2018 මාර්තු 24 වන සෙනසුරාදා

58 ට වඩා 07 ලොකුවීම

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අගමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වීම ඉතා කලාතුරකින් වන සිද්ධියකි. මීට පෙර එවැනි යෝජනා ඉදිරිපත් වී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.එබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට සහ සිරිමා බණ්ඩාරනායකට විරුද්ධව මේ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් විය. ඒ දෙකම දිනාගැනීමට යෝජනාව ගෙන ආ මන්ත්‍රී පිරිසට හැකිවූයේ නැත. ඉතිහාසයේ අගමැතිට එරෙහි තුන්වැනි විශ්වාසභංග යෝජනාව පසුගිය බදාදා (21) රනිල් වික්‍රමසිංහට එරෙහිව බාරදුන්නේ අත්සන් 55 ක් සහිතවය.

ඉතිහාසයට අනුව තුන්වැන්න වුණත් එජාප අගමැතිවරයකුට එරෙහිව ඉදිරිපත් වන පළමු විශ්වාසභංග යෝජනාව වශයෙන් මෙය ඉතිහාසයට යනු ඇත. එය කතානායකවරයාට බාරදෙන තුරුම තිබුණේ දෙනවාද නැද්ද වශයෙන් දෝලනය වෙමිනි. නමුත් දැන් එය බාරදී තිබේ. ලබන අප්‍රේල් 4 වැනිදා යෝජනාව විවාදයට ගැනීමටද තීරණය වී ඇත. දැන් මේ යෝජනාව ගොඩදාගැනීමට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය ලැබිය යුතු වීම අත්‍යාවශ්‍යම සාධකයයි. ඒ සඳහා අත්සන් තැබූ 55 දෙනාට අමතරව තවත් විපක්ෂ මන්ත්‍රීන් 58කගේ සහාය ලබාගත යුතුය. යූ.එන්.පී ප්‍රමුඛ එ.ජා. පෙරමුණු මන්ත්‍රීවරුන්ට සිදුවන්නේ තමන්ගේ 106 ක් වන මන්ත්‍රී පිරිසට තවත් 07 දෙනකු පමණක් එකතු කර ගැනීමය. මේ අතරින් වඩාත් අපහසු වනු ඇත්තේ අත්සන් 58 සොයාගැනීම බව බැලූ බැල්මට පෙනේ. එහෙත් යථාර්ථය ඊට වඩා වෙනස් බව දේශපාලන කරළියේ සිදුවන කතාබහ අනුව පැහැදිලිය. 58ට වඩා 07 ලොකු බව පෙනෙන්නට තිබේ.
පාර්ලිමේන්තුව ඇතුළේ ජවිපෙ මන්ත්‍රී නියෝජනය 06 කි. මේ හය දෙනාගේ ඡන්දය කෙලෙසක භාවිත වනු ඇතිදැයි මුල සිටම කිසියම් සැකයක් තිබිණි. අගමැතිවරයා රැකගැනීමට වඩා ඔවුන්ගේ අවධානයට වඩාත්ම යොමුවන්නට ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී තමන් විසින් දැඩි ලෙස විවේචනය කළ රාජපක්ෂවරුන්ට මේ හරහා ලැබිය හැකි දේශපාලන වාසියේ ප්‍රමාණය මැන බැලීමටය. කුමන තත්ත්වයක් යටතේ වුවද රාජපක්ෂවරුන් අතට හෙට අනිද්දාම රටේ බලය මාරුවන වැඩපිළිවෙළකට ජවිපෙ කැමැත්තක් නැත. ඔවුන් තවමත් ඉන්නේ මේ වන විට කල් ඉකුත් වී ඇති සටන් පාඨයක් වන රාජපක්ෂ පාලනයේ හොරුන් අල්ලා නඩු දැමිය යුතුය යන ස්ථාවරයේය. එම සටන් පාඨය කල් ඉකුත් වන තැනට වැඩ සිද්ධ වුණේ, නැතහොත් එය නිශ්ක්‍රීය කරනු ලැබුවේ යූ.එන්.පී. ප්‍රමුඛ සම්මුති ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේම නායකයන් විසිනි. ඒ සඳහා බලපෑවේ එකම හේතූන් නුවූවද එහි ප්‍රතිඵල ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටම විඳගැනීමට සිදුවීම දෛවෝපගත සිද්ධියකි. විශ්වාසභංගය ද එහිම තවත් ප්‍රතිඵලයකි.

