2018 මාර්තු 24 වන සෙනසුරාදා

නිමල් සිරිපාල ඇමැතිතුමා අගමැති වෙනවනම් අපි සහය දෙනවා

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - රංජිත් සොයිසා

♦ විශ්වාසභංගෙ නිසා සල්ලි මලු හුවමාරු වෙනවා 
♦ අවුරුදු තුනහමාරකට පස්සේ අපි 95 දෙනාම එක මතයකට ආවා 
♦ දැන් තියෙන්නේ ජනාධිපතිතුමාගෙ වාරෙ 
♦ රාජපක්ෂවරුන්ගේ පූර්ණ ආශිර්වාදය විශ්වාසභංගයට 
♦ අගමැති ඉවත් කරන්න ඕනම කණ්ඩායමක් එක්ක ලෑස්තියි  
♦ ආණ්ඩුවට එයාලගෙ 106 දෙනාවත් නැහැ

 

 

 

 

 

කාලයක් කතා වෙච්ච විශ්වාසභංග යෝජනාව බාරදීමත් එක්ක ආණ්ඩුව ඇතුළෙත් ලංකා දේශපාලනය තුළත් පෙරළියක් ඇතිවෙලා තියෙනවා?

ඉතාම පැහැදිලිව රට තුළ ආකූල, ව්‍යාකූල ආරාජිත තත්ත්වයක් දැන් තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ සමඟ එකතුවෙලා විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමත් එක්ක ආණ්ඩුව බරපතළ තත්ත්වයකට ගිහින් තියෙනවා. මේ වනවිට විශ්වාසභංගයට පක්ෂ වෙයි කියලා හිතපු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව පැත්තෙන් විවිධ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ආණ්ඩුවෙන් මුදල් මලු හුවමාරු වන තැනට පත්වෙලා තියෙනවා. තනතුරු ප්‍රදානය කරන මට්ටමට පත්වෙලා තියෙනවා. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය බරපතළ අවුලකට ගිහින් තියෙනවා. මේක අපි හිතුවටත් වඩා හොඳින් සිද්ධවෙලා තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ පක්ෂ ගණනාවක් සහය ලබාදෙන බවට ඔබලා කියනවා. හැබැයි ශ්‍රීල.නි.පයේ ඇතැම් ඇමතිවරු අත්සන් කළත් සමහර ඇමතිවරැ මගඇරලා තියෙනවා?

නෑ. අපි එහෙමට විශ්වාස කරන්නේ නෑ. මොකද අපි විශ්වාසභංගයට අත්සන් කරන්න ඕන අවම අත්සන් ප්‍රමාණයකට වඩා වැඩි ප්‍රමාණයක් අපි අත්සන් කරලා බාරදුන්නා. අත්සන් නොකළත් ඒ අයගේ ඡන්දය අවශ්‍ය වෙලාවට ලැබෙන බව අපිට විශ්වාසයි.

අත්සන් කරපු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ඉවත් කරගන්න කියලත් බලපෑමක් වෙලා තිබෙනවාද?

හැබැයි අපිට තැන් තැන්වල ඒ වගේ දේවල් කතා කරනවා ඇරෙන්න අපිට එවැනි බලපෑමක් එල්ල වෙලා නෑ. ආණ්ඩුවෙනුත් හතරදෙනයිනේ අත්සන් කළේ.

ඔබලා හිතනවාද මේක දිනාගන්න පුළුවන් වෙයි කියලා?

අපිට බොහෝදුරට විශ්වාසයක් තියෙනවා මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ විශ්වාසභංගවලින් ශක්තිමත්ම විශ්වාසභංගය මේක කියලා. ඊට බහුතර සහයෝගයකුත් ලැබෙනවා.

පළාත් පාලන මැතිවරණය ඉවරවෙලා ආණ්ඩුවේ ඇතිවෙච්ච ව්‍යාකූලතාවයත් එක්ක අලුත් ආණ්ඩුවක් බිහිකරන්න හැදුවා.... ඒත් හරිගියේ නෑ බහුතරය නැතුව. ඔබලා හිතනවාද මේකට එවැනි තත්ත්වයක් මත සහයෝගය ලැබෙයි කියලා?

