2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මම ත්‍රීවිල් පක්ෂ නායකයෙක් නොවේ

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්
අපි එකතු වුණේ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න. ඒක කළා  
ආණ්ඩුවේ ඉන්න පාවෙන අයගෙ මත අපි ගණන් ගන්නෙ නැහැ 

රවි මට විතරක් නෙවේ රිෂාඩ්ටත් ගැහුවා - රවුෆ්ටත් ගැහුවා 
මහින්ද එක්ක ගියා නම් අපිට හොඳට සලකනවා 
මට ගහන්නද මරන්නද හදන්නෙ කියලා දන්නෙ නැහැ

 

ජනවාරි 08 වෙනිදා මේ යහපාලන සංකල්පයට අවුරුදු තුනක් ලැබුවා. යහපාලන රජයේ අමාත්‍යවරයෙක් හැටියට ඔබ පසුගිය වසර තුන ගැන සෑහීමකට පත්වෙනවද?

අනිවාර්යයෙන් සෑහීමකට පත්වෙනවා. මේ දිහා සාපේක්ෂව බලන්න ඕන. එදාට වඩා අද හොඳයි. එදාට වඩා අද හරි.

එදාට වැඩිය අද හොඳයි නම් ආණ්ඩුව හදපු මිනිස්සුම එළියට ඇවිත් යහපාලනයට බණින්නේ ඇයි?

වෙන්වෙලා යන මිනිස්සුන්ගේ චේතනාව වුවමනාව වෙනයි. ඒ වගේම එළියේ හිටිය අයත් මෙහාට ඇවිත් තියෙනවනේ. ඒ නිසා යන අය ගැන කතා කරන්න එපා. ඒ අය පාවෙලා යන මිනිස්සු. මම කෙළින් පාරේ යන කෙනෙක්.

එහෙම කෙළින් පාරේ යන ඔබ ෙමවර ඇයි එක්සත් ජාතික පෙරමුණින් ඉවත් වෙලා වෙනම තරග කරන්න කල්පනා කළේ.

මොකද්ද ඒකේ තියෙන ප්‍රශ්නය. මේ රජය හැදුවේ අලියා, බුලත් කොළය, ඉණිමඟ, ගහ, මොණරා, හක්ගෙඩිය එකතු වෙලා. ආණ්ඩුවට තනි පක්ෂයක් ඉල්ලන්න නෑ. ඒක වැරදියි. අපි පොදු ලකුණින් ආවේ. හැබැයි මේ ඡන්දය ආණ්ඩුව වෙනස් කරන ඡන්දයක් නෙවෙයි. ඒ නිසා මේ අය වෙන වෙනම ගිහින් බලය තහවුරු කරගන්නවා.

ඔය තීරණය මහමැතිවරණයේදී ඔබ නොගත්තේ ඇයි..?

එදා ඕන වු‍ණේ පරණ ආණ්ඩුව යවලා අලුත් ආණ්ඩුවක් ගේන්න. ඒකයි එදා අපි එකතුවෙලා එක්සත් ජාතික පෙරමුණ නමින් අලියා ලකුණින් ඉල්ලුවේ. ඒ ඡන්දය වෙනයි. මෙතන තියෙන්නේ ආණ්ඩුව ශක්තිමත් කරන වැඩක්. ඒක කවුරුත් දන්නේ නෑ. අනික මේ මනෝ ගනේෂන් ත්‍රීවිල් පක්ෂයක කෙනෙක් නෙවෙයි. අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනෙක් ඉන්නවා. පළාත් සභාවල 12 තෙක් ඉන්නවා. එවැනි ලොකු පක්ෂයක කෙනෙක්.

ආසන කීයකට තනියම ඉල්ලනවද?

අපි ආසන 40කට ඉදිරිපත් වෙනවා. 15ක් එකමුතු ප්‍රගතිශීලී සන්ධානයෙන් තරග කරනවා. 25ක් එක්සත් ජාතික පෙරමුණින් තරග කරනවා.

මනෝ ගනේෂන්ට වෙන ප්‍රශ්නයක් නැද්ද වෙනම ඉල්ලන්න

ඒකට කාරණාවක් තියෙනවා. ඒ කොළඹ නගර සභාවේ විතරයි. අපි ඉල්ලන අනෙකුත් නගර සභාවල ඒ ප්‍රදේශය භාර එක්සත් ජාතික පක්ෂ නායකයෝ එක්ක මට එකඟතාවයන් තියෙනවා. ඒත් කොළඹ මහනගර සභාව භාරව ඉන්න රවී කරුණානායක එක්ක මට එකඟතාවයක් නෑ. ඒක එජාප පාක්ෂිකයන් තේරුම් ගන්න ඕන.

