සිංහල නම් පෙරළිය පිළිබඳ මගේ සටහන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී තිබුණි. ඒ පිළිබඳ තවත් විස්තර සපයන ලෙස ඉල්ලමින් මට දුරකතන පණිවිඩ පවා ලැබුණේය.
නම් පෙරළිය පිළිබඳ රසවත් පුවතක අනගාරික ධර්මපාලතුමා හා මලලසේකර ප්‍රධාන තැනක් ගනිති. ධර්මපාල තුමා පාලි භාෂාව මැනවින් හැදෑරුවා පමණක් නොව එය ප්‍රගුණ කිරීම බෞද්ධ පුනරුදයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පරිවර්තනය කළේය. ඒ කාරිය සඳහා ඔහුට හික්කඩුවේ සුමංගල, හෙයියන්තුඩුවේ දේවමිත්ත හා මහගොඩ ඥානිස්සර වැනි පාලි පඬුවන්ගේ සහයෝගය ලැබුණි. තරුණ ධර්මපාල, එවකට ඩේවිඩ් හේවාවිතාරණ මදුරාසියේ අඩ්යාර්හි පිහිටි පරමවිඥානාර්ථ සමිතියේ සම්මේලනයකට සහභාගී වී එහි දී ගුප්ත විද්‍යාවන් පිළිබඳ වැඩිදුරට ඉගෙන ගැනීමට කැමැත්ත දැක්වීය. එහෙත් එම සමිතියේ නායිකාවක් වූ බ්ලැවැට්ස්කි මැතිනිය ඔහුව ළඟට කැඳවා ගුප්ත ශාස්ත්‍ර නොව පාලි භාෂාව හදාරන්නැයි නියෝග කළාය. “ඔබට අවශ්‍ය වන්නේ පාලි භාෂාවයි: ගුප්ත විද්‍යාවලින් ඔබට පලක් නෑ” යන්න ඈ දුන් උපදෙසයි.
ඒ අනුව පාලි භාෂාව හොඳින් උගත් ධර්මපාල තුමාට එමඟින් බෞද්ධ ධර්මය මූලාශ්‍රයන් තුළින්ම අවබෝධ කරගත හැකි විය. පාලි භාෂාව වර්ධනය කිරීමට එංගලන්තයේ පිහිටුවන ලද පාලි පුස්තක මාලා කතුවරැන්ට ඔහු මුදල් පරිත්‍යාග කළේය. එවකට මුළු ලෝකයේම චිර ප්‍රසිද්ධ කල්කටා විශ්ව විද්‍යාලයේ පාලි අංශයක් අරඹන ලෙස එම සරසවියේ උප කුලපතිවූ ද ඔහුගේ හිතමිතුරෙක් වූද සර් අසුතෝෂ් මුකර්ජිගෙන් ඉල්ලා සිටි අතර ඔහු එම ඉල්ලීමට එකඟ විය. වසරේ හොඳම පාලි ශිෂ්‍යයාට ධර්මපාලතුමා සිය ධනයෙන් ස්වර්ණ මුද්‍රිකාවක් පරිත්‍යාග කළේය. එවැනි උනන්දු කරවීම් නිසා බරුවා හා කොසම්බ් වැනි ශාස්ත්‍රවන්තයන් බිහි විය.
