2018 මාර්තු 31 වන සෙනසුරාදා

දිනුවන් නැතත් අපි ආණ්ඩුවෙන් එළියට බහිනවා

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

♦ අද රටේ ආණ්ඩුවක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්  
♦ අත්සන් කරපු රාජ්‍ය ඇමැතිවරුන් අගමැතිතුමාට අස්කරන්න බෑ  
♦ ශ්‍රීලනිප ලේකම්තුමාට සමහර දේවල් අමතක වෙලා ඇති  
♦ කොහේද දැන් සම්මුතිවාදී ආණ්ඩුවක් තියෙන්නේ 
♦ දැනුත් වෙනසක් නොවුණොත් ජනතාව ආණ්ඩුවට විරුද්ධව පෙළගැසේවි

ඔබ පසුගිය දවසක කියා තිබුණා විශ්වාසභංගයට ඡන්දය නොදී ගමට යන්න බෑ කියලා. මොකක්ද මේ කතාව?

මා ගැන කිව්වා නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ගැන කිව්වේ.

ඇයි එහෙම කිව්වේ?

ඒක කියන්න හේතුව තමයි පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙදි කමිටුවක් පත්කළා. ඒ තමයි ඔය බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලන්න. කමිටුව ජනාධිපතිට යෝජනා කළා මේ ගැන නොයන්න කොමිසමක් පත්කරන්න කියලා. ඒ කොමිසමේ තිබ්බ කරුණුත් පදනම්වෙලා තමයි මේ විශ්වාසභංගයේ පළමු කරුණු 13ම තියෙන්නේ. එකයි තියෙන්නේ බැඳුම්කරයට අදාළ නැති. බැඳුම්කර සිද්ධිය ගැන කතා කරද්දි සියලුම දේවල් මූලික වෙලා කරලා තියෙන්නේ අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වන්න, රැකගන්න, කොමිටි පත්කරන්න, පාර්ලිමේන්තුවේ කතා කරපුවා. ඒ සියලු දේවල් අගමැතිතුමාගේ වුවමනාව මත වෙලා කියලා පේන්න තියෙනවා. මේ නිසා අද ආර්ථිකය මේ තත්ත්වයට වැටෙන්න පහුගිය මැතිවරණයේ ජනතා මතය ඒ හා ආකාරයෙන් පිළිබිඹු කරන්න මේ තත්ත්වය හේතුවෙලා තියෙනවා. ඇත්ත කතා කළොත් අද රටේ ආණ්ඩුවත් තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මෙහෙම ආණ්ඩු කරන්න බෑනේ. ජනාධිපතිතුමත් කියලා තියෙනවනේ මෙහෙම වැඩ කරන්න බෑ කියලා. ඉතින් ජනාධිපතිතුමාට වැඩ කරන්න බැරි නම් ශ්‍රී ලංකා එකේ අපිට කොහොමත් වැඩ කරන්න බෑනේ.

ඔබ කියනවා මධ්‍යම කාරක සභාවෙන් තමයි මේ බැඳුම්කර කොමිසම ගැන තීරණය කළේ කියලා, ඒ කොමිසමේ කරුණු තමයි විශ්වාසභංගයට ඇතුළු වෙලා තියෙන්නේ කියලා. ඒත් ශ්‍රීලනිප මහලේකම්වරයා කියනවනේ මධ්‍යම කාරක සභාව තීරණය කරන්න ඕනේ කියලා විශ්වාසභංගය ගැන?

එයාට මේක අමතකවෙලා ඇති ඒකයි මම මේ මතක් කරලා දුන්නේ.

එතකොට තවම පක්ෂය ඇතුළෙන් විශ්වාසභංගය ගැන නිශ්චිත අදහසක් නෑ.

