2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

පක්ෂය දිනන්න නම් පරණ ව්‍යවස්ථාව ගේන්න ඕනෑ

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය පිළිබඳ
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර

 තනතුරු ඉල්ලන්නෙත් නෑ ඒ ගැන කතා කරන්නෙත් නෑ 
♦ මතකනේ ඒ කාලේ සරත් ෆොන්සේකා හිරේ දාපු හැටි  

 අපි හැමෝටම ඕනෑ කරන්නේ පක්ෂය දිනවන්නයි 
♦ ඡන්දයකින් තනතුරුවලට පත් වුණානම් තමයි හොඳ  

පහුගිය ආණ්ඩුවේ නාස්තිකාර වැඩට සල්ලි ගෙවන්න වෙලා තියෙන්නෙ අපටයි

 

එජාපයේ ප්‍රතිසංවිධානය පසුගියදා සිදුවුණා... පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් හැටියට ඔබට කියන්න පුළුවන්ද දැනෙන වෙනස වුණා කියලා?

මීට වැඩිය වෙනසක් වුණා නම් හොඳයි කියන දේ තමයි මගේ හැඟීම.

වෙනස කියන්නේ තනතුරුවලද පුද්ගලයන් අතරද?

මෙහෙමයි. ඇතුළේ වෙන වෙනස ජනතාව බලාපොරොත්තු වෙන වෙනසක් වෙන්න ඕන. ඒ විදිහට ඒ වෙනස වුණා නම් හොඳයි කියන එක තමයි මගේ හැඟීම.

ඇයි මේ පාර ඒ ජනතා අදහසට ඉඩක් ලැබුණේ නැත්තේ?

එක එක අය එක එක අදහස් ඉදිරිපත් කළා. සමහරවිට ඒ අදහස් මත තීරණය වෙන්න ඇති කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඇයි මේ ජනතා අදහස්වලට කන් නොදෙන්නේ?

වඩාත් සුදුසුයි ජනතාව කැමති දේ සිදුවුණා නම්. එහෙනම් පක්ෂයේ ජයග්‍රහණය ශක්තිමත් අඩිතාලමක් වෙනවා.

ඔබලා මෙවැනි මතයක හිටියට පසුපෙළ මන්ත්‍රීවරු තවමත් සටන අත්ඇරලා නෑ.

පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නය ගැන ඔවුන් අපි එක්කත් කතා කළා. කරුණු ඉදිරිපත් කළා. ඒ කරුණු මත මේ තීන්දුව වෙනස් වෙන්න තිබුණා කියලා මමත් හිතනවා. අපි හිතනවා අනාගතේවත් මේ වෙනස සිදුවිය යුතුයි කියලා.

දැන් ඔබත් අවුරුදු ගණනක ඉඳන් බලන් ඉන්නවා. ඇයි තවමත් අනාගතයට ඉඩ දෙන්නේ?

හැමදාම සිද්ධ වෙන්නේ එකම දේ. ඒකයි අපිටත් ප්‍රශ්නේ.

සමහර අය කියනවා වගේ එක්සත් ජාතික පක්ෂය කවුරු හරි පිරිසක් විසින් බලය අත්පත් කරගෙනද?

මම හිතන්නේ පක්ෂයේ ඇතුළත දේවල් එළියෙ කතා කරන්න මම ලෑස්ති නෑ. පක්ෂය ඇතුළේ සටන් කරලා තියෙනවා. කතා කරලා තියෙනවා. අපිත් විශ්වාස කරනවා හැමෝම කැමති වෙනස සිදුවිය යුතුමයි කියලා.

මේ වෙනසින් පස්සේ පිරිසක් කියනවා පක්ෂය එක්තරා කල්ලියක් විසින් මෙහෙයවනවා කියලා?

පක්ෂයක් වුණාම එකට කණ්ඩායමක් ලෙස සිටිය යුතුයි. වෙන වෙන කණ්ඩායම සිටිය යුතුයි. මම දන්නේ නම් නෑ වෙන කණ්ඩායම් ඉන්නවද කියලා. කොහොම වුණත් සියලුදෙනාම සාමූහිකව වැඩකළ යුතුයි.