කෙසේ වුවද ජවිපෙට විශ්වාසභංග යෝජනාවට විරුද්ධව යාමට හැකියාවක් නැත්තේ යෝජනාව මගින් අගමැතිවරයාට එරෙහිව එල්ල කෙරෙන චෝදනා බහුතරය මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ඒවා බැවිනි. එම චෝදනා ජවිපෙ විසින් ද එල්ල කරන ලද චෝදනාම වීම නිසා ඊට එරෙහිව යාමට ඔවුන්ට අවස්ථාවක් නැත. ඔවුන් හයදෙනාගේ සහාය ද ලබාගත හැකිවන ආකාරයට යෝජනාව සැකසීම හේතුවෙන් විපක්ෂයට උතුරේ සහ වතුකරයේ දේශපාලන පක්ෂවලින් ද සහාය ලබාගැනීමටද අවස්ථාව පෑදී තිබේ.

බැඳුම්කරය සම්බන්ධ චෝදනා එල්ලවන විට ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීම අනාගතයේදී දේශපාලන වශයෙන් (හරා කිරි) කර ගැනීමක් විය හැකි බව ඔවුන් නොදන්නවා නොවේ. දේශපාලන කාරණා මත පදනම්ව ගෙන එන විශ්වාසභංගයකත් රටේ බරපතළ මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා කරමින් ගෙන එන විශ්වාසභංගයකත් වෙනස ඒකය. දේශපාලන කාරණා වශයෙන් ගත්තොත් ජවිපෙටද මේ අගමැතිවරයාට එරෙහිව එකවරම යා නොහැකිය. ඔවුන් අපේක්ෂා කළ යහපාලනය යටතේ දේශපාලන නිදහස සිත් සේ භාවිත කළ හැකිවීම, තරමක් දුරට හෝ ස්වාධීනව කටයුතු කළ හැකි කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණය වඩාත් ස්වාධීන වීම වැනි කාරණා සමඟ ජවිපෙ ද එකඟය. උතුරේත් වතුකරයේත් දේශපාලන පක්ෂවලටද ඒවා අදාළය. ඊට අමතරව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා වඩාත් පුළුල් දේශපාලන නිදහසක් ලබාගත හැකි පාලනයක් ලබාගැනීම සහ සංහිඳියාව ඉදිරියට ගෙන යාම වැනි කාරණාවලදී උතුරේ පක්ෂවලට අගමැතිට එරෙහිව යා නොහැකිය. නමුත් බැඳුම්කර වංචාවේ චෝදනා සමඟ එම කාරණා සියල්ල යටපත් වීම වැළැක්විය නොහැක. වතුකරයේ දිගම්බරම්ලාගේ පක්ෂය ඇතුළත මේ ගැන බෙදීමක් හටගන්නේ ඒ හේතුවෙනි. ඔවුන්ට අගමැතිවරයාට එරෙහිව යා නොහැකිය. එසේ වුවත් බැඳුම්කර වංචාවට ආ වැඩීම ද කළ නොහැකිය. ආණ්ඩුවේ පාර්ශ්වකරැවන් වීම නිසා ආණ්ඩුව රැකගැනීමද අවශ්‍යය. රැවුලයි කැඳයි දෙකම අවශ්‍ය තැනකට දිගම්බරම්ලා දැන් තල්ලු වී සිටිති.

ටී.එන්.ඒ. පක්ෂය තුළද දැඩි බෙදීමක් හටගැනීමට විශ්වාසභංගය හේතු වී තිබේ. සම්පන්දන් අගමැතිවරයා සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (22) හමුවී කළ සාකච්ඡාවේදී ටී.එන්.ඒ. සහාය අගමැතිට ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ බව මුලින් ප්‍රකාශ විය. එසේ වුවද පසුව දැනගන්නට ලැබුණේ ටී.එන්.ඒ. පක්ෂය තුළ පිරිසක් සම්පන්දන්ට විරුද්ධ මතයක් දරන බවය. ඔවුන් පෙන්වා දී ඇතැයි කියන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අගමැති සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි වුවත් බැඳුම්කර චෝදනාවලදී එසේ කළ නොහැකි බවය. එය විපක්ෂයක කාර්යභාරය නොවන බවය. මේ නිසා දැන් පෙනෙන්නට තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවට ටී.එන්.ඒ. පිරිසගේ සහාය ලැබෙන බවකි. එහෙම වුණත් ඔවුන් තුළ පවතින දැඩි රාජපක්ෂ විරෝධය හේතුවෙන් රාජපක්ෂවරුන් ප්‍රමුඛ වී ගෙන එනු ලබන යෝජනාවකට ඔවුන්ගේ සහාය ලැබීමද සැක සහිතය. එසේ නම් විය හැක්කේ ටී.එන්.ඒ. මන්‍ත්‍රී පිරිස විවාදයේදී එරෙහිව කතා කර ඡන්දය විමසීමේදී නිහඬ වීමය. එසේ වීම අගමැතිට වාසිද අවාසිද කීම අපහසුය.

