විශ්වාසභංග විවාදය අවසන් වූයේ අගමැති රනිල්ට ජයග්‍රහණය අත්කර දෙමිනි. අගමැති එහෙම දිනුවත් විශ්වාසභංග යෝජනාවට අදාළ දේශපාලන ක්‍රියාදාමයේ අවසන් ජයග්‍රහකයා කවරෙක්ද යන්න තවම තීරණය කිරීම අපහසුය. අගමැතිවරයා ජයගන්නාවිට ආණ්ඩුව මෙතෙක් කල් රැකගෙන ආ තුනෙන් දෙකේ බලය අහිමි වී තිබුණේය. මෙසේ වනවිට පසුගිය කාලය මුළුල්ලේම ආණ්ඩුවේ ලොකුම අභියෝග කරු වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව 56 සිට 76 දක්වා යන ලකුණු පහළ වී තිබුණේය. ඔවුන්ගේ මන්ත්‍රී පිරිස වැඩි වුණත් විවාදය අවස්ථාවේදී මැති ඇමැතිවරුන් පිරිසකගේ කරුණු දැක්වීම් හමුවේ ඒකාබද්ධ විපක්ෂය දැඩි ලෙස අසීරුවට පත් වූ බවද ඇතැම් අවස්ථාවල එය ඉල්ලං කෑමක් වූ බවද පැහැදිලිය.
එසේ වුවද ලංකාවේ දේශපාලන ඉතිහාසයේ රජ මුසුවක් වශයෙන් හැඳින්වුණු යූ.එන්.පී - ශ්‍රී.ල.නි.ප යහපාලන සම්මුති ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම මේ විශ්වාසභංග විවාදයත් සමඟ ප්‍රබල අභියෝගයකට මුහුණ දී සිටින බව පෙනෙන්නට තිබේ. අගමැතිවරයා තම ආණ්ඩුව තවදුරටත් සම්මුති ආණ්ඩුවක් වශයෙන් දිගටම ගෙන යනවාද තනිවම ගමනක් යනවාද යන්න ගැන තීන්දුවක් ගැනීමේ තැනකට තල්ලුවෙමින් සිටී. තම අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප 16 දෙනාට එරෙහිව විශ්වාසභංග ගෙන ඒමට යූ.එන්.පී.ය තීරණයක් ගෙන තිබේ. එසේම ඔවුන් කියන්නේ අගමැතිට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ඇමැතිවරුන් තවදුරටත් කැබිනට් මණ්ඩලය නියෝජනය නොකළ යුතු බවය. යූ.එන්.පී.ය එසේ කියන විට ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් කියන්නේ කුමක්ද?
ජනාධිපතිවරයා විසින් ඇමැතිධූරවලට පත්කරනු ලැබූ තමන් එක් එක්කෙනා කියන විදිහට ඇමැතිකම් අතහැර දමා යන්නට සූදානම් නැති බවය. ශ්‍රී.ල.නි.පයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති ඩිලාන් බ්‍රහස්පතින්දා (05) ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ වෙන අය කිව්වට ආණ්ඩුවෙන් නොයන බවය. ජනාධිපතිවරයා කියන්නේ නම් සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙන්න වුණත් සූදානම් බවය. රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා වන මේ ආණ්ඩුවෙන් අපව ඉවත් කරන්න හදන්නේ රාජිත ඇමැතිවරයා බවද ඩිලාන් චෝදනා කළේය. මේ අතර ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා බී.බී.සී.යට ප්‍රකාශ කර තිබුණේ ඇමැති පදවි අත්හැරීමට තමන්ගේ කැමැත්ත ජනාධිපති හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහුගේ ඉල්ලීම මත තව දුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටින බවය. ජනාධිපතිවරයා කියන ඕනෑම අවස්ථාවක තමන් තනතුරැ අතහැර විපක්ෂයේ වාඩි වීමට සූදානම් බවත් ඇමැති ජෝන් සෙනෙවිරත්නගේ ප්‍රකාශයේ සඳහන් විය.
