ගෙවීගිය සතියේ දින කිහිපයම දේශපාලන කරළියේ නායකයන්ට කාර්යබහුල දවස් විය. අගමැතිට එරෙහි විශ්වාසභංගය කේන්ද්‍ර කර ගනිමින් සිදුවෙන විවිධ සාකච්ඡා ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේම ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබීම ඊට හේතුවය. තරමක් හෝ සන්සුන් අයුරකින් පසුවූයේ විශ්වාසභංගය කතානායකවරයාට බාරදීම දක්වා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හිටපු ජනපති මහින්දය. විශ්වාසභංගය ආසන්නයේ සිදුවන සෑම කතාබහක්ම මහින්දගේ තියුණු පරීක්ෂාවට ලක්වූ බව නිසැකය. ඔහුට හතර වටේ සිදුවෙමින් තිබූ සියලු කතා සහ සිදුවීම් ගැන තොරතුරු ලැබෙමින් තිබිණි. රාජිතගේ නිවෙසේ පසුගිය බ්‍රහස්පතින්දා (29) පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළිබඳ මහින්දට ආරංචි වූයේ ඒ අතරවාරයේය.
දේශපාලන කරළියේ පෙරළිකාර සිදුවීම් පිළිබඳව හොඳ ඉවක් තිබෙන මහින්දට මේ තොරතුර කන වැකුණු සැණින් එහි අමුත්තක් දැනෙන්නට ඇත. වහාම මේ ගැන සොයා බලන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ පමණක් නොව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුටද මහින්ද දැනුම් දෙන්න ඇත්තේ එබැවිනි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය අතර අවබෝධයක් ගොඩනැගී තිබෙන අවස්ථාවක මෙවැනි හමුවක් කිසිසේත් සිදුවිය නොහැකි බව මහින්ද තේරුම් ගන්නට ඇත. එහි වැඩිදුර විස්තර සොයාගැනීම ඔහුගේ මුල්ම අවශ්‍යතාව විය.
රට තුළ දේශපාලන භූමියේ මේ වන විට ගොඩනැගෙමින් තිබෙන වාතාවරණය මුළුමනින් කනපිට හැරවෙන මේ රාත්‍රී භෝජනය සංවිධානය කර තිබුණේ රාජිතය. එම සංග්‍රහයට සහභාගි වන්නැයි ජනාධිපති මෛත්‍රීපාලට රාජිත ඇරියුම් කළේ කවදාදැයි හරිහැටි පැහැදිලි නැති නමුත් ජනාධිපතිවරයා එම ඇරියුම පැකිලීමකින් තොරව බාරගෙන තිබූ බව කියයි. ඒ අනුව ජනාධිපතිවරයා භෝජන සංග්‍රහයට සූදානම්ව රාජිතගේ ස්ටැන්මෝ ක්‍රසන්ට්හි නිවසට පැමිණියේය.
කෙසේ වුවද ටික වේලාවකට පසුව අගමැති රනිල් ද රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමේ සූදානමින් රාජිතගේ නිවෙසට පැමිණයේය. ඉන් පසු එතැන සිදුවූ කතාබහ පිළිබඳව තොරතුරු නැති නමුත් එම භෝජන සංග්‍රහයෙන් පසුව ජනාධිපතිවරයා එතැනින් පිටත්ව ගොස් තිබුණේ සතුටු සිතකින් නොවන බව දැනගන්නට තිබේ. එම තත්ත්වය වඩාත් උත්සන්න වූයේ පසුදින උදෑසන වන විට යූ.එන්.පී.යට හිතවත් වෙබ් අඩවියක පළවූ (හෝ පැළකළ) ප්‍රවෘත්තියක් හේතුවෙනි.
එම ප්‍රවෘත්තියේ මෙසේ සඳහන්ව තිබිණි.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ (29) රාත්‍රී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට විශේෂ භෝජන සංග්‍රහයකට ආරාධනා කර තිබූ අතර එහිදී ආණ්ඩුවේ දෙදෙනා පුළුල් එකඟත්වයක් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ පැවැති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි ජනපතිවරයා සහ අගමැතිවරයා පැය 4කට ආසන්න කාලයක් එහි රුඳී සිටිමින් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පූර්ණ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ................ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. භෝජන සංග්‍රහය අවසානයේ ඇමැති බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය විසින් අගමැතිවරයාගේ ප්‍රියතම පානයක් වන කළු කෝපි ද පිළිගන්වා ඇති බවත්, ජනපති අගමැති දෙදෙනාම සියලුම එදිරිවාදිකම් අවසන් කර සිනහමුසු මුහුණින් යුතුව අමාත්‍යවරයාගේ නිවසින් නික්ම ගොස් ඇති බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
අදාළ ප්‍රවෘත්තිය පළවීමෙන් සුළු වේලාවකට පසුව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු එම පුවත අසත්‍ය බව පැවැසී යැයි එම වෙබ් අඩවිවල තවත් ප්‍රවෘත්තියක් පළ විය. රාජිත ඇමැතිවරයාගේ නිවෙසේදී ජනාධිපති සහ අගමැති හමුවී පුළුල් එකඟතාවකට පැමිණි බව ප්‍රකාශ කිරීම ගජබින්නයක් බවද එම ප්‍රකාශකයා කියා තිබිණි. මේ සිද්ධිය පැහැදිලි කිරීමට ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේදී අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තොරතුරු හෙළිකරන බවද ඔහු කියා තිබිණි. ඒ කියූ පරිදිම අදාළ මාධ්‍ය සාකච්ඡාව සිකුරාදා (30) දහවල් පැවැත්වුණි.
