මේ දිනවල ලංකාවේ දේශපාලන කරළියේ විවිධ කතාබහ සිදු වෙයි. ඇමැති මණ්ඩල සංශෝධනයක් පිළිබඳ දැන් සති කිහිපයක් තිස්සේ නැගෙන්නේ විශාල හඬකි. අද නොවේ හෙට, ඔන්න එනවා, මෙන්න එනවා වැනි කතා තිබුණත් තවමත් ඒ තනතුරු මාරු ඇත්තේ කතාබහට පමණක් සීමා වෙමිනි. ඒ අතරේ මැති සබය කල් දමනු ලැබීය. ඉන්පසුව දැනගන්නට ලැබුණේ කල් දැමූ මැතිසබය යළි ඇරුඹෙන දිනය ගැසට් පත්‍රයේ සඳහන්ව තිබුණත් වේලාව පිළිබඳව සඳහන් නොවීම හේතුවෙන් මැතිසබය යළි කැඳවීමට නම් අලුතින් ගැසට්ටුවක් නිකුත් කළ යුතු බවය. එය නිකුත් කිරීම සිදු වනු ඇත්තේ ලන්ඩන් ගිය ජනාධිපතිවරයා යළි පැමිණීමෙන් පසුව බව ද සඳහන්ය.
මීළඟට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙක වන එ.ජා.පය සහ ශ්‍රී.ල.නි.පය අභ්‍යන්තර අර්බුදවලට මැදිව සිටින බව දිනපතා වාර්තා වෙයි. අගමැතිට එරෙහි විශ්වාසභංගයේ දී ශ්‍රී.ල.නි.ප මතයට එරෙහිව ගිය මැති ඇමැති පිරිස තවදුරටත් ආණ්ඩුවේ නොසිටින බවත් තනතුරු අතහැර විපක්ෂයේ අසුන් ගන්නා බවත් කියති. මැති සබය කල් දැමීමට එය ද එක් හේතුවක් වූ බව ද පැවැසෙයි. එම අර්බුදය ගැන සාකච්ඡාවකට දැන් ලන්ඩන්හි සිටින ජනාධිපති හමුවීමට කිහිපදෙනෙක් එංගලන්තයට ගොස් සිටිති.
ආණ්ඩුවේ අනෙක් පාර්ශවය වන යූ.එන්.පීය තවත් ඉන්නේද අවිනිශ්චිත තත්ත්වයෙනි. එහි පක්ෂ ප්‍රතිවිධාන කටයුතු පක්ෂයේ යහපතට සිදුවන බව පෙනෙතත් ඒ ගැන ප්‍රබල විවේචනද අසන්නට ලැබේ. මේ අර්ථයෙන් ගත් කල ආණ්ඩුවේ පාර්ශව දෙකේම මැති ඇමැතිලාගේ වැඩකටයුතු හේතුවෙන් ඔවුන්ගේ පාක්ෂිකයන්ගේ ප්‍රශ්න නම් විසඳෙන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂ දේශපාලන පක්ෂ බොහොමයක තත්ත්වය ඕකය. දේශපාලන ලොකු ලොක්කන් සියලු වෙරදරන්නේ තම තමන්ගේ බලපරාක්‍රමය පිළිබඳ ගැටලු විසඳාගැනීමට මිස මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා දීමට නොවන බව හොඳින්ම පැහැදිලිය.
රටේ ප්‍රශ්න ගැන රටේ නායකයන්ට යම් තරමින් හෝ හැඟීමක් තිබුණා නම් රට මේ ආකාරයට ඔහේ යන්නේ නැත. ආණ්ඩුව කිසියම් දැක්මක් ඇතිව ජවයකින් යුතුව වැඩ කරන්නේ නම් රටේ මිනිසුන්ට ද ඒ බව දැනෙයි. ඔවුන්ගෙන් වැඩි දෙනා ද ඒ මගම යති. නමුත් දැන් මේ රටේ සිදු නොවන්නේම එයයි.
