සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවිය. එහි ප්‍රීති ප්‍රමෝදය රටේ ගම්දනව් සිසාරා පැතිර යයි. අලුත් අවුරුද්ද අලුත් විදියට සිතන්න, අලුත් වැඩ කරන්න, වෙනස් වෙන්න පාර කියයි. පාර හරියට වටහාගෙන ඉදිරියට යාමට අදිටන් කරගන්නා කාටත් අලුත් අවුරුද්ද හොඳම ප්රවේශයකි.
එසේ වුවද දැන් සති ගණනාවක් තිස්සේ රටේ ඇත්තේ දේශපාලන වශයෙන් නොසන්සුන් වාතාවරණයකි. එහි අවිනිශ්චිත බව විසින් වෙලාගන්නා ලද ජන මනස අලුත් අවුරුද්ද කෙරෙහි කවර ආකාරයක සංවේදී බවක් දක්වන්නේදැයි එක්වරම පැවැසිය නොහැක. නමුත් කොතරම් අමාරුකම්, අපහසුකම් මැද වුවද ජනතාව තමන්ට හැකි පමණින් අලුත් අවුරුද්දට සුපුරුදු පරිදි සූදානම් වන බව පසුගිය දින කිහිපය පුරා රටේ බොහෝ පෙදෙස්වලින් දකින්නට තිබිණි. බොහෝදුරට අඩු වී තිබෙන එළවළු මිලද මාළු මිලද ජනතාවට විශාල සහනයක් වී තිබෙන බවද සඳහන් කිරීම අවශ්‍යය. රෙදි පිළිද විවිධ එහෙත් දරාගත හැකි මට්ටමේ මිල ගණන්වලට මිලට ගන්නට තිබීමද ජනතාවට සහනයක් වී තිබිණි.
එවැනි පහසුකම් රටේ බොහෝ ජනතාවට ලැබී තිබියදී දැඩි නියඟය හේතුවෙන් පීඩා විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ රටේ දිවිගෙවන බව අප කවුරුත් අමතක නොකළ යුතුය. මීට කන්න ගණනාවකට පෙර රජරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු රටටම බත සරිකර දීමට ඇප කැප වූ ගොවි පවුල් දහස් ගණනකට මෙවර අවුරුදු නැත. නාගන්නට තබා බොන්නවත් වතුර පොදක් නැති කල, ගෙවල් ඇතුළේ වී ඇටයක්, එළවළු කෑල්ලක් නැති කල මේ ජනතාව අවුරුදු සැමරීම කෙසේ වෙතත් එදිනෙදා ජීවත් වන්නේ හෝ කෙසේද? රජය මගින් මේ ජනතාවට සහනාධාර සහ බවුසර් මගින් ජලයද ලබාදෙන නමුත් එය ඔවුන්ගේ දුක් ගින්දර නිවා දැමීමට ප්‍රමාණවත් නැත. මේ ඇතැම් දරු පවුල්වලට ආහාර පිණිස තිබෙන්නේ එළබටු සහ සියඹලා පමණක් බවද මහවිලච්චිය පැත්තෙන් අසන්නට ලැබිණි. එය අප කාගේත් හද පාරවන කතාවක් බවට සැකයක් නැත. ඔවුන්ගේ දුක් ගින්දර හැකි ඉක්මණින් අවසන් වේවායි යන්න අපගේ එක් අවුරුදු ප්‍රාර්ථනාවක් විය යුතු බව සඳහන් කරමු.
මීළඟට රටපුරාම වෙසෙන එළවළු ගොවීන් මේ දිනවල පීඩාවට පත්ව සිටීමද, අපගේ අවධානයට යොමුවෙයි. එළවළු බහුලව වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් මිල ගණන් අධික ලෙස පහළ වැටී තිබේ. දඹුල්ලේ ආර්ථිකයේ ඇතැම් එළවළු වර්ග කිලෝවක් රුපියල් 10ටවත් විකුණාගත නොහැකි මට්ටමට වැටීම දහස් ගණනක් වන ගොවීන්ට නම් මහත් අවාසනාවකි. නමුත් රටේ ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයන්ට එය මහත් වාසියක් බවට හැරවී තිබේ.
එළවළු බහුල කාලයට ඒවායේ මිල ගණන් පහළ ගියේ මෙවර පමණක් නොවේ. මේ සම්බන්ධව කරුණු පසුගිය වසර පුරාම අවස්ථා කිහිපයකදී අපගේ කතුවැකි වලින් පෙන්වා දුන්නෙමු. එහෙත් තවමත් මෙයට නිසි පිළියමක් නැත. අස්වැන්න බහුල වීම ගොවීන්ට පූරුවේ කළ කරුමයක් පලදීමක් විය යුතුද? එසේ විය යුතු නැත. එළවළු අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවත් සැලැස්මක් නොතිබීම මීට බලපෑ හේතුවයි.
