2018 මාර්තු 17 වන සෙනසුරාදා

මහාවංශය සියමට යයි

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

දැනට සති දෙකකට පමණ උඩදී ලංකා - සියම් සබඳතා පිළිබඳ සම්මන්ත්‍රණයක් බැංකොක් නුවර පවත්වන ලදී. ඒ සම්මන්ත්‍රණය පවත්වන ලද්දේ එම රටේ ඉහළම විශ්වවිද්‍යාලය හැටියට සැලකෙන චූලාලංකර්ණ සරසවියේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ පර්යේෂණ පීඨයයි. ලංකාව නියෝජනය කරමින් මා හා මහාචාර්ය ජේ. බී. දිසානායක සහභාගී වූ අතර තායිලන්තයේ ඉහළම ශාස්ත්‍රවන්තයන් හැටියට සැළකෙන මහාචාර්ය සුනිත් චුනින්නානන්ද හා මහාචාර්ය සුමනා සතානන්ද තම රට නියෝජනය කළෝය.  චූලාලංකාර සරසවියේ උපකුලපති ජීරායුද් සින්තූපන් එම සම්මන්ත්‍රණයේ මුලසුන දැරීය.

තායිලන්තයේ සුප්‍රකට ඉතිහාසඥයෙක් වන මහාචාර්ය සුනිත් අප දෙරට අතර ඇති කිට්ටු සම්බන්ධතා විග්‍රහ කරමින් පාලි මහාවංශය සියම් රටේ ඉතිහාසයට බලපෑ හැටි විස්තර කළේය.  පාලි මහාවංශය සියම් බසින් හඳුන්වනු ලබන්නේ ‘මහවොං’ යන නමිනි.  මධ්‍යතන යුගයේ ‍ථෙරවාදී බෞද්ධ රටවල් එකිනෙකට යා කළ බස වූයේ පාලියයි.  දෙරටේම සංඝයා මැනවින් පාලි බස ප්‍රගුණ කර තිබූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සත්භාෂා පරමේශ්වරයන් ද වූහ.  එම යුගයේ දී සිංහල බෞද්ධ භික්ෂුන් තායිලන්තයට සංක්‍රමණය වීම පිළිබඳ සාක්ෂි තිබේ. ඔවුන් ඉන්දියාවට ගොස් බුරුමය හරහා ගොඩබිම් මාර්ගයකින් ආ බව සමහරුන්ගේ මතයයි. තවත් අය තර්ක කරන්නේ ඔවුන් රුවල් නැව්වලින් ඉන්දියානු සාගරය තරණයකොට තායිලන්තයෙන් බස්නාහිර වෙරළට පැමිණි බවයි. එයට සාක්ෂි වශයෙන් පවසන්නේ ඔවුන් ගොඩබෑ නගරය නකෝන් ශ්‍රී තමරත් ලෙස හඳුනාගෙන තිබෙන බවයි.  එම නමේ සිංහල පරිවර්තනය සිරි ධර්මරාජ නගරය යන්නයි. ඉතිහාසයේ එන තවත් නගරයක් වන්නේ නකෝන් පතම් හෙවත් ප්‍රථම නගරයයි. නකෝන් ශ්‍රී තමරත් නගරයේ ඉදිකර ඇති පන්සලේ පිහිටි ස්තූපය සිංහල ක්‍රමයට ඉදිකරන ඝන්ඨාකාර දාගැබක් වීම මෙකී සම්බන්ධය තහවුරු කරයි. තායි මහාචාර්යවරයා පැහැදිලි කළ අයුරු සිය රටේ පුරාතනම වෙහෙර විහාර ඇති සුකෝතායි සංස්කෘත චතුරශ්‍රයේ පන්සලක ද සිංහල ක්‍රමයට ඉදිකරන ලද ඝන්ඨාකාර දාගැබක් තිබේ. ඉන් පසුව සබඳතා ඇති වූ චෙං මායි හා අසුත්තියා රාජධානිවල ද සිංහල ක්‍රමයට නිර්මාණය කරන ලද දාගැබ් හා විහාරස්ථාන තිබේ.
දැන් අපට නැවත මහාවංශයේ බලපෑම කෙරෙහි අවධානය යොමුකළ හැකිය. මුළු ආසියාකරයේම පාලි මහාවංශයට සමකළ හැකි රාජාවලි පිළිබඳ වර්ණනා නොමැත. එයට ටිකක් හෝ ළංවිය හැකි එකම නිබන්ධය කාශ්මීර රාජාවලියයි. එහෙත් එය කාශ්මීර දේශයෙන් පිටතට ගියේ නැත. මහාවංශය සිංහල රජදරුවන්ට පමණක් නොව කලාපයේ අන් රජුන්ට ද මහඟු ආදර්ශයක් දුන්නේය. එයට හොඳම උදාහරණය දැක ගත හැක්කේ සියම නොහාත් තායිලන්තයෙනුයි.

