2018 මාර්තු 03 වන සෙනසුරාදා

අන්තිම බස් එක

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 211

මෙහෙම යන්න පුළුවන්ද? පහුගිය 25 වැනිදා සිදුකෙරුණු ඇමැති මණ්ඩල මාරුවෙන් පස්සේ රටේ හැමෝම අහන ප්‍රශ්නය ඒකය. ආණ්ඩුවක් මෙහෙම දෙකට දෙවාරමේ පැවැතිය යුතු නැත. ස්ථාවර බව වචනවලට සීමා වී තිබුණාට වැඩක් නැත. ක්‍රියාවෙන් ද පෙනෙන්න තිබිය යුතුය. නමුත් කැබිනට් මාරුවෙන් පස්සේ යූ.එන්.පී.යේ මැති ඇමැතින් අතරින් වැඩිදෙනකු සිටින්නේද සතුටකින් තෘප්තියකින් නොවේ. එහෙම නොවෙයි කියන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කියන කතාව තුළ තිබුණේද ජවයක් නොව ඇල්මැරුණු ගතියකි.

කැබිනට් මාරුවක් සිදුකිරීමට ජනාධිපතිවරයාට සිදුවුණේ පුංචි ඡන්දයෙන් පසු දිගහැරුණු සිදුවීම් පෙළක් හරහාය. ප්‍රතිඵල සමඟ රජයට දැන් ජනවරම අහිමි බවටත් අගමැති ධුරය දැරීමට යූ.එන්.පී. නායකයාට යුතුකමක් නැති බවටත් ඒකාබද්ධ විපක්ෂය නැගූ හඬ රජය දැඩි අස්ථාවරභාවයකට තල්ලු කළේය. පළාත් පාලන ඡන්දයක ප්‍රතිඵලය විසින් මහමැතිවරණයකදී ලබාගත් ජනවරමක් අහෝසි නොවන බව හරියට කියා ගැනීමටවත් යූ.එන්.පී.යට ශක්තියක් තිබුණේ නැත. අතරින් පතර ජ්‍යෙෂ්ඨයකු ඒ බව කිව්වත් එය ඒකාබද්ධ විපක්ෂයේ හඬ තරම් ප්‍රබල වූයේ නැත.

අගමැතිවරයා තනතුර අතහැර යා යුතු බවට යූ.එන්.පී. ඇතුළෙන්ම හඬ නැගීම ඡන්දයේම තවත් ප්‍රතිඵලයකි. ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම (දැනගන්නට තිබෙන අන්දමට 13 වතාවක් පමණ) කරු ජයසූරිය මහතාට අගමැතිකම බාරගන්නැයි ඉල්ලීම කළ බවද තමන් කටයුතු කරන්නේ පක්ෂයේ ඉල්ලීම් මත පමණක් බව කියමින් කරැ ජයසූරිය මහතා එම ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කළ බවද සඳහන්ය. සමහරැ කියන්නේ ඒ අවස්ථාවේදී කිසියම් හෝ එකඟත්වයක් ඇති කරගෙන අඩුම තරමින් අග්‍රාමාත්‍ය ධුරය කරු ජයසූරියට පවරා පක්ෂ නායකත්වය පමණක් රනිල් වික්‍රමසිංහ මහතා තම අතේ තබාගන්නා නම් රටේ තිබෙන අවිනිශ්චිත භාවයත් ආණ්ඩුවේ අස්ථාවර භාවයත් දෙකම තාවකාලිකව හෝ යටපත් කිරීමට හැකියාව තිබූ බවය. එහෙත් ලංකාවේ දේශපාලනයේ එහෙම සිදුවූ අවස්ථාවක් මින් පෙර තිබුණේ නැත. අලුතින් එවැනි ක්‍රමවේදයක් හදන්නට කිසිදු නායකයකු උනන්දු වෙන්නේත් නැත.