ඒ වගේම තවත් පිරිසක් කියනවා පක්ෂ නායකත්වයට හිතවාදී පිරිසක් තමයි තනතුරුවලට දාලා තියෙන්නේ කියලා?

අගමැතිතුමාට අපි සියලුදෙනාම හිතවත්. සියලුදෙනාම එතුමව නායකයා හැටියට පිළිගන්නවා. මෙතන තියෙන ප්‍රශ්නෙ තියෙන්නේ ජනතාවගේ කැමැත්ත, ජනතාවගේ ඡන්දය ගන්න පුළුවන් අය මේ තැන්වලට පත්විය යුතුයි.

විශේෂයෙන් නවීන් දිසානායක වගේ අය ජාතික සංවිධායක ලෙස පත්වෙලා තියෙනවනේ?

නවීන් දිසානායකගේ ප්‍රශ්නයක් නෑ. තරුණයෙක් විදිහට, බොහෝ පරිණත දේශපාලන පවුලක කෙනෙක් හැටියට නවීන් දිසානායක එතැන සිටිය යුතු පුද්ගලයෙක්.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරලා තිබ්බා ඔවුන්ගේ තනතුරැ සම්බන්ධයෙන් ඡන්දයකට යා යුතුයි කියලා. ඔබත් එහෙම හිතනවද?

ඉතිහාසයේ පක්ෂය තුළ ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව මේ කටයුතු සිදුකරලා තියෙනවා. ඉතිහාසයේ හිටපු නායකයෝ ඔක්කොම එය කළා. මම හිතන්නේ මේ අවස්ථාවෙත් ඡන්දයක් තිබිය යුතුයි කියලා මම හිතනවා.

ඇයි ඔබලට යෝජනා කරන්න තිබ්බනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී.

අපි ඒ අදහස දිගින් දිගටම ඉදිරිපත් කළා. නමුත් ඒ සම්බන්ධයෙන් ලැබුණු පිළිතුරැ සෑහීමකට පත්වෙන්න බෑ.

මොකක්ද පිළිතුර?

ඡන්දයක් නොලැබුණ එක.

ඒ වගේම පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් මේ වෙනකොට ස්වාධීන වෙන්න යනවා?

මම කියන්නේ ස්වාධීන නොවිය යුතුයි මොන ප්‍රශ්නය ආවත්. පක්ෂයත් එක්කම ඉන්න ඕන. මටත් ලොකු ප්‍රශ්න ආවා. හැබැයි අපි පක්ෂය එක්කම රැඳිලා හිටියා. ඒ නිසා පසුපෙළ මන්ත්‍රීවරු එවැනි තීරණයක් ගතයුතු නෑ.

එහෙම ඔබට කියන්න බෑ නේද? අවුරුදු ගණනක් ඔබලා සටන් කළත් ලැබුණු ජයග්‍රහණයක් නෑනේ?

නෑ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අපි බාධා කරන්නේ නෑ. අපිට ඕන මේ පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන්න.

තවත් පිරිසක් චෝදනා කරනවා විවිධ දූෂණ චෝදනාවලට ලක්වුණ අයට පක්ෂයෙන් තනතුරු දුන්න කියලා?

චෝදනා තියෙන අය නම් හැම පක්ෂයෙම ඉන්නවා. එහෙනම් අද පොහොට්ටුවේ ඉන්නේ චෝදනාවලට අධිකරණයෙන් ඉදිරිපත් වෙච්ච අය. චෝදනා ලබා ඒක ඔප්පු වුණොත්නේ පක්ෂ තුළ ක්‍රියාමාර්ග ගන්න ඕන. අපේ පක්ෂයේ නම් චෝදනා එනකොට ඇමතිකම අත්ඇරියා. ඒ නිසා ඒ ගැන තව සිතිය යුතුයි.

