2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

සීතලේ ගිනි තැපිල්ල

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

දේශපාලන පිල් මාරුව අපේ රටට අමුත්තක් නොවේ. මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාව පක්ෂ දෙකකට වෙන් වූයේද යූ.එන්.පී.යේ සිට එළියට පැමිණි බණ්ඩාරනායක ශ්‍රීලනිපය හැදූ නිසාය. එයින් වසර 68කට පමණ පසුවද මේ රටේ පාලනය එම පක්ෂ දෙකේ සහාය නැතිව සිදුවන්නේ නැත. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසුවද එම තත්ත්වය වෙනස් වූයේ නැත.

කෙසේ වුවත් මේ වනවිට ශ්‍රීලනිපයත් යූඑන්පීයත් අභ්‍යන්තර ප්‍රශ්න හේතුවෙන් දෙදරා ගොස් තිබේ. යූ.එන්.පී.ය තුළ මෝදු වෙමින් පැවැති දෙදරීම් නම් තාවකාලිකව යටපත්ව ගිය බවක් පෙනෙන්නට තිබේ. එයට හේතුව අගමැති රනිල් විශ්වාසභංග යෝජනා කඩුල්ල පැන ගැනීමය. විශ්වාසභංගය ජයගැනීමත් සමඟ රනිල්ට එරෙහි යූ.එන්.පී. අභ්‍යන්තර අරගලයේ සැර තුනී වී ගියේය. එහිදී කැපී පෙනෙන්නේ අගමැතිවරයා මීට පෙර තමන්ට එරෙහිව පැන නැගුණු පක්ෂ අභ්‍යන්තර ගැටලුවලින් පසුව ක්‍රියාත්මක වූ ආකාරයේත් මෙවර ක්‍රියාත්මක වන ආකාරයේත් පවතින වෙනස්කම්ය. මීට ඉහත අවස්ථාවලදී කැරැලි ගැසූ පිරිස දේශපාලන වශයෙන් පීලි පැනීම්වලට ලක් කෙරුණද මෙවර තත්ත්වය ඊට වඩා වෙනස් ආකාරයක් ගනී. යූ.එන්.පී.ය තුළ මතුවෙමින් පවතින දෙදරීම් තාවකාලික වශයෙන් හෝ නැවතීමට එයද හේතුවක් බවක් පෙනෙන්නට තිබේ. නමුත් ඉදිරියේදී සිදුවන බව කියන ප්‍රතිසංවිධානවලින් අනතුරැව මේ තත්ත්වය වෙනස් වීමටත් ඉඩ ඇත.

ශ්‍රීලනිපය වඩාත් බරපතළ අනතුරකට මුහුණදෙමින් සිටින බව පැහැදිලි වෙමින් තිබේ. මහින්ද නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කෙරැණු විශ්වාසභංගයෙන් අවසානයේ සිදුවී තිබෙන්නේ ශ්‍රීලනිපය බොහෝ කාලයකට නැගී සිටීමට නොහැකි තරම් දෙදරීමකට ලක්ව තිබීමය. විශ්වාසභංගයට පෙර තරමක හෝ ඒකාග්‍රතාවකින් පසු වූ ශ්‍රීලනිපය දැන් සී සී කඩ වන අයුරු දකින්නට තිබේ. මෙතෙක් කාලයක් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ සිටි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වීම ශ්‍රීලනිපයේ අනාගතය පැහැදිලිවම ප්‍රශ්න කිරීමකට ලක් කරමින් තිබේ. එහි ආරම්භය විශ්වාසභංගය පරාජයට පත්වීමය.
විශ්වාසභංගයට සැරැසෙන විට එය දිනන තත්ත්වයට තිබූ නමුත් එය විවාද කළ දිනය ආරම්භ වූයේ යෝජනාව පරාජයට පත්වන බවට ලැබුණු සංඥා සමඟිනි. මේ හේතුවෙන් අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කර යළිත් එම කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළ නොහැකි බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ 16 දෙනාම දැන සිටි බව නිසැකය. එසේ නම් ඔවුන් ඒ බව දැන දැනම පරාජය වන විශ්වාසභංගයකට සහාය ලබා දුන්නේ ශ්‍රීලනිපය තුළ බල අරගලයක් ඇති කිරීමේ උවමනාවෙන්ද යන තර්කයද මෙහිදී පැන නගී. එම අරගලය කුමන ආකාරයකට විග්‍රහ කිරීමට තැත් කළත් එහි අවසාන අරමුණ ශ්‍රීලනිපයේ බලය එම 16 දෙනා අතට ගැනීම බව කෙනකුට සැක කළ හැකිය. එවැනි බලය සියතට ගැනීමක් සඳහා සූදානමක් තිබේ නම් එය කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක් බවත් ඊට පිටුපසින් ඒකාබද්ධ විපක්ෂයේ බලකණු සිටිය හැකි බවත් ඒ සමඟ විශ්වාස කළ හැකිය.

