2018 මාර්තු 03 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

බරපතළ තීන්දුවක්!

විශ්වාසභංග ගැන කතා කිහිපයක් මේ දිනවල දේශපාලන කරළියේ කතාබහට ලක්වෙමින් තිබේ. ඉන් එකක් තිරය ඉදිරිපසින්ද අනෙක තිරය පිටුපසින්ද ක්‍රියාත්මක වෙයි. ඉදිරියෙන් තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය මගින් අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ගනු ලැබූ තීරණයයි. එහි සඳහන් වන කාරණා මොනවාදැයි තවම දැනගන්නට නැත. එහෙත් බැඳුම්කරය එහි මූලික කාරණාවක් වීම ස්ථීර බව ආරංචිය. එම විශ්වාසභංගයට ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් 54 ඇතුළු එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනාම අත්සන් ලබාදීමට එකඟත්වය පළකෙරැණු බවද සඳහන්ය. නමුත් වඩාත්ම බරපතළ විශ්වාසභංගය වන්නේ එජාපයේ කණ්ඩායමක් විසින් රැගෙන ඒමට සාකච්ඡා කෙරෙන බව කියන විශ්වාස භංගයයි.

එකී විශ්වාසභංග යෝජනාවේ සියලු කටයුතු තිරය පිටුපස රහසිගතව සිදුවන බවත් එම කණ්ඩායමේ නියෝජිත පිරිසක් ඒකාබද්ධයේ නායකයකු පසුගියදා හමුවූ බවත් සඳහන්ය. මේ අතර අගමැතිවරයාට සහාය දක්වන ජ්‍යෙෂ්ඨයකු තම සමීපතමයකුට කියා තිබුණේ ඒකාබද්ධයේ විශ්වාසභංගයට මුහුණදීමට අගමැතිවරයා සූදානම් නමුත් යූ.එන්.පී.යේ පිරිසක් විශ්වාසභංගයක් ගෙන එන බව නිසැකවම තහවුරැ වුණොත් ඔහු බරපතළ තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවය.

ග්ලයිෆොසෙට් තහනම ඉවරයි

පොහොර මේ රජයට මාර ප්‍රශ්නයක් වී තිබිණි. පසුගිය වසරේ අගදී රට තුළ බරපතළ පොහොර හිඟයක ලකුණු පහළ විය. ජනාධිපතිවරයා මැදිහත් වී පාකිස්තානයෙන් පොහොර ඇනවුම් කොට ගෙන්වාගත් බව ප්‍රකාශ වුවද ඒ වනවිට ප්‍රදේශ කිහිපක වී වගාව පොහොර හිඟය හේතුවෙන් බැට කා තිබිණි. වී වගාව අතහැර වෙනත් බෝගවලට අත ගසා සිටි ගොවීන්ටද පොහොර නොමැති වීම නිසා බලවත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබිණි. ගොවීන් මුහුණ දුන් ප්‍රශ්නයේ බරපතළකම රජය තේරුම් ගන්න ඇත්තේ පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙනි. පොහොර ගැටලුවෙන් බැට කෑ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස සියල්ලම රජය පරාජයට පත්ව සිටියේය. පසුගිය සතියේදී රජය තීරණය කළේ පොහොර මිලදී ගැනීමේ කාර්ය පටිපාටිය වඩාත් කාර්යක්ෂම කොට ආනයනයේදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමට පියවර ගැනීමටය. ඒ අනුව මීළඟ යල කන්නය සඳහා හෙක්ටයාර පන්ලක්ෂයක වී වගාව සඳහා අවශ්‍ය වන යූරියා මෙට්‍රික් ටොන් 36,000ක්ද, ටී.එස්.පී. මෙට්‍රික් ටොන් 18,000ක්ද ඕ.එම්.පී. මෙට්‍රික් ටොන් 18,000ක්ද ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මිල ගණන් කැඳවීමට පියවර ගනු ඇත.

මේ අතර ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තාකර තිබුණේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 වැනිදා රැස්වූ සාමාජිකයන් දස දෙනකුගෙන් සමන්විත වන ජාතික ආර්ථික සභාව මගින් ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට තීරණය කළ බවය. රටේ පුළුල් වශයෙන් භාවිත වූ කෘෂි රසායන ද්‍රව්‍යයක් වූ ග්ලයිෆොසේට් රටේ කාලයක් තිස්සේ දේශපාලන කරළිය රත්කළ මාතෘකාවක් විය එයට තහනම පැනවූයේ ඒකපාර්ශ්විකව බවට එකල චෝදනාවක්ද නැගිණි.

තහනම ඉවත් කිරීමට හේතුව ග්ලයිෆොසේට් මිනිස් සිරුරට අහිතකර නොවන බවට දැන් විද්‍යාත්මකව ඔප්පු කර තිබීම යැයි ජාතික ආර්ථික මණ්ඩලයේ මහා ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් ඩේලි එෆ්.ටී. පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. එසේම විශේෂයෙන්ම තේ වගා ක්ෂේත්‍රය ඇතුළු විවිධ කර්මාන්ත අංශ විසින් මතුකරන ලද අදහස්ද මෙහිදී සැලකිල්ලට ගත් බවද ඔහු සඳහන් කළේය. මීළඟට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ග්ලයිෆොසේට් තහනම නිල වශයෙන් ඉවත් කිරීම සඳහා පියවර ගැනීමට නියමිත බවද මහාචාර්යවරයා කියයි.

දයාසිරි නැත

පිට පිට තුන්වැනි සතියටත් ශ්‍රීලනිප සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව මගහැරියේය. ඔහුගේ නොපැමිණීම දැන් ගැටලු මතුකරමින් තිබේ.

ඔහුගේ කැබිනට් සගයන් මෙන්ම එජාප ජ්‍යෙෂ්ඨයන් සහ සම මාධ්‍ය ප්‍රකාශකයන් වන රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක ඇමැතිවරැන්ගෙන් ක්‍රීඩා ඇමැතිවරයාගේ නොපැමිණීම පිළිබඳ විමසූ විට හරි පිළිතුරක් ලබාදීමට ඔවුහු අසමත් වූහ. මාධ්‍යවේදීන් එහිදී විමසා තිබුණේ ඇමැති දයාසිරිගේ නොපැමිණීමට හේතුව ආණ්ඩුවේ දෙපාර්ශ්වයේ දිගමට පවතින විරසකයද යන්නය.

පිළිතුරක් දීමට වෙනුවට ඇමැතිවරැන් දෙදෙනාම උත්සාහ දැරැවේ තත්ත්වය සැහැල්ලුවෙන් ගැනීමටය. තමන්ට පැමිණිය නොහැකි බව ඔහු දැනුම් දී ඇතැයි ඔවුහු පැවසූහ.

වෙනත් දෙයක් ඔහුට අප කිව්වේ නැහැ. අපිත් ඔහුගෙන් ඇහැව්වේ නෑ. ඔහු මාධ්‍ය සාකච්ඡාවට පැමිණෙනු ඇතැයි අපි සිතුවා. සේනාරත්න ඇමැතිවරයා සඳහන් කළේය. එසේම ඇමැතිවරයා ප්‍රකාශ කළේ ජයසේකර මහතා කැබිනට් රුස්වීමට සක්‍රීය ලෙස සහභාගි වී සිටි බවය.

- ඩේලි එෆ්.ටී.