රවී කියන්නේ එකට හිටිය මිනිස්සුනේ? මොකද්ද එකඟතාවයක් නැති කතාව..

රවී එක්ක මම එකට තමයි හිටියේ. හැබැයි රවී හිටියේ මා සමඟ විතරක්ම නෙමේ එකට. එයා නුසුදුසු මිනිස්සු එක්ක ඉන්නේ. ඒ තුළ ඉඳගෙනයි එයා වැඩ කරන්නේ. ඒ නිසා මට වැඩ කරන්න බෑ එයා එක්ක.

ඇයි රවී කරුණානායක මොකද කළේ?

කොළඹ මහ නගර සභාවට එකට තරග කරන්න එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි තීරණය ගත්තේ. එ. ජා. පය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ පක්ෂ කිහිපය එකඟ වුණා එකට ඉල්ලන්න. ඒ පක්ෂ අතර ලොකුම පක්ෂය මගේ පක්ෂය. අපි හැම පාරම කොළඹ මහ නගර සභාවට වෙනම ගියේ. ගියපාර අපි 6 දෙනෙක් ගත්තා. එ. ජා. පය 24ක් ගත්තා. එ. ජා. පයට බහුතරයක් තිබ්බේ නෑ. අපේ 06 දීලා තමයි මුසම්මිල් මහත්තයාව නගරාධිපති පුටුවේ වාඩි කළේ. ඒක රවී කරුණානායකට අමතක වෙලා. එතකොට තිබ්බේ 53ක්, දැන් 113ක්. මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වෙලා. අපි කිව්වා එදා 06ක් නිසා අපි 12න් වැඩේ පටන් ගමු කියලා. එයා ඒ වෙනුවට දෙන්න උත්සාහ කළේ 07ක්. එහෙම ගන්න පොඩි මිනිහෙක් නෙමෙයි මම. ඔයාගේ හත ඔයාම තියාගන්න කියලා මම නැගිටලා ආවා.

එතකොට මේ පාතාල කතාවක් ආවේ ඇයි?

මට එහෙම නම් කියන්න බෑ. එ්ක වැරදියිනේ. ඒත් ඔබලා දැක්කා මාධ්‍ය තුළ ඉන්න නිසා 21 වෙනිදා පාන්දර පාතාලේ කෙනෙක්ගේ නම නායකතුමා ඉවත් කළා කියලා. ඒකෙන් පෙනී යන්නේ මොකද්ද. නුසුදුසු අය ලිස්ට් එකට දාලා තියෙනවා කියලා. මම කියන්නේ එහෙම කියලා දන්නේ නැති එජාප නායකයට අහු නොවිච්ච අය තව ඉන්නවා. මම පිරිසිදු දේශපාලනය කරන්නේ. ශ්‍රී ලාංකික ගමනක් යන්නේ. මට ජාතිවාදියෝ සමඟ, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෝ සමඟ, පාතාල සාමාජිකයෝ සමඟ, මහජන මුදල් හොරාකාපු අය සමඟ එක ගමනක් යන්න බෑ. මට එ. ජා. පය එක්ක ප්‍රශ්නයක් නෑ. රවී කරුණානායක කියන්නේ තනි මිනිහෙක්. පොඩි මිනිහෙක්. ඒත් එජාපය කියන්නේ දැවැන්ත පක්ෂයක්. ඒ නිසා මනෝ ගනේෂන් මූණ එක්ක තරහා වෙලා නහය කපා ගන්නේ නෑ. එජාපයේ ගොඩක් දෙනෙක් මගේ ගමන ගැන සතුටෙන් ඉන්නේ.

රවී කරුණානායක පොඩි මිනිහෙක් නම් ඇයි මේ ලංකාවේ අග නගරයේ මහ නගර සභාවට තරග කරන්න ගිහින් කකුලක් පිටිපස්සට ගන්නේ ඔබ..

ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවනේ. ඡන්ද නාම ලේඛනයක් හදනවා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. එක පොඩි වැරැද්දකින් නාම ලේඛනයෙන් විසි වෙන්න පුළුවන්. ඒකයි මම මේ තීරණය ගත්තේ. රවී කරුණානායක මට ෙද්ශපාලන කුමන්ත්‍රණයක් කළා. හවස් වෙනකල් ඇද ඇද ගියා. මම මේ ගැන එජාප නායකතුමාට කිව්වා. ඒත් රටේ ප්‍රශ්න තියෙන නිසා එතුමට අවධානය යොමු කරන්න බැරුව ගියා. රවී හැදුවේ අන්තිම මොහොත වෙනකල් ගිහින් මේක ගනිල්ලා කියලා කියන්න. ඒ තැනට රවුෆ් හකීම් වැටුණා. රිෂාඩ් බදුයුදීන් වැටුණා. රවුෆ් හකීම්ගේ අපේක්ෂකයන්ගේ නම් ටිපෙක්ස් කරලා උදේ වෙන නම් දාලා තිබ්බා. ඒ වගේම තමයි රිෂාඩ්ට උතුරු කොළඹට කට්ටිය දානවා කියලා ඒ අය මැද කොළඹට දාලා තිබ්බා. මේ නිසා ඒ දෙන්නම තරහින් ඉන්නේ. හැබැයි මම බුද්ධිමත් ... මමත් ඒ ලිස්ට් එකට දාලා හිටියනම් මගේ අය රවී ටිපෙක්ස් කරලා.

ඔබ කිව්වා මුසම්මිල් නගරාධිපති කරන්නත් සහය දුන්නා කියලා. දැන් මේ පාරත් එ. ජා. පයට බහුතරය නැති වුණොත් සහාය දෙනවද?

අපි එක්සත් ජාතික පෙරමුණේ ඉන්නේ. සන්ධානගත වෙනවා මැතිවරණයට පෙර වගේම පසුවත්. ඒ නිසා අපි මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය එක්ක එකට වාඩි වෙනවා. රවී කරුණානායක වගේ කෙනෙක් නිසා මම එක්සත් ජාතික පක්ෂය අත හරින්නේ නෑ. ගියපාර මහින්ද රාජපක්ෂ මහත්තයා කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්න උදව් ඉල්ලුවා. ගියා නම් මට උපරිම සැලකීමක් ලැබෙනවා. ඒත් මම ගියේ නෑ.

එ. ජා. පයෙන් වෙනම ලිස්ට් එකකුත්, ඔබෙන් වෙනම ලිස්ට් එකකුත් දැම්මේ අනෙක් පක්ෂවල ඡන්ද කඩා ගන්න නේද?

ඡන්ද කඩා ගන්නවා කියන්න මම ලෑස්ති නෑ. හැබැයි ඡන්ද ලබාගන්න නම් මම උත්සාහ කරනවා. කඩා ගන්නවා කියන්නේ බලහත්කාරයෙන් ගන්න එකනේ.

ඔබගේ පක්ෂය මොකද්ද?

පක්ෂය නම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ. මීට වසර තුනකට කලින් මගේ පක්ෂය, ජාතික කම්කරු පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ ඒ කියන්නේ දිගම්බරම් මහත්තයාගේ පක්ෂය, රාධාක්‍රිෂ්ණන්ගේ පක්ෂය එකතු වෙලා අපි සන්ධානයක් හැදුවා. දමිළ ප්‍රගතිශීලී සන්ධානය කියලා. ඒකේ නායකයා මම.

එතකොට මේ පාර ඉල්ලන්නේ මොකෙන්ද?

දමිළ ප්‍රගතිශීලි සන්ධානය ලියාපදිංචි කරන්න මම මැතිවරණ කොමිෂන් එකෙන් ඉල්ලීමක් කළා. ඒත් වසර හතරක් සන්ධානය පවතින්න ඕනෙලු. ඒ නිසා අපි මෙවර ඉදිරිපත් පේන්නේ එකමුතු ප්‍රගතිශීලී සන්ධානය කියලා. ඒක හරි කියලා හිතනවා මම. මොකද මගේ ලැයිස්තුවේ ඉන්නවා සිංහල අයත්, මුස්ලිම් අයත් දෙගොල්ලම.

ඔබ සහජීවනය සම්බන්ධයෙන් ඉන්න ඇමැතිවරයා, එහෙනම් මොකෝ මේ පොලීසියයි, එස්.ටී.එෆ්. එකයි වටේ පුරවගෙන ඉන්නේ?

එස්. ටී. එෆ්. ආරක්ෂාව තියෙන්නේ මනෝ ගනේෂන් කියන ඇමැතිවරයාට විතරක් නෙමෙයි. රාජිත සේනාරත්න, රිෂාඩ් බදුර්දීන්, අවුෆ් හකීම්, දිගම්බරම්, ෆයිසර් මුස්තාෆා, සාගල රත්නායක, පියසේන ගමගේ, ඒ වගේ හත් දෙනකුට තියෙනවා. මාත් එක්ක 8යි.. ඇයි මම ගැන විතරක් කතා කරන්නේ?

