ආණ්ඩුවේ අර්බුදය දිගින් දිගටම දිග් ගැස්සෙමින් තිබේ. රටේ පාලන බලය ව්‍යවස්ථානුකූලව ඇත්තේ ශ්‍රීලනිපය සහ යූ.එන්.පිය නියෝජනය කරන, තවමත් පවතින බව කියන සම්මුති රජයටය. එහෙම වුණත් පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙන් පස්සේ මේ රටේ සැබෑ ජනවරම දැන් ඇත්තේ තමන්ට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියයි. මෙහි වඩාත්ම කැපීපෙනෙන කාරණය වන්නේ රටේ බලය තමන්ට බව කියන පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් නොවීමය.
පොදුජන පෙරමුණේ නායකයා වශයෙන් සඳහන් වන්නේ වරින් වර යූ.එන්.පියේත් ශ්‍රීලනිපයේත් සාමාජිකත්වය දැරෑ සහ චන්ද්‍රිකා, රනිල් සහ මහින්ද තිදෙනාගේම ආණ්ඩුවල ඇමැතිකම් දැරෑ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. එහෙත් එහි සැබෑ නායකයා කිසිදාක තම පක්ෂය වූ ශ්‍රීලනිපය හැර නොගිය මහින්ද රාජපක්ෂය. ඔහු ශ්‍රීලනිපයේ සිටිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්ද වේදිකාවට ගොඩවූයේ මේ පක්ෂයේ සිටින්නේ සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයන් බව කියමිනි. ඔහුට 44.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණේ ඔහු එලෙස ශ්‍රීලනිප පාක්ෂිකයන්ට කළ ආමන්ත්‍රණය හේතුවෙනි. මාස 15 ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙවන් දේශපාලන ජයග්‍රහණයක් ලැබීමට බැසිල් රාජපක්ෂගේ සංවිධාන ශක්තිය තීරණාත්මක සාධකයක් වූ බව සඳහන් කළ යුතුය. හැබැයි ඒ සමඟ කිවයුතු වන්නේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ පක්ෂයට වඩා මහින්දට බවය.
ආණ්ඩුව දැනට පවතින තත්ත්වය හැසිරවිය යුතු වන්නේ මේ යථාර්ථය අවබෝධ කරගනිමිනි. මහින්ද විපක්ෂයට වී ගිනි තපිමින් නොසිටිනු ඇති බවත් රත් වූ යකඩයක් මෙන් ඔහු යළිත් සක්‍රීය දේශපාලනයට පිවිසෙනු ඇති බවත් එසේ ආපසු පැමිණෙන අවස්ථාවේ දී ආණ්ඩුව කළ යුතුව තිබෙන දේ, එනම් ජනතාවට පොරොන්දු වූ දේවල් ඉටුනොකර සිටියොත් ආණ්ඩුව දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත් අප මේ තීරුවේ සටහන් කළේ ආණ්ඩුව බලයට පත් වූ මුල් අවධියේදීමය. එය යළිත් අප මතක් කර දුන්නේ මහින්ද සුළඟ... මහින්දත් සමඟ නැඟිටිමු වැනි ජනතාවගේ විශාල සහභාගීත්වයකින් පැවැති රැස්වීම්වලින් පසුවය. බැසිල් මෑතකදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට කියා තිබුණේ පහුගිය මැයි දිනයේ ගෝල්ෆේස් පිටියට පැමිණි ජනතාව ලබා දී තිබූ සංඥාව අඳුරගත්තා නම් ඡන්දයේ දී වෙන්නේ කුමක්දැයි කියා දැනගැනීමට මොනම සමීක්ෂණයක්වත් අවශ්‍ය නොවන බවය. ශ්‍රීලනිපය කෙසේ වෙතත් යූ.එන්.පිය නම් සිටියේ තම පක්ෂයේ ශක්තිය පිළිබඳව අධිතක්සේරැවකින් යුතුව බව පුංචි ඡන්දය ආසන්නයේ නායකයන්ගෙන් කියැවුණු ප්‍රකාශවලින් පැහැදිලි විය. යූ.එන්.පියට ආණ්ඩුව පමණක් නොව නායකත්වය පවා අද අභියෝගයක් වී තිබෙන්නේ ජන හදගැස්ම නොහඳුනන මෙවැනි වැරදි තක්සේරු හේතුවෙනි.
