2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

රාජ උදහස හමුවේ පැවිද්ද තෝරාගත් ජිනවරවංශ හිමියෝ

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

කෝනෙල් විශ්වවිද්‍යාලය අමෙරිකාවේ උසස්ම ගනයේ අධ්‍යාපනික ආයතනයකි. එය අපට වඩාත් වැදගත් වන්නේ මුළු අමෙරිකාවේම සිංහල භාෂා පාඨමාලාවක් උගන්වන එකම සරසවිය වන නිසාය. වෙනත් විශ්වවිද්‍යාලවල සමාජ මානව විද්‍යා අංශවල බෞද්ධ සමාජය හා සිරිත් විරිත් ආදිය ගැන පරීක්ෂණ කරනු ලබයි. එහෙත් සිංහල භාෂාවේ ව්‍යාකරණ ඇතුළත් ඉගැන්වීම් කෙරෙනුයේ කෝනෙල් සරසවියේ පමණි.

කෝනෙල් සරසවියේ සිංහල අංශය පිහිටුවන ලදදේ අප පේරාදෙණි සරසවියේ ඉගෙන ගන්නා කාලයේ එහි නිතර ආව ගිය මහාචාර්ය ජිම් ගෙයා විසිනි. ඔහුත් එකල සිංහල අංශයේ සේවය කළ මහාචාර්ය සුගතපාල ද සිල්වා අතරත් තිබුණේ කිට්ටු සම්බන්ධතාවයකි. එම සම්බන්ධය නිසා සුගතපාලගේ ප්‍රධාන සිසුන් වූ ජේ.බී. දිසානායක හා කේ.එන්.ඕ. ධර්මදාස වැනි අයද ජිම්ගේ හිතවතුන් බවට පත් වූහ. ජිම් ගෙයාගේ සිංහල අංශයේ ගුරුවරුන් හැටියට මහාචාර්ය කැකුලාවල වැනි ලාංකික වාග් විද්‍යාඥයෝ කලක් අමෙරිකාවේ ගත කළෝය. කෝනෙල් සරසවිය සමග ඇති වූ මිත්‍රත්වය නිසා ලංකාවේ සිංහල වාග් විද්‍යාව පිළිබඳ අධ්‍යයනය නවීකරණය කිරීමට අවස්ථාව සැලසුණේය. දැන් මෙරට සේවය කරන සිංහල වාග් විද්‍යාඥයින් සියල්ලෝම පාහේ මෙම නව දැනුමින් ප්‍රයෝජන ගෙන තිබේ.

ලංකාවේ පර් යේෂණ කිරීමට බලාපොරොත්තු වුණ තරුණ අමෙරිකානු ශාස්ත්‍රඥයන් කෝනෙල් සරසවියේදී සිංහල භාෂාව ඉගෙන ගත් අය වූහ. ඊට අමතරව මෙරට සේවය කිරීමට එන අමෙරිකන් තානාපති නිලධාරිහුද මේ පාඨමාලාව හදාරා සිංහල බස හා සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගනිති. කොනෙල් හී මහාචාර්යවරියක් වන ඈන් බ්ලැක්බර්න් නූතන සිංහල බුද්ධාගම ගැන වටිනා ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර තිබේ. මේ කරුණු සියල්ල මා ඉදිරිපත් කරන්නේ එම සරසවියේම ගුරුවරියක් වන තමරා ලුස් විසින්, ප්‍රිස්ඩම් ජුම්සායි හෙවත් ජිනවරවංශ හිමියන් ගැන අලුතින්ම පොතක් පළ කර ඇති නිසාය. ඈන් බ්ලැක්බර්න් හික්කඩුවේ සුමංගල හිමියන් ගැන යගිරල පඤ්ඤානන්ද හිමියන්ගේ ග්‍රන්ථය මුල්කරගෙන පොතක් සකසා ඇති අයුරින් තමාරා ලුස් සිය ග්‍රන්ථය සඳහා යොදා ගත්තේ ප්‍රිස්ඩම් කුමරා විසින් ලියන ලද චරිතාපදානයයි.

ආචාර්ය ලුස්ගේ ග්‍රන්ථයේ ජිනවරවංශ හිමියන් විසින් අවුරුදු පහළොවක පමණ ලංකාවේ වාසය කර මෙරට බුද්ධාගමට කළ සේවය විස්තර කරයි. එම විස්තරය කෙරෙනුයේ සියමේ උසස් සමාජයේ ඇති හැලහැප්පීම් පසුබිම් කරගෙනය.  වෙසෙසින්ම ජුම්සායි හා සියම් නරපතියා වූ චුලාලංතෝර්න් සමඟ ඇති වූ ගැටුම ඔහුගේ මුළු ජීවිතයම පසුපස හඹා ආ ශෝකාලාපයක් වැනිය.