කොහොම වුණත් කැබිනට් මාරුව සිදුකෙරුණේ ආණ්ඩුව ස්ථාවර කිරීමේ අදහසින් නම් එය කෙසේවත් ඉටුවී නැති බව පැහැදිලිය. බොහොමයක් මුහුණු වෙනස් වී අලුතින් කිහිපදෙනකුට පත්වීම් ලැබී අලුත් මුහුණුවරකින් යුත් කැබිනට් මණ්ඩලයක් දකින්නට කා තුළත් තිබූ බලාපොරොත්තුව මුළුමනින්ම බිඳවැටී තිබේ. පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවේ ස්ථාවරභාවය රැක ගැනීමට වඩා යූ.එන්.පී. නායකත්වයට සමීප කිහිප දෙනකු රැක ගැනීමේ උත්සාහයක් එතුළ තිබූ බවය. ඔවුන් රැක ගැනීම සිදුවී තිබේ. එහෙත් ආණ්ඩුවත් යූ.එන්.පී.යත් බරපතළ අර්බුදයකට වැටී තිබේ. සමීපතමයන් රුක ගැනීමද ආණ්ඩුවත් පක්ෂයත් රුක ගැනීමද යන ගැටලුවට මේ වනවිට යූ.එන්.පී. නායකත්වය මුහුණ දී සිටින බව පැහැදිලිය. ස්ථාවරභාවය රැක ගනිමින් ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා තුළ යම් බලාපොරොත්තුවක් තිබුණා නම් එය මේ වනවිට බලාපොරොත්තුවකට පමණක් සීමා වී තිබෙන බවට සැකයක් නැත. සමහර විචාරකයන්ට අනුව කැබිනට් මාරැව අසාර්ථක වීම යූ.එන්.පී. නායකයාට අන්තිම බස් එකද මිස් වීමකි.

පළාත් පාලන ඡන්දයේදී මේ රටේ ජනතාව විසින් ලබාදෙන ලද සංඥාව ඉතාම පැහැදිලිය. පණිවුඩය ඉතාම ශක්තිමත්ය. එයට පස්ස හැරවීම ඕනෑම දේශපාලන නායකයකු දේශපාලන වශයෙන් හරාකිරි කර ගැනීමකි. එම සංඥාව නොතකා ක්‍රියාකිරීම තුළින් ආණ්ඩුව පමණක් නොව යූ.එන්.පී.යද ඉදිරියට ගෙන යා නොහැකි බව පක්ෂයේ නායකත්වය තේරැම් ගැනීම අවශ්‍යය. වසර තුනක් බලයේ සිටි ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු බෙහෙවින් ක්‍රියාශීලීව වැඩ කිරීමට උත්සාහ දැරූහ. ඇතැම් අය යම් පමණක සාර්ථකත්වයක්ද පෙන්වූහ. සමහරුන් සිටියේ එක තැන පල්වෙමිනි. තමන්ට වැඩ කිරීමට අවශ්‍ය වුවද ඊට අවස්ථාවක් නැති බව ඔවුන්ගේ මතය විය. ආණ්ඩුවේ සියලු වැඩකටයුතු මෙහෙයවන්නේ අග්‍රාමාත්‍යවරයා සහ ඔහුට සමීප ඇමැතිවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් තමන් සිටින්නේ අඳුරේ බවත් ඔවුන් තමන්ගේ සමීපතමයන්ට කියා තිබිණි. මේ සියලුදෙනා කැබිනට් මාරුව කෙරෙහි බොහෝ බලාපොරොත්තු රඳවා සිටියේ එම මාරුවට පෙර තරුණයන්ට හොඳ අවස්ථා ලබාදෙන බවටත් වයෝවෘද්ධ ඇමැතීන්ට වගකීම් අඩුකෙරෙන මහ පෙරළියක් සිදුකරන බවටත් යූ.එන්.පී. නායකත්වය තුළින් සිදුකෙරෙනු ප්‍රකාශ හේතුවෙනි. එහෙත් සිදුවුණේ කුමක්ද? ඒ බලාපොරොත්තු සියල්ල බිඳ වැටී කැබිනට් මාරැව පක්ෂයේම සාමාජිකයන්ගේ විහිළුවට ලක්වීමය.

සියලු ඇමැතිවරුන්ට කැබිනට් මාරුව සඳහා ආරාධනා කර තිබුණද ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රැම් දුන්නේ ඇමැතිවරුන් 6 දෙනෙක් පමණි. ඊට අමතරව රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුද එක් නියෝජ්‍ය ඇමැතිවරයකුද දිවුරුම් දීම සිදුවිය. යූ.එන්.පී.යේ ඉතිරි සියලු ඇමැති පදවි එසේම තබනු ලැබීය. ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ ස්ථාවරය පසුව දැන ගැනීමට ඉඩක් තබා ඇති අතර නිසැකවම ඔවුන් දිවුරුම් දෙනු ඇත්තේ පවතින තත්ත්වය අනුව බව පැහැදිලිය. ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා කියා තිබුණේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් නොකර ඔළුගෙඩි මාරු කිරීමෙන් පලක් නැති බවය. ඒ අනුව නම් යූ.එන්.පී.ය කැබිනට් මාරුවෙන් පෙන්නුම් කර තිබෙන්නේ කිසිදු ප්‍රතිපත්ති වෙනසකට තමන් සූදානම් නැති බවය.