අද පාර්ලිමේන්තුවේ බලය පවත්වාගෙන යාම පවා යූ.එන්.පියට ප්‍රශ්නයකි. ශ්‍රීලනිපය දිගටම ආණ්ඩුවේ සිටින බව සඳහන් කරමින් ලියුමක් දුන්නත් තිරය පිටුපසින් ඇසෙන්නේ වෙනම කතාවකි. ඔවුන් දිගටම උත්සාහ දරන්නේ තනිවම ආණ්ඩුවක් පිහිටුවීමටය. ඒ සඳහා මහින්දලාගේ ඒකාබද්ධ විපක්ෂය සහාය පළ කිරීමට සූදානම් වුවත් ඇමැති පදවි ගෙන ආණ්ඩුවේ කොටස්කාරයන් වීමට අදහසක් නැත. එයට ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැමැත්තක් නැති බව පෙනෙන්නට තිබේ. තීරණාත්මක මොහොතකදී මහින්ද සහාය ඉවත් කර ගත්තොත් ජනාධිපතිට සිදුවන්නේ ආණ්ඩුව වැටෙනවා බලා සිටීම පමණි. එහි වාසිය මහින්දටය.
ජනාධිපතිවරයා දිගින් දිගටම උත්සාහ දරමින් සිටින්නේ ආණ්ඩුව ඇතුළේ වෙනසක් සිදුකර නියමිත කාලය ගෙවා දැමීමට බව පැහැදිලිය. ජනාධිපතිට අවශ්‍ය වන පරිදි එම වෙනස සිදුකිරීමට යූ.එන්.පි නායකත්වය ඉඩදෙන බවක් පෙනෙන්නට නැත. එහෙම ඉඩක් දෙනවා නම් කැබිනට් සංශෝධනය මෙහෙම ඇදි ඇදී යාමට හේතුවක් නැත. ජනාධිපතිවරයා ඡන්දයට පෙර කීවේ දූෂිතයන් සහ වංචනිකයන් සමඟ ආණ්ඩු කිරීමට සූදානම් නැති බවය. තව දවසක දී ප්‍රකාශ කළේ එජනිස නියෝජනය කරන මන්ත්‍රීවරුන් 96 දෙනාම තමා සමඟ එකට සිටගන්නේ නම් ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් හදන බවය. ආර්ථිකය හැසිරවීම තමන් බාරගන්නා බව තවත් එක ප්‍රකාශයක් විය. මේ එකක්වත් සිදුකිරීමට තවමත් ජනාධිපතිට හැකියාවක් ලැබී නැත.
දූෂිතයන් සහ වංචනිකයන් ආණ්ඩුවේ සිටියා නම් ඒ කිසිවකුත් තවම ඉවත් කර නැත. මන්ත්‍රී 96 දෙනාගේම සහාය දැන් ජනාධිපතිවරයාට ලබාදෙන බවට සහතිකයක් ලැබී තිබේ. එහෙත් තවම තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් නැත. ආර්ථිකය හැසිරවීම තමන් බාරගන්නා බව කිව්වත් මුදල් ඇමැතිවරයා තවමත් මංගල සමරවීරමය. මේ කිසිවක් වෙනස් කිරීමට තවමත් ජනාධිපතිවරයා සමත් වී නැත.
ඡන්දයෙන් පසුව පළමු කැබිනට් රැස්වීම පැවැත්වුණේ පසුගිය අඟහරුවාදා (20) ය. එදින සුසිල් සහ දයාසිරි ඇමැතිවරුන්ගේ නොපැමිණීම කැපී පෙනුණේය. මේ අවස්ථාවේ දී ඇමැති පදවි අතහැර විපක්ෂයට නොයන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබියදීත් මේ දෙදෙනා නොපැමිණීම ගැටලුවකි. ඔවුන් නොපැමිණියේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමටත් ඇමැති මණ්ඩලයේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමටත් ජනාධිපතිවරයාට නොහැකි වීම නිසා බවද දැනගැනීමට තිබේ. නමුත් පවතින ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූවොත් මිස අස්කිරීමට හැකියාවක් නැත. අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතු වන්නේ ද අගමැතිගේ උපදෙස් අනුවය. මේ වෙනස්කම් ඇතිවූයේ 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය හේතුවෙනි.