දැන් පෙනෙන්නට තිබෙන්නේ ජනාධිපතිවරයා සීතල එංගලන්තයේ සිටියත් ඔහු දේශපාලන වශයෙන් සිටින්නේ ගිනිකන්දක් මත බවය. එහි රස්නය ජනපතිට හොඳින් දැනීම නිසා සීතල රටට යාමට පෙර මැතිසබය කල් දැම්මේය. මැතිසබය කල්දැමීම අමුත්තක් නොවන බව සැබෑය. ඒ සාමාන්‍ය තත්ත්වයක් යටතේය. ආර්. ප්‍රේමදාස මහතා 1991 දී මැතිසබයේ සැසිවාරය කල් දැම්මේ ඔහුට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයට මුහුණදීම සඳහාය. බණ්ඩාරනායක මැතිනියද වරක් මැතිසබය මාස ගණනාවකින් කල් දැම්මාය. එයද දේශපාලන වශයෙන් නැගඑමින් තිබූ උණුසුම නිවා දැමීම සඳහාය. මේ උදාහරණවලින් පෙනෙන්නේ මැතිසබය කල් දැමීම නීතියට අනුකූල එහෙත් විශේෂ කාරණා හේතුවෙන් සිදුවන ක්‍රියාවලියක් බවය.
පසුගිය 19 වැනිදා බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිතව තිබූ මැතිසබය තුළදී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට සිටි බවත් ඔවුන් සමඟ සෙසු 25 දෙනා අතුරින් කිහිප දෙනෙකුද විපක්ෂයට යාමට සූදානමින් සිටි බවත් එම තත්ත්වය වළක්වා ගැනීමට ජනාධිපතිවරයා මැතිසබය කල් දැමීමට පියවර ගත් බවත් පෙනෙන්නට තිබේ. ඔහු මැතිසබය කල්දැමීමේ ගැසට්ටුව තරමක් හදිසියේ අත්සන් කරන්නට ඇති බවත් කල් දැමුණු මැතිසබය යළි කැඳවන වේලාව සඳහන් නොවුණේ ඒ නිසා බවත් සමහරුන්ගේ මතය වී තිබේ.

