2018 මැයි 05 වන සෙනසුරාදා

මේක නමට තියෙන ආණ්ඩුවක්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා

♦ පළාත් සභා ඡන්ද ටිකත් පුළුවන් නම් තියන්න කියන්න 
♦ ආණ්ඩුවේ තරම මැති ඇමැතිලාගේ කතාවෙන් පේනවා 
♦ එදා 95 එකට හිටගත්තා නම් අද යූ.එන්.පී. ආණ්ඩුවක් නෑ 
♦ අර්ජුන මහේන්ද්‍රන්ට රට පනින්න දුන්නෙ කවුද?  
♦ මේ ආණ්ඩුව කළ වැරදි හදන්න මහින්ද රාජපක්ෂ ගේන්න ඕනෑ

ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලය පුරාම කිව්ව දෙයක් තමයි ආණ්ඩුව අද ඉවරයි, හෙට ඉවරයි කියලා. ඒත් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය වෙනස් කරමින් ඔවුන් 2020 වෙනකල් ගමන යන්න පටන් අරගෙන තියෙනවනේ?

ආණ්ඩුව දුර්වලයි කියලා දේශපාලන ලෝකයේ අයට විතරක් නෙමෙයි දේශපාලනය ගැන නොදන්න කෙනෙකුට පවා තේරුම් ගන්න පුළුවන් දෙයක්. දැන් බලන්න අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කළා. ඒ කරලා තනතුරු ලැබිලා එළියට ආපු අය කරපු ප්‍රකාශ බලද්දී ආණ්ඩුව කොච්චර ශක්තිමත්ද කියලා පේනවා. කොටින්ම ඒ ප්‍රකාශ සාමාන්‍යයෙන් ගෙදරදී දරුවොත් එක්ක බලන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එක්තරා රාජ්‍ය ඇමති කෙනෙක් කාලකන්නිය කියලා ඇමැතිවරුන්ට බණින්නේ. ඉතින් මේ වගේ මට්ටමක තියෙන ආණ්ඩු ශක්තිමත්ද? එක එක්කෙනා අතර ගැටුම්.

ඒත් ඔබතුමලනේ කිව්වේ ආණ්ඩුව පෙරළනවා කියලා?

අපිට පෙරළන්න දෙයක් නෑ. මේ ආණ්ඩුව හෙට අනිද්දා පෙරළ ගන්නවා. කඩා වැටෙනවා. ඔන්න මෙන්න. එදා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරපු විශ්වාසභංගයේ ප්‍රතිඵල දැන් තමයි පේන්නේ.

ඔබලා කෙතරම් විවේචනය කළත් මෙවර ආණ්ඩුවේ ඇමතිකම් පවා ලබාදුන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයට. ඒ ස්ථාවර ආණ්ඩුවක් ගෙනියන්නනේ?

මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලේ විද්‍යාත්මකකමක් නැති බව කියලනේ මෛත්‍රීපාල මහත්තයා ඇමති මණ්ඩලය 25කට සීමා කරනවා කිව්වේ. ඒ වගේම විද්‍යාත්මක ක්‍රමයට හදනවා කියලා. ඒත් ආණ්ඩුව අරගෙන අවුරුදු තුනකටත් පස්සේ තමයි ජනාධිපතිතුමාට මතක් වුණේ විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය හදන්න. තව මාස 14යි. වැඩකරන්න කාලයක් තියෙනවද? ලබන අවුරුද්දේ නොවැම්බර් වෙනකොට ජනාධිපතිවරණයට දිනයක් නම් කළ යුතුයි. ජනවාරි මාසයේ ඉඳලා පක්ෂ වැඩ පටන් ගන්නවා. දැන් කොහොමද වැඩ කරන්නේ. මේක රටට සෙතක් තියා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටවත් සෙතක් නෑ. මේක 21 වන සියවසේ ලොකුම විහිළුව.