විශේෂයෙන් මේ තනතුරුවලදී ප්‍රශ්නයක් ආවා පක්ෂ ව්‍යවස්ථාව ගැන. ඇත්තටම මේ වෙනසට බාධාවක් වෙලා තියෙන්නේ පක්ෂ ව්‍යවස්ථාවද?

පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි කියන තැන ඉන්නවා. මම කියන්නේ අපි බලයේ ඉන්නකොට තිබ්බ පරණ ව්‍යවස්ථාව නැවත ගෙන ආ යුතුයි.

ඒ කියන්නේ පරණ ව්‍යවස්ථාව ජයග්‍රහණයට අවශ්‍යද?

ඔව්. ඒක තියෙන කාලයේ ප්‍රශ්නයක් වුණේ නෑනේ. බලයේ හිටියා වැඩි කාලයක්.

හැබැයි මොන දේ කිව්වත් දැන් මණ්ඩලය ඇතුළේ කචල් නේද? ජ්‍යෙෂ්ඨයොත් කෘත්‍යාධිකාරී මණ්ඩලය අත් හරිනවා. මෙහෙම ගියහම පාක්ෂිකයනුත් අත්හරී නේද?

කවුරුත් ඉවත් විය යුතු නෑ. ගියා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ.

විශ්වාසභංගය වෙලාවේ ඒකාබද්ධ විපක්ෂය කිව්වා ගහපු බෝම්බයෙන් පක්ෂ දෙකම පුපුරනවා කියලා. ඒක ඇත්ත නේද?

එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් වෙලා නෑ. සන්ධානය නම් තුනකට බෙදිලා තියෙනවා. තවත් බෙදෙයි. එක්සත් ජාතික පක්ෂය නම් බෙදිලා නෑ. තවම එයාලා ඊළඟ ජනාධිපති අපේක්ෂාකයා කවුද කියලා තෝරගන්න බැරිවනේ ඉන්නේ.

මොන දේ කිව්වත් ආණ්ඩුව පිපිරිලා ඉවරයිනේ. ආණ්ඩුව අස්ථාවරයිනේ. තුනෙන් දෙකත් අහිමිවෙලා?

ආණ්ඩුවේ කිසි අස්ථාවරයක් නෑ. ආණ්ඩුව පිහිටුවායින් පස්සේ ආණ්ඩුවට එකතු වුණ පිරිස තමයි ගිහින් තියෙන්නේ. ඒ අය ගියා කියලා ආණ්ඩුවටත් එජාපයේ ඉදිරි ගමනටත් බාධාවක් වෙලා නෑ. ආණ්ඩුවට කරදර කරපු අය තමයි ගිහින් තියෙන්නේ. දැන් හරි ස්ථාවරයි.

ඔබ කියනවා අර යන 16 දෙනා තමයි ප්‍රශ්නය කියලා. ඒ අය කියන්නේ එජාපයයි මෙතන අවුල කියලා?

ඉතින් එහෙනම් මීට කලින්නේ ඔය තීරණය ගන්න තිබ්බේ. ඇයි මෙච්චර කල් හිටියේ. වෙන වෙන අරමුණු නිසයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ.

හැබැයි ජනාධිපතිවරයා කිසිම මොහොතක යහපාලන රජය ඉදිරියට ගෙනියන්න කියන්නේ නෑ. ශ්‍රී ලනිපයට මන්ත්‍රීවරුන්ට කැමැති තීරණයක් ගන්න කියනවා. ඒ වගේම ආණ්ඩුව විවේචනය කරනවා. එතුමටත් ආණ්ඩුව එපාවෙලා නේද?

ජනාධිපතිතුමා කියලා තියෙනවනේ ආණ්ඩුවත් එක්ක වැඩකරන්න පුළුවන් කට්ටියට ඉඳලා අනෙක් කට්ටියට යන්න කියලා.

ආණ්ඩුව ස්ථාවරයක තියෙනවා. ඒත් රටේ ආර්ථිකය ස්ථාවරයක නෑ. රුපියල පාවෙනවා. ඇයි මේ?

