2018 මැයි 05 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

රුපියල සහ මතවාද

රුපියල සහ ඒ හා බැඳුණු ආර්ථිකය මේ දිනවල ප්‍රධානම මාතෘකා අතුරින් එකක් වී තිබේ. රැපියල් අවප්‍රමාණ වීම දරුණු ප්‍රතිවිපාකවලට හේතුවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන අතර එය එසේ නොවන බවත් එහි වාසි - අවාසි දෙකම තිබන බවත් ආණ්ඩුවේ ඇමැතිවරු කියති.

රුපියල් අවප්‍රමාණ වීම රුපියල් 160ට ආසන්න වනවිට මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ රටේ බිලියන 47ක් වන ණය ප්‍රමාණය තවත් බිලියන 47කින් වැඩි වන බවය. මේ ගණන් හැදීම වැරදි බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර තිබිණි. ලංකාව ණය ලබාගන්නේ ඩොලර්වලින් බවත් ඒවා ගෙවන්නේ ද ඩොලර්වලින් බවත් කියා තිබූ ඔහු හිටපු බැංකු අධිපති ගේ ප්‍රකාශය අසත්‍ය බවද ප්‍රකාශ කළේය.

කෙසේ වුවද පසුගිය බ්‍රහස්පතින්දා (03) හිටපු බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රටේ ණය බර දිගටම වැඩිවෙමින් තිබෙන බවත් පසුගිය වසර තුන තුළදී ආර්ථික වර්ධනය සහ ආයෝජන අපේක්ෂිත මට්ටමට වඩා පහළ වැටුණු බවත්ය. සුරුකුම්පත් සහ විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සමඟ පැවැත්වූ එම මාධ්‍ය හමුවේ දී ඔහු තවදුරටත් පැවැසූවේ මහ බැංකුව මගින් පසුගිය මාසයේ දී සඳහන් කළ ඩොලර් බිලියන 9.9ක ඓතිහාසික ඉහළ සංචිත වැඩිපුරම ගොඩනැංවුණේ ලබාගත් ණයවලින් බවය. මහා පරිමාණයේ විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය අපොහොසත්වීම ඊට හේතුව බවද ඔහු සඳහන් කළේය. ප්‍රතිපත්ති ප්‍රකාශ බහුලව සිදුකළත් ඒවා ක්‍රියාත්මක කිරීම සීමිත බවද ඔහු කීය.
ඊට පිළිතුරු වශයෙන් රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ රජය වගකීමකින් යුතුව ණය කළමනාකරණය කරගන්නා බවය. එසේම පසුගිය රජය මගින් ඍජු විදෙස් ආයෝජන සංඛ්‍යාත්මක වැඩි ප්‍රමාණයක් අත්සන් කළ බවට කබ්රාල් මහතා කළ ප්‍රකාශය සමඟ එකඟ වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසුවේ වත්මන් රජය ඉදිරියේ දී සැලකිය යුතු ව්‍යාපෘති ගණනාවක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බවය.

- ඩේලි එෆ්.ටී

රජය කැළඹූ  අල්ලස් චෝදනාව

පසුගිය රජයේ හොරු අල්ලන්නට පැමිණි යහපාලන ආණ්ඩුවට දැන් සිදුවී ඇත්තේ තමන්ගේ පැත්තේ හොරැන් ඇල්ලීමට බව පසුගිය බ්‍රහස්පතින්දා (03) පස්වරුවේ වූ සිද්ධියකින් පැහැදිලි විය. රුපියල් මිලියන 540ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබාගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන දෙදෙනා කොළඹ ටාජ් සමූද්‍රා හෝටලයේ රථ ගාලේදී අත්අඩංගුවට පත්වීම මේ සිද්ධිය විය.

ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැගිලි පවරාදීම සඳහා අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් එම මුදල් ඉල්ලා සිටි බවට අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත මේ වැටලීම සිදුවී තිබිණි. එම්.ජී. ෂුගර් සමාගමේ ප්‍රධානී කොටහා රාලහල්ලි කොඩි ඩප්පියා නඩරාජා නමැති ඉන්දීය ජාතිකයා මේ පැමිණිල්ල කර ඇතැයි සඳහන් වේ. සැකකරුවන් දෙදෙනා ලබන 09 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

ආචාර්ය අයි.එච්.කේ. මහානාම මීට පෙර ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  ලේකම් වශයෙන් ද පී. දිසානායක හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයකු වශයෙන් ද කටයුතු කර තිබේ.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා බලධාරීන්ට දන්වා ඇතැයි ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සැකකාර නිලධාරීන් දෙදෙනාගේ සේවය වහාම අත්හිටුවන ලෙසට ද ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ. එසේම ජනාධිතිපරයා තවදුරටත් කියාඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරණ රජයේ නිලධාරීන්ට සිය රාජකාරි ඉටුකිරීමට වත්මන් රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාති පසුබිමක පිළිබඳව සතුටු වන බවය.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00