2018 මාර්තු 03 වන සෙනසුරාදා

බටුවන්තුඩාවේ පඬිතුමා

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 313

බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමාගේ දියණිය මල්ලිකා ජයතිලක පිළිබඳ මා සඳහන් කළ පසු එතුමා ගැන කරුණු විමසමින් දුරකතන ඇමතුම් කීපයක් මට ලැබුණි.  සාමාන්‍යයෙන් මේ අවධිය ගැන තොරතුරු දුලබ වීම නිසා බෞද්ධ පුනරුදය පිළිබඳ අපේ දැනුමේ හිදැසක් පවතී.

හික්කඩුවේ සුමංගල හිමි මෙන්ම අප පඬිතුමා ද සිය දිවිය ඇරඹුවේ ගාලු දිස්ත්‍රික්කයෙනි. මේ යුගයේ දී ගාල්ල, කොළඹ සමඟ තකට තක සිටීමට තරම් වූ දියුණු නගරයක් විය.  එයට ප්‍රධාන හේතුව වූයේ එකල වෙළඳාම සඳහා මුහුදු ගමනාගමනය සිදුවූයේ රුවල් නැව්වලින් වීමයි. පිටරටින් එන අත්‍යවශ්‍ය භාණ්ඩ ගොඩ බාන ලද්දේ ගාලු වරායේදීයි.  මේ භාණ්ඩ අතර වඩාත්ම වැදගත් වූයේ පිටරටින් ගෙන්වන ලද සහල්ය. දැන් කොතෙකුත් පාරම්බෑවත් එකල අප රට සහලින් ස්වයංපෝෂිත නොවූයේය. බ්‍රිතාන්‍ය රජය මෙරටට සහල් ආනයනය කිරීම පුද්ගලික සමාගම්වලට භාරදී තිබුණේය. සිංහල වෙළෙන්දෝ ඉන්දියානු හා බුරුම හාල් මිලදී ගෙන නැව් මගින් ගාල්ලට එව්වෝය. මුලින්ම දකුණේ දේශීය ධනපතියන් ඇති වූයේ හාල් ජාවාරමට සම්බන්ධ වීමෙනුයි. ඔවුන්ගේ ගනුදෙනු තිබුණේ අපට හුරුපුරුදු කල්කටා නගරය හා කල්කටා වරාය සමඟයි.  මේ සහල් වෙළඳුන් අතර මුල් තැනක් ගන්නේ තෝමස් ද සිල්වා අමරසූරියයි. කල්යෑමේදී “ද සිල්වා” කොටස හලාගත් අමරසූරියවරු බොදු පුනරුදයේ ප්‍රධාන කොටස්කරුවෝ වූහ. පරමවිඥානාර්ථ සමිතියේ දීප්තිමත් පාසැලක් වූ මහින්දය ගොඩනැගීම සඳහා වැඩියෙන්ම මුදල් ආයෝජනය කළේ තෝමස් ද සිල්වායි.  ඔහු මහින්දයේ ආදි කර්තෘ වූ හෙන්රි ඩබ්ලිව් වුඩ්වර්ඩ්ගේ කල්‍යාණ මිතුරා වූයේය. තෝමස්ගේ ආදරණීය පුත්‍රයා වූ එච්.ඩබ්ලිව්.  අමරසූරියගේ මුල් නම හෙන්රි වශයෙන් යොදන ලද්දේ වුඩ්වර්ඩ් ද හෙන්රි කෙනෙකු වූ නිසාය.

පරමවිඥානාර්ථ සමිතියේ ආදි කතෘවරුන් වන හෙන්රි ඕල්කොට් හා බ්ලැවැට්ස්කි මැතිනිය ලංකාවට ගොඩ බැස්සේ ගාලු වරායෙන්ය. ඔවුන්ගේ මුල් දවස්වල වියහියදම් දරන ලද්දේ ගාල්ලේ සහල් වෙළඳුන් හා නැව් සමාගම්වල සිංහල බෞද්ධ නියෝජිතයන්ය. මේ නායක දෙපොල පන්සිල් පද තෙපලමින් බෞද්ධයන් වූයේ ගාල්ලේ විජයානන්ද පිරුවෙනේදීය.

බටුවන්තුඩාවේ හා හික්කඩුවේ තරැණ මිතුරන් දෙපොළ ගාල්ලේ පිහිටුවන ලද මුද්‍රණාලයකින් ලිපි, සඟරා, පුවත්පත් හා පොත් ප්‍රකාශනය කිරීමට ඉදිරිපත් වූහ.  ඒ අනුව පළමුවැනි සිංහල සඟරාව වූ “යතලබ” සඟරාවේ කතුවරයා වූයේ බටුවන්තුඩාවේ දේවරක්ෂිතයි.