රටේ ඇමැතිවරුන් විශාල පිරිසක් සිටියත් එළවළු මිල ගණන් පහළ වැටී ගොවියා හාන්සි වෙද්දී ඒ ගැන සොයා බැලීමට ඇමැතිවරයෙක් නැත. ඇතැම් මැති ඇමැතිවරුන් කාබනික පොහොර යොදා වී වගා කිරීම, එළවළු වගා කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් විශාල ගෝරණාඩු සිදුකරති. එහෙත් එම උනන්දුව සහ උත්සාහය ගොවියාත් පාරිභෝගිකයාත් දෙපාර්ශ්වයම රැකෙන පරිදි නියාමනය කිරීමට ඔවුන් යොදා ගන්නා බවක් නොපෙනේ. එසේ උත්සාහ කළා නම් අද එළවළු ගොවීන්ට මේ ඉරණම අත්වන්නේ නැත. මින් ඉදිරියට හෝ මේ තත්ත්වයට නිසි පිළියම් යොදවා ගොවියා මෙන්ම පාරිභෝගිකයාත් රැක ගැනීම අපගේ තවත් අවුරුදු ප්‍රාර්ථනාවක් විය යුතුය.
මේ රටේ ගුණධර්ම, සාරධර්ම පිරිහී සමාජය දැඩි ලෙස ප්රකම්පිතව සිටින බවක්ද ප්‍රකාශ වෙයි. සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන පිරිස් වැඩි වී ඇති බවටද තැන තැන මහමග පවා එකිනෙකා මරාගත් තත්ත්වයක් පසුගිය දිනවලදී දැකගත හැකි වූ බවටද සඳහන් වෙයි. මේ ඇතැම් පාතාල ක්‍රියා පසුපස ප්‍රබල දේශපාලනඥයන් සිටි බවටද චෝදනා එල්ල වූයේ අද ඊයේ නොවේ. එවැනි සබඳතා තිබෙනතාක් කල් පාතාල ක්‍රියාවල අඩුවක් සිදුවෙනු ඇතැයි බලාපොරොත්තු වීම මුලාවකි. එසේම පොලීසියේ ඇතැම් ලොකු මහත්වරුන්ගේ ආවරණයද මෙවැනි ක්‍රියාවලට අනුබලයකි. ඊළඟ අවුරුද්දේ මෙවැනි පාතාල ක්‍රියාකාරකම් අඩු වී සමාජයේ සියලු දෙනාටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට ඉඩකඩ සැලසෙන ගුණ දහමින් පිරි සාරධර්ම අගයන සමාජයක් බිහිවීමට අවශ්‍ය වාතාවරණයක් උදා කරගැනීමද අවුරුදු ප්‍රාර්ථනාවක් කරගත යුතුවෙමු.
මීළඟට වඩාත් වැදගත් කාර්යයක් වන්නේ බරපතළ කඩා වැටීමකට ලක්වෙමින් තිබෙන රටේ ආර්ථිකය එතැනින් ගොඩගැනීමට අවශ්‍ය පියවර ගැනීමය. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සිදුකරන මැදිහත්වීම් සම්බන්ධයෙන් ජනතාව ඉන්නේ පැහැදීමකින් නොවන බව ආණ්ඩුව දැන සිටීම අවශ්‍යය. සැලසුම් ගැන, යෝජනා ගැන කොතරම් කතා කළත් ප්‍රායෝගිකව ඒවා ඉටු නොවේ නම් ඒවායේ ප්‍රතිඵල තමන්ගේ පොකැට්ටුවට නොදැනේ නම් කුස්සියට නොදැනේ නම් ජනතාවට ඉන් පලක් නැත. ආර්ථික අහේනියකට රට ගොදුරු කිරීමට ආණ්ඩුවකට යුතුකමක් නැත. ආර්ථිකය සම්බන්ධයෙන් කිසියම් හෝ ජනතාවට පිළිගත හැකි මට්ටමේ විනිවිදභාවයකින් කටයුතු කරමින් ඔවුන්ගේ ඇඟට දැනෙන වෙනසක් සිදුකිරීමට ආණ්ඩුවට හැකියාව ලැබේවා යන්නද අපගේ අවුරුදු ප්‍රාර්ථනාවක් වන්නේය. මෙහි සඳහන් කළ සහ නොකළ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවනු දැකිම ජනතාවගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනය වන බවද ඒ සමඟ සඳහන් කරමු.