අපේ පළවෙනි අරමුණ වර්තමාන අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කිරීම ඔහුගේ වැරදි වැඩ නිසා. ඊටපස්සේ නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම ජනාධිපතිතුමාට බාරයි. එතුමා ඒක කරයි. ශ්‍රීල.නි.ප මන්ත්‍රීවරු හැටියට අපි හිතනවා අවුරුදු තුනහමාරකට පස්සේ අපි 95 දෙනාම එක මතයකට එන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. එතුමා ඡන්දයේදී කිව්වෙත් 95 දෙනා එකට හිටගත්තොත් ආණ්ඩුවක් හදන්න ලෑස්තියි කියලා. දැන් එතුමාගේ වාරය ඇවිත් තියෙනවා.

දැන් මේ සියල්ල අස්සේ ශ්‍රීල.නි.ප මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කියනවා තවම මධ්‍යම කාරක සභාවෙන් තීරණයක් අරගෙන නෑ කියලා මේ විශ්වාසභංගය ගැන?

ඒක මධ්‍යම කාරක සභාවේ කතා කළාද නැද්ද යන්න මට හරියටම තේරුමක් නෑ. හේතුව මම ඒ අංශයේ නැති නිසා. ඒ වුණත් අපි උපක්‍රමීය වශයෙන් යම් යම් හෙළි නොකරන කතා නොකරන රහස් තියෙනවා. මේක සෙල්ලමක් නෙමෙයි. මේ අග්‍රාමාත්‍යවරයා බලයෙන් පහකිරීමට කරන දෙයක්. ඒ උත්සාහයේදී අපි සඟවන සහ ප්‍රකාශ නොකරන බොහෝ දේවල් තියෙන්න පුළුවන්.

හැබැයි එ.ජා.ප.යේ පිරිස කියන්නේ ඒකාබද්ධ විපක්ෂය මේ යෝජනාව ගේන්නේ ඔවුන්ගේ දූෂණ චෝදනාවලට අදාළ නඩු ඉවත් කරගන්න කියලා?

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙන නඩුහබ ඉවත් කරගන්න නම් අපිට කරන්න තියෙන්නේ අගමැතිවරයාට විශ්වාසය පළකරන යෝජනාවක් ගේන එකනේ. එහෙම නැතුව අගමැතිවරයා ගෙදර යවන්න කියලා යෝජනාවක් ගේන්න නෙවෙයිනේ. නඩු පවරන්නේ අධිකරණය හමුවේ නිසා අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා. අපි ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක ගිහින් අධිකරණයෙන් සාධාරණත්වය ඉල්ලනවා. ඒවා තේරුමක් නැති මනස්ගාත කතා.

ඇත්තට මේකට බැසිල් රාජපක්ෂ මහත්තයගෙන් කැමැත්තක් තියෙනවද?

මේක පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු කණ්ඩායම ඉදිරිපත් කරන දෙයක්. ඒ වගේම මේවා පක්ෂ නායක රැස්වීම්වලදී සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය මේකට ලැබිලා තියෙනවා. ඒ සඳහා විශේෂ මණ්ඩලයක් තියෙනවා. ඒ මණ්ඩලයේ බැසිල් රාජපක්ෂ මහත්මයත් ඉන්නවා.

ඒ කියන්නේ එතුමාගේ සහය තියෙනවා?

එතුමාගේ සහය කියන්නේ එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නෑනේ. ඒ නිසා එතුමාට කළ හැකි දෙයක් නෑ. ඒත් එතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයවන්නා ලෙස සම්පූර්ණ සහයෝගය ලැබිලා තියෙනවා.

විශේෂයෙන් මේ විශ්වාසභංග යෝජනාව දිනන්න සුළු පක්ෂවල වගේම එ.ජා.ප.යේ පිරිසකගේ සහයෝගයත් අවශ්‍යයි. ඒක ලැබෙයි කියලා විශ්වාසද?