එතුමට තවම ලැබිලා නෑ. මේ දවස්වලනේ මන්ත්‍රීවරුන්ට ඔය විශ්වාසභංග යෝජනාව තැපැල් කරලා යවන්නේ. උනන්දු තියෙන අය වේලපහ ගන්නවා. හම්බුණාම තෙරෙයි අපි නේද මේ කොමිසම පත්කරන තැනට මේක ගෙනිච්චේ කියලා? ඒකේ කරුණු නම් මේකේ තියෙන්නේ මම කොහොමද විරුද්ධ වෙන්නේ කියලා ඒකම කල්පනා කරයි.

එජාපය කියන්නේ තවම ජනාධිපතිවරයාවත් මේ ගැන නිශ්චිත අදහසක් නෑ කියලා. ඇත්තටම ඇයි ජනාධිපතිවරය නිහඬ?

ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා, සන්ධානයෙත් නායකයා. හැබැයි මන්ත්‍රීවරුන්ට ස්වාධීන අයිතියක් තියෙනවා තීරණය ගන්න. ඒකනේ හතර දෙනෙක් අත්සන් කළේ. ඔය අස්සන් කරන හතර දෙනාම ඡන්දයෙන් පත්වෙච්ච අය.

ඒ කියන්නේ ඡන්දයෙන් පත් නොවිච්ච අය විශ්වාසභංග විරුද්ධද?

නෑ... නෑ.... ඡන්දයෙන් පත්වෙච්ච අයට වීම. වඩා වගකීමක් තියෙනවා. මොකද ඒ අය පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ ඡන්දයෙන් පත්වෙච්ච අය නිසානේ. ඒකනේ ලැයිස්තුවෙන් ආවේ. ඒ නිසා ඒ අය කොහොමටත් පක්ෂව ඡන්දය දෙන්න වෙනවා සදාචාරාත්මකව.

විශ්වාසභංගයට කැමැත්ත පළකරලා ඡන්දය දීලා නැවත ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද?

නෑ කිසිම අදහසක් නෑ ඉන්න. මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ අවසාන යෝජනාව හැටියට. අපි පහුගිය කාලය පුරාම කිව්වා. මැතිවරණයෙන් පස්සෙත් කිව්වා මේ ගමන මේ විදිහට යන්න බෑ කියලා. ඒක එහෙම වෙන්නේ නැත්තන් අපිට ව්‍යවස්ථානුකූලව හෝ අවසාන ක්‍රමවේදයට යන්න වෙනවා. මේ සියල්ලේ වගකීම තියෙන්නේ අගමැතිතුමාට හා ඔහු හරි කියලා විශ්වාස කරන අයට.

ඒ කියන්නේ මේ අවසාන තුරුම්පුවෙන් පස්සෙ ඔබලා ආණ්ඩුවෙන් යනවා?

අපිට වෙන විකල්පයක් නෑනේ.

මේක පොදු මතයද? නැත්තන් ඔබගේ අදහසද?

මම මගේ අදහස කියනවා. හැබැයි පොදුවේ අනිත් අයගේ අදහස තමයි අගමැතිවරයා ඉන්න ආණ්ඩුවක අගමැතිවරයාට විරුද්ධව ඡන්දයක් දීලා ඇයි එතුමා එක්ක වැඩ කරන්න බෑනේ. එහෙම පුළුවන්ද සදාචාරාත්මකව.

ඒ කියන්නේ ඔබතුමාලා දින්නත් නැතත් එළියට බහිනවා?

මම නම් ඒ අදහසේ ඉන්නේ.

එජාපය කියන්නේ විශ්වාසභංගයට අත්සන් කළ රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරු තුන්දෙනා ආණ්ඩුවෙන් නෙරපන්න ඕන කියලා?

ඒක ඉතින් ජනාධිපතිතුමා කැමතිනම් කරයි. වෙන කාටවත් බෑ. අගමැතිතුමාට බෑ ඒ තීරණය ගන්න.

මේ විශ්වාසභංගය ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැද්ද?

දන්නේ නෑ. අගමැතිතුමා තමයි ඒක පැහැදිලි කරන්න ඕන.

