බටුවන්තුඩාවේ පඬිතුමා හා හික්කඩුවේ සුමංගල නමැති සුමිතුරන් දෙදෙනා ඉතිහාසගත වීමට හේතුන් අතරින් විශේෂ තැනක් ගන්නේ ඔවුන් විසින් පාලියෙන් සිංහලට මහාවංශය පරිවර්තනය කිරීමයි. පාලි බසින් රචනා කර ඇති මහාවංශය ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් ටර්නර් විසින් ඊට පෙර ඉංග්‍රීසියට පෙරළන ලදී. ටර්නර්ගේ මේ පරිවර්තනය පෙරදිග ඉතිහාසය පිළිබඳ කරන ලද සමකාලීන ගවේෂණ බරපතළ ලෙස වෙනස් කළ අයුරු පසුව විස්තර කරමි. මෙතැන සඳහන් කළ යුත්තේ එකල බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් මහාවංශය සිංහලටද පෙරළිය යුතු යැයි තීරණය කළ බවයි. එම කටයුත්ත එවකට රජයේ පඬිකාර නිලධාරියෙකු ලෙස සිටි බටුවන්තුඩාවේට පවරන ලද්දේ ඉංග්‍රීසි ආණ්ඩුකාර හෙන්රි රොබින්සන් විසිනි. එහෙත් වැඩ ඉක්මන් කර දී සිංහල මහාවංශය ප්‍රකාශයට පත් කළේ ප්‍රාචීන භාෂා හා කලා පිළිබඳ උනන්දු වූ පාලකයෙක් වූ විලියම් හෙන්රි ග්‍රෙගරි විසිනි.
සම්පූර්ණ මහාවංශය සිංහලට පෙරළීම පිළිබඳව සොඳුරැ කතාවක් තිබේ. ජෝර්ජ් ටර්නර් විසින් ඉංග්‍රීසි බසට පෙරළන ලද්දේ ටීකා සහිත පළමුවෙනි ඡේද තිස් හත පමණය. ඉන් අමතරව ඔහු ටීකා නොමැති අතිරේක ඡේද දෙකක්ද සකස් කළේය. ටර්නර් පරිවර්තනයට මුල් පුස්කොළ පොත් සොයා ගන්නා ලද්දේ මහනුවර අසල පන්සල්වලිනි. එම පරිවර්තනය සඳහා ඔහු අස්ගිරි මල්වතු විහාරවල උගත් භික්ෂුන්ගෙන් උපදෙස් ලබාගත් බව කෘතඥපූර්වකව සඳහන් කරයි. මේ පරිවර්තනය නිසා එකල ඉන්දියාවේ සිදුවූ පුරාවිද්‍යා ගවේෂණවලට මහත් පිටුවහලක් ලැබුණි. මේ වනවිට කනිංහැම් හා මාර්ෂල් වැනි ඉංග්‍රීසි පුරාවිද්‍යාඥයන්ට ප්‍රහේළිකාවක් වූයේ අශෝක රජතුමාගේ නම් ගම් හා කාල වකවානු නිසි ලෙස ගලපාගන්නේ කෙසේද යන්නයි. භාරතයේ විවිධ තැන්වල ඉදිකරන ලද අශෝක ස්ථම්භ සොයාගත හැකි වුවද එම අධිරාජ්‍යයාගේ ජීවිත කතාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක් සකස් කර ගැනීම දුෂ්කර කාර්යයක් විය. රජුගේ නම වුවද සඳහන් වූයේ අශෝක හැටියට නොව ප්‍රියදර්ශන හැටියටය. මේ ප්‍රියදර්ශන කවුද? ඔහු අශෝකට සම්බන්ධ කළ හැක්කේ කෙසේද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ටර්නර්ගේ පරිවර්තනය හරහා එළි පෙහෙළි කර ගැනීමට පුළුවන් විය. අශෝක හා ප්‍රියදර්ශන දෙදෙනෙක් නොව එකම මහරජ බව මහාවංශය පැහැදිලි කළේය. තිස් හත්වෙනි ඡේදය දක්වා පරිවර්තනය කරන ලද මහාවංශය සම්පූර්ණයෙන්ම සිංහලට නැඟීමට බටුවන්තුඩාවේ පඬිතුමාට බ්‍රිතාන්‍ය රජය විසින් ආරාධනා කරන ලදී. එහිදී ඉංග්‍රීසි පාලකයා ඔහුට කීවේ මේ භාරදූර කටයුත්ත සඳහා සහකරුවෙකුද යොදාගන්නා ලෙසයි. එම සහකරුවා වශයෙන් තෝරා ගන්නා ලද්දේ ආණ්ඩුකාරවරයාගේ හිතවතෙක් මෙන්ම බටුවන්තුඩාවේගේ කල්‍යාණ මිතුරා වූ හික්කඩුවේ සුමංගල නායක හිමියන්ය. ඉංග්‍රීසි පාලකයන්ගේ අනුග්‍රහය ලබමින් සිරිපාදස්ථානයේ අධිපති ලෙස පත් කරන ලද සුමංගල හිමියන්ට එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය. ලෙඩ ඇඳේ සිටිමින් වුවද එම කාර්යයට අතගැසීමට උන්වහන්සේ එකඟ වූහ.