පසුගිය ආණ්ඩුවේ නොයෙක් නොයෙක් නාස්තිකාර දේවල්වල මුදල් ගෙවන්න වෙලා තියෙන්නේ අපිට. ඒක විශාල බරක්. අපි ජනතාවට දුන්න සහන අඩුවෙලා නෑ. පඩි වැඩි කළා. ජනතා සහන දීලා තියෙනවා.

ඔබ හිතනවද ජනතාවට එවැනි සහන ලැබෙනවා කියලා?

අනිවාර්යයෙන්ම ඒ සහන ජනතාවට ලැබෙනවා.

ජනතාවට ඔච්චර වාසි ලැබෙනවා නම් ඇයි පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ඡන්දය නොදුන්නේ?

මම හිතන්නේ පහුගිය කාලයේ යම් යම් තීරණ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන්න ඇති. මොකද හවුල් ආණ්ඩුවක්නේ. හැබැයි මම හිතන්නේ නෑ මහ මැතිවරණයකදි එවැනි ප්‍රතිඵල ලැබෙයි කියලා.

මේ සියලු දේ ඇතුළේ නැවත කැබිනට් සංශෝධනයක් වෙනවා. රටේ ප්‍රශ්න තියෙද්දි ඇයි මේ කැබිනට් සංශෝධන. මේ බරත් ජනතාවටනේ වැටෙන්නේ?

නෑ... නෑ... කැබිනට් සංශෝධනයෙන් ඇමැතිවරු වැඩිවෙන්නෙත් නෑ. වියදම් වැඩි වෙන්නෙත් නෑ. ජනාධිපතිතුමා මේ කරන්නේ විද්‍යාත්මක පදනමක් මත විය යුතුයි කියන අදහස. ඒක රටට බරක් වෙන්නේ නෑ.

හැබැයි දැන් හැමදාම කිව්වේ මේ විද්‍යාත්මක පදනම ගැන. ඒත් වුණේ නෑ?

නෑ ඉතින් දිගින් දිගටම මතවාද තිබ්බනේ. විවේචන තිබ්බා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ ගැන තීරණය කරලා තියෙන්නෙ?

ඔබලා බලයට ආවේ පහුගිය ආණ්ඩුවේ හොරු අල්ලනවා කියලා. ඔබ නීතිය භාර ඇමැතිවරයා. කෝ අල්ලපු හොරෙක් නෑනේ. මේ ආණ්ඩුවේම අයගේ චෝදනා?

පහුගිය කාලයේ යම් යම් පරීක්ෂණ කරලා 25කට ආසන්න ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. අධිකරණයෙත් යම් ප්‍රමාදයක් තියෙනවා. ඒ දේවලුත් ඉදිරියේදී වෙනස් වෙයි.

ඔබේම ආණ්ඩුවේ අය කියනවා පොලිසියට බලපෑම් එනවා කියලා?

එහෙම කිසි තැනක නෑ. පොලීසිය ස්වාධීනව වැඩ කරනවා. ඉස්සර එහෙම කළේ. මතකනේ සරත් ෆොන්සේකා හිරේ දාපු හැටි. එජාප සාමාජිකයන්ගෙන් පළිගත්ත හැටි. දැන් ඒ දේවල් නෑනේ.

අවසාන වශයෙන් ඔබෙන් අහන්නේ රංජිත් මද්දුමබණ්ඩාරට පක්ෂයේ ඉහළ තනතුරක් හොබවන්න වාසනාවක් නැද්ද?

මගේ තනතුරු ගැන මම කතා කරන්නේ නෑ. මම ඒවා ඉල්ලන්නෙත් නෑ. ඒක පක්ෂයේ අය තීරණය කරයි. ඒ වගේම ජනතාව තීන්දු කරයි මගේ තැන කොතැනද කියලා.

ජ්‍යෙෂ්ඨත්වය අනුව කොහොමද?

නෑ ඉතින් මම ඒවා ගැන බලන්නේ නෑ. මම බලන්නේ ජනතාවගේ විශ්වාසය.

► ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00