2018 මාර්තු 17 වන සෙනසුරාදා

රට එකතැන

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

පළාත් පාලන ඡන්දය පවත්වා මාස එකහමාරකට ආසන්න කාලයක් ගෙවෙමින් පවතී. තවමත් මන්ත්‍රීවරුන්ගේ නම් ටික ගැසට් කර නැත. ඒවායේ සභාපතිවරැන්, නගරාධිපතිවරුන් කවුදැයි කිසිවෙක් නොදනිති. ප්‍රතිඵලය ගමේ ආණ්ඩු එකක්වත් ස්ථාපිත කිරීමට නොහැකි වීමය.

මීළඟට පසුගිය වසරේ අගභාගයේ පැවැත්වීමට නියමිතව තිබූ උතුරුමැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුනේම ඡන්ද කල් ගොස් තිබේ. සීමා නිර්ණය එම කල් දැමීමට ද හේතුව වශයෙන් පෙන්වා දෙනු ලැබූ අතර ඡන්ද ක්‍රමයේ සිදු කෙරෙන වෙනස්වීම්වලට අනුකූල වන ලෙස පළාත් සභා සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. කොට්ඨාස ක්‍රමයට සහ සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරාගනු ලබන ප්‍රතිශතය පිළිබඳව නිශ්චිත තීන්දුවක් නැත. මේ සියල්ලේ ප්‍රතිඵලය පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි දින වකවානුවක් ගැන මැතිවරණ කොමිසමට හරි පිළිතුරක් නැති වීමය. පළාත් සභාවලට ද පළාත් පාලන ආයතන ඉරණම අත්වන ලකුණු පහළ වෙමින් තිබේ.

රටේ ජනතාව ඉදිරියේ පෙළගැසෙමින් තිබෙන සිදුවීම් මාලාවේ ඡන්දවලට අදාළ කොටසේ සංක්ෂිප්ත සටහන එසේය. ඡන්දයක් තබා මන්ත්‍රීවරැන් ද තෝරා ගත්තද ඔවුන්ට ඡන්දය දුන් ජනතාවට තවම හුළංය. ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සියල්ල තවමත් පවතින්නේ අක්‍රීය තත්ත්වයේය. මෙතෙක් කාලයක් ගමේ, නගරයේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සොයා බැලූ විශේෂ කොමසාරිස්වරුන් ද අද ඉන්නේ නිහඬවය. ඡන්දෙන් පත් වූ මන්ත්‍රීවරුන් පිරිසක් සිටියදී ඔවුන්ට කළ හැකි රාජකාරියක් නැත. කොළඹ මහ නගර සභාව අක්‍රීය වීම නිසා දැන් නගරය අවට කුණු කඳු නැවත ගොඩගැහෙන්නට පටන්ගෙන තිබේ. පළාත් පාලන ආයතන අක්‍රීය වීමේ එක් ප්‍රතිඵලයකි ඒ. මහ ආණ්ඩුව පමණක් නොව ගමේ ආණ්ඩු ද අස්ථාවරය. අවිනිශ්චිතය. අක්‍රීයය.

මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දවසේ පටන් ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් දැක්වූයේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි. නමුත් කල්ගත වනවිට ජනතාව තේරැම් ගත්තේ ආණ්ඩුව ඡන්ද පැවැත්වීමට අකමැත්තක් මෙන්ම බියක්ද දක්වන බවය. ඒ අකමැත්තට සහ බියට හේතුව පෙබරවාරි 10 වැනිදා ඡන්දයෙන් පැහැදිලිව පෙනිණි. නමුත් ආණ්ඩුව තවමත් පාඩම් ඉගෙනගෙන නැත. එසේ යන්තම් හෝ ඉගෙනගත්තා නම් රට මෙතරම් අස්ථාවර බවකට වැටෙන්නේ නැත.