ඒ විපක්ෂය හැසිරෙනු ඇතැයි දැනට පෙනෙන විදියයි. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ යූ.එන්.පී. මන්ත්‍රී කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයයි. පසුගිය බ්‍රහස්පතින්දා (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති යූ.එන්.පී. මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී අගමැතිට සහාය පළකරමින් එ.ජා. පෙරමුණේ මන්ත්‍රීවරුන් 100 දෙනකු ලියැවිල්ලකට අත්සන් තැබූ බව ප්‍රකාශ විය. ඉතිරි මන්ත්‍රීවරැන් 06 දෙනා එම රැස්වීමට සහභාගි වී සිටියාද නැද්ද යන්න ගැන සඳහනක් නැත. ගාල්ල දිසාවේ යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයකු විසින් මෙම අගමැතිට සහාය පළකිරීමේ යෝජනාව ගෙන ආ බවත් පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනකුගේ අත්සන් මුලින්ම ලබාගැනීමට එම ජ්‍යෙෂ්ඨයා සමත් වූ බවත් දැනගන්නට තිබේ. එසේ වුවත් එම අත්සන් ව්‍යාපාරය තුළදී වූ සිදුවීමක් හේතුවෙන් එම අත්සන් ගැනීමට බාධා එල්ල වී තිබිණි.

එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු වන ඇමැතිවරයකු එම අත්සන් ව්‍යාපාරය දැඩිව විවේචනය කිරීම ඊට හේතු විය. ඔහු නැඟිට ප්‍රශ්න කර තිබුණේ මේ ක්‍රියාවේ තේරැම කුමක්ද කියාය. වේගවත් ලෙස අදහස් ප්‍රකාශ කර තිබූ මේ ඇමැතිවරයා රටේ බොහොමයක් ගැටලු තවමත් විසඳී නැති බවටත් එම ගැටලු විසඳීම සඳහා ඇමැතිවරුන් ලබාදෙන යෝජනාවලට මොනවා වෙනවාදැයි නොදන්නා බවත් කියා තිබුණේ දැඩි කලකිරීමකිනි. එතෙකින් නොනැවතී මෙවැනි ලියැවිලිවලට අත්සන් තැබීම ඵල රහිත ක්‍රියාවක් යැයි පැවසූ ඔහු තමන් ඊට අත්සන් නොතබන බව ප්‍රකාශ කර පිටවී ගොස් තිබිණි. මේ අවස්ථාවේදී අගමැතිවරයා නිහඬව සිටි බවද කියයි.

මේ අත්සන් ගැනීම ආරම්භ වීමෙන් පසුව එහි රැඳීසිටි සජිත් ද එම කතාව අසාගෙන සිටි බවද සඳහන්ය. ඉන් පසුව ඔහු ද නැඟිට ගොස් තිබිණි. අගමැතිට සහාය පළකිරීමේ යෝජනාවට සජිත් අත්සන් තැබුවේද නැද්ද යන්න පැහැදිලි නැත.
මෙම අත්සන් සංඛ්‍යාව නිවැරදි නොවන බව තවත් සමහරුන්ගේ මතය වී තිබේ. එම සංඛ්‍යාව 70 ක් පමණක් බව ඔවුන්ගේ අදහසය. නමුත් වඩාත් වැදගත් වන්නේ ආණ්ඩු පක්ෂ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමේ අත්සන් නොවේ. අප්‍රේල් 04 වැනිදා විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේ ලැබෙන ඡන්ද ප්‍රමාණයයි. ඒ සඳහා එ.ජා. පෙරමුණේ 106 දෙනාගේ සහ තවත් 07 දෙනකුගේත් ඡන්දය ලැබීම අවශ්‍යය. සාමාන්‍යයෙන් නම් පවතින රජයක ඇමැතිවරයකුට විරුද්ධව ගෙන එන යෝජනාවක් පහසුවෙන්ම පරාජය කළ හැකිය. ඒ සඳහා 113 නොව ඊට වඩා වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබෙන බව මෑත කාලය තුළද පෙනිණි. නමුත් මේ අවස්ථාවේ එය වෙනස්ය. ඡන්ද විමසීමකට ගියොත් එය සංකීර්ණ වනු ඇති බවට ලකුණු පහළ වෙමින් තිබේ.