මේ මාධ්‍ය සාකච්ඡාවේදී රාජිතගේ නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳව වචනයක් හෝ සඳහන් නොකෙරිණි. එහිදී ලක්ෂ්මන් යාපා තදින්ම කියා සිටියේ විශ්වාසභංගය පිළිබඳව ජනාධිපතිවරයා එජාපය සමඟ එකඟතාවකට පැමිණ ඇතැයි කියන ප්‍රකාශ සහමුලින්ම අසත්‍ය බවය. ජනාධිපති කාර්යාලය මගින් කරන ලද දැනුම් දීමකට අනුව ශ්‍රීලනිපයේ අනුමැතිය මත තමන් මේ ප්‍රකාශය කරන බවද ඔහු සඳහන් කළේය. විශ්වාසභංග යෝජනාවට විරැද්ධ වීමට ශ්‍රීලනිපයට හැකියාවක් නැති බව කියූ ඔහු විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට පෙර අගමැතිවරයා තනතුරෙන් ඉවත් නොවුණහොත් ලබන 4 වැනිදා රාත්‍රී 9.00ට පසුව සම්මුති ආණ්ඩුව අවසන් වන බවද සඳහන් කළේය. තනතුරින් ඉවත් වන්නැයි අගමැතිට තුන් පැත්තකින් බලපෑම් එල්ලවන බවද ඇමැති ලක්ෂ්මන් කීය.
මේ ප්‍රකාශය කළ මාධ්‍ය සාකච්ඡාව බළලා මල්ලෙන් එළියට පැනීමක් වශයෙන් ද සැලකිය හැකිය. ආණ්ඩුවේ සන්ධානගතව සිටින ශ්‍රීලනිපය විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තම ස්ථාවරය කුමක්දැයි මෙතෙක් ඍජුව ප්‍රකාශ කර තිබුණේ නැත. ජනාධිපතිවරයාද තවමත් ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නැත. ඇත්තෙන්ම ශ්‍රීලනිපය විශ්වාසභංගය පිළිබඳව ගනු ලබන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට සිටියේ හෙට (02) පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකින් අනතුරුවය. නමුත් රාජිතගේ රාත්‍රී භෝජනයෙන් පසුව උද්ගත වූ තත්ත්වය විසින් ශ්‍රීලනිපයට තම ස්ථාවරය කල් තබා ප්‍රකාශ කරන තැනකට තල්ලු වීමට සිදුවිය.
රාජිතගේ නිවෙසේ ඇත්තටම මෙවැනි හමුවීමක් සිදුවීද, එසේ නම් එතැන කිසියම් හෝ සාකච්ඡාවක් සිදුවීද යන කරුණු කුතුහලය අවුස්සන දේශපාලන කාරණා බවට පත්ව තිබේ. ඉතාම අර්බුදකාරී තැනක පසුවන ආණ්ඩුවත් බලයට පත්ව ගෙවීගිය වසර තුන තුළදී ප්‍රථම වරට තම තනතුර සම්බන්ධයෙන් බරපතළම අභියෝගයකට මුහුණදී සිටින අගමැතිවරයකුත් සිටින තත්ත්වයක් තුළ ඕනෑම දේශපාලන ගේමක් ක්‍රියාත්මක වීමට දේශපාලන කරළිය තුළ තිබෙන ඉඩකඩ ඉතා පුළුල්ය. අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉතා දැඩි ලෙස තම සමීපතමයන් වෙත අදහස් දක්වා ඇති බවද දැනගන්නට තිබේ. එය ද බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. රාත්‍රී භෝජන සංග්‍රහය* පිළිබඳව ඇත්ත නැත්ත දන්නේ රාජිත ඇමැතිවරයා පමණි. එය කාගේ ගේම් එකක්ද යන්නට පිළිතුර ඇත්තේත් රාජිත ළඟය. නමුත් මේ කරැණුවලින් පෙනෙන්නට තිබෙන්නේ විශ්වාසභංගය අවුල ලිහාගත නොහැකි නූල් බෝලයක් බවට පත්වෙමින් තිබෙන බවකි.