මේ කිසිවක් කරගත නොහැකි නම් ආණ්ඩුවට ගත හැකි පියවර ඇත්තේ දෙකක් පමණි. එකක් මේ පවතින ආකාරයට ඉදිරියට ආණ්ඩුව ගෙන යාමය. නැතහොත් ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමය. ඒ සඳහා සාමාන්‍ය බහුතරය ප්‍රමාණවත් නැත. එම යෝජනාව තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වීම අවශ්‍යය. යූ.එන්.පි. ප්‍රමුඛ එ.ජා.පෙත් ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසයත් එකතු වුවොත් (96+106) තුනෙන් දෙක පහසුවෙන්ම ලබාගත හැකිය. එසේ වුවත් පාර්ලිමේන්තුව කලින් විසුරැවා හරින අවස්ථාවක දී 2015 දී පළමු වතාවට තේරීපත් වූ මන්ත්‍රී පිරිසට යම් අසාධාරණයක් සිදුවෙයි. ඔවුන් විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමට නම් වසර 5 ක් සම්පූර්ණ වී තිබීම අවශ්‍යය. එසේම ඔවුන්ගේ පළමු මන්ත්‍රී ධූර කාලය වසර දෙක හමාරකට සීමාවෙයි. මේ තත්ත්වයට මුහුණදෙන මන්ත්‍රීවරැ 62 ක් වත්මන් පාර්ලිමේන්තුවේ සිටිති. ඡන්දයක් ඉල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීමට නායකයන්ට සිදුවනු ඇත. එය තරමක් අමාරැ කාර්යයකි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් මැති ඇමැතින්ට ඊළඟ වතාවේ දී යළි තේරීපත් වීමට හැකිවන බවට විශ්වාසයක් ද නැත. මේවා විසඳා නොගෙන එවැනි යෝජනාවක් සම්මත කිරීම පහසු නොවනු ඇත.
තවත් සමහරුන් ප්‍රශ්න කරන්නේ අගමැති ඉවත් විය යුතු බවට තීරණයක් ගන්නේ මොන පදනමක් මතද යන්නයි. මීට පෙර පැවැති කිසිම මැතිවරණයක දී පවතින රජය පුංචි ඡන්දයකින් පරාජය වී නැති බව සත්‍යයක් වුවද එවැනි කඩඉම් ඡන්දයක දී පවතින රජයට අපේක්ෂිත ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට නොහැකි වූ විට අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි කවුරුත් කියා නැත. එසේම පළාත් පාලන ඡන්දයේ දී මුළු ආණ්ඩුවටම එරෙහිව ජන මතයක් ප්‍රකාශ වී තිබියදී අගමැති පමණක් ඉල්ලා අස්විය යුතු බවට මතයක් ගෙන යාමේ පදනම කුමක්දැයි ඇතැම් දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති.
මේ එක් විචාරකයකු සඳහන් කර ඇත්තේ ඡන්දයෙන් පස්සේ පොදුජන පෙරමුණ බලය ලබාගැනීමට ඉක්මන් ගමනක් යන බවය. යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුව පෙරළීම සඳහා තමන් එජනිස සමඟ සන්ධානගත වීමට පවා සූදානම් බවට රටට පණිවුඩයක් දී ඇති බවය. මේ රටේ පසුගිය වසර තුනේ දී ඇති වී තිබෙන සියලු ප්‍රශ්නවලට මුල යූ.එන්.පිය පමණද? යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. යූ.එන්.පී. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම්වල බලපෑමක් තිබුණද ආණ්ඩුවේ සෙසු කොටස්කරුවන් වන ශ්‍රීලනිප සහ එජනිස මැති ඇමැතිවරුන් ඒ ප්‍රශ්නවලට වගකිව යුතු නැද්ද විමසන ඔහු අගමැති රනිල් පසුගිය සිකුරාදා බෙහෙවින් සන්සුන්ව ආත්ම විශ්වාසයකින් යුතුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී අගමැති ඉවත් කිරීමට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට නොහැකි බව ප්‍රකාශ කරන තුරු එම පක්ෂයේ සමහරැන් එය නොදැන සිටි බවද සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජන වරම වත්මන් රජය පෙරළා දැමීම සඳහා ලබාදුන් එකක් නොවන බව මුලින්ම ඔවුන් තේරැම්ගත යුතුව තිබූ බවද ඔහුගේ අදහස වෙයි.