ඔබලා කිව්වා ශ්‍රීලනිපයේ 16 දෙනා ඉවත් වීමත් සමග ආණ්ඩුවට ලොකු බලපෑමක් වෙනවා කියලා. ඒත් ආණ්ඩුවට කිසිම ගාණක්වත් නෑනේ?

ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙන නිසානේ ශ්‍රීලනිපයේ ඇමතිකම් ටිකත් එජාපයට දීලා නියෝජ්‍ය කතානායක පවා පත්කර ගන්න බැරුව ඉන්නේ. ඔය දාසය විතරක් නෙමෙයි, ශ්‍රීලනිපය දෙකට තුනට කැඩිලා ගිය එකේ ප්‍රතිඵල පෙනුණා පසුගිය පෙබරවාරි 10 වෙනිදා. පුළුවන් නම් පළාත් සභා ඡන්ද ටිකක් ලබන සැප්තැම්බර්වල තියන්න කියන්නකෝ. ඒ නිසා ආණ්ඩුවට දැනිලා තියෙන්නේ. දැනුණත් නොදැනුණා වගේ ඉන්නවා.

දැන් ඔය ඉවත්වුණු 16ටත් ඔබලා එක්ක යන්න බලාපොරොත්තුවක් නෑනේ?

ඒ අයට අපිත් එක්ක යන්න බැරි නම් ඒ අය නැතිව අපිට ගමනක් නෑ කියලත් හිතන්න එපා. අපි කියන්නේ මේ ආණ්ඩුව පෙරළීම සඳහා වැඩකටයුතු කරන ඕනෑම බලවේගයක් එක්ක එකතුවෙන්න අපි සූදානම්. 16 දෙනා ආණ්ඩු විරෝධී කණ්ඩායමක් හැටියට වෙනම ඉන්නවා. ඒ අය ඒකාබද්ධය එක්කත් වැඩකටයුතු කරනවා. තව විසඳා ගතයුතු ප්‍රශ්න තියෙනවා. තව ඉස්සරහට තව අය එකතු වෙනවා.

ඔය ඉවත්වෙන 16 දෙනාගේ පැත්තෙන් නම් එන ආරංචිය තමයි ඔවුන් එනවට ඒකාබද්ධයේ පිරිසක් අකමැති කියන එක?

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන පක්ෂ 14ක පමණ එකතුවක්. මේ තුළ එක් එක් න්‍යායාත්මක මත දරන අය ඉන්නවා. අපේ පොදු අරමුණ මේ ආණ්ඩුව පෙරළා දැමීම. ඔය 16 දෙනාගේ පසුගිය අවුරුදු 3ක කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අප හොඳ අධ්‍යයනයක ඉන්නේ. අපිටත් වේදනාවක් තියෙනවා. දැන් එයාලා කිව්වට ආණ්ඩුවේ වැඩපිළිවෙළ හොඳ නෑ කියලා. ඕක අපි කිව්වනේ 2015දීම. එදා 95 දෙනා එකට හිටගත්තා නම් අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නෑ. මේ ආණ්ඩුව කරපු වැරදිවල කොටසක් මේ 16 දෙනාටත් තියෙනවා.

ඔබලට බයක් තියෙනවා නේද මේ අය ඇවිත් ඔබලාගේ තැන නැතිකරයි කියලා?

නෑ. එහෙම බයක් නෙවෙයි. ආණ්ඩුව එක්ක ඉන්නා හිටිය කණ්ඩායම් එක්ක බරපතළ අප්‍රසාදයක් තියෙනවා ජනතාව අතර. ඒක පළාත් පාලන මැතිවරණයෙන් පෙනුණා. ඒ නිසා මේ අය එක්ක එකතුවීම තුළ ආණ්ඩු විරෝධී සටනට යම් පලුද්දක්, කැළලක් ඇතිකර ගන්න අපි සූදානම් නෑ.

හැබැයි මහින්ද මහත්තයා කිව්වේ දේශපාලනයේ මිතුරොත් නෑ හතුරොත් නෑ කියලා?

