අර්ජුන මහේන්ද්‍රන්ට රතු වරෙන්තු
අර්ජුන මහේන්ද්‍රන් පසුගිය කාලය පුරාම මෙරට පුවත් මැව්වේය. මතභේදකාරී මහබැංකු මගඩියේ කරුණු සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ ප්‍රධාන සාක්ෂිකරුවකු වූ ඔහු කොමිෂන් වාර්තාව එළිදැක්වීමක් සමඟ රටින් පිටට ගියේය. ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඔහුට සිතාසි පවා නිකුත් වුවද එම සිතාසි භාරදීමට සිංගප්පූරැවේ ඔහු පදිංචිව සිටි නිවසට ගියත් ඔහු එහි නොසිටි බව ප්‍රකාශ වී තිබිණි. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන්ගේ ආගිය තොරතුරු පැවතුණේ රහසක් වශයෙනි.
කෙසේ වුවද ආගිය තැනක් නොදැන සිටි අර්ජුන මහේන්ද්‍රන්ට පසුගිය සිකුරාදා (20) හදිසියේම අධිකරණය මගින් රතු වරෙන්තුවක් නිකුත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද ඉල්ලීමක් මත මේ රතු වරෙන්තුව නිකුත් කර තිබිණි.
යූ.එන්.පී.යේ ප්‍රතිසංවිධානය සහ නවීන් දිසානායක
යූ.එන්.පී. ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සෑම මාධ්‍යයකම පුවත් පළ වෙයි. එහි අලුත්ම තත්ත්වය ප්‍රකාශ වූයේ එජාප දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා (19) පැවැත් වූ සාකච්ඡාවේදීය. පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ නායකත්වයේ අභිමතය පරිදි මහ ලේකම්වරයා පත්කර ගැනීමට එහිදී තීන්දු කෙරිණි. සෙසු තනතුරු 26ක් සඳහා අලුතින් පත්කෙරෙන නිලධාරීන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමෙන් තෝරා ගනු ඇතැයි ද සඳහන් විය. මෙම “ප්‍රතිසංවිධානය” පක්ෂයේ ක්‍රියාකාරීන් බලාපොරොත්තු වූ ප්‍රතිසංවිධානය බවත් පක්ෂ නායකත්වයේ වෙනසක් සඳහා කිසිවකු ඉල්ලීමක් කර නැති බවත් පිරිසක් පවසන අතර තවත් පිරිසක් කියන්නේ මේ දිගහැරෙන්නේ පරණ ක්‍රමයම බවය. යූ.එන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායකයාට ඉතා සමීප පුද්ගලයන්ගෙන් සමන්විත වන බැවින් එහිදී තෝරාපත් කරගනු ලබන්නේ පක්ෂ නායකයාට අවශ්‍ය පිරිස බව එම පිරිසේ මතය වී තිබේ.
කෙසේ වුවද වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක පසුගිය දා හඟුරන්කෙතදී පැවැති අවුරුදු උත්සවයකදී කළ කතාව බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබේ. ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා එජාප අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඇති බවත් මීට සති දෙකකට ඉහතදී පැවැති එජාප රහස් ඡන්දයේදී තමන්ට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබීමෙන් මන්ත්‍රීවරුන්ගේ හැඟීම් ප්‍රකාශයට පත් වන බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. ඔහු එහිදී තම පියාවන ගාමිණී දිසානායක සහ ආර්. ප්‍රේමදාස මහත්වරුන් ඡන්දයෙන් තෝරාගනු ලැබූ ආකාරය ද සිහිපත් කළේය.
“රහස් ඡන්දවලින් නායකයන් පත්කිරීම කළහැකි වන්නේ එජාපය තුළ තිබෙන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නිසායි. 1976 වසරේදී රහස් ඡන්දයක් තිබුණා. ඒ අවස්ථාවේදී ප්‍රේමදාස මහතාට ඡන්ද 118ක් ලැබුණා. මගේ පියාට ඡන්ද 110ක් ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කැබිනට් මණ්ඩලය තීරණය කළේ එහෙමයි.”
ජේ.ආර්. පක්ෂය තුළ සිදුකළ ආකාරයේ ප්‍රතිසංවිධානයක් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ අගමැති අතින්ද ඉටුවනු ඇතැයි නවීන් දිසානායක මහතා සිතන බව මේ කතාවෙන් ඉඟිකර තිබේ. ඉදිරි මාස හය තුළ ජනතාවගේ අතමිට සරැවී ජනතාවට වඩාත් සහනාධාර ලැබෙනු ඇති බවට ඔහු එහිදී අනාවැකියක්ද පළකළේය. නවීන්ගේ මේ කතාව යූ.එන්.පී.යේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකගේ ඉහළ අවධානය දිනාගන්නට සමත් වූ බව නම් නිසැකය.
නේස්බි සාමි ජනපති හමුවෙයි
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා එංගලන්තයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට ශ්‍රී ලංකාවට හිතවත් බ්‍රිතාන්‍ය කොන්සර්වැටිව් පක්ෂ දේශපාලනඥයකු වන නේස්බි සාමි පැමිණියේය. ජනාධිපතිවරයා රැඳීසිටින හෝටලයේදී පසුගිය බදාදා (18) මේ හමුව සිදුවිය.
එහිදී ජිනීවා මූලස්ථානය කරගත් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය සහ යුරෝපීය රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන සඳහන් කරමින් ඔහු කියා ඇත්තේ මානවහිමිකම් කවුන්සිලයට නිවැරුදි තොරතුරු ඉදිරිපත් නොවන බවය. ශ්‍රී ලංකාව කෙරෙහි දිගින් දිගටම තමන් සහාය දක්වන බවද පවසා ඇති නේස්බි සාමි යුද සමය සහ පශ්චාත් යුද සමය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් නිවැරැදි තොරතුරු මානවහිමිකම් කවුන්සිලය සහ යුරෝපා රටවල්වලට හරිහැටි ඉදිරිපත් නොවී ඇතැයිද සඳහන් කර තිබේ.