රටේ දේශපාලන පොරපිටියේ බොහොමයක් දෙනාට හොර රහසේ සිදු වූ මේ කල්දැමීම ඔවුන් සියලු දෙනාගේම සැලසුම් අවුල් කර දැමීමට සමත් විය. මැතිසබය කල් දමා ඇති බව ආරංචි වෙද්දී ජනපතිවරයා චෝගම් සමුළුවට සහභාගි වීම සඳහා එංගලන්තය බලා ගොසිනි. ශ්‍රීලනිපය යළිත් වරක් කැඩී යාම වැළැක්වූයේ ජනාධිපති ගත් මේ පියවර හේතුවෙනි. හැබැයි පක්ෂයේ අනාගතය දැන් තිබෙන්නේ සීතලත් උණුසුමත් අතර දෝලනය වන තත්ත්වයකිනි. ශ්‍රීලනිප ලේකම් දුමින්ද පැහැදිලිව කියන්නේ ජ්‍යෙෂ්ඨයන් 16 දෙනා කුමන පියවරක් ගත්තත් ඔවුන් ශ්‍රීලනිපය හැර දමා එසේ නොකරන බවය. නමුත් යථාර්ථය නම් මේ 16 දෙනාත් ඔවුන්ට සහාය ලබාදෙන සෙසු පිරිසෙන් කිහිප දෙනෙකුත් තවදුරටත් ජනාධිපති යටතේ තිබෙන ශ්‍රීලනිපයකට වී නිකම් බලා සිටීමට කැමැත්තක් නොදක්වන බවය. එසේ නම් ඔවුන්ගේ දේශපාලන අනාගතය විසඳෙන වේදිකාව පොහොට්ටුවද?

බැලූ බැල්මට නම් පෙනෙන්නේ පොහොට්ටුව බවය. මහින්ද කියා තිබුණේ ආණ්ඩුවෙන් ඉවත්ව එන ශ්‍රීලනිප මැති ඇමැතින් සාදරයෙන් පිළිගන්නා බවය. නමුත් ඒ කතාව කියන මහින්දත් පොහොට්ටුව වේදිකාව මත සිටියත් හැබෑවට ඉන්නේ ශ්‍රීලනිපයේය. මීට පෙර දිගින් දිගටම මහින්ද කිව්වේ තමන් කිසිදාක ශ්‍රීලනිපය හැර දමා නොයන බවය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ වී පොහොට්ටුව වෙනුවෙන් ඡන්දය දෙන්නැයි ශ්‍රිලනිප පාක්ෂිකයන්ට කියූ මහින්ද එම ඡන්දයේ ලද සුවිශාල ජයග්‍රහණය සමඟ කියන්න පටන් ගත්තේ දැන් රටේ අනාගතය ඇත්තේ තමන් සහාය දක්වන පොදුජන පෙරමුණට බවය. මේ නිසා යූ.එන්.පී. ආණ්ඩුව සමඟ කටයුතු කරන තම පාක්ෂිකයන් සියලුදෙනාම පොදුජන පෙරමුණට එක්විය යුතු බවද ඔහු වරින්වර කීය. මහින්ද අදත් කියන්නේ එම කතාවමය.

මහින්ද කොහොම කිව්වත් දුමින්ද දිසානායක කියන්නේ තමන් යළි කවදාවත් රාජපක්ෂවරුන් සමඟ දේශපාලන දීගයකට නොයන බවය. පවුල් බලය, අනිසි බලය සහ සුදුවෑන් දේශපාලන සංස්කෘතියට පිටුපා තමන් රාජපක්ෂවරුන්ගේ පාලනයෙන් එළියට පැමිණි බවත් යළිත් ඔවුන් සමඟ දේශපාලන ගනුදෙනුවකට නොයන බවත් කියන දුමින්ද ශ්‍රීලනිපය අද කැඩී යන බවට නගන චෝදනා බොරු බවද කියයි. ඔහු කියන්නේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් 16 දෙනා ශ්‍රීලනිපය අතහැර නොයන බවය.
දුමින්ද එසේ කිව්වද 16 දෙනා දැන් සූදානම් වන්නේ ශ්‍රීලනිපය තුළ රැඳී සිටිමින් එම පක්ෂයේ බලය ඇල්ලීමට බව පැහැදිලිය. ලන්ඩනයේ සිටින ජනාධිපතිවරයා හමුවීමට ගොස් මධ්‍යම කාරක සභාව කැඳවන්නැයි ඉල්ලීමක් කිරීමට තරම් පක්ෂ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වී තිබෙන්නේ එබැවිනි. ජනාධිපතිවරයා ආපසු පැමිණ ශ්‍රීලනිපයේ තමන්ට සහාය දක්වන සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමටත් ඉන්පසුව කිසියම් තීන්දුවක් ගැනීමටත් ඉඩ තිබේ. එම තීන්දුව ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටුම විසඳීමට කොයිතරම් දුරට උපකාරී වනු ඇතිදැයි දැන්ම කීම අමාරුය.