ඔහු ආණ්ඩු විරෝධී සටනේ එකම නායකයා හැටියට අපි දකින දේට වඩා පුළුල්ව එතුමා ප්‍රශ්න දිහා බලනවා. එතුමා දරණ මතය අනුව වැඩකටයුතු කිරීමේ යුතුකමක් අපිට තියෙනවා.

ඔබලට බයක් තියෙනවද මේ අය අරගෙන වැඩේ අලවෙයි කියලා?

එහෙම කිසිම බයක් නෑ. හැබැයි ඒ 16 දෙනා දැනගත යුතුයි ජනතාව අතර තියෙන විරෝධය නැතිකරගෙන ජනතාව අතරට යන පාර සකස් කරගන්න. ඒ අය 16 දෙනාම ස්ථාවර වෙන්න ඕන. මොකද ඒ අය මෛත්‍රී රනිල් එක්ක වැඩකරපු අයනේ.

ඔය 16 දෙනාට කුඩම්මාගේ සැලකිලි තිබ්බට මීට කලින් ආපු අය පිළිගත්තනේ?

ඔව්. ඒ අය කෙළින්ම ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ වුණානේ. මේ අය වෙනම ඉන්නවා කියනවනේ. අර ආපු හතර දෙනා අපිත් එක්ක වැඩකරනවා මේ වෙද්දි.

ඔබලාගේ සටන මේ කැබිනට් සංශෝධනයත් එක්ක දියාරු වුණා නේද?

එහෙම නෑ. මොකද මහ ලොකු දෙයක් වෙලා නෑ ජනතාවට දැනෙන. ඔය මොන දේ වුණත් දැනගන්න පුළුවන් 07 වෙනිදා ගාල්ලෙදි.

ඔබලා විශ්වාසභංගයෙන් ආණ්ඩුවක් අගමැතිවරයත් ගෙදර යවන්න ගියා. ඒත් හරිගියේ නෑ. ආණ්ඩුවට බහුතරයක් සහයෝගය පළකළා. දැන්වත් තේරෙනවද ආණ්ඩුව ප්‍රබලයි කියලා?

ඒකාබද්ධ විපක්ෂය නෙමෙයි රටේ ජනතාවම බලන් හිටියා විශ්වාසභංගය අපි දිනයි කියලා. හරියට අර්ජුන රණතුංග මහත්තයා ලෝක කුසලානය ජයගත්තා වගේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තය කිව්වා විශ්වාසභංගය දිනවන්න හරි පරාජය කරන්න හරි වගකීම තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල මහත්තයගේ අතේ කියලා. එතුමා කිව්වා වගේම විශ්වාසභංගය පරාජය වුණා නම් එහි වගකීම වර්තමාන ජනාධිපති ප්‍රමුඛ ශ්‍රීලනිප අය කියලා පිළිගන්න ඕන.

ඒකෙන් තේරෙන්නේ නැද්ද ඔබලාට, ආණ්ඩුව රැකගෙන ඉස්සරහට යන්න පිරිසක් ඉන්නවා කියලා?

ආණ්ඩුවෙන් වරදාන වරප්‍රසාද ගන්න බලන් ඉන්න අයට ජනතාවට හෙණ ගැහුවත් කමක් නෑ කියන තැන ඉන්නේ. ඒ අය ආණ්ඩුවේ ඇතුළෙත් ඉන්නවා. ශ්‍රීලනිපය ඇතුළෙත් ඉන්නවා. සන්ධානයේ මහලේකම්වරයත් ශ්‍රීලනිප මහලේකම්වරයාත් එවැනි අය.

2020 වෙනකල් ආණ්ඩුව අරගෙන යනවා කියලා ඔවුන් කියනවා?

2020 වෙනකල් ආණ්ඩුවට යන්න බෑ. ඕක බොරුවක්. මේ ආණ්ඩුව හරියට දහනායක මහත්තයගේ ආණ්ඩුව වගේ. නාමික ආණ්ඩුවක් විතරයි. රටට කරපු සෙතක් නෑ. ණය උගුලෙන් රට ගලවනවා කිව්වා. ඒත් වුණේ ණය වැඩිවුණ එක විතරයි.

