2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

අලුත් මන්ත්‍රීවරු

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

වසර  දෙකක් ප්‍රමාද වී හෝ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය ඊයේ (10) අවසන් විය. අද එහි ප්‍රතිඵල ලැබෙන දවසය. හෙට අනිද්දා වනවිට ගමේ ආණ්ඩුවල බලපුළුවන්කාරයන් වන්නේ කවුදැයි තීරණය කෙරෙනු ඇත. මහනගර සභා 24ක, නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 276ක මන්ත්‍රී ධූර සඳහා 8356ක් ජනතාවගේ ඡන්දයෙන් මේ වනවිට තේරී පත්ව සිටිති.

දැන් එළඹ තිබෙන්නේ පශ්චාත් මැතිවරණ සමයයි. එක්තරා කාලයක නම් එය ඇඟ කීරි ගස්වන කාල සීමාවකි. නමුත් දැන් කාලයක සිට කිහිපදෙනකු හැර බහුතරයක් ජනතාව ඡන්ද ගෝරිවලට පැටලෙන්න යන්නේ නැත. ඇතැම් ජයග්‍රාහක බලවතුන් තම කෝන්තර පිරිමසා ගැනීම සඳහා තමන්ගේ ආධාරකරුවන් සමඟ ගොස් පරාජිතයන්ගේත්, ඔවුන්ට සහය දැක්වූ ආධාරකරුවන්ගේත් ඔළු පලන අවස්ථා අප දැක තිබේ. දෙයියන්ගේ නාමයෙන් අප මේ සියලු ජයග්‍රාහකයන්ගෙන් සහ පරාජය ලැබූවන්ගෙන් ද එම දෙපිරිසේම ආධාරකරැවන්ගෙන් ද ඉල්ලා සිටින්නේ ඡන්ද ගෝරිවලට යාමෙන් වළකින ලෙසටය. මැතිවරණයෙන් පසුව සිදුවිය යුත්තේ ගහමරා ගැනීම නොවේ. සියලු දෙනාම එකතු වී ගමත්, නගරයත් දියුණු කිරීමට පියවර ගැනීමය.

ආණ්ඩුව ඇතුළේ තිබුණු කඹ ඇදිලි හේතුවෙන් ඊයේ (10) පැවැත්වුණේ මීට වසර දෙකකට පෙර පැවැත්විය යුතුව තිබූ ඡන්දයකි. මේ කාලය තුළදී සියලු පළාත් පාලන ආයතන අක්‍රීය වී තිබිණි. ඒවායේ වැඩ කටයුතු සිදු කෙරැණේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවලට අනුව නොව රජය මගින් පත්කරනු ලැබූ නිලධාරීන් අතිනි. නිලධාරීන් අතින් සිදුවන්නේ ප්‍රමුඛත්වය ලැබිය යුතු කාරණා සම්බන්ධයෙන් රාජකාරිය ඉටු කිරීම පමණි. ඒ හැරෙන්නට ගමේ ගොඩේ නගරයේ වැසියන් මුහුණ දෙන පොදු ප්‍රශ්න සහ ගැටලුවලට විසඳුම් නොතිබිණි. ඔවුන්ට  ඒවා ගැන පැමිණිලි කිරීමට මහජන නියෝජිතයන් සිටියේ නැත. ගොවීන්ට කලට වේලාවට වතුර ටික, පොහොර ටික නැති වනවිට, අස්වනුවලට මිලක් නොලැබෙන අවස්ථාවක ඒවායේ බර කරට ගෙන සාකච්ඡා කර විසඳුම් ලබා දීමට කිසිවෙක් නොවූහ. එහි සැබෑ ආදීනව පසුගිය කාලය තුළදී දැකගන්නට ලැබිණි. අලුතෙන් පත්වන පක්ෂ, විපක්ෂ සියලුම මන්ත්‍රීවරැන්ට අපට දිය හැකි අවවාදය නම් ඉදිරියේ තම සේවය සැලසීමේදී පවතින මේ යථාර්ථය සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිව කටයුතු කරන ලෙසටය.

