විශ්වාසභංග ගනුදෙනු
හදිසියේ උද්ගත වන දේශපාලන තත්ත්වයන් ඇතැම් දේශපාලනඥයන්ට තම ඉල්ලීම් දිනාගැනීමේ මාර්ග බවට පත්වෙයි. පසුගිය බදාදා (04) අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවද එවැනි එක් අවස්ථාවක් විය.
එක් එ.ජා. පෙරමුණු ඇමැතිවරයකු තම සගයකුට කියා තිබුණේ තමන්ගේ බලප්‍රදේශයට ලබාදෙන බවට පොරොන්දු වූ සංවර්ධන අරමුදල් ලබා නුදුන්නොත් තමන් ඇමැති පදවියෙන් ඉල්ලා අස්වෙන බවට තම නායකත්වය වෙත අවසන් නිවේදනයක් නිකුත් කළ බවය. මෙහි වඩාත්ම විශේෂත්වය වූයේ ඒ සියලු අරමුදල් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර තමන්ට අවශ්‍ය බව කියා තිබීමය.
මෙවැනි තවත් මෙහෙයුමක් යූ.එන්.පී. මන්ත්‍රී කණ්ඩායමක් විසින්ද ක්‍රියාත්මක කෙරුණු අතර පොලීසියෙන් දේශපාලනයට පැමිණි පුත්තලමේ රංගේ බණ්ඩාරද එම කණ්ඩායමට ඇතුළත් විය. විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර තම නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඔවුන් ඉල්ලීමක් කර තිබුණේ යූ.එන්.පී. ව්‍යවස්ථාව සංශෝධනය කරන බවට ප්‍රකාශයක් ලබාදිය යුතු බවය. පක්ෂයේ සියලු නිලතල තෝරාගැනීම පක්ෂයේ කෘත්‍යාධිකාරී කමිටුවට සහ පාර්ලිමේන්තු කණ්ඩායමට පැවරීම එම සංශෝධනය බවද සඳහන්ය.
සන්ඩේ ටයිම්ස්
පාසල් නිල ඇඳුම්: ග්ලයිෆොසේට්: පොහොර නිසා කැබිනට් බෙදීම්
නිල ඇඳුම් සඳහා පාසල් දරුවන්ට මුදල් ලබාදිය යුතුද, රෙදි ලබාදිය යුතුද යන්න සම්බන්ධයෙන් යූ.එන්.පී. අමාත්‍යවරුන් අතර බෙදීමක් හටගෙන තිබේ. කලින් සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කියා තිබුණේ දැනට ක්‍රියාත්මක වවුචර් පත් ලබාදීමේ ක්‍රමය අසාර්ථක මෙන්ම දූෂණවලටද මඟ පාදා තිබෙන බවය.
ඔහු ජනාධිපතිවරයාට කියා තිබුණේ විවිධ දිස්ත්‍රික්කවලට ස්වාධීන කණ්ඩායම් යවා නියම තත්ත්වය සොයා බැලිය යුතු බවය. වවුචර් පත් ලාභී දස දෙනකුගෙන් අට දෙනකුටම ඒ වෙනුවට රෙදි අවශ්‍ය බව තම මතය යැයි ද ඔහු සඳහන් කර තිබිණි.
පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීම ආර්. ප්‍රේමදාස ජනපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූවකි. එම ක්‍රමය වෙනස් කරනු ලැබුවේ වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ය. ඇමැති කාරියවසම් එම සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබුණේ නිකුත් කරන රෙදිවලින් අවම වශයෙන් 30% ක් වෙළෙඳපොළට ගලායන බවය. තත්ත්වයෙන් බාල රෙදි ලබාදී තිබූ බවද කියා තිබූ ඔහු වවුචර් පත් ලබාදීම මගින් මවුපියන්ට තමන්ගේ කැමැත්ත පරිදි රෙදි තෝරාගත හැකි බවද සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයා අගමැතිට සහ මුදල් ඇමැතිට ඒ ගැන සොයා බලා සුදුසු පියවර ගන්නැයි දැනුම් දුන්නේය.
එසේම ගොවීන්ට පොහොර වෙනුවට මුදල් ලබාදීමේ ක්‍රමය දූෂණයට මඟපාදා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා යළිත් පොහොර ලබාදිය යුතු බව තම විශ්වාසය බව කීය. ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කිරීම කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකටත් මුදල් ඇමැති මංගල සමරවීරටත් පැවැරිණි.
ඊළඟට ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න සහ නවීන් දිසානායක වචන හරඹයක පැටළුණාහ. තේ වතුවල බහුලව යෙදෙන වල්නාශකයක් වන ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ යුතු යැයි ඇමැති නවීන් ප්‍රකාශ කරන අතර එම තහනම තිබිය යුතු බව ඇමැති රාජිත කියයි. ඒ අනුව නවීන් දිසානායක, දුමින්ද දිසානායක සහ රාජිත සේනාරත්න ඇමැතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණු අතර කරුණු අධ්‍යයනය කර වාර්තාවක් සැපයීම ඔවුන්ට බාර විය.
- සන්ඩේ ටයිම්ස්
කොටස් වෙළෙඳපොළේ නැගීමක්
විශ්වාසභංග යෝජනාව අගමැතිවරයා ජයගැනීමෙන් පසුව එළඹුණු බ්‍රහස්පතින්දා (05) කොළඹ කොටස් වෙළෙඳපොළ සතියක් ඇතුළත ඉහළම පිරිවැටුම වාර්තා කළේය. ගනුදෙනුකරැවන් ප්‍රකාශ කළේ පැවැති දේශපාලන අවිනිශ්චිතභාවය දුරැවීම ඊට හේතුව බවය. කොටස් වෙළෙඳපොළේ මේ නැග්ම ඇතිවූයේ මහ බැංකුව බලාපොරොත්තු නොවූ ආකාරයකට පොලී අනුපාතය ඒකක 25කින් පහළ දැමීමත් සමඟ වීමද කැපී පෙනෙයි.
මේ අතර බ්‍රහස්පතින්දා (05) රුපියලද ශක්තිමත් බවක් පෙන්නුම් කළේය. එයටද විශ්වාසභංග යෝජනාව අගමැති ජයගැනීම හේතු වූ බව ගනුදෙනුකරුවෝ ප්‍රකාශ කළහ.
රොයිටර්