ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
♦ඇතුළේ කැපිලි කෙටිලිවලින් ආණ්ඩුවේ වැරදි හදාගන්න බෑ
♦රනිල් මහත්තයට වඩා සුදුස්සෙක් මේ වෙලාවේ පක්ෂයට නැහැ
♦ගෝඨාභය ගේන්න හදන්නේ බංකොළොත් මිනිස්සු
♦රාජ යෝග - මාරක ගැන හිතලා මම කවදාවත් වැඩ කරලා නෑ
♦පොලීසියේ ලොක්කෝ කියන විදිහටද ඇමැතිව පත්කරන්නේ?
♦රාජපක්ෂවරුන්ට විරුද්ධ චෝදනා ඔප්පු නොකිරීමේ වගකීම ගන්න ඕනෑ ජනාධිපතිතුමා
පසුගිය ඡන්දයෙන් පස්සේ ආණ්ඩුව ඇතුළේ වාද විවාද හැල හැප්පීම් රැසක් සිද්ධ වුණා. ඇයි එහෙම වෙන්නේ?
ඡන්දයෙන් ලබපු ප්‍රතිඵලය සාර්ථක නෑනේ. ජනතාව ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරලා නෑ. ඒක අපි පිළිගන්න ඕන. එ.ජා.ප.ය ඇතුළේ අපි කතා කළා අඩුපාඩු ගැන. ඒ සාකච්ඡා තවම යනවා. ඒ අඩුපාඩු හදාගෙන ඉදිරිට යන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඊට අමතරව ජනාධිපතිතුමත් විවේචන එල්ල කළා ඡන්දය කාලෙදිත්. ඡන්දයෙන් පස්සෙනුත් එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල විවේචන තිබුණා යම් යම් වෙනස්කම් විය යුතුයි කියලා. ඒ ගැන කතා කරන්න මම සූදානම් නෑ. සමහර දේවල් ප්‍රසිද්ධියේ කතා කළ යුතු නෑ. අගමැතිතුමාටත් චෝදනා එල්ල කළා. සමහර දේවල්වලට අපි උත්තර දුන්නා. සමහර දේවල් අපි පිළිගන්නේ නෑ. සමහර චෝදනාවලට ජනාධිපතිතුමත් වගකියන්න ඕන. වරදක් වුණානම් ආණ්ඩුවේ ජනාධිපතිත් ඇතුළු පොදුවේ සියලු දෙනාටම වගකීම ගන්න වෙනවා. මගේ පෞද්ගලික මතය වුණෙත් අඩුපාඩු තිබුණා. හැබැයි ඒ අඩුපාඩු හදන්න ඇතුළේ එක එක්කෙනා කපලා කොටලා හරියන්නේ නෑ. ඒ වගකීම හැමෝම බාරගන්න ඕන. මේ අඩුපාඩු ඔක්කොම එකතු වෙලා හදාගන්න ඕන. හදනවා කියලා තැන් තැන්වල කියලා කකුලෙන් ඇදලා හරියන්නේ නෑ. විශේෂයෙන් නායකයන් පෞද්ගලික න්‍යාය පත්‍ර අමතක කරලා රට ගැන හිතන්න ඕන.
ගොඩක් දෙනෙක් කියන්නේ ආණ්ඩුවට මෙවැනි ඉරණමක් ඇති වුණේ බැඳුම්කර සිද්ධිය නිසා කියලා?
මම හිතන්නේ නෑ ඒකම කියලා. මීට කළින් විශාල දූෂණ වංචා සිද්ධ වුණානේ හිටපු අයගෙන්. ඒත් ජනතාවගේ ජීවිතයට බලපාන වැරදි තීන්දු තීරණත් අරගෙන තියෙනවා ආණ්ඩුව. ඒ එක එක ප්‍රදේශවලට ආවේණික ජනතා ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසඳලා නෑ ආණ්ඩුව. ඒ තමයි මම දකින ප්‍රශ්නය.
මේ සියලු ප්‍රශ්නවලට හේතුව අගමැතිතුමා කියලා විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගේන්න හදනවා.