එතුමගෙන් එහෙම ප්‍රතිචාරයක් නෑ?

නෑ මම යන්නේ නැති හින්ද මම දන්නේ නෑ.

ඔබ කැබිනට් වර්ජනයකද ඉන්නේ?

නෑ... නෑ... වර්ජනයක් නෙමෙයි මම ගියේ නෑ. මගේ අමාත්‍යංශයේ තිබ්බ සල්ලි ඔක්කොම කපලා දාලා තියෙනවා. ඒ නිසා අපි තේරුමක් ඇති වැඩක නිරත වෙන්න එපැයි.

ඔබ ඇතුළු කිහිප දෙනෙකුයි ශ්‍රීලනිප මහලේකම් ඇතුළු කිහිප දෙනෙකුයි මේ විශ්වාසභංගය ගැන දරන්නේ පරස්පර මත දෙකක්. ශ්‍රීලනිපය බෙදිලද?

මහලේකම්ගේ මතය කියන්නේ පක්ෂයේ මතය නෙමෙයි. එතුමා පක්ෂයේ අනිත් අය එක්ක සාකච්ඡා කළාම හරියට අවබෝධ වෙයි.

ඔහු කියන්නේ ජනාධිපතිතුමාගේ එවැනි අදහසක් නෑ. ශ්‍රීලනිපය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වෙන්න තීරණය කරලා නෑ කියලා?

සම්මුතියක් තියෙන්න එපායැ සම්මුතියක් අනුව කටයුතු කරන්න. එහෙම වැඩ වෙන්නේ නැත්තන් සම්මුතියක් නෑනේ.

මේ විශ්වාසභංගයට යන්න කලින් පෙබරවාරි 10 වැනිදා මැතිවරණ පරාජයෙන් පස්සෙ ඔබලට එළියට බහින්න තිබ්බනේ?

නෑ. එදා ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා මාසයක් ඉවසන්න කියලා. අපේ කණ්ඩායමට කිව්වා. අපි එහිදි යම් යම් පියවර ගන්න යෝජනා කළා.

ඔය මාසය ඉන්න කතාවේ ඇතුළේ මේ විශ්වාසභංගයත් තියෙනවද?

නෑ. එතනදි එතුමා කිව්වේ මාසයක් අපි ඉවසමු කියලා විතරයි. ඒ අතරතුර යම් අවබෝධයකින් කටයුතු කළා.

ඔබලා මීට කලින් ඉවත් වෙන්න යනකොටත් ජනාධිපතිවරයා කිව්වනේ යන්න එපා ඉන්න කියලා. ඒත් කිසිදෙයක් නොවිත් ඔබලා ආණ්ඩුවේ හිටියා.

ඒක තමයි. අපිට කියන්න තියෙන්නේ ඉවසුවා ඇති කියලා. අපි පහුගිය අගෝස්තු මාසයේ ඉඳලාම ඉවසනවා.

එක්සත් ජාතික පක්ෂය වගේම ජනතා විමුක්ති පෙරමුණත් කියනවා මේ විශ්වාසභංගය ගේන අයටත් දූෂණ චෝදනා එල්ල වී තියෙනවා කියලා?

නෑ එහෙම කියලා නම් නෑ මම දන්න හැටියට. එයාලා විතරක් නෙමෙයි විජේදාස රාජපක්ෂ මහත්තයත් කියලා තියෙනවා මේක මේ ජනාධිපතිතුමාගේ පැත්තෙම වැඩක්ද කොහෙද කියලා.

ඇත්තටම මේක ජනාධිපතිවරයාගේ වැඩක්ද?

නෑ. එහෙම එකක් නෑ. කොහොම වුණත් අපි අවබෝධයෙන් වැඩ කරන්නේ.

ඔබලට ඇත්තටම විශ්වාසද මේක දිනන්න පුළුවන් වෙයි කියලා?

