊටත් වැඩි යූ.එන්.පී. විරෝධයකට තල්ලු වීමටය. එසේ නොවුණහොත් ඡන්දය ගැන කතාකර වැඩක් නැති වනු ඇත.
මේ අතර මාධ්‍ය හමුවේදී ආචාර්ය සරත් අමුණුගම කියා තිබුණේ මේ ගෙන ඇති පියවර නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාස ගතවනු ඇති බවය. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමුණුගම ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාට චෝදනාවක් එල්ල වී නැති බවය. මෙය දේශපාලනික කරුණක් කර නොගත යුතු බවත් මේ කොමිසම පත්කළේ දේශපාලන පක්ෂයකට ඇඟිල්ල දිගු කිරීමට නොවන බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. නමුත් මැතිවරණයක් අබියස යූ.එන්.පී.ය සහ එහි නායකයන් ආරක්ෂා කිරීමට යාම මහින්දලාගෙන් එල්ල වී තිබෙන බලවත් අභියෝගය තව තවත් වැඩිකරන බව පැහැදිලිය. කොහොම කිව්වත් ඡන්ද වේදිකාව උණුසුම් වන විට බැඳුම්කර වාර්තාව ප්‍රබලම මාතෘකාවක් වීමට හොඳටම ඉඩ තිබේ.
බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යූ.එන්.පී.යේ නොසතුටට හේතුවන බව අමුතුවෙන් කිවයුතු නැත්තේ එබැවිනි. එය ඡන්දයට පෙර සභාගත නොකළ යුතුය යන මතයේ යූ.එන්.පී. සිටින බවද දැනගන්නට තිබේ. පවතින වාතාවරණය යටතේ එය හොඳ විකල්පයක් විය හැකි වුවද මහින්දලාගෙන් එල්ල වෙන අභියෝගයේ බලපෑම ඉහළ යනවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ පාර්ශ්වයට දැඩි යූ.එන්.පී. විරෝධී ස්ථාවරයක් ගැනීම හැර වෙන විකල්පයක් නැත.
පුංචි ඡන්දයේ කැම්පේන් එක තවම පවතින්නේ ළදරු අවධියේය. තව සති දෙකකින් පමණ මෙහි උණුසුම රටපුරාම පැතිර යනු ඇත. එවිට බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවේදී සභාගත වී තිබුණොත් එය යූ.එන්.පී.ය හැර සෙසු සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවලට හොඳ කටගැස්මක් වීම වැළැක්විය නොහැකි වනු ඇත. අර්ජුන මහේන්ද්‍රන්ලා රවි කරුණානායකලා පමණක් නොව යූ.එන්.පී.යේ වෙනත් ඇමැතිවරුන්ගේ නම්ද ඡන්ද වේදිකාවේ සඳහන් වීමටද ඉඩකඩ තිබේ. එසේ වන්නේ මහින්දලා මේ කැම්පේන් එකේදී ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ සමීපතමයන්ට කිසිදු බුරුලක් නොදීමට පසුබිම හැදී තිබෙන බැවිනි. ඔවුන් නිසැකවම යහපාලන ආණ්ඩුව මෙතෙක් පැවැති හැම ආණ්ඩුවකටම වඩා දූෂිත බවට චෝදනා නගනු ඇත. එම චෝදනා ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයාට එල්ල වීමද වැළැක්විය නොහැක.
ඒ කියන්නේ මහින්දලාගේ පාර්ශ්වය දූෂණ චෝදනාවලින් නිදහස් බවක් නොවේ. එහෙත් බැඳුම්කර වාර්තාව නැවුම් සටන් පාඨයක් කරගත හැකිවීමේ වාසිය ඔවුන් උපරිමව යොදාගනු ඇත. එයින් ඔවුන් කෙසේ ප්‍රයෝජන ලබාගනු ඇත්ද යන්න ඉදිරියේදී බලාගත හැකිවනු ඇත. මේ කරුණු මෙසේ දිගහැරෙන විට පෙබරවාරි 10 වැනි පුංචි ඡන්දයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවේ අනාගත පැවැත්මට ඉතිරිවනු ඇත්තේ ඉතා සුළු ඉඩකඩක් බව නම් පැහැදිලිය.
ශශීන්ද්‍ර