2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

රට අමතක කළ බල පොරය

2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:0061

පුංචි ඡන්දය අවසන් වී අදට හරියටම සති දෙකකි. එහෙත් තවමත් පළාත් පාලන ආයතන 340 පිහිටුවාගැනීම් කටයුතු අවසන් වී නැත. එපමණක් නොවේ. එම ඡන්ද ප්‍රතිඵලය විසින් රටේ දේශපාලන ස්ථාවරභාවය ප්‍රබල කම්පනයකට හසුකර තිබේ. තවමත් ආණ්ඩුවට එම කම්පනයෙන් ගැලවීමක් ලැබී නැත. එහි ප්‍රතිඵලය අස්ථාවර, අවිනිශ්චිත, උතුර දකුණ මාරු වූ කලෙක මෙන් වැඩ කරන පාලන තන්ත්‍රයක් දැකගැනීමට හැකිවීමය. දැන්වත් මේ තත්ත්වය ආපසු හැරවීමට ආණ්ඩුව ඇස් පෑදිය යුතුය.
ඇතිවෙමින් තිබෙන අස්ථාවරභාවය විසින් රට විශාල අනතුරකට ඇද දමමින් තිබේ. අපගේ මෙවර දේශය පුවත්පතේ එක් ප්‍රවෘත්තියකින් ප්‍රකාශ වෙන පරිදි දේශපාලන අස්ථාවරභාවයේ පළමු වින්දිතයා වන රුපියල පල්ලම් බැසීම හේතුවෙන් මේ වන විට රටේ විදෙස් ණය කන්ද ඩබල් වී තිබේ. ඒ එක් විනාශයකට උදාහරණයක් පමණි. මේ ණය කන්ද සැහැල්ලු කර ගැනීමට අත්‍යාවශ්‍යම සාධක වන අපනයනය ඉහළ යාමක් හෝ ඍජු විදෙස් ආයෝජන ලැබීමක් හෝ අද හෙටම සිදුවන්නේ ද නැත. ඇත්ත වශයෙන් සිදුවන්නේ ඒ දෙකම අධෛර්යමත් වීමය.

රටේ ජනතාවගේ ඇස් පනාපිටම රජය දිනෙන් දින අසමත් බව වැළඳගනිමින් සිටී. ගැටලු විසඳාගැනීම ප්‍රමාද වන තරමට එහි කනගාටුදායක බව තව තව උග්‍ර අතට හැරෙයි. තමන්ගේ ප්‍රශ්න සහ ගැටලුවලට පිළිතුරැ සහ විසඳුම් සෙවීම පසෙක තබා ආණ්ඩුව තමන්ගේ බලය පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව පැහැදිලිය. එය ජනතාව අතර ජනප්‍රිය වීමට කාරණයක් නොවේ. පුංචි ඡන්දයේ ප්‍රතිඵලවලින් පෙන්වා දී තිබෙන්නේ ද ගෙවී ගිය වසර දෙක හමාරක කාලය තුළ දී ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි අවම අවධානයක් යොමුකර ආණ්ඩුව කටයුතු කර ඇති බවය. එම තත්ත්වය අවබෝධ කර ගැනීමකින් තොරව දිගින් දිගටම කටයුතු කිරීම ආණ්ඩුව තවදුරටත් තමන්ගේ වළ කපාගැනීමකි.