හිටපු ඇතැම් ඇමැතිවරුන් දැන් සැරසෙන්නේ යෝජිත මීළඟ ඇමති සංශෝධනයේදී වැඩිපුර විෂයන් තමන්ට රුචි පරිදි බෙදා ගැනීමටය. මේ නම් තමන්ට ඡන්දය දුන් ජනතාවට සේවය කිරීමට නොවන බව හොඳින්ම පෙනෙන්නට තිබේ. පාලනයකින් තොර ස්වභාවයක් පෙන්නුම් කරන වත්මන් රාජ්‍ය තන්ත්‍රය තුළ තනතුරු දරා වැජඹෙමින් සිටීම හැර වෙනත් මහජන සේවයක් සිදු කිරීමට උත්සාහ දැරීමක් ඔවුන් අතින් සිදුවෙන්නේ නැත. කිසිදු තැකීමක් නොකර සමහරුන් නිහඬව සිටින අතර තවත් සමහරු වැල යන පැත්තට මැස්ස ගසන ආකාරයට වැඩ කරමින් සිටිති. මේ කිසිවකුටත් අද රට මුහුණ පා සිටින බරපතළ ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමට කාලයක් නැති දැයි ජනතාව ප්‍රශ්න කරති.
මේ තත්ත්වය තුළ අද රටට සිදුව ඇත්තේ කුමක්ද? ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ගොදුරැ වෙමින් තිබේ. සෘජු විදෙස් ආයෝජන පැමිණෙන බව වරින්වර පැවසුණත් ඒ බවට සලකුණක් නැත. කොළඹ නගරය පුරා අහස උසට ඉදිවන සුපිරි මහල් නිවාස හැරුණු විට වෙනත් කිසිදු සංවර්ධන ක්‍රියාදාමයක් ඇසට පෙනෙන්නට නැත. ජනතාව එය කට කසනවාට කියන දෙයක් නොවන බව වටපිටාවෙන් පැහැදිලි වෙයි.
රටේ දේශපාලන නායකයෝ තම තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට ප්‍රමුඛතාව ලබා දී අනෙක් වැඩ අමතක කර දමා සිටිති. ඒ අතරවාරයේ තෙල් සංස්ථාවේ පාඩුව අඩු කිරීමට කටයුතු කරනවා වෙනුවට එහි පාඩුව තවදුරටත් දිනපතාම වැඩිවන ආකාරයට තීන්දු ගෙන තිබේ. විදුලි බල මණ්ඩලයේ පසුගිය වසරේ පමණක් පාඩුව කෝටි 4500කි. මෙම වසරේ සිට ඉදිරියට එම පාඩුව කෝටි 5000 පවා ඉක්මවා යා හැකි බවට ඉංජිනේරුවෝ අනතුරු අඟවති. අලුතින් පැනවූ බදු හේතුවෙන් පොදු මහජනතාවගේ එදිනෙදා වියදම ඉහළ ගොස් තිබේ. අඩුම වශයෙන් ගොවීන් වගා කරන එළවළු ටික හරිහැටි අලෙවි කර දීමට තවමත් ආණ්ඩුවට යාන්ත්‍රණයක් නැත. මෙකී ප්‍රශ්න ඇතුළු ගැටලු තවත් විශාල සංඛ්‍යාවකින් ජනතාව පීඩා විඳිද්දී ආණ්ඩුවේ මැති ඇමතිවරැ උග්‍ර බල පොරයක නිරතව සිටිති. ඒ බල පොරය ජනතාව දවන ගැටලු විසඳාදීම පිණිස නොවේ. තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම පිණිසය. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව කිව යුතුය.
ආණ්ඩුව තමන්ගේ ගැටලු විසඳාගෙන අවසන් වනතුරැ රටේ ජනතාව මේ ආකාරයට පටි තද කරගෙන තව කොපමණ කාලයක් සිටිය යුතු දැයි දන්නේ දෙවියන්ම පමණක් යැයි සිතනු හැර ජනතාවට වෙනත් පිළිසරණක් නැත. ආණ්ඩුව වහාම තමන්ගේ ගැටලු විසඳාගෙන රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමුඛත්වය දීම අවශ්‍යය. කාලය වේගයෙන් ගලා යන බව තවදුරටත් මතක් කළ යුතු නැත.