මහනුවරින් ඇවිලී ගිය ජාතිවාදී ගිනිදැල්වල උණුසුම මගින් මුළු රටම දින කිහිපයක් සිර කරනු ලැබීය. එහි බලපෑම් තවමත් දැනෙන්නට තිබුණ ද පොලීසිය සහ ආරක්ෂක හමුදා විසින් තත්ත්වය පාලනය කර ගැනීමට සමත් වූ බව රජය බ්‍රහස්පතින්දා (08) සවස වන විට ප්‍රකාශයට පත් කළේය. ඇති වූ තත්ත්වය මෙපමණකින් නවත්වා ගැනීමට හැකිවීම අන්තවාදී පිරිස්වලට හැර රටේ සියලු ජන කොටස්වල සැනසිල්ලට හේතුවකි.
ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇති කිරීම ඉතාම පහසුය. එහෙත් එයින් ඇවිලෙන ගින්න නිවා දැමීම ඉතාම අපහසුය. මෙය අපේ රටට පමණක් සීමා වූ කාරණාවක් නොවේ. ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිවන ඕනෑම රටකට පොදු කරුණකි. එහි ආරම්භයට අවශ්‍ය වන්නේ සංවිධානාත්මක අන්තවාදී පිරිසකට යන්තමින් හෝ අතගැසිය හැකි සිදුවීමක් පමණි. ඒ අතින් තෙල්දෙණියේ සිද්ධිය එවැනි පිරිසකට බෝනස් එකක් වීම පුදුමයක් නොවේ. අම්පාරේ පිටිගුලියත් තෙල්දෙණියේ ත්‍රීරෝද රියේ පැති කණ්ණාඩියත් රටක්ම දින කිහිපයක් භීතියෙන් සහ නොසන්සුන් බවින් වෙලා දමනු ලැබුවේ ඒ හේතුවෙනි.
දැන් සිදු වූ දේ අවසන්ය. ඒ සියල්ල අතීතයට සීමා කළ යුතු වෙමු. එහෙත් අපට කනගාටු දැනෙන්නේ අතීතයේ පාඩම් ඇසුරින් අප කවදාවත් පාඩම් ඉගෙන නොගන්නා බව පෙනෙන විටය. මේ සිද්ධීන් තවදුරටත් ඇදීගියේ නම් එය ඊළඟ 83 වීමට හොඳටම ඉඩකඩ තිබිණි. එය නැවතුණේ රටේ වාසනාවකටය. 83 යනු කුමක්දැයි ඒ කාලයේ තරමක් හෝ දැනුම් තේරුම් තිබූ වයසක සිට සියලු දෙනා දනිති. ඉන් පසුව වසර 30කට කාලයක් එහි පලවිපාක මේ රටේ සියලුම ජාතීන් අත්දැක තිබේ. යළිත් එවැනි යුගයකට යා යුතු බව කිවහැක්කේ උම්මත්තකයකුට පමණි. මේ රටේ සිහිබුද්ධිය ඇති කුමන ජාතිකයකු හෝ එය යන්තම්වත් නොසිතන බව සැබෑය. එහෙත් අන්තවාදී විනාශකාරී අදහස් ඇති කිහිපදෙනකුට මේ තත්ත්වය උඩුයටිකුරු කිරීමට ගතවනු ඇත්තේ ගිනිකූරක් ගසන කාලයක් පමණි.
තම ජාතියට ආදරය කිරීම උතුම් ගතියක් මිස නිවටකමක් නොවේ. තම ආගම කෙරෙහි අප්‍රමාණ භක්තියකින් කටයුතු කිරීම ද එසේමය. නමුත් ජාතියට ආදරය කිරීම යනු ජාතිවාදය ඇවිස්සීම නොවේ. තම ආගමට භක්තිපූර්වකව සැලකීම යනු සෙසු ආගම්වලට අගෞරව කිරීම නොවේ. මේ කාරණා පටලවාගත් විට මතුවන්නේ මහා විනාශයකි. මේ ලෝකයේ කිසිම රටක තනි ජාතියක හෝ ආගමක හෝ මිනිස්සු ජීවත් නොවෙති. සුළු ජාතීන් සමඟ ජීවත් වන මහ ජාතිය විසින් එම සුළු ජාතීන් රැකිය යුතු වෙයි. ඔවුන්ගේ ආගම්වලටද එක හා සමානව ගෞරවය දැක්විය යුතුවෙයි. රටක අභිමානය, රැකෙන්නේ එසේ වන විටය. ආගමක ශ්‍රේෂ්ඨත්වය අන් සියල්ල අභිබවා කැපීපෙනෙන්නේ එවිටය. රටක සාමාන්‍ය ජනතාව මෙය දනිති. එය නොදන්නේ ජාතියට ආගමට ආදරය කිරීම යනු ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීම පමණක් බවට සිතන, ඒ අනුව කටයුතු කරන, සුළු දෙයටත් රට ගිනි තබන අන්තවාදී සංවිධානාත්මක කල්ලි පමණි. මේ කල්ලි සෑම ජාතියකම ආගමකම සිටිති. ඔවුන්ගේ අතකොලු බවට පත්වීමට සෙසු පිරිස් කටයුතු කළ යුතු නැත. එසේ කිරීමෙන් බොහෝ විනාශ වළක්වා ගත හැකිය.