දැන් පෙනෙන්නට තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව ආණ්ඩුව ඇතුළේ විරසකය නිවී යාමක් නොව උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන බවකි. විශ්වාසභංගයෙන් අගමැති රනිල් පරාජය කර තනි ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් ඇති කිරීමට ශ්‍රී.ල.නි.ප ජ්‍යොෂ්ඨයන් තුළ තිබූ අදහස ද ඒකාබද්ධයේ යෝජනාව පරාජය කර තනි යූ.එන්.පී ආණ්ඩුවක් ඇති කිරීමට යූ.එන්.පී ජ්‍යේෂඨයන් තුළ තිබෙන අදහස ද යන දෙකම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව දුෂ්කර තත්ත්වයකට පත්ව තිබේ. මෙතෙක් අමාරුවෙන් හෝ ඇදගෙන ආ සම්මුති ආණ්ඩුවේ සියලු හැඩතල වෙනස්වෙමින් පවතින බව විවාදයෙන් පසුව දැකගත හැකි වී තිබේ. දෙපාර්ශවය අතර කිසිම දේශපාලන ඇයි හොඳැයියක් නැත. එකිනෙකාට අවලාද කියාගන්නා තත්ත්වයට මේ දෙපාර්ශවයේම පත්ව සිටින අතර නායකයන් දෙදෙනාටම තමන්ගේ පිරිස් තමන්ට අවශ්‍ය විදිහටම පාලනය කර ගැනීම අපහසු වී තිබේ.
කෙසේ වුවද මෙතෙක් කාලයක් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කෙසේ හෝ ඔවුන්ගේම වචනවලින් කියනවානම් හොදි හලාගන්නේ නැතිව ගැටේ ලිහාගැනීමට හැකි තත්ත්වයක පසු වුණත් දැන් එසේ නැත. ඒ බව හොඳින්ම පෙන්නුම් කළ හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා (05) පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය. මේ හමුවට සහභාගී වීම සඳහා අගමැති රනිල් තම ජ්‍යෙෂ්ඨ කැබිනට් සගයන් 08 දෙනකු සමඟ එහි ගියේය. ජනාධිපතිවරයා මේ පිරිස හමුවූ අවස්ථාවේ සිදු වූ කතාබහ තුළ කිසිදු මිත්‍රශීලීභාවයක් තිබී නැත. ජනාධිපතිවරයා එහිදී කළ තද ප්‍රකාශ හමුවේ එම ඇමැති පිරිස නිහඬව සිටි බවද දැන ගන්නට තිබේ.
ජනාධිපතිවරයා එහිදී හමුව ආරම්භ කර ඇත්තේම තද ස්වරෑපයෙනි. ඇයි ආවේ? යනුවෙන් ප්‍රශ්න කර තිබූ ජනාධිපතිවරයා අගමැතිගේ පිළිතුර අපේක්ෂාවෙන් නිහඬව ඉඳ තිබේ. එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේදී තමන්ට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරැන් සමඟ තවදුරටත් එකම කැබිනට්ටුවක කටයුතු කළ නොහැකි බව තම කැබිනට් සාමාජිකයන් පවසන බවය. ඔවුන් ආණ්ඩුවට එරෙහිව සිදුකර ඇති ප්‍රකාශ හේතුවෙන් රජය තුළ එකට කටයුතු කිරීම අපහසු බැවින් මීළඟ කැබිනට් සංශෝධනය සිදුකරද්දී එම ඇමැතිවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලීමක් ද එහිදී අගමැති විසින් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වුවද එම ඉල්ලීමට ජනාධිපතිවරයා දක්වා තිබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන්ට ඉවත් වෙන්න කියනවා නම් තමන් සියලුම ශ්‍රී.ල.නි.ප මැති ඇමැතීන් ඉවත් කර ගන්නා බවද එවිට 30කින් ඇමැති මණ්ඩලයක් පිහිටුවීමට සිදුවනු ඇතැයි ද ජනාධිපතිවරයා කියා තිබිණි. ඔහු දිගටම ප්‍රකාශ කර තිබුණේ විවාදය තුළදී සිදු කළ ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් ඉවත් කරනවා නම් ඒ සමඟ ඉවත් කළ යුතු යූ.එන්.පී ඇමැතිවරුන් ද සිටින බවය. තමා කාර්යාලයට වී රූපවාහිනියෙන් සජීවී විවාදය නැරඹූ බව කී ජනාධිපතිවරයා එහිදී එක් ඇමැතිවරයකු විවාදයේ දී සඳහන් කළ කරැණු හරිදැයි දැඩිව ප්‍රශ්න කළේය. කතා කළ කරුණු අනුව ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් ඉවත් කරන්නේ නම් එම ඇමැතිවරයා ද ඉවත් කිරීමට තමන්ට සිදුවන්නේ යැයි ද ජනාධිපතිවරයා අගමැතිට කීය. එසේම බැඳුම්කරය හොඳ දෙයක්දැයි ජනාධිපතිවරයා එ.ජා.ප. ඇමැතින්ගෙන් කෙළින්ම විමසා තිබිණි. එම සාකච්ඡාව නිම වූ වහාම එක් ඇමැතිවරෙයක් ජනාධිපති හමුවී සමාව ඉල්ලා සිටි බවද දැනගන්නට තිබේ.