ඒවා ගෙනල්ල සාර්ථක වෙන්නේ නෑ. අගමැතිතුමාව අපි ආරක්ෂා කරනවා. එකක් අපේ පක්ෂයේ නායකයා හැටියට. අනික ජනතා ඡන්දයෙන් අවිල්ලා ඉන්න ඉතා පළපුරුද්ද තියෙන දේශපාලන චරිතයක්නේ. ඒකාබද්ධ විපක්ෂයට ඕන හැටියට ආණ්ඩුව හසුරවන්න අපි ඉඩ තියන්නේ නෑ. එයාලා හැම තිස්සෙම උත්සාහ ගන්නේ දේශපාලන වාසි ගන්න.
ආණ්ඩුවේ අයම කියනවා අගමැතිධූරයෙත් මේ පවතින ක්‍රමයෙත් වෙනසක් අවශ්‍යයි කියලා
හැමදෙනාටම තමන් දරන මතය දරන්න නිදහසක් තියෙනවා. නමුත් අපි බලන්න ඕන බහුතරයක මතයනේ. දෙතුන් දෙනෙක්ගේ අදහස් අනුව හැමදේම තීරණය කරන්න බෑනේ. මේවා වගකීමෙන් ගත යුතු තීරණ. ඒ තීරණ රටේ මතවාදය අනුව ගත යුතුයි.
තවත් ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් කියනවා අගමැතිතුමා අගමැතිධූරය විතරක් දරලා පක්ෂ නායකත්වය වෙන අයකුට ලබා දෙන්න කියලා. එහෙම අදහසක් තියෙනවද?
මගේ පෞද්ගලික අදහස නම් පක්ෂයේ නායකත්වය වෙන කෙනෙකුට ලබා දෙන්න අවශ්‍ය නෑ. අගමැතිතුමාට යන්න කියන අයත් දෙපාරක් හිතන්න ඕන. ඒ මීට වඩා සුදුසු කෙනෙක් මෙතෙන්ට දාන්න පුළුවන්ද කියලා බලන්න ඕන. නැත්නම් එතුමා යවලා හරියන්නේ නෑ. ඊට පස්සේ එන මිනිහා එතුමගේ තත්ත්වයටත් ආපු නැති මිනිහෙක් නම්. මම නම් හිතන්නේ මේවා මේ පෞද්ගලික දේශපාලන වාසි මත ගොඩ නැගිලා තියෙන්නේ.
ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් පස්සේ පක්ෂය තුළ නායකත්වයක් නැද්ද?
මේ අවස්ථාවේ මීට වඩා සුදුසු නායකයෙන් නෑ කියලයි මම හිතන්නේ.
අගමැතිතුමා පක්ෂය අත්හැරියොත්?
එදාට සුදුසු කෙනෙක් තෝරගන්න වෙනවා. සමහර අය හිතනවනේ ඒ අය සුදුසුයි කියලා. හැබැයි ඒ චරිතවල මම දකින්නේ නෑ ජනතාවයි රටයි බලාපොරොත්තු වන වෙනස තියෙනවා කියලා.
ආණ්ඩුවේ පක්ෂ දෙකේම නායකත්වය ගැන විරෝධයක් මතුවේගෙන යනකොට ඒකාබද්ධ විපක්ෂයෙන් කියනවා ඔබගේ හිටපු සමීප මිත්‍රයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා?
ඒකෙන් මම දකින්නේ ඒකාබද්ධ විපක්ෂයේ තියෙන බංකොලොත්භාවය. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හමුදාවේ වසර 20ක් ඉඳලා විශ්‍රාම වැටුපක් ලබාගෙන විශ්‍රාම ගිය පුද්ගලයෙක්. අවුරුදු 15ක් මේ රටේ ජීවත් වුණෙත් නෑ. අවුරුදු 30 ගණනක් ජනතාව යුද්ධයෙන් බැට කනකොට එයා මේ රටේ හිටියෙත් නෑ. ඔහු ඇවිත් ආරක්ෂක ලේකම් හැටියට රාජකාරි කළා. ඒ කරපු දේවල් ගැන අපිට විවේචන තියෙනවා. ඒ දේවලුත් නිසා තමයි ජනාධිපතිවරයටත් ගෙදර යන්න වුණේ. ඒ නිසා කෑදරකමත් ආසාවත් තිබ්බ පළියට ජනතාව තීන්දු කරයි රටට ආදරය කෙනෙක් තෝරන්නේ.
ඒකාබද්ධ විපක්ෂයට එහෙම අරමුණක් හෝ තිබුණට ආණ්ඩුවට නායකයෙක් ගැන අරමුණක් නෑනේ.
