2018 මැයි 05 වන සෙනසුරාදා

ලක්සිරි ජයසුරිය

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

1960 ගණන්වල පේරාදෙණිය සරසවියේ කීර්තිමත් මහාචාර්යවරයෙක් වූ ලක්සිරි ජයසුරිය පසුගියදා ඕස්ට්‍රේලියාවේදි අභාවප්‍රාප්ත විය. පේරාදෙණිය සරසවියේ විශිෂ්ටතම යුගය ලෙස සැළකෙන එම අවධියේ සේවය කළ අතිදක්ෂ ගුරුවරුන් අතර ලක්සිරි ද ප්‍රධාන තැනක් ගත්තේය. ඔහු එහි සමාජ විද්‍යා අංශයේ මනෝවිද්‍යාව සහ එම විෂයත් සමාජය හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධයත් ගැන උගැන්වූ කථිකාචාර්යවරයෙක් විය.

අර්ථ ශාස්ත්‍ර අංශයෙන් මිදී සමාජ විද්‍යාව මුල් කරගෙන ඇති කරන ලද නව පාඨමාලාවේ මුල් කණ්ඩායමේ සිසුවෙක් ලෙස මා ද තෝරා ගන්නා ලදි.  අර්ථ ශාස්ත්‍රයේ මූලධර්ම, සංඛ්‍යා ලේඛන විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි  විෂයන් ඇතුළත් පාඨමාලාව අප හැදෑරූ අතර, නව විෂයයන් වන සමාජ මානව විද්‍යාව, දකුණු ආසියාවේ සමාජය, සමාජ විද්‍යාවේ මූලධර්ම, විද්‍යාත්මක ක්‍රමය හා මනෝ විද්‍යාව නව පාඨමාලාවට ඇතුළත් කරන ලදි. ඒ  විෂය සංයෝගය තුළින් අර්ථ ශාස්ත්‍රයේ මූලධර්ම මෙන්ම සමාජ විද්‍යාව ද ඉගෙන ගැනීමට අපට අවස්ථාව සැලසුණේය.

මේ නව අංශයේ ප්‍රධානියා වූයේ මහාචාර්ය රැල්ෆ් පීරිස්ය. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධි කිහිපයක්ම ලබා සිටි ඔහු මුල පටන්ම තම අංශයට දක්ෂ සිසුන් බඳවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය. සරසවියේ මුල් වර්ෂයේ විභාගය හොඳින් සමත් වූ සිසුන් සම්මුඛ පරික්ෂණයකට කැඳවා ඔවුන් සමග සතුටු සාමිචියේ යෙදී ඔහුට සිත්ගත් අයට පමණක් නව අංශයට බැඳීමට ඔහු අවසර දුන්නේය. මා සමඟ කතා කරන විට ඔහු කීවේ සමාජ විද්‍යාව හැදෑරීමෙන් අනිවාර්යයෙන් රැකියාවක් ලැබෙතැයි සහතිකයක් දිය නොහැකි බවයි. ඒ උපදෙස් මත වුවද අපි දසදෙනෙක් නව පාඨමාලාවට එක්වීමට තීරණය කළෙමු. ඒ අභියෝගය අප පිළිගත්තේ සමාජවිද්‍යා අංශයේ සිසුන් ඉතාම කුඩා කණ්ඩායමක් බවත් අපට වඩා ආර්ථික විද්‍යා අංශයට වැඩිපුර පහසුකම් ඇති බවත් දැනගෙනමය.

