2018 ජනවාරි 13 වන සෙනසුරාදා

හොරු සහ ජනතාව

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

අපේ පාර්ලිමේන්තුව දැන් වඩාත් කතාබහට ලක්වන්නේ හොඳ වැඩ නිසා නොවේ. නරක වැඩ නිසාය. පිරිසුදුවට සුදු පැහැ ඇඳුමින් සකල සර්වාංගයම වසාගත්තත් ඇඟ ඇතුළේ සිටින කළු සතා එළියට පැනීම හේතුවෙන් අපේ පාර්ලිමේන්තුවේ ඇතැම් මැති ඇමැතිලාට උන්හිටි තැන් පවා අමතක වෙයි. සුදු පැහැ පිරිසුදු ඇඳුම කපටි, කෛරාටික, චණ්ඩින් ඇඟලන ඇඳුමක් බවට නිරායාසයෙන් පත්වෙයි. ඊටපසුව සිදුවන්නේ එකිනෙක කෙළ ගැනීමය. මේ සියල්ල ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකා පෙළක් මෙන් රඟ දැක්වුණේ පසුගිය බදාදා (10) අපේ පාර්ලිමේන්තුවේදීය.

දකුණු ඉන්දියාවේ කසිකබල් දමිළ චිත්‍රපටයක ජවනිකා මෙන් පෙනුණු පාර්ලිමේන්තු ගෝරිය මේ රටේ ජනතාවගේ ඉමහත් සංවේගයටත් තවත් පැත්තකින් දැඩි කෝපයටත් හේතු නොවූයේ නම් එය ලෝක පුදුමයකි. සංවේගයක් ඇතිවන්නේ අද රටේ පාර්ලිමේන්තුව ඇදවැටී තිබෙන තත්ත්වය දැකීමෙනි. කෝපයට හේතුව අපි ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යැව්වේ මෙවැනි අඳබාලයන් පිරිසක්ද සිතට නැගීම හේතුවෙනි.

පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අරගල ඇතිවූ බහින්බස් වීම් ගුටි බැට දී ගැනීම් දක්වා වර්ධනය වූ පළමු අවස්ථාව මෙය නොවේ. එවැනි අවස්ථා ගණනාවක් පිළිබඳ ඉතිහාසයේ සඳහන් වෙයි. එකල දේශපාලනයේ පතාක යෝධයක් සේ සැලකුණු පිලිප් ගුණවර්ධනලා, ඇන්.ඇම්. පෙරේරලා වැනි විප්ලවකාරී දේශපාලනඥයෝද පාර්ලිමේන්තුව තුළ ගැටුම් ඇතිකර ගත්හ. නමුත් ඒ ගැටුම් බොහෝවිට මතවාදී අරගලවලට සීමා විය. අදහස් අතර ගැටීම් පමණක් විය. තමත් දැක්වූ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමේදී ඒ ගැන කෝප වී පාර්ලිමේන්තු සබාගැබේ ගාලගෝට්ටි ඇතිවූ අවස්ථාද තිබිණි. මේ ඇතැම් සිද්ධීන් වලදී කථානායකවරයා විසින් නම්කරනු ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාරව සිටින පොලිස් නිලධාරීන්ගේ කර මතින් සභාගැබින් එළියට යාමටද සමහර මන්ත්‍රීවරැන්ට සිදුවිය. එහෙත් ඒ කිසිවකින් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් සිදුවූයේ නැත. මන්ත්‍රීවරුන්ගේ හැසිරීම්වලට කළු පැල්ලම් එකතුවූයේ නැත. නමුත් පසුගිය බදාදා (10) සිද්ධිය මෙරට දේශපාලනයේ ලැජ්ජා සහගත හැසිරීමක් වශයෙන් ඉතිහාසගත වීම වැළැක්විය නොහැකිය.

