හොරු සහ ආණ්ඩුව
පුංචි ඡන්දය ඉවර වුණත් ඒ ගැන කතාබහ තාම ඉවරයක් නැත. පුංචි ආණ්ඩුත් තවම නැත. ඒ අතරේ එක් එක් දේශපාලන නායකයෝ විවිධ කතා කියති. ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ද අපූරු කතාවක් කියා තිබිණි. එය මෙසේය.
හොරු අල්ලන්න ආණ්ඩුවක් හැදුවා... හොරු ටික එකතු වෙලා ආණ්ඩුව අල්ලුවා.
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජ.වි.පෙ. ක්‍රියාකාරිකයකු වන සමන්ත විද්‍යාරත්න උමා ඔය විනාශය පිළිබඳව පීඩනයට පත් ජනතාව වෙනුවෙන් මුළු වැර යොදා සටන් කළ දේශපාලනඥයෙකි. ඡන්දෙන් පස්සේ ඔහුට කියන්න ඉතිරිව තිබුණේ මෙපමණකි.
උමා ඔය ව්‍යාපෘතියටත් වඩා විනාශකාරී ව්‍යාපෘති ගෙන ඒම සඳහා ඡන්දදායකයන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව තමයි පේන්න තිබෙන්නේ.
- සන්ඩේ ටයිම්ස්
සේවකයන්ට වඩා මන්ත්‍රීවරු වැඩි වෙලා
මේ සටහන ද පුංචි ඡන්දයට සම්බන්ධය. නව පළාත් පාලන සංශෝධන පනත යටතේ සිදුකෙරුණු මෙවර ඡන්දයේ ප්‍රතිඵලය විසින් විවිධ ගැටලු නිර්මාණය කර තිබේ. තේරී පත්වූ මන්ත්‍රීවරැන්ගේ සංඛ්‍යාව නියමිත වූ සංඛ්‍යාවට වඩා 359කින් ඉහළ ගොස් තිබීම එක් එවැනි එක් අපබ්‍රංසයකි. ඡන්දයකදී තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරැන්ගේ සංඛ්‍යාව හෝ හරියට ප්‍රකාශ කරගත නොහැකි තරමට අඩුපාඩු ඇතිව නව පනතට අදාළ සංශෝධන සකස් කළේ කවුද යන්න ගැටලුවකි. දැනගන්නට තිබෙන අන්දමට අදාළ පනත සංශෝධනයේ ඇතැම් වගන්ති එක්තරා මන්දිරයකින් කෙළින්ම සකස්කර එවීම ඊට හේතුව බව කියැවෙයි.
කෙසේ වුවද ඊටත් වඩා හාස්‍යජනක කාරණයක් ද වාර්තා වී තිබේ. එනම් ඇතැම් පළාත් පාලන ආයතනවල සේවයේ යෙදී සිටින සනීපාරක්ෂක කම්කරැවන්ගේ සංඛ්‍යවටත් වඩා මන්ත්‍රී සංඛ්‍යාවක් තේරීපත්ව සිටීමය. මේ තත්ත්වය වඩාත් කැපීපෙනෙන මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා බොහොමයක කම්කරුවන්ගේ සංඛ්‍යාව මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩිය.
දෙවිනුවර ප්‍රාදේශීය සභා සඳහා තේරීපත් වූ මන්ත්‍රීවරුන් 21ක් සිටින විට ජනතා සේවය සඳහා සිටින කම්කරැවන්ගේ සංඛ්‍යාව 18ක් පමණි. අකුරුස්සේ මන්ත්‍රීවරු 25කි. සේවක පිරිස 24කි. මේ උදාහරණ දෙකක් පමණි.
ලංකාව තවමත් ලෝකයේ දූෂිත රටක්
මැතිවරණයේ වේදිකාවල දූෂණය, වංචාව, හොරකම මහත් උණුසුම් වූ මාතෘකා අතර විය. දූෂිතයන්, වංචනිකයන් දේශපාලනයට බැසීම තුළින් නැතිවන්නේ ආණ්ඩු පමණක් නොවේ. රටේ කීර්ති නාමයට ද හානි පැමිණෙයි.
ශ්‍රී ලංකාව ද ලොවේ වඩාත්ම දූෂිත රටක් වශයෙන් හැඳින්වෙන්නේ එම පසුබිම තුළය. දූෂණයට එරෙහි ගෝලීය සංවිධානය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් නිකුත් කරන ලද 2017 ලොව දූෂිතම රටවල් ලේඛනයේ ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ 91 වැනි ස්ථානයේය. ඊට කලින් වසරේ රැඳීසිටි 95 වැනි ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියද එය ඉතා මන්දගාමී ප්‍රවණතාවකි.
රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම පිළිබඳව රටවල් 180ක වාර්තාවක් එම ආයතනය මගින් වාර්ෂිකව සකස් කෙරේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර ප්‍රකාශ කළේ 19 වැනි ව්‍යාවස්ථාව යටතේ දූෂණ මර්දන ආයතන ශක්තිමත් කිරීමට පියවර ගනු ලබුවත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා දිගින් දිගටම අසමත් වීම මේ තත්ත්වයට මගපාදා තිබෙන බවයි.
- ඩේලි එෆ්.ටී