අපිට තියෙන ප්‍රශ්නය ඇයි ඔබ වැනි කෙනෙකුත් මේ වගේ ආරක්ෂාවක් ඉල්ලුවේ කියලා.

මම පැහැදිලිව කියනවා ඔය කොයි කාටත් වැඩිය මට තර්ජන වැඩියි. මොකද මම ඡන්දයට වැඩ කරන ප්‍රදේශවල පාතාලයන් ඉන්නවා. ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී යන්න එපා කියලා ගිය පාගමනකට පාතාලයෙන් වෙඩි තියලා මිනිස්සු මළා. ඒක ඒ පෙළපාලියේ ගිය සමහර අය පාතාලයට සම්බන්ධ අය. අහිංසක මිනිස්සු මළේ. මේ ළඟදි මෝදරදී වෙඩි තිබ්බා. සිංහල පවුලක්. ඊට පස්සේ නාගලගම් වීදියේ. ඒ ඔක්කොම උතුරු කොළඹ. දැන් කාට වුණත් තේරෙනවනේ උතුරු කොළඹ විතරක් මෙහෙම ඇයි කියලා. රටේ ගොඩක් තැන්වල පාතාලය ඉවරයි. ඒත් මෙතන විතරක් බැරිවෙලා ඉන්නවා. මොකද මෙතන පිටුපස දේශපාලන හස්ත තියෙනවා. එහෙම තත්ත්වයක් මත මට ආරක්ෂාව ලබාගන්න එක සාධාරණයි නේද?

ඔබට තර්ජනය කරන පාතාලයෝ කවුද?

ප්‍රසිද්ධියේ නම් කරන්න බෑ.

නීතිය හමුවට ගියාද?

මම සැප්තැම්බර් මාසයේ දැනගත්තේ. පොලිස්පති පූජිත ජයසුන්දරට ලිඛිතව ලිව්වා.

ඒ කියන්නේ ඔබව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනවද?

ඝාතනයක් ද, තුවාල කරන්නද කියලා දන්නේ නෑනේ. ඒක පොලීසිය හොයලා බලන්න ඕන. හැබැයි එහෙම දෙයක් වෙන බව දැනන් හිටියා. මේ අතරතුර තමයි ඡන්දය වෙලාවේ ආරක්ෂාව වැඩි කළේ. මම පොළවේ ජීවත් වෙන කෙනෙක්. මේ කොළඹ වෙන්නේ මොනවද කියලා කාටත් කලින් දන්නවා.

ඔබට එස්.ටී.එෆ්. ගාඩ් එකක් ජීවිත ආරක්ෂාවට. රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට කවුද වග කියන්නේ?

ජනතාව ආරක්ෂා වෙන්නේ මේ පාතාලයට, දූෂණයට, වංචාවට එරෙහි නායකත්වයක් පළාතේ රටේත් නිර්මාණය වෙන්න ඕන. එහෙම නායකයෝ අපේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. ඒ වගේම වැරදි කරන අයත් ඉන්නවා. හැබැයි වෙලාව ආවම ඒ අයව ඉවත් කරලා දායි. එහෙම දාන්න ඕන. එහෙම වෙන්න අපි මේ අපරාධයට විරුද්ධව නැගී සිටින්න ඕන. අන්න එතන්ටයි මම යන්නේ. මම වගේම අය මේ ආණ්ඩුවේ ඉන්නවා. මේක ජාතික වැඩක්.

මහජන මුදල් ගැන ඔබ නිතර කතා කරනවා. මේ ආණ්ඩුවට ආපු ලොකුම චෝදනාව තමයි බැඳුම්කර වරද. මේ වෙනකොට ජනාධිපති කොමිසමේ වාර්තාවත් නිකුත් වෙලා තියෙනවා. මෙතනින් පස්සේ මොකද්ද විය යුත්තේ?

පසුගියදා පක්ෂ නායකයෝ රැස්වුණු වෙලාවේ අපි තීන්දුවක් ගත්තා ජනාධිපති එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ ව‍ගේ බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තා 34ක් තියෙනවා. ඒකත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා අපි තීරණය කළා. කතානායකතුමා ජනාධිපතිතුමාට දැනුම් දීලා තියෙනවා. ඒ ගැන මගේ අදහසට බැඳුම්කර වාර්තාව වගේම අනෙක් වාර්තා 34ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න ඕන.