අද රටේ කිසිම වැදගත් වැඩක් කෙරෙන්නේ නැත. රාජ්‍ය සේවයේ ද අකර්මන්‍ය බවක් දක්නට ලැබේ. බොහෝ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සිට පහළට තීරණ ගන්නේ ඉතා සෙමිනි. ගන්නා තීන්දු ක්‍රියාත්මක වනවා දැයි ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුවන බවක්ද නොපෙනේ. මේ තත්ත්වයේ බැරෑරුම්කම වටහාගැනීමට මහනුවර සහ අම්පාරේ සිදුවීම්වලදී රජයේ ආයතන හැසිරුණු ආකාරය පිළිබඳ විමසිලිමත් වීම පමණක් සෑහෙයි. අම්පාරේ කලබලය සිදු වූ අවස්ථාවේ ආණ්ඩුව එයට මුහුණ දුන්නේ තවත් එක් සිදුවීමක් වශයෙනි. මහනුවරට එය සුළි සුළඟක් සේ කඩා වැදෙන තෙක් ආණ්ඩුව සිටියේ මර නින්දේය. පුංචි ඡන්දයෙන් පස්සේ ඇති වූ ගැට ලිහා ගැනීමට ආණ්ඩුවේ කොටස් දෙකම අපොහොසත් වීම ඊට හේතුව වන්නට ඇත. එහෙත් රටේ ජනතාව එයට පලි නැත. ජනතාවගෙන් අති බහුතරය සාමයට ලැදි රට ජාතිය ගැන සිතන පිරිසකි. ගිංතොට සහ අම්පාර සිදුවීම්වලදීත් නිකම්ම &කඩේ වසා දැමුවා* මිස මෙය යළි ඕනෑම මොහොතක පුපුරා හැකි ගිනි කන්දක් බව ආණ්ඩුව සිතා නොතිබුණි. ඒ සිදුවීම් දැන් අතීතයේය. තවම සිදු වූ හානියවත් ගණන් බලන්නට හැකි වී නැත.

මේ සියලු ගැටුම් හේතුවෙන් රට පවතින්නේ එකම තැන පල්වෙමිනි. කාලයක් තිස්සේ රට තුළ පවතින බරපතළ ආර්ථික ගැටලුවලට ආණ්ඩුව පිළිතුරු සොයන බවක් නොපෙනේ. දිනෙන් දින රැපියල දියාරැ වෙමින් පවතී. පිටරටින් ගෙන්වන සෑම භාණ්ඩයකටම මිල ගණන් ඒ හේතුවෙන් ඉහළ යයි. ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව තෙල් මිල, විදුලිය බිල ගැලපීමට මූල්‍ය අරමුදලේ උපදෙස් ලැබී ඇතැයි ද කියති. බරපතළ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ හරවත් සාකච්ඡාවක් සිදුවන බවත් පෙනෙන්නට නැත. ජනතාව ප්‍රමුඛ ගැටලු ගැන ආණ්ඩුවේ අවධානයක් නැත. ආණ්ඩුවේ පාලක දෙපාර්ශවයටම වඩාත් වැදගත් වී තිබෙන්නේ තමන්ගේ බලය රුක ගැනීමේ, තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට බව පෙනෙන්නට තිබේ. මේනම් ඉතාම ලජ්ජා සහගත ලෙස තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ඕනෑ එපාකම් නොසලකා හැරීමකි.

මහනුවර ගිනි ඇවිලී යනතුරු පොලීසිය සිටියේ නිහඬව බවට බලවත් චෝදනාවක් තිබේ. එයට ආණ්ඩුවෙන් පිළිතුරක් නැත. මෙවැනි බැරූරැම් අවස්ථාවක වියයුතු පරිදි පොලිස්පතිවරයා මහජනතාව හමුවේ අඩුම වශයෙන් එක වතාවක්වත් හෝ මාධ්‍ය සාකච්ඡාවකටවත් ආවේ නැත. ඔහු මහනුවරට ගියේ සතියක් ඇවෑමෙන් පසුවය. ඒ නීතිය හා සාමය පිළිබඳ නව ඇමැතිවරයා මහනුවර ගිය දිනයේය. ඔහුට එසේ එන්නැයි ආණ්ඩුවේ බලධාරීන් නියෝග කර නොමැති බව එයින් ඉතාම පැහැදිලිය. එය ස්ථාවර, ශක්තිමත් ආණ්ඩුවක හැසිරීමට ඉඳුරාම පටහැණිය.

අවසානයේ අමාරැවේ වැටී සිටින්නේ රටේ ජනතාවය. ආණ්ඩුවත් විපක්ෂයත් තම තමන්ගේ බලය රැක ගැනීමේ සහ බලය ලබා ගැනීමේ කඹ ඇදිල්ලක සිටියදී ජනතාවගේ බරපතළ ප්‍රශ්න ගොඩනැගෙයි. දැන් ජනතාවට දැනෙන්නේ රට තුළ ආණ්ඩුවක් පවතිනවාට වඩා නොපවතින බවකි. ඒ තත්ත්වයට ඔවුන් ඇද දමා ඇත්තේ ආණ්ඩුවමය.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00