ජනතාව මේ වන විටත් එදිනෙදා ජීවත් වීමේ බරපතළ ගැටලුවලට මුහුණදෙමින් සිටී. ආණ්ඩුව තමන්ගේ බලය උරගා බැලීමේ සටනක නිරතව සිටී. රටේ කිසිදු ඉදිරි ගමනක් නැත. පුංචි ඡන්ද ප්‍රතිඵලයේ රතු සංඥාව හඳුනාගෙන ඉදිරියට යාම වෙනුවට ආණ්ඩුව තවමත් සිටින්නේ අඳුරේ අතපත ගාමින් බව දවසින් දවස දිගහැරෙන සිදුවීම්වලින් ද සිදුකෙරෙන කතාබහින් ද පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය වහාම වෙනස් විය යුතුය. වැඩි කාලයක් රටකට මෙහෙම එක තැන පල්වෙමින් සිටීමට හැකියාවක් නැත. ඡන්දයේ ප්‍රතිඵලය පාලනය වෙනස් කිරීම සඳහා ලබාදෙන ලද ජන වරමක් වශයෙන් හඳුන්වා දෙමින් ඒකාබද්ධ විපක්ෂය සිදුකරන ප්‍රකාශවලට පවතින තත්ත්වය උඩගෙඩි දීමක් බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.

රටේ දැනට පවතින ආර්ථික අර්බුදය මේ හේතු නිසා තවත් බරපතළ වනු ඇත. ඊට සරල, පහසු විසඳුම් නැත. 2018 වසර සැලකෙන්නේ රටේ විදෙස් ණය ආපසු ගෙවීම ආරම්භ වන වසර වශයෙනි. එය හොඳින් කළමනාකරණය කර නොගත්තොත් මේ ආණ්ඩුවට ඊළඟ ඡන්දයට මුහුණදීමට සිදුවනු ඇත්තේ රට බංකොළොත් කළ ආණ්ඩුවක් හැටියටය. එසේ නොවීමට නම් වහාම තමන්ගේ ගැටලු විසඳා ගැනීමට රජය ප්‍රමුඛත්වය දිය යුතුය. ආර්ථික කළමනාකරණ කටයුතු තමන්ගේ යටතට පවරාගන්නා බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශ පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ.

දැනට රටේ තිබෙන්නේ නිත්‍යනුකූල ඇමැති මණ්ඩලයක් ද යන්න පවා පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක්වෙමින් තිබේ. සම්මුති ආණ්ඩුව දිගටම යන බවට ශ්‍රීලනිපයේත් එජාපයේත් නායකයන් පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශයට පත් කළත් ඇමැති විෂයයන් වෙනස් කිරීම කල් යමින් තිබිණි. එය සිකුරාදා (23) පස්වරුවේ සිදුකෙරෙනු ඇති බවට ආරංචි පැතිරී තිබුණද එය තහවුරු නොවීය. අපට පැවසීමට ඇත්තේ කරන දෙයක් ඉක්මනට සහ පැහැදිලිව සිදුකර මුහුණ දී සිටින අනාරක්ෂිත තත්ත්වයෙන් රට ගොඩගත යුතු බවය. ප්‍රමාද වීමට කාලයක් නැති බවය.

වංචාව සහ දූෂණය මෙවර පුංචි ඡන්දයේ ප්‍රතිඵල කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ කාරණාවක් බවද ආණ්ඩුව අමතක නොකළ යුතු කාරණාවකි. පසුගිය ආණ්ඩුවේ වැරදිවලට වඩා ජනතාව මෙහිදී පැහැදිලිවම බලවත් අප්‍රසාදය ප්‍රකාශ කර ඇත්තේ පවතින රජයේ නායකයන්ගේ කෙරුවාවට එරෙහිව බව පැහැදිලිය. එසේම ඇමැති පදවි අසීමිතව තිබුණත් තමන්ගේ මූලික අවශ්‍යතා හෝ ඉටු වී නැති බව ජනතාව කල්පනා කර ඇති බවද පෙනේ. එසේ නොවන්නට පුංචි ඡන්දය රජයට එරෙහිව ජන මතයක් ප්‍රකාශ කරන මට්ටමට වැටෙන්නේ නැත. නමුත් ලොකුම ගැටලුව රජය මේ සංඥාව නිවැරදිව තේරැම් ගෙන ඇතිද යන්නය. එසේ තේරැම්ගෙන ඇති බවක් තවමත් පෙනෙන්නට නැත.