2018 අප්‍රේල් 13 වන සිකුරාදා

පුංචි කෑලි

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 145

ආර්ථික කමිටු අහෝසිය: මංගල ජනපතිගෙන් සමාව ඉල්ලයි

යූ.එන්.පි. විසින් පාලනය කෙරෙන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව අහෝසි නොකළ බවට මාධ්‍ය සාකච්ඡාවකදී තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කරන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික කමිටුව අහෝසි කිරීමේ තීන්දුව ගත් මාර්තු 20 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට තමන් සහභාගි නොවූ බවත් මේ හේතුවෙන් එම තීන්දුව පිළිබඳව තමන් නොදැන සිටි බවත්ය. මෙම සමාව ඉල්ලීමට හේතුවූයේ තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා දැකීමෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස කෝපයට පත්ව සිටින බව මංගල සමරවීර මහතාට දැනගැනීමට ලැබීමෙනි. සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ ආර්ථික කමිටුව අහෝසි කර දමා හෝ විසුරුවා හෝ නැති බවත් එය ක්‍රියාත්මකව පවතින බවත්ය. ජනාධිපතිවරයා එය හඳුන්වා දී ඇත්තේ අසත්‍ය ප්‍රකාශයක් වශයෙනි.

පසුගිය සිකුරාදා (06) කතුවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ එම ආර්ථික කමිටුව අහෝසි කළ බවය. අදාළ කමිටුව විසින් මෙතෙක් සිදුකෙරුණු ක්‍රියාවලිය මින් ඉදිරියට විෂයයට අදාළ කැබිනට් ඇමැතිවරුන්ට යොමුකෙරෙනු ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එක ආයතනයක් (කැබිනට්ටුව) හරහා වඩාත් පහසුවෙන් අපට කටයුතු කළ හැකියි ජනාධිපතිවරයා කියා තිබිණි.

මෙම සමාව ගැනීම සිදුවූයේ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් පසුව මතුවන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැතිවරයා ජනාධිපති මුණගැසුණු අවස්ථාවේදීය. එම සාකච්ඡාවට අගමැතිවරයා කැටුව ගිය ඇමැතිවරුන් අතර මංගල ද විය.
මාධ්‍ය සාකච්ඡාවේදී මංගල කියා තිබුණේ ආර්ථික කමිටුව අහෝසි කර ඇති බවට පළවන වාර්තා තමන් ගණන් නොගන්නා බවය. මමත් කැබිනට් එකේ ඉන්නවා. අපි අපගේ නිරීක්ෂණ ලබාදීලත් නෑ. පිළිතුරැ දීලත් නැහැ. සති දෙකක් අපි කල් ඉල්ලා තිබෙනවා යැයි ද ඔහු සඳහන් කර තිබිණි.

කෙසේ වුවද 20 වැනිදා ගනු ලැබූ කැබිනට් තීන්දුව පිළිබඳ වාර්තා 27 වැනිදා පැවැති රැස්වීමේදී ඇමැතිවරැන් විසින් අනුමත කර තිබිණි. එහි වාර්තාවක් මුදල් හා ජනමාධ්‍ය ඇමැති වෙතද යොමුකර තිබිණි.

සන්ඩේ ටයිම්ස්

කර්තෘ ඝාතනය: හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගෙන් වැදගත් තොරතුරු හෙළිවීමට ඉඩකඩක්

විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාගෙන් රහස් පොලීසිය සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සහ මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම්වලට අදාළ තොරතුරු නිධානයක් මතුවනු ඇතැයි අපේක්ෂිතය.

මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා එවකට බ්‍රිගේඩියර්වරයකු වූ අතර හමුදා බුද්ධි අංශ ප්‍රධානියාද විය. පහරදීම්වලට එම අංශයේ ඇතැමුන්ගේ සහාය ලැබී තිබූ බව සඳහන් වූ අතර ඇතැම් තොරතුරු දැනටම හෙළිවී ඇතැයිද කියයි.

බ්‍රිගේඩියර් කරුණාසේකර හමුදාවේ දැරෑ තනතුරට (අධ්‍යක්ෂ බුද්ධි අංශය) සාපේක්ෂව ඔහු එරිත්‍රියාවේ තානාපති ධූරයට නම් කරනු ලැබුවත් එරිත්‍රියා රජය තානාපති කාර්යාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එරිත්‍රියා සැලකුණේ එල්.ටී.ටී.ඊ. මූලස්ථාන රටක් වශයෙනි. ඉන් පසුව බ්‍රිගේඩියර් කරුණාසේකර කයිරෝවේ තානාපති වශයෙන් පත්කෙරුණු අතර එහි සිට එරිත්‍රියාවද ආවරණය කළේය.

කලින් පැවැති රජය විසින් එවකට හමුදාපති වූ ලෙෆ්ටිනට් ජනරාල් (දැන් ෆීල්ඩ් මාර්ෂල්) සරත් ෆොන්සේකාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව බ්‍රිගේඩියර් කරුණාසේකර කොළඹට කැඳවනු ලැබීය. එහෙත් තමන්ගේ අණදෙන නිලධාරිවරයාට එරෙහිව සාක්ෂි දෙන්නැයි කෙරුණු ඉල්ලීම් ඔහු ප්‍රතික්ෂේප කළේය.

ඔහු අවසන් වරට දැරූ තනතුර වූයේ යුද හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුරයි.

සන්ඩේ ටයිම්ස්