අපේ මුල් වර්ෂයේ සිටියේ ගුරුවරුන් තුන් දෙනෙක් පමණි. රැල්ෆ් පිරිස් මහාචාර්යවරයා වූ අතර, ඔහුගේ සහායට සිටියේ ආචාර්ය ස්ටැන්ලි තම්බයියා හා ගණනාථ ඔබේසේකර පමණි.  තම්බයියා හා ගණනාථ ඇමෙරිකන් විශ්ව විද්‍යාලවල ශාස්ත්‍රය හදාරා මෑතකදී ලංකාවට පැමිණි තරුණ ගුරුවරුන් දෙදෙනෙක් වූහ. සමාජ විද්‍යා විෂයන් මොවුන් විසින් අපට උගැන්වූ අතර, අප අර්ථ ශාස්ත්‍රය උගන්වන පංතිවලට ද සහභාගී වූවෙමු. ඒ අනුව දේශපාලන විද්‍යාව පිළිබඳ ඒ. ජී. විල්සන්ගේ ද, අර්ථ ශාස්ත්‍රයේ මූලධර්ම පිළිබඳ එච්. ඒ. ද ඇස් ගුණසේකරගේ ද, සංඛ්‍යා ලේඛන විද්‍යාව පිළිබඳව ඇෆ්. ආර්. ජයසූරියගේ ද පංතිවලට අපව අනුයුක්ත කරන ලදි. ඊට අමතරව කාර්ල් ගුණවර්ධන මහාචාර්යතුමාගේ ලංකා ඉතිහාසය පිළිබඳ පාඨමාලාවට ද අපව සහභාගී කරවන ලදි.  ඒ අනුව බලන විට ලෝකයේ ඕනෑම සරසවියක් සමඟ තරග කළ හැකි ගුරු මඩුල්ලක් අපට උගැන්වූ බව ආඩම්බරයෙන් කිව හැකිය. සියලුම දේශන ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන ලද අතර, අප උත්තර පත්තර ලීවේ ද ඉංග්‍රීසියෙනි. අපේ අවසාන වර්ෂයේ උත්තර පත්‍ර වරක් අපේම ගුරුවරුන් විසින් ලකුණු කළ ද ඒවා ලන්ඩන් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් විසින් ද නැවතත් ලකුණු කරන ලදි. ඒ හේතුවෙන් දැන් මෙන් නොව දක්ෂ සිසුන්ට අඩුපාඩුවක් සිදුවීමේ අවස්ථාවලට වැට බඳින ලදි. බොහෝ විට අපේ උත්තර පත්‍ර කියවූ එංගලන්තයේ මහාචාර්යවරුන් කීවේ අපේ ප්‍රතිචාරය ඉංග්‍රීසි උපාධිධාරීන්ගේ උත්තරවලට වඩා ඉහළින් පවතින බවයි.

මෙසේ වර්ෂයක් ගතවූ පසු අප ගුරු මණ්ඩලයට තරමක් කොට, තරබාරු, ප්‍රියජනක හා අතිශයින් මිත්‍රශීලී තරුණ කථිකාචාර්යවරයෙක් එක්විය. ඔහු විසින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධියක් ලබාගෙන ලන්ඩන් විශ්ව විද්‍යාලයට බැඳී එහි ප්‍රධාන මහාචාර්යවරුන් ඇසුරේ මනෝ විද්‍යාව හදාරා තිබුණි. අප පාඨමාලාවේ දුර්වල තැනක් වූ මනෝ විද්‍යාව පිළිබඳ උගැන්වීම සඳහා ඔහුව බඳවාගෙන තිබුණි. තරුණ සිසුන් වූ අපට මුලින්ම දැණුනේ ලක්සිරිගේ මිත්‍රශීලි බවයි. ඔහු සෙසු ගුරුවරුන් මෙන් නොව සිසුන් සමඟ නිරන්තරයෙන්ම කතාබස් කිරීමට කැමති විය. කතා කරන ගමන් ඔහු නිතරම මුව පිරෙන ලෙස සිණාසුනේය. ඒ නිසා වැඩිකල් නොගොස් ඔහුට “කතා” යන නම පටබැඳුණේය.  කුඩා කොළ පාට රෙනෝ රථයක හිමිකරැ වූ ඔහු නිතරම අපව ඔහුගේ නිවසට ගෙනගොස් කෑමබීම ලබා දීම අපගේ ආදරයට හේතු වූ තවත් කරැණක් බව කිව යුතුමය. ජයසූරිය මැතිණිය වූ රෝහිණී ඉතාම කරුණාවන්ත කාන්තාවක් වූවාය. ලක්සිරි ජයසූරියගේ සුහදතාවය ගැන නිදසුන් දෙකක් මගේ සිහියට නැගේ. වරක් ඔහුට දීර්ඝ නිවාඩුවකට පිටරට යෑමට සිදුවූ විට ඔහුගේ  ප්‍රිය සිසුවෙක් වූ මට කතාකර ඔහු තම පවුලත් සමග පිටරට යන බැවින් අවශ්‍යනම් ඒ කාලය තුළ මට ඔහුගේ නිවසේ පදිංචි වීමට ඉඩ දිය හැකි බව කීවේය.  නිවාඩු කාලයේ පේරාදෙණියේ කෙසේ හෝ කරක් ගැසීමට බලා සිටි මට මෙය ඉබ්බා දියට දැම්මා වැනි විය. එසේ මාස තුනක් පමණ මාත්, බන්දුල ජයවර්ධනත්, එච්. එල්. සෙනෙවිරත්නත් ඔහුගේ නිවසේ භාරකරැවන් සේ වාසය කළෙමු. අපේ සරසවි මිතුරන් මේ නිවසට ඒ කාලයේ රිසි සේ ආවෝ ගියෝය. ඒ ගැන ලක්සිරි කිසිවිටෙකත් අපට තරවටු කළේ නැත.