අපි නම් අනිවාර්යෙන්ම එජාප අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. පොදු අපේක්ෂක කතා ඉදිරියට සාර්ථක වෙයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසාත් මේ වෙනකොට යම් යම් ප්‍රශ්නවලට අපි මූණ දීලා තියෙනවා.
ඔබ පිළිගන්නවාද පොදු අපේක්ෂක සංකල්පය රටට ගැලපෙන්නේ නෑ කියලා?
අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය ලැබුණේ නෑ කියලයි මම හිතන්නේ. ඒ මගේ මතය.
ඔබත් හිටපු පොදු අපේක්ෂකයෙක්නේ?
නෑ ඉතින්. ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරයටනේ බලපාන්නේ. මම ආවා නම් සියලු පක්ෂ එක්ක එකතු වෙලා වැඩ කරනවා. මොකද න්‍යාය පත්‍රයක් තිබුණා. ඒ න්‍යාය පත්‍රයෙන් පිටට ගියොත් තමයි ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙන්නේ.
පසුගිය දවසක කරළියට ආවා ඔබ පොලීසිය භාර ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දෙනවා කියලා. පස්සේ ඔබේ නම කැපුණා. මොකද වුණේ?
ජනාධිපතිතුමාම තමයි කීවේ ඡන්දයෙන් පස්සේ වෙනස්විය යුතුයි, යම් යම් තැන් සැකසිය යුතුයි, ඇඟට දැනෙන්න වෙනස් වෙන්න ඕන කියලා. ඒ මතය නිසා අගමැති පවා මාරු කරන්න ඕන කියන මතයේ හිටියා. ඒ සඳහා එ.ජා.ප.යත් යෝජනා ගෙනාවා. ඔය ඇමැතිකමට එ.ජා.ප.යෙන් මාව යෝජනා කළා. මගේ පෞද්ගලික වැඩකට ජනාධිපතිතුමාට කතා කරපු වෙලාවේ එතුමම කිව්වා මම මේ ඔයාට ප්‍රබල ඇමැතිකමක් දෙන්න යනවා කියලා. මම ඇහුවෙත් නෑ මොකද්ද කියලා. මම කිව්වා ඒ වෙලාවේ මොනවා දුන්නත් තියෙන ඇමැතිධූරයෙන් බලතල ඉවත් කරන්න එපා කියලා. එච්චරයි මම කිව්වේ. මම ගිය මාසේ පෞද්ගලික වැඩකට විදේශ ගතවුණා. ඒ වෙලාවේ ජනාධිපති ලේකම්ලා, අගමැති ලේකම්ලා එහෙමත් දුරකථන ඇමතුම් දීලා කිව්වා වහාම එන්න ඇමැතිධූරය බාරගන්න කියලා. මට අගමැතිතුමාත් කිව්වා මගේ නම යෝජනා කරලා ඇරියා කියලා. ඒ වුණාට මම එනකොට වෙන ප්‍රශ්න ඇතිවෙලා.
ඔබ ඇයි කියලා ජනාධිපතිගෙන් ඇහුවේ නැද්ද?
මම ඇහුවා. එතුමා කිව්වා පොලීසියේ ජ්‍යෙෂ්ඨ සමහර නිලධාරීන් කැමති නෑ කියලා. පොලීසියේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් අහලා නම් ඇමති පත්කරන්නේ මම ඒ ගැන කතා කරලා වැඩක් නෑනේ.
අගමැතිවරයා හතර වතාවක් ඔබගේ නම යෝජනා කරලා ඇරියා. එය ප්‍රතික්ෂේප කළ කියන්නේ ඇත්තද?
ඔව්. ජනාධිපතිතුමා තරයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
එම ඇමැතිධූරය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාට දුන්නම ඔබ කිව්වා තරයේ හෙළා දකිනවා කියලා.
පැහැදිලිව මම කිව්වා. මගේ යෝජනාව ප්‍රතික්ෂේප කරපු ආකාරය හෙළා දකිනවා කියලා. රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිතුමා සමඟ කිසිම තරහක් නෑ. මගේ හොඳ යාළුවෙක්. ඉතා හොඳ මනුස්සයෙක්. වැදගත් මහත්තයෙක්. එතුමට දීම ගැන මගේ කිසිම විරැද්ධත්වයක් නෑ. හැබැයි එතුමා දැනුත් අමාත්‍යධූරයක් දරනවා. ඒ අමාත්‍යධූරයත් හොඳට කරනවා. ඒ නිසා එතුමා විවේචනය කළේ නෑ. මට දෙන්න බෑ කිව්වම එතුමට දුන්න එකට මම සතුටු වෙනවා.
ඇත්තද ඇමැතිකම ලැබුණම ඔබට කතා කළා කියන්නේ?
ඔව්. ගන්න ඉස්සෙල්ලා දවසේ කතා කළා. කතා කරලා කිව්වා. මම මේක ඉල්ලුවෙත් නෑ. දීලා තියෙනවා. වැඩ බාරගන්න වෙලාවට පුළුවන්නම් එන්න කියලා. මම කිව්වා වෙලාවක් හම්බවුණොත් එන්නම් කියලා.
ඔබට මේ තනතුර දෙන එකට ඒකාබද්ධයේ පිරිසකුත් විරුද්ධ වුණා කියන්නේ ඇත්තද?
මුළු ඒකාබද්ධ විපක්ෂයම විරුද්ධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ ගැන ආරංචිය තියෙනවා. ඒ ගැන සොයමින් යනවා. ඉදිරි දවස් දෙක තුනේ මම මාධ්‍ය හමුවක් තියන්න බලාපොරොත්තු වෙනවා. එදාට මම මීට වඩා විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. ඔය ඒකාබද්ධ විපක්ෂයත් එක්ක කකුල් තියාගෙන ඉන්න අය විරුද්ධ වුණා කියලා මම දන්නවා. පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන පොලිස්පතිගේ ඉඳන් පහළ නිලධාරීන් අතීතයේ මාත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ අය විරුද්ධ වුණා කියලා මම හිතන්නේ නෑ. සමහර මස් රාත්තලට විස්කි බෝතලයට නතු වෙච්ච අය ඉන්නවනේ. ඒ අය මම වගේ කෙනෙක් එනවට කොහොමත් කැමති වෙන්නේ නෑ.
ඔබ කියන හැටියට ඒකාබද්ධ විපක්ෂයේ අයට පුළුවන්ද ආණ්ඩුව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න.
ඒ වගේ තත්ත්වයක් තියෙනවා වගේ අපිටත් තේරෙනවා දැන්. යම් යම් බලපෑම් කිරීමට යම් ක්‍රමවේද තියෙනවා කියලා පේනවා. ඒ ගැන ඇත්තටම අපිටත් ප්‍රශ්න තියෙනවා. එහෙම තියෙනවානම් ඉස්සරහට තදින් ක්‍රියාත්මක වෙන්න වෙයි අපිට.
ඔබ 2010 ඉඳලා මෑතක් වනතුරුම රාජපක්ෂලා විවේචනය කළා. ආණ්ඩුව බලයට එනකොටත් විවේචන කළා. හැබැයි ඒ එක විවේචනයක්වත් ඔප්පු කරගන්න බැරිවෙලා තියෙනවා.
ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නය. ඔවුන් වැරදි කරපු බවට හොරකම් කරපු බව සාක්ෂි තියෙනවා අපිටත්. ලිපිගොනු තියෙනවා. ඒත් නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා තියෙනවා. යම් අයගේ බලපෑම් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මන්දගාමී වෙලා තියෙනවා. ඉදිරියේදී අපිට ඒ ගැන කතා කරන්න වෙයි. ජනවාරි 08 ඡන්දය දුන්නේ ඒ ගැන බඩ ගැන හිතලා නෙමෙයි. ඒක අපි කඩ කරනවා නම් විශාල ප්‍රශ්නයක්.
අපත් සමඟ ජනාධිපතිවරයා සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී කිව්වේ රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකිරීමට එ.ජා.ප.ය වගකිව යුතුයි කියලා.
මම ඒක විශ්වාස කරන්නේ නෑ. එතුමට එහෙම කියන්නත් බෑ. ජනතාව ඡන්දය දුන්නේ එතුමටයි. එතුමගේ වේදිකාවල තමයි අපි කිව්වේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපි මේ දේවල් කරනවා කියලා. එතුමාට බෑ අරයට මෙයාට වගකීම බාර කරන්න. එතුමා සම්පූර්ණ වගකීම බාරගන්න ඕන.
පසුගිය දවස්වල මහනුවර විශාල ගැටුමක් වුණා. ඒක ජාතිවාදී කෝලාහලයක්. සුළු ජාතිකයෝ ආණ්ඩුව සම්බන්ධයෙන් තිබ්බ විශ්වාසය බිඳ වැටුණා නේද? විශේෂයෙන් අගමැතිවරයා නීතිය හා සාමය බාරගෙන තියෙද්දි?
ඔව්. ඒ ප්‍රශ්න විසඳුව ආකාරය වැරදියි. ඔය සිදු වෙච්ච දේවල් සිදු නොවී තිබෙන්න තිබුණා. රටේ නායකයා ඒ වෙලාවට අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕනෑ. ඒවට තමයි රටේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නේ. අගමැතිතුමාට වරද පටවන්න බෑ. එතුමා ඇමතිධූරය අරන් සති දෙකයි.
පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කළා මේ සිද්ධිය පිටුපස්සේ ආණ්ඩුවේ උස හීන්දෑරී අයෙක් ඉන්නවා කියලා. එතකොට මේක ආණ්ඩුවේ වැඩක්ද?
විමල් වීරවංශ කියන පුද්ගලයා නම් හිතන හිතන විදිහට හිතන හිතන පැත්තෙන් කතා කරනවා. ඒවගේ වටිනාකමක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. එයා ජීවත් වෙන්නේ කාටහරි මඩ ගහලා.
ආණ්ඩුව ඔක්කොටම කළින් කළේ සමාජ මාධ්‍ය වාරණය කරපු එක. ඒක හරිද?
ලෝකය දියුණු වෙලා තියෙනකොට, තාක්ෂණය දියුණු වෙලා තියෙනකොට ඔය ප්‍රශ්න මැඩලන්න සමාජ මාධ්‍ය වාරණය කරන එක සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ. තාක්ෂණය සහ සන්නිවේදනය තිබෙන්න ඕන දේවල්. ඒවා නැවැත්තුවම රටේ ආර්ථිකයට පවා බලපානවා. ජන ජීවිතයට බලපානවා. කරපු වැඩේ නොකරන්න තිබ්බා නම් හොඳයි.
ආණ්ඩුව හැම ප්‍රශ්නයක්ම වැවෙන තැනට ඇවිත් නේද විසඳුම් හෙව්වේ?
නෑ ඉතින් ඔය අඩුපාඩු නිසානේ ඡන්දයේදී ජනතාව පිළිතුරු දුන්නේ. ඒකත් පිළිගන්න වෙනවනේ. මමත් හිතනවා මේ ආණ්ඩු කරපු ආකාරය පණ මදි කියලා. ආණ්ඩුවේ ඇතුළේ ඇමතිවරුන් හුඟදෙනෙක් එහෙම හිතනවා.
ඔබ 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට රාජයෝගයක් තියෙනවා කියලා කිව්වා. ඒ රාජයෝගය යොදාගෙන 2020 ජනාධිපති සටනට එන්න අදහසක් නැද්ද?
මම දේශපාලනයේ ඉන්නවා. ජාතික දේශපාලනයේ ඉන්නවා. ජනතාවගේ ඉල්ලීමක් අනුව තමයි දේශපාලන තීරණය වෙනස් වෙන්න ඕන. ජනතාවගේ ඉල්ලීම් ආවොත් එවැනි අවස්ථාවලදී ඒ ඉල්ලීම් අපි මඟහරින්නේ නෑ. රාජයෝගය ගැන හිතලා නම් නෙවෙයි මම කොයි වෙලාවෙත් වැඩ කළේ. මට මාරකත් තිබිලා තියෙනවා. ඒ නිසා ඒ දේවල්වලට මම වැඩ කරන්නේ නෑ.
ඔබට ජනතාව ඉල්ලීමක් කළොත් 2020 තරගයට එන්න කියලා ඒක පිළිගන්නවද?
රටේ අවශ්‍යතාවයත්, ජනතාවගේ අවශ්‍යතාවයත් හැටියට ආවොත් අපි රට වෙනුවෙන් ඉතිහාසේ වැඩ කරලා තියෙනවනේ. ඉතින් රටේ අවශ්‍යතාවයක් වුණොත් අපි මූණ දෙනවා ඕනම අභියෝගයකට.
►ගයාන් ගාල්ලගේ