හැබැයි පහුගිය සතියේ දවසක ජනාධිපති ලේකම්වරයෙක් අල්ලනවා අල්ලස් අරගෙන. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙනවා. මේ දේවල් ඔබතුමාලගේ කාලෙ වුණේ නෑනේ?

ඇත්තටම මේ දේ කරපු එක ගැන ඒ අදාළ ආරක්ෂක අංශවලට ප්‍රශංසා කළ යුතුයි. ඒ නිලධාරීන් අධෛර්මත් නොකළ යුතුයි. මේක හැබැයි අපිට ආරංචි වෙන්නේ වෙන විදිහට. ආණ්ඩුවේ ඉන්න ප්‍රබලයෝ දෙන්නෙක්ගේ බල අරගලයක් නිසා වෙච්ච සිද්ධියක් මේක.

ඉස්සෙල්ලා ආණ්ඩුව එක්ක බලද්දි හොඳයි නේද?

ඉස්සෙල්ල හිටිය ආණ්ඩු එක්ක බලද්දි ඒ ආණ්ඩුවේ සියයට සියයක් පිරිසිදු අය හිටියා කියලා අපි විශ්වාස කරන්නේ නෑ. යම් යම් ආයතනවල මූල්‍ය අක්‍රමිකතා සිදුවුණා කියලා පිළිගන්නවා.

ඇයි එහෙනම් දැන්වත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තේ?

නෑ. එහෙම එකක් නෑ. දැන් ඔබට ඕන නම් කියන්න පුළුවන් මේ සිද්ධිය වුණේ නෑ කියල. දැන් බලන්න අර්ජුන මහේන්ද්‍රන් ලොකුම හොරකම කරලා රටින් පැනලා ගියා. කවුද ඒ නවත්තන්න බැලුවේ. කවුරුත් නෑ. දැන් ආණ්ඩුව මහබැංකුවේ සිද්ධියට සමහර අය අල්ලලා ඉන්නවා. ඒ ඇල්ලුව පමණින් හොඳ වෙනවද? අපිට චෝදනාවක් කරනවා නම් ඇල්ලුවේ නෑ කියලා ඒ කාලෙත් ඔය ආයතනවලින් අල්ලන්න තිබ්බා.

එදා අල්ලන්න බැරි වුණේ දේශපාලන බලපෑම් නිසානේ?

දේශපාලන අත ගැසීම් නැත්නම් ඇයි අර්ජුන මහේන්ද්‍රන් රට යනකොට ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය තහනම් කරන්න බැරිවුණේ. ඇයි අගමැතිතුමාගේ මිත්‍රය නිසා. සිංගප්පූරුවේ පුරවැසියෙක් හොරකම් කරලා යනකොට බලා සිටීම දේශපාලන අත පෙවීම් නෙමෙයි. ඒ විතරද මේ ආණ්ඩුවේ 10 දෙනෙකුට විරුද්ධව අපි පැමිණිලි කළා. කෝ එකක් විසඳුවද? හැමදාම එව්වේ ඔබේ පැමිණිල්ල ලැබුණු බව සතුටින් දැනුම් දෙමි කියලා. දැන් ආණ්ඩුව විනිවිදව වැඩකරනවා කියලා කියන්න පුළුවන්ද? දැන් පවුල් පිටින් දූෂණ සිදුකරන්නේ. සහෝදරයෝ හොඳට ඒ දේවල් කරනවා. ඒ නිසා මේ ආණ්ඩුව කරන්නේ කහ මලින් ආපු අය නෙමෙයි.