යෝජනාව ගෙන එන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීන්ට එරෙහිවද චෝදනා රැසක් පිළිබඳ විමර්ශනය කෙරෙමින් තිබේ. ඔවුන්ගෙන් ඇතමකුට එරෙහිව නඩු ගණනාවක් විභාග වෙමින් තිබේ. චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන්ට විශ්වාසභංග යෝජනාවේදී බැඳුම්කර වංචාවේ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තිබෙන හැකියාව සමහරු ප්‍රශ්න කරති. මේ නිසා විවාදයේදී කතා කරන මන්ත්‍රීවරුන්ද ප්‍රවේශමෙන් එය සිදුකළ යුතු තැනක සිටින බව පෙනේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ශ්‍රීලනිපයේ ආණ්ඩුවට එකතු වී සිටින මන්ත්‍රීවරුන් ගනු ලබන තීන්දුවයි. ශ්‍රීලනිප මහලේකම් දුමින්ද කියා තිබුණේ ඉදිරි දිනවලදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගන්නා බවයි. කවුරුන් කොහොම කිව්වත් ශ්‍රීලනිපයේ තීන්දුව වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ තීන්දුවය.

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ වැඩපිළිවෙළට ඍජු සම්බන්ධයක් ජනාධිපතිවරයාගේ නැති බව පෙනෙන්නට තිබෙන තත්ත්වයයි. එසේ වුවත් පළාත් පාලන ඡන්දයේදී ලැබූ පරාජයෙන් පසුව අගමැතිවරයාට තනතුරින් අස්වෙන්නැයි ජනාධිපතිවරයා වාර ගණනාවකදීම ඉල්ලීම් කර තිබිණි. එසේම කරු ජයසූරියගෙන් 13 වතාවක් ඉල්ලා තිබුණේ අගමැති පදවිය භාරගන්නා ලෙසටය. මේ පසුබිමේ අගමැතිට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සැලකිය හැක්කේ සම්මුති ආණ්ඩුවේ යූ.එන්.පී. අගමැතිවරයකුට එරෙහිව එන විශ්වාසභංගයක් නොව සම්මුති ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ යූ.එන්.පී. අගමැතිට එරෙහි යෝජනාවක් වශයෙනි. කොටින්ම රනිල් ඉවත් වී කරු අගමැති පදවිය භාරගෙන තිබුණා නම් විශ්වාසභංග යෝජනාවක් කොහෙත්ම ඉදිරිපත් නොවනු ඇති බවය.

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ ඔහු මේ රට තුළ සිටින ජාතිවාදී සටන්පාඨ ප්‍රතික්ෂේප කරන නායකයන් ඉතා සුළු පිරිසෙන් කෙනකු බවය. ඔහු සිංහල බෞද්ධ ජාතිකත්වය මත පමණක් පදනම් වෙමින් දේශපාලනය නොකරන බවය. ප්‍රගතිශීලී ආර්ථික අදහස් ඇති රනිල් අතිශය පීඩාකාරී තත්ත්වයක් යටතේද නොසැලී සිටින නීතිගරුක නායකයකු බවය. කෙසේ වුවද ඔහු තමා වටා සිටින සමීපතම කිහිප දෙනකු හේතුවෙන් යූ.එන්.පී.යේ සෙසු ජ්‍යෙෂ්ඨයන් සහ සාමාජිකයන් කෙරෙන් ඈත් වී හුදෙකලා වී සිටීම අවාසිදායක කාරණයක් වී තිබෙන බවය.

විශ්වාසභංග යෝජනාව කවුරු දිනයිද පරදියිද කියා තවම කියන්න අපහසුය. නමුත් දිනුවත් පැරදුණත් ආණ්ඩුව ඉක්මණින් ජාතික මැතිවරණයක් අවශ්‍ය තැනකට තල්ලු වෙමින් සිටින බව නම් පැහැදිලිය. ඒ එක්කම මහින්දට අවශ්‍ය ඉක්මන් මැතිවරණයක්ද රනිල් ඊළඟ ජනාධිපතිවරණය දක්වා අගමැති වශයෙන් සිටීමද කියන්න දන්නේ නැත.

 ශශීන්ද්‍ර