පළාත් පාලන මැතිවරණය නිමාවෙනවාත් එක්කම විශ්වාසභංග යෝජනාව ගැන අදහස් ඉදිරිපත් කළේ අපි නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය, පාලිත රංගේබණ්ඩාර, වසන්ත සේනානායක වගේ අය හොඳින් හරි නරකින් හරි කරනවා කිව්වා. ඒ නිසා විශ්වාසභංගය පළවෙනියට ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ නිසා අපි හිතනවා වසර තුනක් තිස්සේ පීඩනයට ලක්වෙලා හිටිය දැඩි හිත් කලකිරීමට ලක්වෙලා හිටිය මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය අපිට ලැබෙයි කියලා. උදාහරණයක් තමයි 106ක් ඉන්න එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායමේ අගමැතිවරයාට විශ්වාසභංග පළකරලා අත්සන් කරලා තියෙන්නේ 72යි. තව ලොකු ප්‍රමාණයක් එළියේ ඉන්නවා.

අග්‍රාමාත්‍යවරයා නම් දෙමළ සන්ධානයත් එක්ක සාකච්ඡා කරලා තිබ්බා ඔවුන්ගේ සහයෝගය ගන්න. ඔබතුමාලා උත්සාහ කළේ නැද්ද ඒ සහයෝගය ගන්න?

අපි මේ විශ්වාසභංග යෝජනාවේදී ජයග්‍රහණය සඳහා සහයෝගය ගතහැකි සෑම කණ්ඩායමක්ම සෑම මන්ත්‍රීවරයකු සමගම සාකච්ඡා කරනවා. මෙතන පක්ෂ න්‍යාය, ප්‍රතිපත්ති අපි හරස් කරගන්නේ නෑ. එකම අරමුණ බරපතළ හානියක් කරපු අවුරුදු තුනක් තිස්සේ රටේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති කිරීමට මුල් වෙච්ච අගමැතිවරයාට එරෙහි ඕනෑම කණ්ඩායමක් එක්ක අපි දැන් සාකච්ඡා කරනවා.

ඒත් පසුගිය නායකත්ව රැස්වීමේදී එජාපය විශ්වාසභංගයට ඉක්මන් දින යෝජනා කළත් ඊට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා විරුද්ධ වුණා කියන එක?

ඉතාම පැහැදිලිව එතැනදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඉදිරිපත් කළේ මේ යෝජනාව විවාදයට ගැනිම සභා රීති අනුව සම්ප්‍රදායට අනුව සිදුවිය යුතුයි කියන එක. ආණ්ඩුවේ ඉතිහාසය පිළිබඳව ආණ්ඩුවේ නායකයන්ගේ හැසිරීම පිළිබඳව ලොකු සැකයක් තියෙනවා. එක වරක් පළාත් සභා පනතට ඡන්දය විමසන අවස්ථාවේදී පැය තුනක් පාර්ලිමේන්තුව කල් තියලා ගෙවල්වල හිටිය මන්ත්‍රීවරැ චොපර් යවලා ගෙන්නලා ඊට පස්සේ ඡන්දය අරගෙන පනත් සම්මත කෙරුවේ. එවැනි අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන්නේ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වේ ඕක.

පළාත් සභා පනතට ඔහොම මන්ත්‍රීවරු චොපර්වලින් ගෙන්නුවා නම් මේකට ගෙන්වන එක පුදුම වෙන්න දෙයක් නෑ නේද?

ඉතා පැහැදිලිව වෙන්න පුළුවන්. චොපර් දාලා මන්ත්‍රීවරු නෙමෙයි චොපර් එක ගානෙ අරන්දීලා ගෙන්න ගන්න පුළුවන්.

ඉතිං එවැනි තැනකදී මේක දිනන්න පුළුවන්ද?