මෙහිදී සැලකිය යුතු කාරණාවක් වන්නේ පාර්ලිමේන්තු සභා ගැබ කෝලම් මඩුවක් බවට පත්කර ගැනීමට පසුබිම් වූ හේතුවයි. අතීතයේදී පාර්ලිමේන්තු ගෝරිවලට හේතුවූයේ ප්‍රතිවිරුද්ධ මත ගැටුම් අතරින් මතුවන සටනකි. එවැනි ගැටුම්වලට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මැති ඇමැතින් කෙරෙහි මහජනතාවගේ ගෞරවයක්ද ඇතිවිය. තමන් පිළිබඳව කතා කිරීමට ගොස් ආරවුල් ඇති කරගන්නා එවැනි නායකයෝ ජනතාව අතර ඒ යුගයේ වීරයන් බවට පත්වූහ. එහෙත් පසුගිය බදාදා තිබුණේ එවැනි අභිමානවත් සටනක් නොවේ. මෙරට ඉතිහාසයේ දැවැන්තම දූෂිත ගනුදෙනුවක් වශයෙන් සැලකෙන බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාදය කඩාකප්පල් කර දැමීමකි. ඇත්තටම මෙහිදී විවාදයක් කිරීමට අවශ්‍ය වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබිණි. නොතිබෙන වාර්තාවක් ගැන කතා කරන්නේ අහවල් කෙංගෙඩියදැයි ප්‍රශ්න කිරීම පසෙක තබා පාර්ලිමේන්තුවට පැමිණි නායකයන් ඇතුළු සෙසු මන්ත්‍රී පිරිසක් සිදුකළේ එකිනෙකාට හොරා.... හොරා.... කියා කෑ ගසා ගැනීමය. එම කෑ ගැසීම එකිනෙකාගේ බෙල්ල විකාගන්නා ගුස්ති ඇල්ලීමක් දක්වා ව්‍යාප්ත වීමට වැඩි වේලාවක් ගියේ නැත. ඒ ටික දැන් ඉතිහාසයට එක්වී හමාරය.

තමන් ඡන්දයක දී පාර්ලිමේන්තු යැව්වේ හොරු පිරිසක්දැයි දැන් ජනතාව කල්පනා කරනවා විය යුතුය. ඊට හේතුව ඔවුන් මැතිසබයේදී එකිනෙකාට හොරුන් යැයි චෝදනා නැගීම නිසාය. හොරුන් රැලක් අතට රටේ පාලනය ගොස් තිබෙනවා දැයි ජනතාවට ගැටලුවක් ඇතිවීමද වැළැක්විය නොහැකිය. බලු පොරයක තත්ත්වයට පාර්ලිමේන්තු රැස්වීමක් ඇද දැමීම මගින් ජනතාව තුළ කනස්සල්ලක් ඇති කිරීම ගැන මේ සියලු මන්ත්‍රීවරුන් ලැජ්ජා විය යුතු නොවේද?

බැඳුම්කර වංචාව මගින් රටේ ආර්ථිකයට කරන ලද හානිය බරපතළ බවත් ඊට වගකිවයුතු නිලධාරීන් සේම දේශපාලනඥයන්ද සිටින බවත් වාර්තාවේ තිබෙන බව කියති. ජනාධිපතිවරයා විසින් ඒ ගැන සිදුකළ කෙටි ප්‍රකාශයේදී ඒ බව සඳහන් විය. ආණ්ඩුව කළ යුත්තේ එම වාර්තාවේ සඳහන් කරුණු සොයාබලා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමටත් අනාගතයේදී හෝ රටේ මෙවැනි මහජන මුදල් කොල්ලකෑමට තිබෙන සියලු ඉඩකඩ වසා දැමීමට ක්‍රියා කිරීමත්ය. ඒ සඳහා නව නීති රීති පැනවීම් අවශ්‍ය නම් ඒවාද සම්මත කර ගැනීමය. ඒ සියල්ල පැත්තකට දමා අබ කෑ මිනිහාගේ මොළය දනවා වැනි ආකාරයට කටයුතු කිරීම ජනතාව තුළ තිබෙන බැඳුම්කර වංචාව පිළිබඳ සැකය තව තවත් වැඩිකරන බව මේ සියලු නායකයන් දැන සිටීම අවශ්‍යය.

රටේ මුදල් පිළිබඳ සියලු වගකීම් පැවැරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. මුදල් භාවිතය පමණක් නොව අවභාවිතයද පාර්ලිමේන්තුව තුළ විවාදයට භාජනය විය යුත්තේ එබැවිනි. ඒ වෙනුවට ගුටි බැට දී ගැනීම්වලින් මහජන මුදල් වංචා කිරීමේ සිද්ධීන් යටපත් කළ හැකි යැයි පක්ෂ නායකයන් සිතන්නේ නම් ඔවුන්ට අබසරණයි හැර වෙනත් කියන්නට දෙයක් නැත.

අපේ රටේ පාර්ලිමේන්තුව දකුණු ආසියාවේ ඉතාම සුන්දර පරිසරයක පිහිටා තිබෙන බව ලෝකයම දැන සිටියි. එම පරිසරයේ පිහිටි ගොඩනැගිල්ලද ලස්සනය. අපට කනගාටු හිතෙන්නේ ඒ ලස්සන ගොඩනැගිල්ල තුළ සිදුවන මෙවැනි අමන, අවලස්සන වැඩ හේතුවෙන් රටේ ප්‍රතිරෑපයට සිදුවන බලවත් හානිය පිළිබඳවය.