පළාත් පාලන ආයතනවලට මෙවර පත්වන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වී තිබෙන බවද ඔවුන් අවබෝධ කර ගැනීම අවශ්‍යය. මන්ත්‍රීවරැන් සංඛ්‍යාව දෙගුණ වනවිට ඔවුන්ගේ වැටුප්, දීමනා සහ කාර්යාල ගොඩනැගිලි සඳහා වැය වන මුදලද ඩබල් වෙයි. එසේ වනවිට ඔවුන්ගෙන් ඉටුවිය යුතු සේවාවද ඩබල්, ට්‍රිබල් විය යුතුය. සේවය වෙනුවට කොන්ත්‍රාත්කරුවන්ගේ තත්ත්වයට වැටී සල්ලි ගරණ මන්ත්‍රීලා වීමට තැත් කරන්නේ නම් එවැනි මන්ත්‍රීවරැන් සම්බන්ධයෙන් ජනතාවගේ විමසුම් ඇස යොමුවන බව සිහියේ තබා ගැනීම අවශ්‍ය බව සඳහන් කළ යුතුය. අලුත් මන්ත්‍රීවරැන් හොඳින්ම සිහියේ තබා ගතයුතු වන්නේ ඔවුන් ජනතාවගේ නියෝජිතයන් බවට පත් වන්නේ වසර දෙකකට පසුව බවය. ඔවුන්ගේ ඕනෑ එපාකම් තරමටම ජනතාවගේ ඕනෑ එපාකම් ද තිබෙන බවත් කල දුටු කල වළ ඉහ ගැනීමේ ක්‍රමය අනුගමනය කිරීමට යාම අනතුරැදායක විය හැකි බවත් තේරැම් ගැනීම යහපත්ය.

අලුත් මන්ත්‍රීවරුන්ට නායකත්වය දෙන දේශපාලන නායකයන්ට ද කිව යුත්තේ තමන්ගේ පක්ෂවල බිම් මට්ටමේ ගෝල බාලයන් වන ගමේ ආණ්ඩුවල මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව සෝදිසියෙන් සිටිය යුතු බවය. තව ටික කාලයකින් පසුව පළාත් සභා ඡන්ද ද ඉන් පසුව වසර දෙකකින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන බව සිහියේ තබාගෙන කටයුතු කිරීම වඩා හොඳ වනු ඇත. 

ගමේ ආණ්ඩුවල මන්ත්‍රීවරැන්ගෙන් හොඳ වැඩ සිදුවෙනවා වගේම නරක වැඩද සිදුවන බව නොදන්නා කෙනෙකු නැත. එය ගැටලුවකි. එම ගැටලුව වඩාත් සංකීර්ණ වන්නේ කරන හොඳ වැඩවලට වඩා නරක වැඩ වැඩි වනවිටය. පාර හැදීමට, පාලම්, බෝක්කු හැදීමට වෙන් කරනු ලබන මුදලින් 80%ක් සාක්කුවේ දමාගෙන ඉතිරි 20% පමණක් යොදා ඒ වැඩ කළ මන්ත්‍රීවරැ ද මීට පෙර සිටියහ. සුළු වැඩක් හෝ කරවා ගැනීමට යන තම අසරණ ඡන්දදායකයාගෙන් අරක්කු බෝතලයක් ඉල්ලන මන්ත්‍රීවරු පවා සිටියහ. මේවායින් වැළකී තමන්ගේ ප්‍රදේශයට, තමන් බලයට පත් කළ ජනතාවට සේවය කිරීමේ අධිෂ්ඨානයක්, උවමනාවක් ඇති කර ගැනීම අවශ්‍යය.

මෙවර ඡන්දය පැවති අලුත් ක්‍රමය හේතුවෙන් සෑම කොට්ඨාසයක් සඳහාම මන්ත්‍රීවරයකු පත් වනු ඇත. මේ හේතුවෙන් තම ප්‍රදේශයට වැඩ කිරීමේ වගකීමෙන් ගැලවීමට මන්ත්‍රීවරුන්ට හැකියාවක් නැත. එවැනි බල කිරීමක් නොතිබුණත් තමන් බලයට පත් වූයේ ජනතාවගේ ඡන්දයෙන් බව සිහියට ගෙන තම යුතුකම ඉටු කිරීමට අලුත් මන්ත්‍රීවරැන් සියලු දෙනා වග බලා ගන්නේ නම් ගමේත්, නගරයේත් අඩුපාඩු හදාගැනීම මහලොකු ගැටලුවක් නොවන බව අපගේ විශ්වාසයයි.