බටුවන්තුඩාව හා සුමංගල පඬිවරුන් මුලින්ම කළේ පාලි මහාවංශය අඩංගු පුස්කොළ පත් එක්කාසු කර ඒවා ශුද්ධ කිරීමයි. ඒ සඳහා ඔවුන් රිදී විහාරය, මහනුවර අම්පිටිය, ගිරැවායේ මුල්ගිරිගල, මාතර, ගාල්ල, බෙන්තොට, පානදුරය හා සල්පිටි කෝරලයෙන් පුස්කොළ පොත් සොයා ගත්තෝය. ඒවායින් රිදී විහාරය, අම්පිටියේ හා කොළොන්නාවෙන් ලබාගත් පුස්කොළ පොත් අවුරුදු සියයකට වඩා පැරණි ඒවා විය. මේවායේ පෙළ සංසන්දනය කරමින් පරිවර්තනය කිරීම සඳහා මුල් ග්‍රන්ථයක් සකස් කරගත් පඬිවරු දෙදෙනා සිංහලට පරිවර්තනය කිරීම ඉතාම සුපරීක්ෂාකාරී ලෙස ආරම්භ කළහ. එසේ පරිවර්තනය කරන අතර ඔවුන් සෙසු සිංහල ග්‍රන්ථ සමඟ ද සන්සන්දනය කරමින් ලංකා ඉතිහාසය කෙරෙහි නව එළියක් යොමු කළේය.
ජනප්‍රවාදයේ එන කරුණු හැරෙන්නට අප අද සිංහල ඉතිහාසය හැටියට ආඩම්බරයෙන් සලකන සියලුදේම පාහේ උකහා ගනු ලැබන්නේ මේ මහාවංශ පරිවර්තනයෙනි. ඒ දැනුම අපට මෑතක ලැබුණ එකක් හැටියට බොහෝදෙනා පිළිගැනීමට පවා මැලිවනු ඇත. එහෙත් සත්‍යය නම් අද අප ඉතිහාසය හැටියට සලකන බොහෝ දේ බටුවන්තුඩාවේ හා සුමංගල විසින් දැන් ශතවර්ෂ දෙකකට පෙර හෙළිදරව් කළ ප්‍රවෘත්ති මත රඳා පවතින බවයි. විජය, දුටුගැමුණු, වලගම්බා, පරාක්‍රමබාහු මෙන්ම සිංහලයන්ගේ අන්තිම රජවරුන් වූ නායක්කාර්වරැන් ගැනත් අප දැන ගන්නේ මහාවංශය මගිනි. මෙකී පරිවර්තනය ඉතිහාසය පමණක් නොව සිංහල භාෂාවේ පරිණාමය හැදෑරීමටත් අපට උපකාරී වේ. පාලි ගාථා බන්ධන සරල සුගම බසින් ගද්‍ය රචනා බවට පෙරළීම පහසු කාර්යයක් නොවේ. සිංහල බස, පුරාවිද්‍යාව, සෙසු ප්‍රාචීන භාෂා හා බුදු දහම හා සංස්කෘතිය මනා ලෙස දැන සිටි පඬිවරුන් දෙදෙනෙක් විසින් එම කටයුත්ත කිරීම අපේ වාසනාවක් ලෙස සැලකිය හැකිය. බටුවන්තුඩාවේ හා සුමංගල හිමි සිය හැඳින්වීමේ සඳහන් කරන පරිදි අප රාජවංශ මුල් කරගත් මහාවංශය පෙරදිග බෞද්ධ රටවලට ආදර්ශයක් ද විය. තායිලන්තයේ රජවරැන් තම බල පරාක්‍රමය තහවුරැ කිරීමට අපේ මහාවංශය අනුගමනය කරමින් එරට රාජවංශ කතා අලුතින් සම්පාදනය කළෝය. සුකෝතායි කාලයේ පටන් එම රාජ පරපුර නොබිඳී පැවති බවට කරුණු ඉදිරිපත් කරමින් තායිලන්තයට ද ඔවුන් ජාතිය, ආගම හා මහරජ යන ත්‍රිත්වය ආදේශ කළෝය. සුප්‍රසිද්ධ සියම් රජවරයෙක් වූ වජ්‍රා වු ද පුරාවිද්‍යා ගවේෂකයෙක් වී මේ තර්කය සනාථ කිරීමට සුකෝතායි පළාතේ තැන් තැන්වල කැණීම් ඇරුඹීය.
සිංහල ජාතිකත්වය හෙළා දුටු අමෙරිකන් සමාජ විද්‍යාඥයන්ගේ ඉලක්කය වූයේ සිංහල මහාවංශයයි. ඔවුන් ඉන් කොටස් උපුටා දක්වමින් එය සිංහලයන් සෙසු ජාතීන් සමඟ ගැටුම් ඇති කිරීමට මුල් වූ ග්‍රන්ථයක් හැටියට පෙන්වීමට මහන්සි ගත්තෝය. එහෙත් දැන් ඔවුන් නිශ්ශබ්දව සිටින්නේ කවදාවත් හෝ දිනිය නොහැකි යැයි ඔවුන් කී මෙරට වාර්ගික යුද්ධය සාර්ථකව නිම කිරීමට අප සමත් වූ නිසාය.