තරැණ ප්‍රිස්ඩම් හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ චුලා රජතුමා අතර මුල් කාලයේ වූයේ තදබල බැඳීමකි. එකී සම්බන්ධතාවය අනුව ළමාවියේ සිටි ප්‍රිස්ඩම්ව ඉංග්‍රිසී ඉගෙනීම සඳහා සිංගප්පුරැවට පිටත් කර යවන ලදී. ඔහුගේ ඉංග්‍රීසි දැනුම නිසා කුමරාව පසුකලෙක තානාපතිවරයෙකු වශයෙන් එංගලන්තයට අනුයුක්ත කරන ලදී. ඔහු එංගලන්තයේ පමණක් නොව තම රට වෙනුවෙන් ප්‍රංශය, ජර්මනිය හා අමෙරිකාව සමඟද ගනුදෙනු කළේය. මේ කාලයේදී ඉංග්‍රිසි හා ප්‍රංශ ජාතීන් සියමෙන් කොටස් කඩාගෙන කාම්බෝජය, ලාඕසය, වියට්නාමය හා බුරුමය වශයෙන් තමන්ගේ අධිරාජ්‍යයන්ට ඇතුළත් කර ගත්තෝය. සියම් භූමිය ගිල ගැනීමේ වෑයම තානාපති මට්ටමින් පරාජය කිරීම ජුම්සායිගේ කාර්යභාරය විය. එම කටයුත්ත සාර්ථකව කළ නමුත් ඔහු සියම් උසස් සමාජයේ උදහසට ලක් විය. තමරා ලුස්ගේ පොතේ සඳහන් කරන අයුරැ එකල උසස් සියම් සමාජය අර්බුදයකට යමින් පැවති කාලයකි. රජවරුන්ට හා සිටුවරුන්ට සිය ගණන් අනියම් බිරින්දෑවරුන් හා දූ දරුවන්ද සිටි අතර, ඔවුන් සියලු දෙනාම රජතුමාගේ පවුලේ අයගේ සිත් දිනා ගැනීමට බලු පොරයක යෙදී සිටියහ.

මේ ව්‍යාකූල තත්ත්වයන් ගැන හොඳ අවබෝධයක් අපට කුක්රිට් ප්‍රමෝජ් විසින් රචනා කරන ලද “පරම්පරා හතරක්” නමැති නවකථාව කියවීමෙන් ලබාගත හැකිය. කුක්රිට් ප්‍රමෝජ් වරක් තායි අගමැති හැටියටද සේවය කළ අයෙකි. ජුම්සායි සිය රටේ ප්‍රභූ කල්ලියක උදහසට ලක්විය. ඔවුහු චුලා රජතුමාට ජුම්සායි ගැන නොයෙක් ඕපාදූප දන්වා ඔවුන් දෙදෙනා අතර වෛරයක් ඇති කළෝය. ජුම්සායි විසින් මහේශාක්‍ය රාජ්‍ය තනතුර බාල කොට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට තැත් කරන බවට ඔවුහු රජුට දන්වා සිටියෝය.  ඒ අතර ඔහු සායි නමැති රූමත් වැන්දඹුවක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවත් ඒ නිසා බෙහෙවින් ණයබර වී සිටින බවත් දන්වන ලදී.

චූලා රජ ජුම්සායිට පන්න පන්නා පහර දෙන්න පටන් ගත්තේය. පළමුව ඔහු ඉංග්‍රිසීන් විසින් පාලනය කරන ලද මැලේසියාවට පැන ගියේය. එහිදි ඔහු සියදිවි හානිකර ගැනීමට පවා තැත් කළේය. එයද අසාර්ථක වූයෙන් ඔහු සසුන්ගත වී රජුගේ උදහසින් බේරීමට තැත් කළේය. සියමේ එකල සිරිත වූයේ කෙනෙක් සසුන්ගත වූ පසු නීතිරීති ලිහිල් වීමයි. එම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට ඔහුට උපකාරි වූයේ වස්කඩුවේ සුභුති හිමියන්ය. උන් වහන්සේ ජුම්සායි සමඟ ලිපි මගින් දැඩි සම්බන්ධයක් ඇති කර ගත්තා පමණක් නොව ඔහුගේ නඩුහබවලින් බේරීමට උපදෙස් මෙන්ම අවශ්‍ය ලිපිද අස්සන් කර යැවීය.

ටිකක් කල්මැරුවද ජුම්සායි වස්කඩුවට පැමිණ නාහිමියන්ගේ සෙවනේ සසුන්ගත විය.  එම ශාන්තිකර්මයේදී ඔහුගේ හිස මුඩු කළ අතර, කපා ඉවත් කරන ලද හිසකෙස්වලින් කොටසක් තවමත් වස්කඩුවේ රඳවා ඇතැයි ලුස්ගේ පොතේ සඳහන් වෙයි. වස්කඩුවේ සුභූති හිමි ජිනවරවංශ හිමියන්ව තම නිකායට හිමිව තිබු දීපදුත්තාරාමයේ නතර කළේය.  දක්ෂ පරිපාලකයෙකු වූ ජිනවරවංශ හිමියෝ විදේශිය හා දේශීය ආධාරකරැවන් සොයා ගනිමින් එම විහාරය සියම් පන්සලක ලකුණු පෙන්වන වටිනා පන්සලක් බවට පත් කළහ.