සාමාන්‍යයෙන් අපේ රටේ වලියට බර මිනිස් කොට්ඨාසයක් හැටියට සැලකෙන්නේ දේශපාලනඥයන් ය. ඉන් බාහිරව වෙනත් පිරිස් ද සිටිති. නමුත් වලිකාරයන් ගණයට අවසානයේ වැටෙන පිරිසක් සිටී නම් ඒ දොස්තරවරුන් ය. දොස්තරවරුන් සිටින්නේ වලිකාරයන්ට ප්‍රතිකාර ලබාදීමට මිස වලි ඇදගැනීමට නොවේ. එහෙත් මේ ශ්‍රී ලංකාවේ දැන් දොස්තරලා ද ගහගනිති. කලිසම් සමඟ කොළේද ඉරාගනිති. රෝහල් ගතවී සහෝදර දොස්තරවරුන්ගෙන් ප්‍රතිකාර ද ලබා ගනිති.
දොස්තරවරුන් පිරිසක් පසුගිය බදාදා (24) මේ ආකාරයට ගුටිබැට ඇනගෙන තිබුණේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් වශයෙන් පත්වීමට සුදුස්සන් තේරීමේ නිලවරණය පැවැති අවස්ථාවේදී ය. නිලවරණයක් යනු ඡන්දයකි. ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවක් වලියක් ඇද ගැනිමට සුදුසු යැයි දොස්තරවරැන් සිතුවේ ඇයිද යන්න ගැටලුවක් බව සැබෑය. එහෙත් අප මෙය දකින්නේ සමස්තයක් වශයෙන් රටේම විනය පිරිහීමේ කනගාටුදායක ප්‍රවණතාවයක් හැටියට ය. එය වහාම නිවැරදි කරගත යුතු තත්ත්වයකි.
රටේ විනය පිළිබඳව ඉහළම ආදර්ශය සැපයිය යුතු වන්නේ පාලනයේ ඉහළ සිටය. නමුත් අද මේ රටේ පාර්ලිමේන්තුව තුළින් ද අප දකින්නේ දැඩි ලෙස පිරිහෙමින් පවතින විනයකි. විනය පිළිබඳව ආදර්ශයක් ලබා දිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මහජන ගැලරියේ සිටින පාසල් දරු දැරියන් පවා බලා සිටින අවස්ථාවලදී ගුටි බැට හුවමාරු කර ගනිති. පරැෂ වචනයෙන් බැණ ගනිති. මුලසුනේ අණට අකීකරුව හිතුමතේ ක්‍රියාකරන්නට යාමෙන් ප්‍රශ්න වවා ගනිති. හරයාත්මක ලෙස සිදුවිය යුතු වාද, විවාද වෙනුවට මඩ ගසා ගැනීම්, තේරුමක් නැති බැණ වැදීම්වලට වටිනා කාලය කැප කරති. මේවා සිදුවන විට බලා සිටින සෙසු පිරිස් ද තම මත ගැටුම් විසඳා ගැනීමට මොළයට වඩා අත පය භාවිත කිරීමට පෙළඹෙති. රටේ විනය පවත්වා ගැනීම ගැටලුවක් බවට පත්වන්නේ ඒ ආකාරයට ය.
මෙය ඊළඟට පාසල් පද්ධතිය තුළදට ගලා යන්නේ ය. පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා තරගවලට ද විනය නොමැතිකම බලපානු ලබයි. ක්‍රීඩා කිරීම පැත්තක තබා ශිෂ්‍යයන් ගුටි ඇන ගන්නේ විනය දැඩි ලෙස පිරිහෙන විටය. එසේම අතීතයේ ගුරුවරයකුගේ දෑස දෙස එක එල්ලේ බලා කතා කිරීමට පවා බිය වූ ශිෂ්‍යයෝ දැන් ඇතැම් විට ගුරුවරුන්ට එරෙහිවද අතපය ඔසවති. පසුගිය දිනවල ගුරුවරුන්ට පාසල් තුළදී පවා පහරදීමට තැත් කිරීම් සිදුවීම කිහිපයක් ද වාර්තා වී තිබිණි. මේවා දැන් සිටම වළක්වා ගැනීමට කටයුතු නොකළහොත් එය අනාගතයේදි මේ රට තුළ බරපතළ ව්‍යසනයකට මගපෑදීමක් වනු ඇත.
