භාරතීය කෞතුකාගාරයක ගෞරවපූර්ව වශයෙන් තබා ඇති කපිලවස්තුවෙන් සොයා ගන්නා ලද ශාරිරික ධාතු කලින් කලට විදේශ රටවල වෙසෙන බෞද්ධයන්ගේ පුද පූජා ලැබීම පිණිස එම රටවල්වලට ගෙන යනු ලැබේ. එසේ කපිලවස්තු ධාතු ලංකාව, කාම්බෝජය, තායිලන්තය හා ලාඕසය වැනි රටවල ප්‍රදර්ශනය කරන කාලය තුළ දස දහස් ගණනක් බැතිමතුන් පැමිණීම දැකගත හැකිය.
එහෙත් මෙම ධාතු සොයා ගැනීම පිළිබඳ සත්‍ය කතාව දන්නේ කී දෙනාද? එමෙන්ම කපිලවස්තුවේදි සොයා ගන්නා ලද එකී ධාතුවලින් කොටසක් මෙරට දැනටමත් තැන්පත් වී ඇති බව දන්නේ කවුද? එම ඵෙතිහාසික සිද්ධියට වස්කඩුවේ සුභූති හිමියන්, අනගාරික ධර්මපාලතුමා, සියම් කුමාර ජිනවරවංශ හිමියන් ද ක්‍රියාකාරීව සම්බන්ධ වූ බව දන්නා අය කවුද?
කපිලවස්තු පුරවරය වූ කලි ශාක්‍යවරුන්ගේ නිජ භූමියයි. බුදුවීමට පෙර සිද්ධාර්ථ ගෞතම නැමැති ශාක්‍ය රජ පුත්‍රයා මෙම පුරවරයේ සිය මුල් අවුරුදු විසි අට ගත කළේය. බුදුන් පිරිනිවන්පෑවායින් පසුව ආදාහන භුමියෙන් ලබා ගත් ශාරිරික ධාතුවලින් කොටසක් උන් වහන්සේගේ නැදෑයන් වෙත එවන ලදින් ඔවුන් එම ධාතු හා මුතු මැණික් සහිත කරඬුවක් සකසා දාගැබක් එම පෙදෙසේ පිහිටුවා ලූ බවට ප්‍රවාදයක් පැවතුණේය. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පුරාවිද්‍යා අංශයක් ඇති කළ පසුව ඔවුහු මුලින්ම බුදුන් උපන් ලුම්බිණිය සොයමින් ගවේෂණ ආරම්භ කළෝය. ඒ කාර්යය සඳහා ඔවුන් විසින් පත්කරන ලදදේ ඇන්ටන් පියුරර් නැමැති ජර්මන් ජාතිකයාය.
මුලින්ම කතෝලික පියතුමකු වූ පියුරර් ජර්මනියේ සුප්‍රසිද්ධ ප්‍රාචීන භාෂා පඬිවරයකුගෙන් සංස්කෘත භාෂාව ඉගෙන ගත්තේය. ඉන් පසුව ඔහු ඉන්දියාවට පැමිණ රේගු නිලධාරියකු හැටියට සේවය කරන ගමන් පුරාවිද්‍යාව හා වාග් විද්‍යාව වෙත හැරී උත්තර භාරතයේ ගවේෂණ කිරීමට රජයෙන් ඉල්ලා සිටියේය. ඒත් සමඟම ඔහු කතෝලික ආගම අතහැර රෙපරමාදු ආගමට බැඳුණේය. ඉන්පසු කලෙක ඔහු එම ආගම අතහැර බෞද්ධ භික්ෂුවක් වීමට තීරණය කළ නමුත් ඔහුට ඇති වූ වෘත්තීය ප්‍රශ්නයක් නිසා එම අදහස ද අතහැර දමා ස්විට්සර්ලන්තයේ පදිංචියට ගියේය.
ලුම්බිණි සහ කපිලවස්තු සොයා ගැනීම්වලට පියුරර් මුල් වූයේ උත්තර භාරතයේ පුරාවිද්‍යා ගවේෂණ ඔහු විසින් කරන අවදියේය. නේපාලයේ රදළයකු සමග පියුරර් වල් වැදි තිබු ලුම්බිණිය 1896 දී සොයාගෙන ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ චීන සංචාරක භික්ෂුවක් වූ හියුන් සාං ගේ සටහන්ය. එම සටහනේ සඳහන් වූ පරිදි අසෝක මහ රජතුමා විසින් ඉදි කරන ලද ස්ථම්භය ලුම්බිණියෙන් සොයා ගැනීමට ඔවුන්ට හැකි විය. මෙය ලෝක පුරාවිද්‍යා ඉතිහාසයේම වැදගත් සිදුවීමක් වන්නේ එම ස්ථම්භයේ කොටන ලද වාක්‍යය තුළින් මෙය බුදුරදුන් උපන් ස්ථානය යැයි සඳහන් කර තිබුණ නිසාය. නමුත් එම බ්‍රාහ්මී වගන්ති කියවීම දුෂ්කර කාර්යයක් විය. ඒ සඳහා එකල ප්‍රාචීන ලෝකයම බැබළවු පඬිවරයෙකු වූ වස්කඩුවේ සුභූති රාජගුරු නාහිමියන්ගේ සහාය ලැබුණ බව කියවේ.
එම අසෝක ස්ථම්භය අද වුවද යුනෙස්කෝ ආධාර ඇතිව ප්‍රතිසංස්කරණය වෙනු ලුම්බිණි භූමියේදී දැකගත හැකිය.
ඊළඟ අභියෝගය වූයේ යාබදව පිහිටා තිබිය යුතු කපිලවස්තුව සොයා ගැනීමයි. මහාමායා දේවිය කුසින් සිද්ධාර්ථ ගෞතම කුමරා බිහිවූයේ කපිලවස්තු නගරයෙන් පිටව යන අතර මඟ හමු වූ සල්ගස් රැප්පාවක සෙවණේය.
කවුරුත් උනන්දුවෙන් සෙවූ කපිලවස්තුපුරය සොයා ගනු ලැබුවේ අහම්බෙනි. ලුම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේය. නේපාල දේශ සීමාවෙන් එහා පිහිටා ඇත්තේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයයි. එහි පිප්රාවා ග්‍රාමයට නුදුරැව පෙපේ නැමැති යුරෝපීය ජාතිකයකු සතු විශාල වත්තක් විය. එම පිප්රාවා ප්‍රදේශයේ කැණීම් කරන අතර පෙපේට පොළව යට වළලා තිබු විශාල මංජුසාවක් හමු විය. 1896 දී කරන ලද මේ සොයා ගැනීම බෞද්ධ ලෝකය පුරාම රැව් පිළිරැව් දුන්නේය. ඊට හේතුව වූයේ මේ සොයා ගැනීම පෞද්ගලික ඉඩමක පිහිටා තිබීමත් බෞද්ධ නායකයන් එහිදී සොයා ගන්නා ලද ධාතු තමන්ටම ලබා ගැනීමට දැක් වූ උනන්දුවත් නිසාය.
මේ තත්ත්වය තවත් උත්සන්න වූයේ මේ අවදියේම ජිනවරවංශ හිමි උත්තර භාරතයේ සංචාරයක යෙදී සිටී නිසාය. තායි රජතුමා හා රදළයන් සමඟ නැවතත් එක්වීමට ජිනවරවංශ හිමි මහත් ආසාවක් දැක්වූ නමුත් ඒ හිමියන් සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වූ බව පෙනිණ. ඒ හිමියන්ට එරෙහිව සිටියේ චුලා රජතුමාත් ඔහුගේ ප්‍රධාන උපදේශකවරයකු වූ දේවවංශ නැමැති ඇමැතිවරයාත්ය. ජිනවරවංශ හිමි හා සියම් රජ පවුල අතර වූ අර්බුදයට තව තවත් පිදුරැ දැම්මේ දේවවංශයි. මේ සියල්ලන්ගෙන්ම හෙම්බත් වූ ජිනවරවංශ හිමි භාරතයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමට යෑමට තීරණය කළේය. එහෙත් ඔහුට එම ගමන සඳහා වියදම් කිරීමට අතේ මුදල් තිබුණේ නැත. ඔහු සියම් හිතවතුන්ගෙන් ආධාර පැතුව ද ඔවුහු ඔහුට පිටුපෑහ. අනගාරික ධර්මපාලතුමා ඔහුගේ උදව්වට පැමිණියේ මේ පසුබිම තුළයි. ජිනවරවංශ හිමියන්ගේ ගමනට අවශ්‍ය මිල මුදල් ධර්මපාලතුමා වෙන් කළා පමණක් නොව මහාබෝධී පන්සල්වල ඔහුට නැවතීමට ද ඉඩ සලසා දුන්නේය.