පාලි භාෂාව ප්‍රගුණ කිරීම කරට ගත් ධර්මපාල තුමාට වරක් පාලි හා සංස්කෘත යන භාෂා දෙකම උගැන්වූ ගුණපාල මලලසේකර හමු විය. “මොකද්ද මලලසේකර ඔය කරන්නේ. හින්දු භක්තිකයන් ප්‍රිය කරන සංස්කෘත පසුපස යන්නේ ඇයි? මගේ අදහස නම් ඔබ පාලි පමණක් උගැන්විය යුතු බව යැයි” ඔහු සුපුරුදු කර්කශ විලාසයෙන් පැවසීය. මෙවැනි ඇනුම් බැණුම් අසා හොඳට පුරැදුව සිටි මලලසේකර හීන් සැරේ ධර්මපාල තුමාට පහරක් එල්ල කළේය. “ඔබ වහන්සේ සංස්කෘතයට කැමති නැත්නම් ඇයි ධර්මපාල කියා හඳුන්වා ගන්නේ? එය සංස්කෘත වචනයක්. පාලියෙන් නම් එය ධම්මපාල විය යුතු යැයි” ඔහු කීවේය. ධර්මපාලතුමාගේ හොඳ ගති ලක්ෂණයක් වූයේ වැරදි පිළිගැනීමයි. “ඔබ හරි මලලසේකර මම හෙට ඉදන්ම ධම්මපාල කියා ලියනවා” යැයි එතුමා නිහතමානීව පිළිතුරු දුන්නේය. එකුත් පටන් අපවත් වනතුරු ඔහු අත්සන් කළේ ධර්මපාල හැටියට නොව ධම්මපාල යනුවෙනි.
ධර්මපාල තුමා සිය මුණුබුරන්ට අනිල්, සුසිල් හා නිමල් වැනි නම් යෙදුව ද තවත් සමහරැ ඔවුන්ට දෙමව්පියන් විසින් උප්පත්තියේ දීම දෙන ලද බටහිර නම් ගම් දේශීය නම්වලට පරිවර්තනය කළෝය. ඉංග්‍රීසි නම් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට සිංහල නම් ආදේශ කිරීමද ජාතිකත්වයේ එක් පැතිකඩක් විය. ඒ අනුව “ජෝර්ජ් පීරිස්” මලලසේකර, ගුණපාල පියසේන මලලසේකර ලෙස සිය නම වෙනස් කළේය. ජූනියස් රිචඩ් ජයවර්ධන ජනාධිපතිතුමා තරුණයෙක් වශයෙන් රවීන්ද්‍ර ජයවර්ධන ලෙස අත්සන් කරන ලද ලිපි මා දැක තිබේ. කලකට පසු ඔහු නැවතත් ජේ.ආර්. යැයි ලියන්නට පටන් ගත් නමුත් ඔහුගේ කුළුදුල් පුතාට රවී ජයවර්ධන යැයි නම් තැබීය.
මෙසේ සමහර නායකයින් තමන්ගේ නම් සංශෝධනය කළ අතර තවත් අය සිය උපන් ආගම වෙනස් කළෝය. දේශපාලන විචාරකයන් පවසන්නේ මේ ආගමික ප්‍රාතිහාර්යය ඇතිවීමට ප්‍රධාන සාධකය වූයේ සර්වජන ඡන්ද බලය කියාය. පෙර සීමිත ඡන්දදායක පිරිසක් සිටි ඡන්ද ක්‍රමය වෙනස් කරමින් ඩොනමෝර් කොමිසම හරහා සෑම ලාංකික පුරවැසියෙකුටම ඡන්ද බලය 1931 සිට හිමිවිය. වැල යන පැත්තට මැස්ස ගැසීමට කවදත් හපන් ලාංකික දේශපාලන නායකයින් තොග පිටින් බුද්ධාගම වැළඳ ගත්හ. පසුව මෙම විපර්යාසයන්ට නොයෙක් හේතුන් මොවුන් විසින් ප්‍රකාශ කරන ලද නමුත් බහුතර බෞද්ධ ජනයාගේ ඡන්දය ලබා ගැනීමට නම් බෞද්ධයෙක් වීම අවශ්‍ය බව ඔවුන්ට වැටහෙන්නට ඇති. එසේ හදිසියේම බුද්ධාලම්භන ප්‍රීතිය පහළ වූ දේශපාලනඥයන් අතර ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන, ජෝර්ජ් ඊ. ද සිල්වා, සර් එඩ්වින් විජේරත්න (මොහුගේ පුතා හා මුණුබුරා යන දෙදෙනාම දියවඩන නිලමේවරුන් වශයෙන් දළඳා මාලිගාවේ භාර කාරත්වය දැරූහ.) සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර හා මොලමුරේ වැනි ඉහළ පෙළේ නායකයන් සමූහයක් වූහ. බණ්ඩාරනායක හා ජේ. ආර්. ජයවර්ධන දෙපොළම “මා බෞද්ධයෙක් වූයේ ඇයි” යන තේමාව අනුව ග්‍රන්ථ එළි දැක් වූවෝය. එම ග්‍රන්ථවල ඩොනමෝර් කොමිසම ගැන කිසිවක් සඳහන් වූයේ නැත.
