2018 මැයි 05 වන සෙනසුරාදා

දිලිසෙන දෙපයින් ගමන් කළ අප්‍රමාණ මිනිසා

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

ශ්‍රී ලංකාවේ විශිෂ්ට අනන්‍යතාව ලෝක සිනමාව තුළ තදින්ම සටහන් කළ අපූර්ව නිර්මාණවේදියා හදිසියේම අපට ආයුබෝවන් කීවේය. ඔහු, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කොළඹ ඉසුරැමත් සමාජයේ ඉහළ ස්ථරයේ සුපුෂ්පිතව අහසින් පොළොවට පතිත වූ අරවින්දයකි. ඔහු මේ අකෘතඥ මිනිස් ගොහොරුව මැදට වැද ඔවුන් හා නොගැටී අපේම සිනමා කලාවක් සඳහා නවමු අමුද්‍රව්‍ය සොයමින් ස්වකීයම වූ ගවේෂණයක යෙදී හුදෙකලා විදර්ශනාවක යෙදුණු සූර ගවේෂකයෙකි. ඔහුගේ අටෝරාසියක් නොවන සිනමා කෘති සමුච්ඡය විචිත්‍ර වූත් විවිධ වූත් අපේම වූ නව මං සොයා යාමක බහුවිධ මාන පිළිබිඹු කරයි.

රේඛාවෙන් අපේම සිනමාව ඉන්දීය කොපි කලාවෙන් වෙන්කර හඳුන්වා දෙන ඔහු සිය නිර්මාණ තුළින් වරෙක ඉතිහාසය ලුහුබඳියි. සංදේශය, God king, වීර පුරන් අප්පු ධීරකාව්‍ය රූප කතා කලාව අපේම ක්‍රමයකට සකසා ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයට නිදසුන්ය. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, අක්කර පහ, මඩොල් දූව, ගොළු හදවත, නිධානය, ලාංකීය සාහිත්‍යකරැවන්ගේ සචින්තරූප සිනමා රූප බවට පෙරුළීමකි. ඒ අතර අහසින් පොළොවට මනෝ සංකීර්ණතාවන්ගෙන් පෙළුන චරිත සිනමාත්මකව සූර ලෙස ඉදිරිපත් කරන්නට හැකි බව සනාථ කළ එළැඹුමකි. දොලොවක් අතර, රන්සළු, අම්මාවරුනේ වැනි නිර්මාණ සමාජ චර්යා සංසිද්ධීන්, විශ්ලේෂණාත්මකව සහෘද හදවත් ප්‍රකම්පනය කරමින් සිදුකළ ඉදිරිපත් කිරීම්ය. මේ සියල්ල අතර ගම්පෙරළිය, නිධානය, අහසින් පොළොවට සිනමා කෘති ශ්‍රී ලාංකීය ලකුණ ජාත්‍යන්තරයේ තදින්ම සනිටුහන් කළ වෙසස් නිර්මාණයන්ය. මේ සියල්ල ඇරුඹෙන්නේ 50 දශකයේ පෙරැළියට සමගාමීවය.

පේරාදෙණි වළෙන් මනමේ මද්දලය හඬ නගද්දී රට තුළ ඇතිවූ ප්‍රබෝධකාරී සංස්කෘතික කලා ප්‍රවේශයේ තවත් සමාන්තර දිගුවක් ලෙස ලෙස්ටර් සහ ඔහුගේ වෙසෙස් සිනමා ආකාතිය හඳුන්වා දිය හැකිය. ආචාර්ය ලෙස්ටර් කිරෙන් දියර වෙන්කරනා හංසයකු සේ දකුණු ඉන්දීය ගොහොරු වට්ටෝරුවෙන් ලාංකිය සිනමාව වෙන්කර ගන්නේ තදබල දේශීයත්වයකින් යුතු රේඛාවක් සටහන් කරමිනි. ඒ සමකාලීනව සරච්චන්ද්‍ර මනමේ කෝලාහලය, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය, විචාර ඝෝෂාව, වජිරා චිත්‍රසේන සුසංයෝගයේ කරදිය ඇතුළු ඉඟිනළු, සිරි ගුණසිංහයන්ගේ මස් ලේ නැති ඇට කාව්‍ය සංග්‍රහය, මේ සියල්ල සමාජ ප්‍රකම්පනයක් ඇතිකළ වෙසෙස් කලා කෘති ලෙස ප්‍රතිඵලය වූ සමයකි. රේඛාව සහ ලෙස්ටර්  මේ සියලු සමාජ සංචලතාවන් අතර තමන්ටම අනන්‍ය වූ සුවිශේෂී සලකුණක් එක් කළ බව කිව යුතුමය.

එතැනින් ඇරුඹි ලාංකේය සලරූ කලාවේ ලෙස්ටර් සලකුණ රිදී තිරයෙන් ඔබ්බට පැන නවමු මානයක් වූ ටෙලිකලාව තුළද පෙරැළියක් ඇති කරන්නට සමත් වූ බව ඔහුගේ ගිරය ටෙලි වෘත්තාන්තය නැරුඹූ සුධීහු පිලින දෙති. ලංකාවේ පමණක් නොව සමස්ත ආසියාව තුළම සිනමා කලාව නව ජීවනයක් ලැබුවේ 50 දශකයේදී බව විද්වත් මතයයි. ඒ නව ජීවනය සඳහා සපයන ජගත් කීර්තිධර නිදසුන් කිහිපයකි. අකිර කුරසෝවාගේ රෂොමොන් (50), රිත්වික් ඝටක්ගේ නාගරික් (52), යෂුජිරෝ ඕෂුගේ ටෝකියෝ ස්ටෝරි (53), සත්‍යජිත් රායේ ගේ පාතර්පංචාලි (55) සහ ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (56)යි. අපේ මහා සිනමාකරුවා සිය කුළුඳුල් නිර්මාණයෙන්ම ජගත් සිනමා අම්බරයේ සිය අනන්‍යතාව මුද්‍රා තැබුවේ එලෙසිනි.