කෙසේ වුවද තවත් සමහරුන්ගේ මතය වී ඇත්තේ ජනාධිපතිවරයා තමන්ගේ නායකත්වයේ ගෞරවය ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙන් අගමැතිට ඉල්ලා අස්වන්නැයි කියන බවය. ඇත්ත වශයෙන්ම අගමැති එම තනතුරේ තවදුරටත් රැඳී සිටිනවාද තනතුරින් යා යුතුද යන්න තීරණය කළ යුත්තේ යූ.එන්.පියේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු සාමාජිකයන් මිස ජනාධිපතිවරයා හෝ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් හෝ නොවන බව පැහැදිලිය. නමුත් සියල්ලටම පෙර අගමැති අස්විය යුතු බවට ජනාධිපතිවරයා විසින් දැරූ ස්ථාවරය නිසා රටම අද මෙසේ අවිනිශ්චිත, අස්ථාවර බවකට මුහුණ දී සිටින බවද සමහරු චෝදනා කරති. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරන්නට ඇත්තේ ශ්‍රීලනිපය තුළ සිටිමින් තමන්ට සහාය දැක්වූ මැති ඇමැතිවරුන්ගේ බලපෑම නිසා බව පැහැදිලිය.
මේ තත්ත්වය අනුව පැහැදිලි වන්නේ රට දේශපාලන පඹගාලක පැටලෙමින් සිටින බවය. පවතින රජයට පැහැදිලි අභියෝගයක් එල්ල වී තිබේ. එය රජයේ පැවැත්මට පවා තර්ජනයක් වන තරමට බරපතළය. එසේම යූ.එන්.පිය ඇතුළේ ප්‍රබල සංවාදයක් ඇති කිරීමටද එය හේතු වී තිබේ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර ප්‍රබල විරසකයක් ඇති කිරීමටද පවතින තත්ත්වය මඟපාදා තිබේ. මෙවැනි විරසකයක් මුල සිටම බලාපොරොත්තු වූයේ මහින්දලා බවට සැකයක් නැත. ඔවුන්ගේ එම බලාපොරොත්තුව අද ඉටු වී තිබෙන්නේ මැතිවරණ ජයග්‍රහණයක් ද සමඟින් වීම එහි ශක්තිය වැඩිකර තිබේ. මේ සිදුවීම් පෙළ හේතුවෙන් මහා මැතිවරණය නොසිතූ තරම් ඉක්මන් වීමට ඉඩ තිබෙන බවද සැලකිල්ලට ගත යුතුය.
කොහොම බැලුවත් මීළඟ ජනාධිපතිවරණය සඳහා තව ඇත්තේ මාස 18ක තරම් කාලයක් පමණි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකට සිටියොත් එය ගිනි කන්දක් මත හිඳිමින් සිදුකරන පාලනයක් වීමට හොඳටම ඉඩ තිබේ. 2018 වසර තුළදී සැබෑ දේශපාලනික, ආර්ථික සහ සමාජ විද්‍යාත්මක ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසකට මුලපිරීමකින් හැර තමන් ගැන විශ්වාසයක් ජනතාව තුළ යළිත් ඇති කිරීමට ආණ්ඩුවට වෙනත් මඟක් නැත. නමුත් ආණ්ඩුව ඒ වෙනුවට තෝරාගෙන තිබෙන්නේ එකිනෙකා කුළල් කා ගන්නා සටන් මාවතකි. මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් මහින්ද රාජපක්ෂත් ලැබූ ජය දෙගුණ වීමකි.
ශශීන්ද්‍ර