දෙවෙනි නිදසුන නම් අවසාන විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ඔහුගේ නිවසේ පවත්වන ලද සාදයයි. ඉතාමත් රසවත් කෑමබීම සකසා තිබුණ මේ සමාජ සාදයේ අවසන් ජවනිකාව වූයේ එක් සිසුවෙක් “හිප්නොටයිස්” කිරිමය. ලක්සිරිගේ මනෝවිද්‍යා පුහුණුව තුළ මිනිසුන් “හිප්නොටයිස්” කිරීම ද එක් හැකියාවක් විය. ඒ කාලයේ අප අතර ප්‍රවාදය තිබුණේ සාදයේදී වශී වන ශිෂ්‍යයා අනිවාර්යයෙන් අවසන් විභාගය අසමත් වන බවයි. ඒ නිසා අපි බොහෝ දෙනා ලක්සිරිගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමු.  එහෙත් අපේ ඇවටිලි නොතකා නාමෙල් වීරමුණි වශී වීමට ඉදිරිපත් විය. ලක්සිරි ජයසූරිය විසින් “හිප්නොටයිස්” කරන ලද නාමෙල් ඔහුගේ ළමා කාලය ගැන දොඩන්නටත් හඬන්නටත් පටන් ගත්තේය. ඔහු කුඩා දරුවෙක් ලෙස හැසිරෙන්නට පටන්ගත් නිසා අප බඩ බදාගෙන සිනාසුණෙමු. එසේ ටික වේලාවකින් පසුව ලක්සිරි නාමෙල්ව නැවතත් ප්‍රකෘති තත්ත්වයට ගෙනාවේය. විනෝදයෙන් අවසන් වූ ඒ සාදයට පසුව අවාසනාවන්ත ප්‍රතිඵලයක් තිබුණි. ඉන් ටික කලෙකින් පසුව පවත්වන ලද අවසන් විභාගයෙන් නාමෙල් අසමත් විය. ඊළඟ අවුරුදු සාදයේදී වශී කරන ලද්දේ තවතීන රාජා නමැති අපට වසරක් කණිෂ්ට වූ සිසුවාය. ඔහු ද අවසන් විභාගයෙන් අසමත් විය. ඉන් පසුවත් ලක්සිරිගේ සාද ඒ ලෙසින්ම පැවැත්වුණාදැයි මා නොදනිමි. අපේ සාදය ගැන මගේ සිතේ සටහන්වන තවත් කරුණක් විය. එදා රෑ කෑමට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල සිසුවෙක් හැටියට, ලංකාවට  නිවාඩුවකට පැමිණි සිටි ලලිත් ඇතුලත්මුදලි ද සහභාගී විය. ඔහු සිය මිතුරෙක් වූ ද ලක්සිරිගේ ද මිතුරා වූ ඇලෙක්ස් ගුණසේකර සමඟ පැමිණ සිටියේය. ඒ මට ලලිත් ඇතුලත්මුදලි මුණගැසුණ පළමුවැනි දිනයයි.