මෙපමණක් නොව රටේ මහාමාර්ග පද්ධතියම විනය පිරිහීම පෙන්නුම් කරන ජීවමාන සාධකයක් බවට පෙරැළී තිබේ. රියැදුරන් වැඩි පිරිසක් විසින් සිදුකරන්නේ මාර්ග නීති පිළිපැදීම නොව කැඩීම ය. මේ හේතුවෙන් විශේෂයෙන්ම කොළඹ ඇතුළු මහ නගරවල නීතිගරුක රියැදුරන්ට සිදුවී තිබෙන්නේ අවනීති රියැදුරන්ගේ අප්‍රමාණ කෙනෙහිලිකම් වලට ලක්වීමට ය. පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් බැණුම් කෝටියකි. ඇතැම් ත්‍රිරෝද රියැදුරෝ ඕනෑම වෙලාවක වලියට සූදානමින් සිටිති. පෞද්ගලික බස්රථ රියැදුරන්ද මීට දෙවැනි නැත.
මෙහි තවත් පැත්තක් තිබේ. එනම් මහාමාර්ග දෙපස ගමන් කරන මගීන් ද මේ වනවිට විනයකින් හික්මීමකින් තොරව ක්‍රියා කිරීමට පෙළැඹී සිටීමය. මාර්ග නීති පිළිපැදීම රියැදුරන්ට පමණක් නොව මගීන්ට ද අදාළය. එහෙත් ඒ බව අමතක කොට කටයුතු කරන බොහෝ මගීහු සිටිති. ඒ හේතුවෙන් ඇතැම් විට ඔවුහු රිය අනතුරුවලට ද ගොදුරු වෙති. වරද පැටවෙන්නේ රියැදුරන්ට ය.
විනය පිරිහීම රාජ්‍ය ආයතනයකින් වැඩක් පළක් කරවා ගැනීමට යන විටදී පවා දැකිය හැක. ඇතැම් රජයේ කාර්යාල ඉතාම කාර්යක්ෂම, අවංකව රාජකාරි කරන නිලධාරීන්ගෙන් සහ සේවකයන්ගෙන් සමන්විත බව ද සඳහන් කිරීම අවශ්‍ය ය. එහෙත් ඇතැම් තැන්හිදී සුළු වැඩක් කරවා ගැනිමට පවා ගාණක් අතමිට මෙලවිය යුතුය. තවත් ස්ථානවල අදාළ රාජකාරිය ඉටුකිරීමට අවශ්‍ය නිලධාරීන් හෝ සේවකයන් සොයාගැනීම පවා අපහසුය. රාජ්‍ය ආයතනයක ඉහළ නිලධාරීන් විනයගරැක නොවේ නම් පහළ සේවකයන්ගෙන් ද විනයක් අපේක්ෂා කිරීම නිශ්ඵල ක්‍රියාවකි. ආයතන ඇතුළේ විනය පිරිහෙන විට එවැනි ආයතන සංඛ්‍යාව වැඩි වනවිට රටට සිදුවන්නේ මහා විපත්තියකි.
ඊළඟට රටේ නීතිය ක්‍රියාත්මක කිරීම භාරව සිටින පොලීසියේ ද විනය බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙන අවස්ථාවක් පසුගියදා කතරගම ප්‍රදේශයෙන් දැකගන්නට ලැබිණි. නීතිය රකින නිලධාරීන් අතින් නීතිය කැඩේ නම් එම නීති කැඩීම් හේතුවෙන් මිනිස් ජීවිතවලට හානි සිදුවේ නම් එය මහත් අවාසනාවකි. මෙවැනි සිදුවීම් ගණනාවක් පසුගිය කාලය පුරාම අපට අසන්නට ලැබිණි. ඒ හේතු නිසා පොලිස් ස්ථාන පවා ජනතාවගේ ප්‍රහාරවලට ලක්විය. නීතිය පෙන්වා දිය යුතු පිරිස් අතින් නීතිය කැඩීම වහා පිළියම් යෙදිය යුතු බරපතළ විනය පිරිහීමකි.
අප මුලින් සඳහන් කළ පරිදි විනය පිරිහීම කෙළින්ම දැකගත හැකිවන්නේ දේශපාලනඥයන්ගෙනි. ඌවේ මහ ඇමැති විසින් විදුහල්පතිනියක දණගැස්වීම එයට හොඳම උදාහරණයකි. රාජ්‍ය නිලධාරීන් සිටින්නේ තමන් හමුවේ දණගැසීමට යැයි සිතන මානසික මට්ටමක දේශපාලනඥයන් සිටින රටක කවදාවත් විනය රැකීමක් සිදුවන්නේ නැත. මෙවන් රටක දොස්තරවරුන් ගහගෙන කලිසම් ඉරාගැනීම ගැන පුදුම විය යුතු ද?