පළාත් පාලන ඡන්දය අවසන් වී දැන් සතියක් ගෙවී අවසන්ය. තේරීපත් වූ මන්ත්‍රීවරුන් කවුදැයි මේ වන විට සියලු දෙනා දැන සිටිති. එසේ නම් ඊළඟට ඇත්තේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගෙන වැඩ ඇරඹීමය. එහෙත් එය අද හෙට සිදුනොවන බව පෙනෙන්නට තිබේ.
ඒ පමණක් නොවේ. ඡන්දය නිමවීමෙන් පසුව පවතින රජය ලැබූ ප්‍රබල පරාජය හේතුවෙන් රට මේ වනවිට දැඩිව අකර්මණ්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ. රජයක් පවතිනවාද නැද්ද යන්න පවා අවිනිශ්චිත වෙමින් තිබේ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විටින් විට සිදුකරන ප්‍රකාශ එම අවිනිශ්චිත බව වර්ධනයට මිස සමනයට හේතු නොවේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ රට අකර්මණ්‍ය වීමය. එක තැන නැවතීමය.
මේ තත්ත්වය දිගින් දිගටම පැවතීම රටට මහත් හානිකර ප්‍රතිඵල ගෙනදිය හැකිය. පසුගිය සිකුරාදා වනවිට රුපියලේ අගය රුපියල් 157 දක්වා බාල්දු වී තිබිණි. කිසිදු අමාත්‍යංශයක, රජයේ දෙපාර්තමේන්තුවක වැඩක් කෙරෙන්නේ නැත. මහබැංකු අධිපතිවරයා අනතුරු අඟවා තිබුණේ වහාම දේශපාලන ස්ථාවරභාවය ඇතිකර නොගතහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවය. පවතින ගැටලු හැකි ඉක්මණින් විසඳාගෙන රට ස්ථාවර කර ගැනීමේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීමය. එය ඉටුවීම ප්‍රමාද වනවිට අවසානයේ බැටකෑමට සිදුවන්නේ රටේ ජනතාවටය.
රජය මෙසේ අකර්මණ්‍යව පැවතීම පළාත් පාලන ආයතන තවමත් අක්‍රියව තිබීමට බලපාන කාරණාවකි. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමට නම් ඒ ඒ සභාවලට තේරීපත් වූ සභිකයන්ගේ නම් සහිත ගැසට්ටුව නිකුත් කළ යුතුය. නමුත් එම ගැසට්ටුව නිකුත් කිරීම දින නියමයක් නැතිව කල්යනු ඇතැයි ප්‍රකාශ වී තිබේ. ඊට එක් හේතුවක් වශයෙන් සඳහන් වන්නේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25 ක් වීම අනිවාර්ය කිරීම නිසා නිර්මාණය වී තිබෙන බරපතළ අර්බුදය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යවලට ප්‍රකාශ කර තිබිණි. එහෙම වන විට සභා පිහිටුවීමේ ගැටලුවක් ඇතිවන බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිගෙන් විමසා බලා ලබන සඳුදා (හෙට) වන විට තීරණයක් ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් දේශප්‍රිය මහතා සඳහන් කර තිබිණි.
මැතිවරණ කොමිසම පවසන තාක්ෂණික කරැණු සැබෑය. එහෙත් ඒ මත රුඳෙමින් තවදුරටත් කාදැමීමට කාලයක් නැත. මේ ඡන්දය පැවැත්වූයේ “ඊයේ මේ වෙලාවට පැමිණීමට නියමිත වූ කෝච්චිය අද මේ වෙලාවට පැමිණියේය.” වැනි තත්ත්වයක් යටතේය. එනම් ඡන්දය වසර දෙක හමාරක් ප්‍රමාද වී පැවැත්වීමය. නමුත් ගැටලුව වී ඇත්තේ එසේ පමා වී හෝ ඡන්දය පවත්වා මන්ත්‍රීවරුන් තෝරාගනු ලැබුවද ඔවුන්ගේ සේවය ලබාගැනීමට පළාතේ ඡන්දදායකයාට අවස්ථාවක් නොලැබී යාමයි. වසර දෙක හමාරක් පමණ කාලයක සිට අක්‍රීයව පැවැති පළාත් පාලන ආයතන නැවත පණගන්වා වැඩට බස්සන තුරු ඒ ඒ ප්‍රදේශවල ජනතාව මහත් බලාපොරොත්තු තබා සිටිති. එහෙත් තවමත් එය ඉටු වී නැත.
ඡන්දය පැවැත්වීම සඳහා එතෙක් පැවැති සමානුපාතික ක්‍රමය වෙනස් කිරීමට සැකසුණු නව පළාත් පාලන මැතිවරණ පනත හදන විටම තමන් එහි තිබූ ගැටලු පෙන්වූ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි. විශේෂයෙන් කාන්තාවන්ගේ නියෝජනය අනිවාර්ය කිරීම බොහෝ ගැටලුවලට හේතුවනු ඇතැයි තමන් පෙන්වා දුන්නත් එය ඒ අවස්ථාවේදී සැලකිල්ලට යොමු නොකළ බවද කොමිසම කියා තිබිණි. නමුත් දැන් පළාත් පාලන ආයතන බලගැන්වීම සඳහා පනතට සංශෝධන ගෙන ඒම අවශ්‍ය බවත් සියයට 25 අනිවාර්ය කාන්තා නියෝජනය සංශෝධනය කරන ලෙසට පාර්ලිමේන්තුවට යෝජනා කරන බවත් කොමිසමේ සභාපතිවරයා කියා තිබිණි. පළාත් පාලන ආයතන හැකි ඉක්මනින් බලගැන්වීම සඳහා දරන මේ උත්සාහය අපි අගය කරමු. එය යථාර්ථයක් බවට පත් කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුව අතේ බවද මතක් කර දෙමු.
කෙසේ වුවද ඡන්දයේ ප්‍රතිඵලයත් සමඟ රටේ සමස්ත දේශපාලනයම උඩු යටිකුරැ වී තිබෙන තත්ත්වයක් තුළ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සහ සභා පිහිටුවා ගැනීමේ ගැටලු ගැන වෙහෙස වීමට ආණ්ඩුවට කාල වේලාවක් නැති බව පෙනෙන්නට තිබේ. නමුත් ජනතාවගේ අපේක්ෂාවන් යටපත් කරදැමීමට ද ඉඩක් දිය යුතු නැත. ප්‍රමාදයකින් තොරව පළාත් පාලන ආයතන බලගන්වා ඡන්දදායකයන්ගේ බලාපොරොත්තු ඉටුකිරීම ආණ්ඩුවේත් අදාළ අමාත්‍යාංශවලත් මැතිවරණ කොමිසමේත් වගකීමක් බැව් සඳහන් කරමු.
පළාත් පාලන ආයතනයට අනිවාර්ය කාන්තා නියෝජනය දාපු මිනිහා හිටියොත් වෙඩි තියන්න තරම් කේන්තියකින් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සිටින බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා තිබිණි. එවැනි “වෙඩි තැබීම්” වලින් තොරව අදාළ ගැටලු විසඳාගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු.