2018 මාර්තු 17 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

හකීම් හින්දු පුවත්පතට කී දේ

මහනුවර ඇවිලී ගිය ගැටුම්කාරී තත්ත්වය පසුබිමේ රවුෆ් හකීම් ඇමැතිවරයා ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබිණි. මීරා ශ්‍රිනිවාසන් විසින් මෙම සාකච්ඡාව සිදුකර තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මූලස්ථානය වන කොළඹ දාරුස්ස්ලාම් මන්දිරයේදීය. හකීම් එහිදී ආණ්ඩුවේ දැන් පවතින තත්ත්වය පිළිබඳවද සඳහන් කර තිබිණි.

මෙහි තවත් කාරණයක් තිබෙනවා. රජයේ පාර්ශ්වකරුවන් දෙදෙනා අතර එකිනෙකාට වරද පැටවීමේ සටනක් පටන්ගෙන තිබෙනවා. එම ක්‍රියාව මගින් ආණ්ඩුව අස්ථාවර කරනු ලැබ තිබෙනවා. එය තවදුරටත් ආණ්ඩුවේ පසුබැසීමට හේතුවක් වෙලා.

ඔබ මේ කියන්නේ පෙබරවාරි මාසයේදී පැවැති පළාත්පාලන මැතිවරණයෙන් පස්සේ?

ඔව්. මැතිවරණය අවසන් වූ වහාම ආණ්ඩුවේ ප්‍රධානම පාර්ශ්ව දෙක අතර සිදුවූ එකිනෙකාට වරද පැටවීමේ සටන ආණ්ඩුවේ සෙසු පාර්ශ්වකරැවන් වන අප සියලුදෙනා අපහසු තත්ත්වයකට ඇද දමා තිබෙනවා. ආණ්ඩුව තුළ සම්මුතියක් පවතින බවක් පේන්නෙ නෑ. එසේම අතීරණාත්මක කාරණා බොහොමයක් තිබෙනවා. එවැනි දේශපාලනික අස්ථාවරභාවයක් මගින් මෙවැනි (අන්තවාදී) බලවේගවලට සුදුසු පරිසරයක් නිර්මාණය කර දී තිබෙනවා.

නැගෙනහිර පළාත සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට හකීම් දීර්ඝ පිළිතුරක් ලබාදී තිබිණි. එය සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය.

බටහිර ආසියානු රටවලින් ලැබෙන අරමුදල්වලින් නැගෙනහිර පළාතේ මූලධර්මවාදය හිස ඔසොවමින් සිටින බවට නැගෙන චෝදනාවලට ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

ඔබ පමණක් නොවේ. මගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගන්නා බොහෝමයක් මාධ්‍යවේදීන් සාකච්ඡාව අවසාන කරන්නේ ඔය ප්‍රශ්නයෙන්. මෙය යළිත් ජාත්‍යන්තර සිතුවිලි රටා විදහා දැක්වීමක්. මා නම් දකින්නේ නැහැ මුස්ලිම්වරැන් ප්‍රචණ්ඩත්වය වැළඳගන්නා තැනකට රැඩිකල් වෙලා සිටින බව. ඇතැමුන් දකින රුඩිකල්කරණය, ඔවුන්ගේ ඇඳුමින්, ආගම් ඇදහීමේ ආකල්ප නිසා විය හැකියි. එය සංස්කෘතිකමය පාලන ප්‍රදේශයක්. වහාබ්වාදය හෝ සලාෆි න්‍යාය මේ රැඩිකල්කරණයට හේතු වී ඇතැයි සමහරුන් කියනවා. එමෙන්ම තව්ෆිඩ් ජමාආත් වැනි විවිධත්වයක්ද තිබෙනවා. මේවා ඉස්ලාම් දර්ශනයේ වෙනස්කම් සහිත ඇදහීම් මිස රැඩිකල් කණ්ඩායම් පැමිණ මුල් බැස ගැනීමක් නොවේ. අපි දේශපාලනඥයන් වශයෙන් මේ තත්ත්වය නිරීක්ෂණය කරනවා. ඒ පුද්ගලයන් සමග අන්තර්ක්‍රියා පවත්වනවා. අවශ්‍ය අවස්ථාවලදී අපි ඔවුන් විවේචනය කරනවා. රටේ බහුතර මුස්ලිම් ප්‍රජාව එම කණ්ඩායම් කෙරෙහි පළකරන්නේ අප්‍රසාදයක්.

ආගම ඇදහීම, කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද විවිධ අදහස් පවතිනවා. ප්‍රචණ්ඩත්වයට නැඹුරැ නොවන තාක් මේ කණ්ඩායම් සම්බන්ධයෙන් වද විය යුතු නෑ. මේවා සංස්කෘතිකමය කාරණා.

සමස්තයක් වශයෙන් හකීම් ප්‍රකාශ කර තිබුණේ පසුගියදා ඇතිවූ ගැටුම සිංහල - මුස්ලිම් ගැටුමක් නොවන බවය. එය මුස්ලිම්වරුන්ට එරෙහි කලහකාරීන් පිරිසකගේ ප්‍රහාරයක් පමණක් බවය. දේශපාලන වාසි තකා අන්තවාදී කණ්ඩායම්වලට සහාය දැක්වීමෙන් අප සියලු දෙනාම වැළකී සිටිය යුතු බවද ඔහු සඳහන් කර තිබිණි.

- ද හින්දු

පොලීසිය හැංගෙන්නේ ඇයි?

දිගන, තෙල්දෙණිය සහ අවට ප්‍රදේශවල සිදුවීම්වලදී පොලීසිය තත්ත්වය පාලනය කිරීමට පියවර නොගත් බවට දිගටම චෝදනා එල්ල විය. සිද්ධිවලින් දින දෙකකට පසුව පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට පොලීසියේ ඉහළ නිලධාරියකු පැමිණෙනු ඇති බවට මාධ්‍යවේදීන් තුළ බලාපොරොත්තුවක් තිබුණද එය ඉටුවූයේ නැත.

එදිනම සවස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින්ද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා හදිසි නීතිය පැනවීම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. එහෙත් එම සාකච්ඡාවටද පොලීසියේ සහභාගීත්වයක් නොතිබිණි. නමුත් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස්. රණසිංහ සහ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ද ඊට සහභාගී වූහ.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ පොලීසිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරැවත් එය සාර්ථක නොවීය. &අපිටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි* යනුවෙන් එක් මාධ්‍යවේදියෙක් කියනු ඇසිණි.

- සන්ඩේ ටයිම්ස්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00