විශ්වාසභංගය කරළියට ආ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ පිළිබඳව තමන්ට සහාය දක්වන මැති ඇමැතිවරුන් සමඟ දිගටම සංවාදයක් ගෙන ගියේය. ඒ අවස්ථාවේදී ඔහු අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියත් අග්‍රාමාත්‍යවරයා එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූ බව ප්‍රසිද්ධ රහසක් විය. නමුත් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා නීතිමය ගැටලු හේතුවෙන් කොටු විය. තමන්ට අවශ්‍ය අගමැතිවරයකු පත්කර ගැනීමට ජනාධිපතිට හැකිවූයේ නැත. ඒ වෙනුවට ඔහුට තෝරා ගැනීමට ඉතිරිව තිබුණේ කෙසේ හෝ ගැට ගසාගෙන සම්මුති ආණ්ඩුවම ඉදිරියට කරගෙන යාම පමණි. විශ්වාසභංගයට අදාළ හැලහැප්පීම් හේතුවෙන් හෙම්බත්ව සිටි අගමැතිවරයාගේ තේරීම වූයේද සම්මුති ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමය. වැටුණු තැනින් ගොඩ ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ අවස්ථාවේදීද ලකුණු රැස්කරගත් බව සැබෑය. එහෙත් ශ්‍රීලනිපයේ 16 දෙනා මේ කරන්නේ ජනාධිපතිවරයාගේ ලකුණු රැස්කිරීමේ වාර්තාවට තිත තැබීම බව පැහැදිලිය.

මෙහිදී ජනාධිපතිවරයා වඩාත්ම අපහසුතාවට පත්වෙන්නේ ශ්‍රීලනිප ලේකම් දුමින්දත් එජනිස ලේකම් මහින්ද අමරවීරත් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට නැගෙන බලපෑම් හේතුවෙනි. මේ දෙදෙනාම අදාළ තනතුරුවලට පත්කරනු ලැබුවේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්කිරීමෙන් පසුව නොවේ. 2015 ජනවාරි 08 වැනිදා ජයග්‍රහණයෙන් පසුව අගෝස්තුවේ පැවැති මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එම පත්කිරීම් සිදුකෙරිණි. වරක් ජනාධිපතිවරයා අනාගත අගමැතිවරැන් සම්බන්ධයෙන් කළ සඳහනකදී මහින්ද අමරවීර මහතාද ඊට සුදුසු පුද්ගලයකු බවට කළ කතාවද මෙහිදී සිහිපත් කිරීම අවශ්‍යය. මෙවැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත්කර දැමීම හිතුමතයේ සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා දැන සිටී. එහෙත් පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ලවෙන බලපෑම් හමුවේ ඔහුට නිහඬව සිටීම නම් අපහසු වනු ඇත.

රටේ නායකයන් මේ ආකාරයට පක්ෂ අරගල මැද දිගින් දිගටම හිර වී සිටීම රටට හොඳ නැත. ශ්‍රීලනිපයේත් යූඑන්පීයේත් පැරැණි නායකයන් සංකීර්ණ ප්‍රශ්නවලට මුහුණ දීමේදී හුදෙකලා වී එම ප්‍රශ්නවලට පිළිතුරු සෙව්වේ නැත. තමන්ට සමීප මැති ඇමැතිවරුන්ගේ උදව් උපකාර ඇතිව ඒ නායකයෝ තම ගැටලුවලට විසඳුම් සොයාගත්හ. ඒ අතීතයයි. වර්තමානය මෙසේ නම් අනාගතය ගැන කියන්න දෙයක් නැත.

  ශෂීන්ද්‍ර