මොවුන් දෙදෙනාගේ දක්ෂකම ගැන පැහැදුණු ගුරු හිමිවරුන් හා ගිහි ආධාරකරුවන් ඔවුන් එකල උසස්ම බෞද්ධ ශාස්ත්‍රපීඨය වශයෙන් සලකන ලද රත්මලානේ පරමධම්මචේතිය විහාරයට අනුබද්ධ ශාස්ත්‍රාලයට ඇතුළත් කරන ලදී.  එහි අධිපති වූයේ සුප්‍රසිද්ධ පඬිවරයෙකු වූ වලානේ සිද්ධාර්ථ නාහිමියන්ය.  සිද්ධාර්ථ හිමියන්ගෙන් දැනුම සොයා ආ අය අතර විදේශීය ශාස්ත්‍රවන්තයෝද වූහ. එපමණක් නොව ඉතාම පෙරටුගාමී අදහස් ඇති උන්වහන්සේ තම පැවිදි සිසුන්ට සංස්කෘත උගැන්වීමට ඉන්දියාවෙන් බ්‍රාහ්මණවංශික පඬිවරුන්ද රත්මලානට ගෙන්වා ගත්හ. එම පිරිවෙනේ ප්‍රාචීණ භාෂා පිළිබඳ දැනුමට අභියෝග කරන්නට මෙරට වෙනත් ආයතනයක් නොවීය. එම ශාස්ත්‍රාලයෙන් පිටවූ බටුවන්තුඩාවේ දේවරක්ෂිත, හික්කඩුවේ සුමංගල, රත්මලානේ ධර්මාරාම වැනි හිමිවරුන්ගේ දැනුම අභිබවා යෑමට මෙරට කිසිවෙක් නොසිටියේය.  එය බ්‍රිතාන්‍ය පාලකයින් විසින්ද පිළිගන්නා ලදී.

රත්මලානේ පිරිවෙන මෙන්ම පසුව පිහිටුවන ලද විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් රටේ සෙසු විද්‍යායතන අබිබවා යෑමට තවත් භෞතික හේතුවක් තිබේ. මේ වන විට රුවල් නැව් තාක්ෂණය අබිබවමින් දුම් නැව් හා දුම් කෝච්චි ඉදිරියට ආවේය. පෙර මෙන් සුළං බලයට යට නොවී දුම් තාක්ෂණය අනුව යන්ත්‍ර සූත්‍ර රිසි පරිදි හැරවිය හැකි නිසා රුවල් නැවත් ඒ සමඟ ගාල්ලේ ශ්‍රී විභූතියක් පල්ලම් බැස්සේය. ගාල්ලේ ධනපතියෝ කොළඹට සංක්‍රමණය වූහ. මහින්දය පරයා කොළඹ ආනන්දය හා නාලන්දය වැඩුණේය.

රත්මලානත්, විද්‍යාලංකාර කැලණියත්, විද්‍යෝදය මාලිගාවත්තත් එක්කළේ දුම්රිය මාර්ගයයි. එම යුගයේ උගත් භික්ෂුන්ගේ හසුන්පත් කියවනවිට දුම්රිය ඔවුන් කොතෙකුත් ළංකර හැටි අපට අවබෝධ කරගත හැකිය. රත්මලානේ සිට රේල් පාර දිගේ ඇවිදිමින් විදුලකරට යෑම ඊම කිරීම පිළිබඳ බොහෝ සටහන් තිබේ.

මේ නාගරීකරණය තුළින් සංඝ සංස්ථාවේ ද වෙනස්කම් ඇතිවිය. නිදසුනක් වශයෙන් ගතහොත් පැල්මඩුල්ලේ පැවති ධර්ම සංගායනාවට තුන් නිකායේම උගත් හිමිවරු සමගියෙන් ග්‍රන්ථ ශෝධනයේ යෙදුණෝය. ඔවුනොවුන් අතර දැඩි මිත්‍රත්වයක් ඇතිවිය.   වලානේ හිමිගේ හදිසි අභාවය ගැන හික්කඩුවේ සුමංගල හිමි තුන් නිකායේම මහානායකවරුන්ට සිය සංවේගය දන්වා සිටියේය. මේ නාගරීකරණයේ තවත් ලකුණක් වුණේ මිෂනාරිවරැන් හා බ්‍රිතාන්‍ය පාලකයන් දක්ෂ හිමිවරුන් සිය ග්‍රහණයට ගැනීමයි.  මුලින්ම ඔවුහු රජයේ තනතුරු ලබා පඩි ගනිමින් ඉංග්‍රීසි ලේඛන සිංහලට පෙරළීමේ කටයුත්තේ නිරත වූහ. ඉන් අනතුරුව ඔවුන් බයිබලය සිංහලයට පෙරළීමට යොදා ගන්නා ලදී.  අවසානයේ දී ඇතැම් අය බුද්ධ ධර්මය විවේචනය කරමින් ක්‍රිස්තියානි ලබ්ධියේ ගුණ කථනවල යෙදුණෝය. මේ අතින් සුවිශේෂ තැනක් ගත්තේ අමරපුර නිකායේ බෝගහපිටිය පාර්ශවයේ මුල්ම මහා නායක වූ කපුගම ධම්මකන්ධ උපැවිදි වී ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා වශයෙන් රජයේ සේවයට යෑම මෙන්ම මිෂනාරිවරුන්ගේ හිතවතෙකුද වීමයි.