එසේ වුවද එකල මාධ්‍ය හා විරුද්ධ පක්ෂය ඔවුන් හැඳින්වූයේ “ඩොනමෝර් බෞද්ධයින්” හැටියටය. මෙවැනි දෙබිඩි පිළිවෙත් ජනතාව අතරට ප්‍රබලව නොගිය නමුත් ඩී .එස්, ඩඩ්ලි හා ආර්. ජී. සේනානායක වැනි නායකයන් උපන් බෞද්ධයන් හැටියට රට වැසියා විසින් පිළිගන්නා ලදී. තමාගේ ඒ බෞද්ධ උරුමය ගැන ආර්. ජී. නිතර මෙනෙහි කළ අතර සිය පියා වූ ඇෆ්. ආර්. නිසා තමාට හිමි විය යුතු නායකත්වය නොලැබුණා යැයි සිතමින් දේශපාලන පිණුම් ගසන්නට විය. ඔහු 1956දී ආසන දෙකක්ම ජයග්‍රහණය කරමින් බණ්ඩාරනායක මහතාගේ වෙළඳ ඇමති විය. එහෙත් වැඩි කලක් නොගොස් ඔහු ඇමති මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. එකල බටහිර ගැති මාධ්‍යය ආර්. ජී. ව හැඳින්වූයේ “දෙපත් නයා” වශයෙනි. ආර්. ජී. ගේ සහෝදරිය වූ නීලා විවාහ වී සිටියේ ඇගේ ඇවැස්ස මස්සිනා වූද ඩඩ්ලිගේ සහෝදරයා වූද රොබට් සේනානායක සමගය. නීලා සේනානායක රුක්මන් සේනානායකගේ මව් තුමියයි. ඇය එකල දේශපාලනයේ තිරයෙන් පසුපස විශාල භූමිකාවක් රඟපෑවාය.
මොවුන් සියලුදෙනාම අතුරින් නොකැළැල් බෞද්ධ උපාසකයෙක් ලෙස පිළිගනු ලැබුවේ සර්. ඩී. බී. ජයතිලක පමණය. බෞද්ධ අධ්‍යාපනයට මෙන්ම විද්‍යාලංකාර පිරිවෙනට කිට්ටු වූයේ ජයතිලකය. ජයතිලක හා ඇෆ්. ආර්. සේනානායක එකමුතුව වැඩකළ බෞද්ධ නායකයන් දෙදෙනෙකි. ඇෆ්. ආර්. සෑම අතින්ම ජයතිලකට සහාය දුන්නේය. ඔහුගේ අකල් මරණය සමඟම ඩී. ඇස්. ගේ උපදේශකයන් ජයතිලක හා සේනානායක පවුල අතර තිබූ මිතුරුදම කඩා දැමීමට මහන්සි ගත්තෝය. ඇෆ්. ආර්. ජීවතුන් අතර සිටියා නම් ඔහු ජයතිලකව රුකගන්නවා නිසැකය. ඔහු තමාගේ වතුපිටිවලින් ජයතිලකට බෞද්ධ වැඩ කිරීම සඳහා අක්කර විසිපහක ඉඩමක් තෑගි වශයෙන් ලබා දුන් බවට ජනප්‍රවාදයක් තිබේ.