මේ කතාබහ තුළින් යූ.එන්.පීය බලාපොරොත්තු වූ කිසිවක් ඉටු නොවූ බව පැහැදිලිය. ඒ වෙනුවට සිදුවිය හැක්කේ තවදුරටත් ආණ්ඩුවේ අර්බුදය ව්‍යාකූල වීමය. මේ ව්‍යාකූලභාවය තුළ ඉදිරියේදී සිදුවන කැබිනට් සංශෝධනයට අලුත් වටිනාකමක් එක් වී තිබේ. යූ.එන්.පී තනිවම ආණ්ඩුවක් පිහිටුවීම තවදුරටත් කල්යන බවක් ද පෙනෙන්නට තිබේ. මෙහිදී යූ.එන්.පීය මුහුණ දෙන තවත් ගැටලුවක් තිබේ.
වත්මන් රජය ගෙනයාමට අවශ්‍ය ඔක්සිජන් ලැබුණේ යූ.එන්.පී, ශ්‍රී.ල.නි.ප එකතුව තුළිනි. ඒ හරහා පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය බහුතරය පමණක් නොව තුනෙන් දෙකේ බලයක් පවත්වාගෙන යාමේ හැකියාව ද රජයට තිබුණේය. විශ්වාසභංගය යෝජනාව තුළින් සිදුවූයේ රජයට වර්තමානයේදී පවතින සැබෑ ශක්තිය එළියට පැමිණීමය. ශ්‍රී.ල.නි.පයේ මැති ඇමැතීන් වශයෙන් සිටිමින් අගමැතිට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ 16 දෙනා පමණක් නොව නොපැමිණි 2 දෙනා ද රජයට සහාය දීමෙන් වැළකී සිටියොත් පවත්වාගෙන යාහැකි වන්නේ ආසන 106කින් සුළුතර රජයකි. එවිට එම රජය බහුතරය ලබා ගතයුතු වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී 16 දෙනාගේ සහාය ලබාගෙනය. එම සහාය කොන්දේසි සහිත සහායක් වීම වැළක්විය නොහැකි වනු ඇත.
මේ තත්ත්වය යූ.එන්.පී මන්ත්‍රී කණ්ඩායම තුළද මතභේද ඇති කිරීමට බොහෝවිට හේතුවනු ඇත. ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම සමඟ ඉදිරි ගමනක් නැතැයි යූ.එන්.පී තීරණය කළහොත් එතැනින් සම්මුති ආණ්ඩුව අවසන් වෙයි. එහි ඊළඟ පියවර වන්නේ ජනාධිපතිවරයා සඳහන් කළ පරිදි 30 දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සිදු වීමය. එය එ.ජා.පෙරමුණ තුළ අලුත් ප්‍රශ්න ඇති කිරීමට හොඳටම ඉඩ තිබේ. යූ.එන්.පීයට අමතරව එහි සිටින සෙසු සුළු ජාතික පක්ෂවලට ඇමැති පදවි බෙදා දීම පහසු කටයුත්තක් නොවේ. නමුත් ශ්‍රී.ල.නි.පය ඉවත් වුණොත් යූ.එන්.පීය යායුතු වන්නේ එවැනි පියවරකටය. එහෙම නැතිව වෙනත් විකල්පයක් නැද්ද?
තවත් විකල්පයක් තිබේ. එනම් ශ්‍රී.ල.නි.පයේ සිටින ආණ්ඩුවේ රැඳී සිටීමට කැමැත්තෙන් පසුවන කිහිපදෙනකුගේ සහාය ලබාගනිමින් බහුතරය හදාගෙන සම්මුති ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මකව පවත්වා ගැනීමය. මේ සම්බන්ධයෙන් මේ වනවිට ද සාකච්ඡා ආරම්භ වී නැතිනම් පුදුමය. දේශපාලනය යනු ස්ථිර මිතුරන් හෝ සතුරන් නොමැති වපසරියකි. ඇත්තේ ස්ථිර උවමනා එපාකම් පමණි. නමුත් මේ සියල්ලටම පෙර විසඳාගත යුතු බලවත් ගැටලුවකට ද යූ.එන්.පීය මුහුණ දී සිටී. එනම් ප්‍රතිසංවිධානයයි.