මහනුවර සිද්ධිය ආණ්ඩුවේ ද ඇස් අරවන්නක් බවද සඳහන් කිරීම අවශ්‍යය. අම්පාරේ සිදුවීම හේතුවෙන් නොසන්සුන්ව සිටි රට තුළ තවත් එවැනි සිද්ධියකට මුලපිරිය හැකි යමක් නොසිදුවන තැනට වැඩ කිරීමට රජය උපක්‍රමශීලී විය යුතුව තිබිණි. එහෙත් අම්පාරේ සිද්ධිය සමඟ රට පුරා පැතිර ගියේ වඳපෙති පිළිබඳ පට්ටපල් බොරුවක් බව කීමට මහනුවර ගිනිගන්නා තුරැම ආණ්ඩුව බලා සිටියේය. ජාතිවාදී සහ ආගම්වාදී ගිනිපුපුර දැල්වීමට පුලපුලා බලා සිටින අන්තවාදී පිරිස් ඒ වන විට සමාජ මාධ්‍ය ජාලා හරහා වඳපෙති බොරැව වපුරා තිබිණි. මෙවැනි කාරණා යන්තම් හෝ බුද්ධිය තිබෙන පිරිස් නොපිළිගත්තද එවැනි බොරු විශ්වාස කරන ඒවාට ප්‍රතිචාර දක්වන ඕනෑ තරම් පිරිස් රට තුළ සිටිති. ආණ්ඩුව නිසි වැටහීමකින් සහ දුරදක්නා නුවණකින් කටයුතු කර තිබිණි නම් සමාජ මාධ්‍ය ජාල අක්‍රීය කිරීමටත් හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පැනවීමටත් අවශ්‍ය නොවන තැනට කටයුතු කළ හැකිව තිබිණි. එහෙත් අවශ්‍ය මොහොතේ නිසි පියවර ගැනීම ප්‍රමාද කිරීමෙන් සිදුවූයේ මහා විනාශයකි. ජාතික සහ ජාත්‍යන්තර අංශ දෙකින්ම රටට එකී හානිය සිදුවී හමාරය. එහි දේශපාලන වාසියක් ආණ්ඩුවට තිබේදැයි අපි නොදනිමු. එහෙත් ක්‍රියාත්මක වීම ප්‍රමාද කර පොලීසියට සහ බුද්ධි අංශවලට බැණවැදීම පල රහිත බව පමණක් සඳහන් කරමු.
මේ රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක විය යුත්තේ හැම ජාතියකටම එක හා සමානවය. මහ ජාතියට එක නීතියකුත් සුළු ජාතියට තව නීතියකුත් ක්‍රියාත්මක විය යුතු නැත. අම්පාරේ සිද්ධියේ දී බීමතින් කඩ සහ වාහන ගිනි තැබූ පුද්ගලයන්ටත් තෙල්දෙණියේ දී සුළු සිද්ධියක් හේතුවෙන් ලොරි රියැදුරකුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බීමත් තරුණ පිරිසටත් එරෙහිව ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වූවා නම් මේ බොහෝ ප්‍රශ්න වළක්වා ගත හැකිව තිබූ බව අපගේ වැටහීමය.
අවසන් වශයෙන් අපට කියන්නට ඇත්තේ කුමන ආකාරයක හෝ ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇති කිරීම හෝ ඇති කිරීමට උත්සාහ කිරීම දැඩි ලෙස හෙළා දකින බවය. එම ගැටුම් හේතුවෙන් ජීවිත සහ දේපොළ හානි වූ තුවාල ලැබූ සියලු දෙනා වෙනුවෙන් අපි කනගාටුව පළ කරමු. මෙවැනි ගැටුම් ඉදිරියේ දී ඇති නොවීමට සියලු දෙනා අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු බවද ආණ්ඩුවටත් පූජ්‍ය පක්ෂයටත් එහි විශේෂ වගකීමක් පැවැරෙන බවද දන්වා සිටීමට කැමැත්තෙමු.