කැබිනට් මාරුවේ හැටියට යූ.එන්.පී. මැති ඇමැතිවරුන්ගේ විවේචන එසේ සිදු නොවුණා නම් පුදුමය. වසන්ත සේනානායක සහ පාලිත රංගේ බණ්ඩාර ඒ අතුරින් දැඩි ලෙස එළියේ අදහස් ප්‍රකාශ කළ දෙදෙනාය. දේශපාලනයේදී එය එළියට බැස ගැහිල්ලකි. කෙළින්ම ගැහැව්වේ යූ.එන්.පී නායකත්වයටය. නමුත් වඩාත් බරපතළ ප්‍රතිවිපාකවලට ඕනෑම පක්ෂයක් හෝ පක්ෂ නායකයකු මුහුණ දෙන්නේ එළියේ ගැහිලිවලට වඩා ඇතුළෙන් ගහන ගැහිලිවලටය. විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව ප්‍රකාශ කිරීම මගින් පෙන්නුම් කරන්නේ ඇතුළෙන් ලොකු වැඩසටහනක් ගෙන යන බවය. අගමැතිට එරෙහිව යූ.එන්.පී.යේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විශ්වාසභංග යෝජනාවකට අත්සන් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි. එම යෝජනාවට තම කණ්ඩායම සහාය දක්වන බවද ඔහු කිව්වේය. තමන්ගේ කණ්ඩායමද අගමැතිට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට සැලසුම් කළ එය ප්‍රමාද වන බවත් යූ.එන්.පී.යේ යෝජනාවට තමන් සහාය දක්වන බවත් ඔහු කියා තිබුණි.

දැන් තිබෙන තත්ත්වය මේ අනුව ලබන සතිය වනවිට දේශපාලන පොර පිටිය හොඳටම රත්වීමට ඉඩ තිබේ. රත්වෙන පොර පිටියේ උණුසුම කලින්ම වටහාගෙනදෝ මේ දිනවල අගමැතිවරයාත් කථානායකවරයාත් දෙදෙනාම සිටින්නේ පිටරට ගොසිනි. දෙදෙනාම රාජකාරි ගමන්වල නිරතව සිටියද පවතින තත්ත්වය සැලකීමේදී එම විදෙස් චාරිකා දෙකම රට තුළ දේශපාලනයට කිසියම් සම්බන්ධයක් පෙන්නුම් කරයි. අවිනිශ්චිත අස්ථාවර තත්ත්වයක් තුළ සිදුවිය නොහැකි දෙයක් නැත. ආණ්ඩුවටත් වඩා යූ.එන්.පී.ය අවස්ථාවට අනුව වඩාත් සංවේදී වීම බලාපොරොත්තු විය යුත්තකි. කරැ ජයසූරිය මහතා කාටවත් දැනුම්දීමක් නොකරම විදෙස්ගතවීම ඒ පසුබිමේ සලකා බැලිය යුතු කරුණකි. 

යූ.එන්.පී.යේ මැති ඇමැතීන් බොහෝ දෙනා පසු වෙන්නේ බොහෝ නිහඬවය. සද්ද කිරීමට වඩා නිහඬව සිටීම දේශපාලන කුණාටුවක පෙර නිමිත්තක් බව සමහරුන්ගේ මතය වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සිට ආපසු පැමිණෙන්නේ විවේකයක් බලාපොරොත්තුවෙන් නම් එය ඉටු නොවීම මේ අනුව බොහෝ දුරට ඉඩ තිබේ. ව්‍යවස්ථානුකූලව අගමැති පදවිය රැකී තිබුණද විශ්වාසභංග යෝජනාවකින් අගමැතිවරයා පරාජය වුවහොත් ආණ්ඩුව විසුරුවාහැරීම හැර වෙනත් විකල්පයක් ජනාධිපතිවරයාට නැත. පාර්ලිමේන්තුවේ බල සංයුතිය අනුව ශ්‍රීලනිපයේත් ඒකාබද්ධ විපක්ෂයේත් මන්ත්‍රිවරුන් 96 දෙනාගේ සහාය විශ්වාසභංගයට ලැබෙන්නේ නම් ඔවුන්ට එම යෝජනාව සම්මත කර ගැනීමට අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රීවරුන් 17 දෙනකුගේ සහාය පමණි. නිල විපක්ෂය වන ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ගේ සහාය එවැනි යෝජනාවකට නොලැබෙන බව ස්ථීරය. මෙහිදී ගැටලුවකට මුහුණ දෙන්නේ ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමයි. එහි නායක අනුර කුමාර දිසානායක කියා තිබුණේ තමන් විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ එහි ඇති කරුණු හැදෑරීමෙන් පසුව බවය. කොහොම වුණත් බැදුම්කරය සම්බන්ධ වගන්තියක් එම යෝජනාවට ඇතුළත් වෙයි නම් ඊට සහාය පළ කිරීමෙන් වැළකී සිටීමට ජවිපෙට අමාරු වනු ඇත.