අගමැතිවරයා විශ්වාසභංග පඹ ගාලෙන් එළියට පැනගත්තේ පහසුවෙන් නොවේ. අංක ගණිතය අනුව පහසු ජයක් සේ පෙනුණ ද ඒ තත්ත්වය ආවේ බොහෝ වෙර වීරියකින් පසුව බව නොරහසකි. සියල්ලටම වඩා අර්බුදයක් බවට පත් වී තිබුණේ යූ.එන්.පීය ඇතුළේ මන්ත්‍රී කණ්ඩායම එක මිටට තබා ගැනීමටය. වසන්ත සේනානායක, පාලිත රංගේ බණ්ඩාර පමණක් නොව මාතලේ අළුවිහාරේලා පවා සිටියේ යුද ප්‍රකාශ කරමිනි. මේ සියලු දෙනා පක්ෂය තුළ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවටත් එය ඇඟට දැනෙන එකක් විය යුතු බවටත් හඬ නැගූහ. වරක් එක් තීරණාත්මක රුස්වීමකදී පක්ෂයේ ජ්‍යොෂ්ඨයන්ගේ මුහුණුටම මේ ඇතැම් මන්ත්‍රීවරුන් කියා තිබුණේ තමන් කියන ප්‍රතිසංවිධානය ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ඉවත් කර තරුණයන්ට ඇමැති පදවි ලබා දීමක් නොව නායකත්වයේ වෙනසක් බවය. එවැනි වෙනසකට ඉඩ සලසන පොරොන්දු ලැබුණාදැයි දැනගන්නට නැති වුවද පක්ෂයේ සියලු දෙනා අගමැතිට පක්ෂව ඡන්දය භාවිත කළා පමණක් නොව විවාදයට සක්‍රීය ලෙස සම්බන්ධ වී සිටිනු දකින්නට ලැබිණි. එහෙම වුණත් විශ්වාසභංගය විවාදයට ගන්නා දිනයට කලින් දවසේත් ඇතැම් මන්තීවරුන් මාධ්‍ය සාකච්ඡාවලදී වොයිස් කට් ලබා දීමේදී කියා තිබුණේ විශ්වාසභංග යෝජනාව පරාජය කළ වහාම අගමැතිවරයා පොරොන්දු වූ පරිදි ප්‍රතිසංවිධානයට යායුතු බවය. දැනට නම් පෙනෙන්නට තිබෙන්නේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය වෙනස් වන බව පමණි. එය ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නැගූ පිරිස් බලාපොරොත්තු වන වෙනස දැයි කීම අපහසුය. දැන් දැනගන්නට ඇත්තේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු මේ මාසය අවසානය දක්වා කල්දමා ඇති බවය. එය කුමන ආකාරයකට පක්ෂයේ ජ්‍යොෂ්ඨයන් ඇතුළු ප්‍රතිසංවිධාන ඉල්ලූ පිරිස පිළිගනීද යන්න ගැන තවම අදහසක් පළ වී නැත.
මේ අනුව විශ්වාසභංගයෙන් අගමැති බේරුණත් ආණ්ඩුවත් යූ.එන්.පී.යත් ඉදිරියේ ඇත්තේ බරපතළ අභියෝගයක් බව පැහැදිලිය. එසේම ජනාධිපතිවරයා නායකත්වය ලබා දෙන ශ්‍රී.ල.නි.පය ද අද උභතෝකෝටික ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටී. තව දෙවසරකින් එළඹෙන ජාතික මැතිවරණවලදී වැලේ වැල් නැති වී යන තත්ත්වයකට පත් වීමට මේ කිසිවකුත් කැමැති නොවනු ඇත. ඔවුන්ගේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ද ඉක්මනින් තීරණ ගැනීමට සිදු වෙයි. මහින්දලා විශ්වාසභංගය ඉදිරිපත් කිරීම තුළින් තමන්ට සහාය දක්වන මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරගැනීමට සමත් විය. එසේම ආණ්ඩුව ඇතුළේ බරපතළ අවුලක් ඇති කිරීමට ද ඔවුන්ට හැකියාව ලැබිණි. මේ දේවල් ප්‍රතිඵල ලැබෙනු ඇත්තේ අද නොව හෙට බව පැහැදිලිය. එහෙත් මේ ප්‍රතිඵලවලින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ දැයි නම් කියන්නට බැරිය.
ශශීන්ද්‍ර