එහෙම අදහසින් තමයි අපි යන්නේ. මැතිවරණයකට වුණත් යන්නේ අපි දිනනවා කියලනේ. පරදිනවා කියලා යන්නේ නෑ.

පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව කොහොමද එහෙම විශ්වාස කරන්නේ?

දැන් බලන්න. එක්සත් ජාතික පක්ෂයට 106යි. අපිට 96ක් තියෙනවා. අපිට ජේ.වී.පී. එකේ 6ක් එකතු වෙනවා. එතකොට 102ක් වෙනවා. ටී.එන්.ඒ. 16ක් තියෙනවා. බලමු මේ ඔක්කොම එක්ක.

පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා කියලා තිබ්බා එජාපේ 27ක් ඉන්නවා කියලා?

එහෙම බැලුවොත් බෝනස් එකක්නේ.

දැන් සම්මුතිවාදී ආණ්ඩුවක් නැද්ද?

කොහෙද තියෙන්නේ එහෙම එකක්.

මේ අවුල පටන් ගත්තේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ?

නෑ මේක ඊට කලින් ඉඳන් පටන් ගත්තේ. හැබැයි පළාත් පාලන මැතිවරණයෙන් නිරූපණය වෙච්ච ජනමතයත් බලපාන්න ඇති.

මැතිවරණයෙන් පස්සේ කිව්වා වෙනසක් ඇතිවෙනවා කියලා. ඒත් වුණේ නෑ. දැන්වත් පොරොන්දු වෙන්න පුළුවන්ද වෙනසක් වෙයි කියලා?

ඇත්ත වශයෙන්ම ජනතාව වෙනසක් ඕනේ කියලා කිව්වා. ඒක වුණේ නෑ. ඒ නිසා තමයි අපි වෙනසක් ඇති කරන්න යන්නේ.

එතනිනුත් වෙනසක් වුණේ නැත්තන්....?

මෙතනිනුත් වෙනසක් කරන්න බැරිනම් මම හිතන්නේ ජනතාව සීඝ්‍රයෙන් ආණ්ඩුවට විරුද්ධව පෙළගැහෙයි.

පෙබරවාරි 10 වෙනිදායින් පස්සේ කිව්වා අගමැති මාරුවෙනවා ආණ්ඩුව පෙරළනවා කියලා. කෝ වුණේ නෑනේ?

අපි සෑහෙන්න උත්සාහ ගත්තා. බොහොම සුහදව මේ ප්‍රශ්නය විසඳන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ.

මේ විශ්වාසභංගය පරාද වුණොත් නැවතත් අගමැතිතුමානේ බලයේ ඉන්නේ?

ඒක ඉතින් රටේ අවාසනාව.

රටේ අවාසනාව කියන්නේ කොහොමද ජනතාවගේ නියෝජිතයෝ හැටියට පත්කළේ ඔබලව?

ඉතින් අපි ඉන්නවනේ පැහැදිලි ස්ථාවරයක.

මේ විශ්වාසභංගය ගැන පක්ෂ දෙක අතර සාකච්ඡාවක් වෙලා තියෙනවද?

නෑ. එහෙම සාකච්ඡාවක් වෙලා නෑ.

විශ්වාසභංගය ජයග්‍රහණය කළොත් අගමැතිවරයකු තීන්දු කරලා තියෙනවද?

ඒක ජනාධිපතිතුමා තීරණය කරයි. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියෙන රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා හැර කරන්න පුළුවන් එතුමාට.

හැබැයි ඒකාබද්ධ විපක්ෂයෙන් කියන්නේ නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා සුදුසුයි කියලා?

ඒකාබද්ධයෙන් එහෙම යෝජනාවක් ගෙනල්ලා නෑ. ඒකාබද්ධ විපක්ෂයෙන් කියලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයකුව අගමැති කරන එකට සහාය දෙනව කියලා.

►ගයාන් ගාල්ලගේ
සේයාරුව I අන්තර්ජාලයෙන්

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00