මේ වාර්තාවේදී රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාට විරුද්ධව අල්ලස් නඩු දාන්න කියලා තියෙනවා. ඒ ගැන අදහස මොකද්ද?

අනිවාර්යයෙන් ඒ නිර්දේශ ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් කොමිසමේ අදියර ඉවරයි. දැන් තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු. අන්තිමට තමයි අධිකරණයට අයිති වෙන්න ඕන. මේ කටයුතු ඉක්මන් වෙන්න ඕන. එතැනදී කාට වුණත් නිවැරදි වෙන්න පුළුවන්.

ජේ.වී.පී. එකෙන් කියන්නේ නම් රටේ සාමාන්‍ය මිනිහෙක් හොරකම් කළාට නීතිය ක්‍රියාත්මක කරන හැටියි. මේ බැඳුම්කර හොරකම ගැන නීතිය ක්‍රියාත්මක කරන හැටියි දෙකක් කියලා. රටේ නීතිෙපාත් දෙකක් තියෙනවද?

නීති පොත් දෙකක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ අපිට කියාදෙන්න ඕන නෑ. ඒ අයට විරුද්ධවත් ලොකු චෝදනා පත්‍රයක් දාන්න පුළුවන්. අද ඔන්ලයින් බැංකු කඩනවා. එයාලා මිනී මැරුවා. ඒවා විප්ලවයලු. එතකොට එයාලටත් නීති දෙකක්ද? එයාලා ඒ සඳහා සාක්ෂි ගන්නේ කස්ත්‍රෝ, චේගුවේරා, ලෙනින් වගේ අය. අපි නොදන්නවා නෙමෙයිනේ. දැන් එයාලා ඒ දේවල් අත ඇරලා පාර්ලිමේන්තු ඇවිත් පූස් පැටව් වගේ වැඩ කරනවා. හැබැයි දැන් චරිතය අගය කරනවා.

මේ බැඳුම්කර වාර්තාව නිසා පාර්ලිමේන්තුව ඇතුළේ ලේ සෙලවෙන තැනට ආවා. ඔබ ජ්‍යෙෂ්ඨයකු හැටියට මේක අනුමත කරනවද? දෙපැත්තෙම හොරුද ඉන්නේ?

මම ඊට ඉස්සෙල්ලා දවසේ පක්ෂ නායක රැස්වීමට ගියා. එදා දැනගත්තා වෙන දේ. ඒ නිසා මම එදා පාර්ලිමේන්තු ගියේ නෑ. ඕනෑකමින්ම ගියේ නෑ.

දැනගෙනම මග ඇරියද?

ඔව්. එදා මම දැනගත්තා දවසින් ඇවිත් ජනාධිපතිතුමාට වාර්තාව ඉදිරිපත් කරන්න බෑ කියලා. එ. ජා. පයේ යෝජනාවක් තිබ්බා අගමැතිතුමාට විශේෂ ප්‍රකාශයක් කරන්න. ඒත් ඒකාබද්ධ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් කිව්වා අගමැතිතුමාට විතරක් විශේෂ ප්‍රකාශ කරන්න දෙන්න බෑ කියලා. එතැනදී ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවා. ඒ නිසයි ගියේ නැත්තේ.

ඔබ අනුමත කරනවද වාර්තාව භාෂා තුනෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර විශේෂ ප්‍රකාශ කරන එක සාධාරණයි කියලා.

මෙහෙමයි ඔය වාර්තාවේ බොහොමයක් සාක්ෂි සිංහලෙන් දී තියෙන්නේ. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එක අරගෙන බලන්නකෝ කතා කරපු භාෂාවෙන් තියෙන්නේ. හැබැයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන වාර්තා භාෂා තුනෙන්ම කියන්න ඕන. ඔය වැඩේ එන්නේ මට. මමනේ භාෂා ඇමැති. මම ඒ අයත් එක්ක කතා කරලා බැලුවා. හරියටම මාසයක් ඕන කිව්වා. ඊට පස්සේ නිවැරදි කිරීම් බලන්න ඕන. වැරැද්දක් තිබ්බොත් නඩුවට වාඩි වෙන්න පුළුවන්. ඒ නිසා කණ්ඩායම් තුනකට දාලා පරික්ෂා කරන්න ඕන. ලේසි වැඩක් නෑ. මම කිව්වා කවුරු හදිසියි කිව්වත් මාසයක් ඕන කියලා.

► ගයාන් ගාල්ලගේ