මේ අතර විශ්වාසභංගය පරාජය කිරීම සඳහා එ.ජා.පෙරමුණට අයත් සියලු මැති ඇමැතිවරැන් තීරණය කර ඇති බව කෘත්‍යාධිකාරී කමිටුවේ පසුගිය බ්‍රහස්පතින්දා (29) පැවැති රැස්වීමෙන් පසුව අදහස් දැක්වූ යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම ප්‍රකාශ කර තිබුණි. ඔවුන් කියා තිබුණේ විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමටත් අගමැතිට දිගටම සහාය පළ කිරීමටත් එ.ජා. පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයන් තීරණය කර තිබෙන බවකි. එම නායකයන් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මේ තීන්දුව ගත් බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබිණි.
එසේ ප්‍රකාශ වී තිබුණත් එ.ජා.පෙ. ලොකුම හවුල්කාර පක්ෂ දෙකක නායකයන් වූ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් එම රුස්වීමට සහභාගි වී නැත. පසුගිය දිනවලදී පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කර ගනු ලැබූ අවස්ථාවලදී තමන්ට යූ.එන්.පී.ය නොසලකා හැර ඇති බවට මේ නායකයන් දෙදෙනාම චෝදනා කර තිබුණි. හකීම් කෙළින්ම කියා තිබුණේ තමන්ට තවදුරටත් යූ.එන්.පී.ය සමග කටයුතු කළ නොහැකි බවය. රිෂාඩ් ඍජුවම කිසිවක් කියා නොතිබුණත් ඔහු යටින් කිසියම් ගේම් එකක සිටින බවට කරළියේ කතා පැතිර තිබේ. පුත්තලම නගර සභා නගරාධිපති තෝරා ගැනීමේ සටනේදී මුස්ලිම් කොංග්‍රසයට යූ.එන්.පී. සහාය ලැබුණේ නැත. ඔවුන් ශ්‍රීලනිපය සමඟ එක්වී නගරාධිපති ධුරය ලබාගත් අතර ඒ අනුව මුස්ලිම් කොංග්‍රසයේ බායිස් තනතුරට පත්විය. මේ සිද්ධිය හකීම්ට බරපතළ ප්‍රශ්න ඇතිකර තිබේ. යූ.එන්.පී.ය තිබෙන ප්‍රශ්න මදිවාට තවත් ප්‍රශ්න ඇතිකර ගනිමින් හවුල්කාර පක්ෂ නායකයන්ගේ සිත් බිඳීමට කටයුතු කිරීම බොහෝ දෙනකුට ප්‍රහේළිකාවක් වී තිබෙන බවද පෙනෙන්නට තිබේ.
අනෙක් අතට විශ්වාසභංගය යූ.එන්.පී. ඇතුළේ තිබූ ප්‍රශ්න එළියේ කතාකරන මට්ටමට ඇද දමා තිබෙන බව පැහැදිලිය. රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක වැනි මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේම නායකත්වය විවේචනය කරන්නේ මින් පෙර කවදාවත් නොවූ ආකාරයකටය. එපමණක් නොව කෘත්‍යාධිකාරී කමිටු රැස්වීමෙන් පසුව අදහස් දැක්වූ සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා තදින්ම කියා සිටියේ 4 වැනිදා විශ්වාසභංගය ජයගැනීම සඳහා තමන් සියලුදෙනා සහාය දක්වන නමුත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු 5 වැනිදා 6 වැනිදා වනවිටම අවසන් කළ යුතු බවය. මීට පෙර සිදුවී ඇති ආකාරයට කමිටු පත්කර ඒවායේ වාර්තා ලැබීමෙන් පසුව එහි ඇතුළත් කරුණු අධ්‍යයනයට තවත් විශේෂඥ කමිටු පත්කර මාස කිහිපයක් කල්ඇර නිකම්ම සිටීම තවදුරටත් ඔවුන් ඉවසන්නේ නැති බව එයින් පැහැදිලි වෙයි. නමුත් මෙවරත් එය සිදු වුණොත් එවිට තමන් කරන්නේ කුමක්දැයි මේ මැති ඇමතිවරුන් කියන්නේ නැත.
කුමන ආකාරයෙන් බැලුවත් ලබන බදාදා (04) මෙරට දේශපාලනයේ ඉතාම තීරණාත්මක දවසක් බවට පත්වෙමින් තිබේ. මීට වසර තුනකුත් මාස තුනකට පෙර මෙරට දේශපාලන ඉතිහාසයේ විප්ලවීය වෙනසක් කරමින් බිහිවූ එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව අප්‍රේල් 05 වැනිදායින් පසුව කුමන අතකට ගමන් කරනු ඇතිදැයි තවම කිව නොහැකි නමුත් පෙනෙන්නට තිබෙන හැටියට නම් රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංගය දිනුවත් පැරදුණත් සම්මුති ආණ්ඩුව නම් තවදුරටත් පවතින්නට ක්‍රමයක් නැත.
ශශීන්ද්‍ර