කල්කටාව හරහා සාරානාථයට හා බුද්ධගයාවට ගිය ජිනවරවංශ හිමියන් මීළඟට ලුමිබ්ණියට ද ගොස් එහි කෙරෙන පුරා විද්‍යා කටයුතු ද නිරීක්ෂණය කර සියම් රජතුමාට හා එහි ප්‍රභූවරැන්ට ඒ පිළිබඳ දන්වා යැවීය. ඔහු ලුම්බිණියේ සිටි කාලයේදීය කපිලවස්තු ධාතු පිළිබඳ සුන්දර පුවත පිටවූයේ. වහාම පිප්රාවට පැමිණි ඔහු කැණීම්වලට මැදිහත් වී කරුණු සියම් රජතුමාට, අනගාරික ධර්මපාල තුමාට හා වස්කඩුවේ සුභූති හිමියන්ට දන්වා යැවීය. පෙපේ විසින් සොයා ගන්නා ලද මංජුසාවේ කොටා තිබු සටහන කියවා ගැනීමට හදිසි අවශ්‍යතාවයක් තිබුණේය. ඔහු ඒ සඳහා වස්කඩුවේ සුභූති හිමියන්ගේ සහාය පැතුවේ භක්ත්‍යාදරයෙනි. ඉංග්‍රිසී පඬිවරයෙක් විසින් එම සටහන කියවා එහි සඳහන් වී ඇත්තේ බුදුරදුන්ගේ නැදෑයන් වෙනුවෙන් වෙන්කරන ලද ධාතු එම මංජුසාවේ ඇතුළත බහා ඇති බව ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්න මාන බැලු ජිනවරවංශ හිමියන් එම පුවත සියම් රජුට සැලකර එම ධාතු රජතුමා විසින් ලබා ගත යුතු බවත් ඉන් පසුව ඒවා බෞද්ධ රටවල් අතර බෙදා දීමෙන් බොදු නරේන්ද්‍රවරයකු වශයෙන් කීර්තිය දිනාගත හැකි බවත් දැන්වූයේය. සියම් රජු ද එම යෝජනාවට එකඟ වී ජිනවරවංශ හිමියන්ට මුදල් ත්‍යාගයක් ද එවීය. එහෙත් නැවතත් ඔහුට එරෙහිව සියමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ නිසා රජතුමා සුකෝම් නැමැති නිලධාරියා එවා එම ධාතු සිය භාරයට ගත්තේය. ජිනවරවංශ හිමි යෝජනා කළ පරිදි එම ධාතුවලින් කොටසක් බැංකොක් නුවර සාකේත නම් වූ පන්සලට පුජා කරන ලදී. කොටසක් ධර්මපාලතුමාට ලබා දුන්නේය. තව කොටසක් කොටහේන දීපදුත්තාරාමයට එවන ලද්දේ වස්කඩුවේ සුභූති නාහිමියන්ට කරන උපහාරයක් වශයෙනි.
දැනට අවුරුදු තුනකට පමණ පෙර මම මහබෝධියේ ආරාධනාවක් අනුව සාරානාථයට ගියෙමි. එහිදි ධර්මපාලතුමාට ලබා දුන් කපිලවස්තු ධාතුවලින් කොටසක් මගේ දෝතට ගැනීමට තරම් මම වාසනාවන්ත වුවෙමි. එය මගේ ජිවිතයේ අමතක නොවන සිද්ධියක් බව නිතර මෙනෙහි කරමි.