ශ්‍රීලනිපය ජනාධිපතිවරු බිහිකරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ විධායකය අහෝසි කරන්න කතා කරනවා. ඒත් වුණේ නෑ. දැන් මෙවර ජනතා විමුක්ති පෙරමුණ 20 හරහා විධායකය අහෝසි කරන්න යනවා. ඒකාබද්ධයෙන් පැහැදිලි අදහසක් නෑනේ.
ඇත්ත ඔය කතාව. මෛත්‍රිපාල සිරිසේන මහත්තය ලිඛිතව දුන්නා දින සීයෙන් නැති කරනවා කියලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක වසරකින් නැති කරනවා කිව්වා. මහින්ද රාජපක්ෂ කාලයක් කිව්වේ නෑ. ඒත් අහෝසි කරනවා කිව්වා. හැබැයි ඔහු අහෝසි කළා නම් රටේ යුදමය තත්ත්වයට මුහුණ දෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයට යුදමය තත්ත්වයක් නෑ. ඔහු කිව්වා නැති කරනවා කියලා විධායකය. ඒත් දැන් මහලේකම් කියනවා 2020ත් ඉල්ලනවා කියලා. ඒක වෙනම කාරණයක්. ඔය 78 ව්‍යවස්ථාවේ බරපතළ කරුණු කාරණා කිහිපයක් තියෙනවා. අන්න ඒවා එහෙමම තියලා විධායකය විතරක් අහෝසි කරන්න යනවා නම් අපි ඒකට එකඟ නෑ. හැබැයි අපි 20ට එකඟ වෙනවද නැද්ද කියලා තීරණයක් නෑ. ඉදිරිපත් කරපුවයින් පස්සේ බලනවා. මේ විධායකය අහෝසි කරල රනිල් වික්‍රමසිංහ මහත්තය ගොඩගන්න වැඩක් නම් අපි ඊට විරුද්ධ වෙනවාමයි.

හැබැයි ඔවුන්ගේ මූලික අරමුණ විධායකය අහෝසි කිරීම?

එහෙම අරමුණක් තියෙනවා නම් කිසිම සහයක් දෙන්නේ නෑ.

2020 ජනාධිපතිවරණය සඳහා විශාල සටනක් තියෙනවා. ඒකාබද්ධය ඇතුළෙත් දෙකට බෙදිලා බැසිල්ද, ගෝඨාභයද කියලා. ඇත්තටම කවුද අපේක්ෂකයා?

එළඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට සම්බන්ධ කවුරුත් හෝ අයකු ඉදිරිපත් වෙනවා නම් ඒක අසීරුයි කියලා ආණ්ඩුවේ දෙපාර්ශ්වයම දන්නවා. මේ රටේ ජනතාව ඉල්ලන ලෙංගතු නායකත්වය මහින්ද රාජපක්ෂ. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. 16 දෙනාටත් ඒකනේ මහින්ද රාජපක්ෂ මහත්තය හොඳයි කියලා හිතුණේ. ඒ නිසා කරපු වැරැද්ද හරි ගස්සන්න නම් මහින්ද රාජපක්ෂ බලයට ගේන්න ඕන. හැබැයි ඔහුට ඉල්ලන්න බෑ. ඒත් ඔහුගේ ආශීර්වාදය යටතේ කෙනෙක් ඉදිරිපත් කරනවා. ඒ සඳහා කොන්දේසි විරහිතව අපි උදව් කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තය උදව් කරන ඕනෑම අපේක්ෂකයකුට සහයෝගය දෙනවා.

ශ්‍රීලනිපයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තය ඉදිරිපත් කරන්නේ. ඔබ ශ්‍රී ලංකාකාරයෙක්?

ඔව්. මම ශ්‍රී ලංකා කාරයෙක්. හැබැයි එජාපය එක්ක හිටිය මේ ආණ්ඩුව එක්ක වැඩකරපු ඕනෑම කෙනෙකුට විරැද්ධ කඳවුරේ මම හිට ගන්නවා. කිසිම සහායක් ජනාධිපතිවරයා ඉල්ලුවට මේ රංජිත් සොයිසා ලබාදෙන්නේ නෑ.

► ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00