හැබැයි මන්ත්‍රීවරු වැඩ කරන්නෙ කාටද හෘද සාක්ෂිය අනුවනේ. මම කියනවා ඒකාබද්ධ විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් තමන්ගේ හෘද සාක්ෂියට විරැද්ධව වෙන්න කෙනෙක් නෑ. අපේ පැත්තේ වගකීම අපි ගන්නවා. ඒ වගේම මහජන ඡන්දයෙන් ආපු මන්ත්‍රීවරු තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න ඕන.

ඒත් අගමැතිවරයාට විශ්වාසය පළකරලා මැති ඇමතිවරු 72ක් අත්සන් කරලා ලේඛන බාරදීලා තියන බව ඔබම කියනව?

106න් 72යිනේ අත්සන් කරලා තියෙන්නේ. අත්සන් කරපු අයට ඡන්දය දෙන්න පුළුවන්නේ. සමහර වෙලාවට ඉතිහාසයේ වෙලා තියෙනවා ඡන්දය දෙනකොට ලෙඩවෙලා වැසිකිලි ඇතුළේ හිරවෙලා කාර්වල හුළං ගිය අවස්ථා තියෙනවා.

සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න වැනි ජ්‍යෙෂ්ඨයන් ඔවුන්ගේ තනතුරු අහිමිකරගෙන මෙවැනි දෙයට ඡන්දය දෙයිද?

ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හැටියට මේ අවස්ථාවේ අර්ථ නිරූපණයක් කරන්න යන්නේ නෑ. නමුත් විශ්වාසයක් තියෙනවා ශ්‍රීල.නි.පයේ ඇති බහුතරය එළියට බහිනවා මේ ප්‍රශ්නෙදි.

ඒත් ඔබලා කොච්චර දැඟලුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයවත් මේකට අත්සන් කරලා නෑ කියලා ආණ්ඩුව චෝදනා කරනවා?

එතුමා අත්සන් නොකළාට විශ්වාසභංග යෝජනාව බාරදෙන්න ගියා. එතුමා පැහැදිලිව මේ සඳහා කටයුතු කරනවා. එතුමගේ අත්සන නෙමෙයි. පුළුවන් නම් අගමැතිතුමාට එයාගේ 106 දෙනාගේ අත්සන් පෙන්නන්න කියන්නකෝ.

යම් හෙයකින් මේ විශ්වාසභංගය දින්නොත් මොකද කරන්නේ?

යම් හෙයකින් නෙමෙයි මේ විශ්වාසභංග යෝජනාව දිනනවා. අග්‍රාමාත්‍යවරයාට ඉවත් වෙන්න වුණොත් සමස්ත කැබිනට් මණ්ඩලයම විසිරෙනවා. ඉන් අනතුරුව ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමාට පැවරෙනවා නව අග්‍රාමාත්‍යවරයෙක් සමඟ කැබිනට් මණ්ඩලයක් පත් කරන්න... අන්න ඒ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය කිසිම තනතුරක් බලාපොරොත්තුවෙන් තොරව ජනතාවාදී ආණ්ඩුවකට ජනාධිපතිතුමාට සහය දෙනවා. තව මාස 18යි ආණ්ඩුවට තියෙන්නේ.

මේක දිනුවොත් පත්කරන්න අගමැති කෙනෙක් හිතලා තියෙනවද?

නෑ. ඒකාබද්ධ විපක්ෂය විසින් කිසිම අගමැති කෙනෙක් යෝජනා කරන්නේ නෑ.

පහුගිය කාලයේ නිමල් සිරිපාල ඇමැතිතුමාගේ නම් යෝජනා වෙලා ආවා. එතුමාට උදව් කරනවද?

එතුමාගේ නම යෝජනා වුණේ ශ්‍රීලනිපයෙන්නේ. එහෙම යෝජනා වෙලා එතුමා පත්වෙනවා නම් අපි සහයෝගය දෙනවා.

යම් හෙයකින් පරාජය වුණොත්?

එතැනින් එහාට අපි ඊළඟ සැලැස්ම ක්‍රියාත්මක කරනවා.

► ගයාන් ගාල්ලගේ