සියම් රජවරුන් ද සුකෝතායි යුගයේ පටන් අඛණ්ඩ රාජාවලියක් නිර්මාණය කළෝය. ඒ තම රජ පරපුරට අද්විතීය තැනක් ලබා ගැනීමටයි. එම ස්ථානගත කිරීම වඩාත් වැදගත් වූයේ සෙසු බෞද්ධ නරපතියන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නෙරපා හරින ලද නිසයි. පළමුව කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ද, දෙවනුව බුරැමයේ තීබෝ රජතුමා ද තම තනතුරැවලින් පහකරනු ලැබුවා පමණක් නොව බ්‍රිතාන්‍ය පාලකයන් යටතේ සිර අඩස්සියට ද පත්වූහ. ශ්‍රී වික්‍රම දකුණු ඉන්දියාවටත් තීබෝ මධ්‍යම ඉන්දියාවේ රත්නගිරි ප්‍රාන්තයටත් පලවා හරින ලදී. බෞද්ධ රජවරයෙක් වූ තීබෝ සුදු පාලකයන්ගෙන් ඉල්ලා සිටියේ තමාව ථේරවාදී මධ්‍යස්ථානය වූ මහනුවර සිරකර තබන ලෙසයි. බ්‍රිතාන්‍යයන් එයට එකඟ නොවූ බවට තීබෝට ගෞරව කිරීමට රත්නගිරියට ගිය අනගාරික ධර්මපාලතුමා සිය දින පොතේ සටහනක් තබයි.

එකම බෞද්ධ රාජයා වූ සියම් නරනිඳුන් සිංහල සිරිත අනුව යමින් ජාතිය ආගම හා රජතුමා යන ත්‍රිත්වය තම පාලනයේ තේමාව බවට පත්කර ගත්තෝය. තායි මහාචාර්යවරයා තවත් වැදගත් කරැණක් ඉස්මතු කළේය. මහාවංශය තම රටට ඒමට පෙර රජුන් ඇතුන් පිට නැග ද්වන්ධ සටනකට යෑමේ සිරිතක් නොවීය. ඔවුන්ගේ සටන් උපක්‍රම ඊට හාත්පසින්ම වෙනස් ඒවා විය. එහෙත් දුටුගැමුණු - එළාර සටන තායි රජුන්ගේ මානසිකත්වයට කාවැදී තිබූ බව මහාචාර්යවරයා පැහැදිලි කළේය. තායි ග්‍රන්ථවල දුටුගැමුණු හඳුන්වා ඇත්තේ කුට්ටකාමින් වශයෙනි. සිංහල රජු අනුව යමින් තායිලන්තයේ පළමු ද්වන්ධ ඇත් සටන ඇති වන්නේ 1572 වර්ෂයේදීය. මහාචාර්යවරයාගේ සඳහන් තුළ ඉන්දුනීසියාවේ බෝරෝබුදූර් හා සම්බන්ධතාවය මෙන්ම කාම්බෝජයේ ඇන්කෝර් විහාරයේ ඉදිකිරීම් ගැන පසුව ලියමි.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00