ලෙස්ටර්ගේ සිනමාරෑපී කතා කලාවට ඔහු ලොව අග්‍රගණය සිනමාකරුවන්ගේ අපූර්ව රිද්මය අල්ලාගන තිබේ. අමෙරිකානු සිනමා විචාරක ඩොනල්ඩ් රීඩ් ඔහුගේ මේ අපූර්ව රූප ශබ්ද පෙලහර හඳුන්වන්නේ ධ්‍යානශීලී සිනමා කලාව ලෙසටය. ඔහු ලෙස්ටර් සමාන කර ඇත්තේ, ප්‍රංශයේ රොබට් බ්‍රෙසොං, ඩෙන්මාර්කයේ කාල් ඩ්‍රෙයර්, මෙන්ම ජපානයේ යෂුජිරෝ ඕෂු යන විශිෂ්ටයින් හටය. ලෝකයේ සම්භාව්‍ය සිනමා ඉතිහාසයේ සිය නම රැන්දූ දේශීය සිනමාවේදියා වූයේද ආචාර්ය ලෙස්ටර් බව සිහිපත් කරගත යුතුය. 1983දී International Film Guide සඟරාව ලෝක කීර්තිධර සිනමා අධ්‍යක්ෂවරුන් පස් දෙනකු නම් කළේය. රුසියාවේ ආන්ද්රේ තර්කොව්ස්කි, ඉතාලියෙන් ඩිනෝ රිසි, තුර්කියේ ඉල්මාස් ගුෆි, අමෙරිකාවේ බොබ් රැල්ෆ්සන් සහ ලංකාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.

එතෙක් අභාවිතව තිබූ සැබෑ ජනවිඥානය සමාජ සත්තතාව සුභාවිත කරන යථාර්තවාදී රීතිය ආචාර්ය ලෙස්ටර් සිය මුල්ම සැනෙලි ප්‍රාතිහාර්යය රේඛාව ඔස්සේ ගැඹුරින් ප්‍රකාශ කළේය. එතෙක් තිබූ ටීටර්, බයිස්කෝප්, උන්මාදය තදින්ම ප්‍රශ්න කළ ඔහු වට්ටෝරුගත සින්දු හතයි, ෆයිට් පහයි ආකෘතිය පොළාවේ ගසා කුඩු කර සිනමාව අහසින් පොළොවට ගෙන ආවේය. ගම්පෙරළියේ ඔහු කළ තවත් මහා පෙරැළියක් වූයේ එකදු ගීතයකින් තොරව අමරදේවයන්ගේ සොඳුරු සංගීතය සිය නිර්මාණයේ අර්ථය සහ භාවයන් ප්‍රබෝධ කරන සේ යොදාගැනීමය.

ආචාර්ය ලෙස්ටර් සතු වූයේ අද්විතීය චරිතයකි. ධ්‍යානගතවූ මන්දගාමී හැසිරීම් රටාව, ඉඳහිට මතුකරන උපහාසාත්මක වදන්, කුරුටු ගෑ කඩදාසි ගොන්න, ෆුල්කිට් ගසා එකත්පස්ව පොතකට දැහැන්ගතව සිටින නිශ්ශබ්ද මිනිසෙක්, මේ ඔහු අපට පෙන්වන රූපරාමුය. නමුත් මේ රූපරාමු පිටුපස මානව ගුණයෙන් සුපෝෂිත අපූරු අර්ථ නිරූපනයන්ගෙන් යුත් සම්භාව්‍ය ආත්මීය කතාවක් සැඟවී තිබේ. අචාර්ය ලෙස්ටර් එහෙයින්, ඔහුම වෙසෙස් සිනමා කෘතියක් බඳුය. අපටම අහිමිව ගියේ එබඳු විශිෂ්ටයෙකි.

ලෝකයේ බොහෝ විශිෂ්ටයන් සේ ආචාර්ය ලෙස්ටර්ද තමන්ගේ උපරිමය දුන්නා මිස යටිමඩි ගසා ගත් හෝ පොදිගසාගත් දෙයක් නොවීය. කොටින්ම ඔහු අවසන් දින දක්වාම ජීවත් වූයේ කුලී නිවසකය. එහෙයින් ඔහු අප්‍රමාණ මිනිසෙකි. ඔහුට අවශ්‍ය වූයේ මානව දයාවෙන් පිරි ගුණගරුක හා යුක්තිගරුක යථාර්ථවාදී සමාජයක් ගොඩනැගීමටය. නමුත් ඔහුගේ අවසන් කටයුතු කෙරෙන කඩිමුඩිය තුළ ඔහුට හිමිව තිබූ අන්තර්ජාතික සම්මාන පදක්කමක්, ජංගම දුරකතනයක්, මුදල් පසුම්බියක් යටිමඩි ගසා ගන්නට තරම් අපේ ඇත්තෝ අවසන් මොහොතේදීත් අකෘතඥ වීම ඛේදයකි. එහෙත්, අප මුලින්ම කී ලෙස ඔහු මේ අකෘතඥ ගොහොරුවට වැටුණු අරවින්දයක් සේ එහි නොගැලී නොඇලී හුදෙකලාව නික්ම ගියේ සිය නිර්මාණාත්මක සිනමා විදර්ශනාවේ සරු ඵල අපට ඉතිරි කර තබමිනි.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00