ඒ අතර ආණ්ඩුව මුහුණ දෙන ගැටලු වඩාත් සංකීර්ණ වීමට ලබන 7 වැනිදා සිට ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩදී ආරම්භ කරන මහජන රැලි මාලාවේ පළමුවැන්න හේතුවනු ඇත. ඡන්දයෙන් පසුව තවමත් අඳුරේ අතපත ගාමින් ආණ්ඩුව සිටියත් මහින්දලා එසේ සිටීමට සූදානම් නැති බව මේ රැලිය මෙතරම් ඉක්මණින් සංවිධානය කිරීම තුළින් පෙන්නුම් කර තිබේ. මේ රැලියේදී ඔවුන් නිසැකවම රජයට මේ රට පාලනය කිරීමට තවදුරටත් ජනවරමක් නැති බව තදින්ම කියා සිටිනු ඇත. අඩුම තරමින් කැබිනට් සංශෝධනය හරහා හෝ තමන් වෙනස් වීමට සූදානම් බවට ආණ්ඩුව සිග්නල් එකක් දී තිබුණා නම් එවැනි ජනරුලිවලට එය පිළිතුරක් විය හැකිව තිබුණි. වෙනෙකක් තබා මේ ආණ්ඩුවේ මුලින්ම ඇමැති පදවියක් අහිමි කරගත් දෙවැන්නා වූ රවි කරුණානායක පසුගිය 1 වැනිදා කිඹුලාඇළ ප්‍රදේශයේ උත්සවයකදී ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනකු එජාපය විනාශ මුඛයට ඇද දමා තිබෙන බවට ලොකු චෝදනාවක් කළේය. කිසිම ජන පදනමක් නැති ඔවුන් සිදුකළ හානිය යළි හදන්න බැරි බවද ඔහු කියා තිබුණි. රවි මේ චෝදනා කරන්නේ කාටදැයි විපක්ෂය ගැන දන්නා සියලුදෙනාම දැන සිටිති. නමුත් එම ජාතික ලැයිස්තු මැති ඇමැතිලා කිසිවක් නොදන්නා සේ හැසිරෙති. පක්ෂය තුළ බරපතළ අර්බුදයක් හටගෙන තිබෙන බවට මෙය එක් උදාහරණයක් පමණි.

කොහොම වුණත් මුලින්ම මාධ්‍ය සාකච්ඡාවක් තබා යූ.එන්.පී.යේ අර්බුදය එළියට දැම්මේ රංගේ බණ්ඩාරය. ඔහුගේ ලොකුම දුක්ගැනවිල්ල වී තිබුණේ තමන්ට ඇමැති පදවියක් නොලැබීමටවත් වඩා අඩුම තරමින් දේශපාලන පළිගැනීම් වලට ලක්වූ තම ආධාරකරුවන්ට වන්දියක් හෝ ලබාදීමට නොහැකි වීමය. මේ බව කොතරම් පක්ෂය තුළ සාකච්ඡා කළත් ප්‍රතිඵලයක් අත්නොවූ බවද ඔහු කියා තිබිණි. එම කතාව යූ.එන්.පී. මැති ඇමැතිවරුන් බොහෝ දෙනකුගේ කතාව බවට සැකයක් නැත. මේ නිසා විශ්වාසභංගය ගෙන එයිද? එය ගෙනාවොත් කුමක් සිදුවෙයිද? යන්න යූ.එන්.පී.යේ බොහොමයක් මැති ඇමැතිලාගේ උවමනාව මත රැඳී තිබේ.

ඒ අනුව අසන්නට තිබෙන්නේ මෙහෙම යන්න පුළුවන්ද කියා නොව මෙතැනින් යන්නේ කොහාටද කියා බවට කතා දෙකක් නැත.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00