2018 මැයි 05 වන සෙනසුරාදා

අර්බුද ඉලාස්ටික්වීම

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

මේ රටේ විධායක ජනාධිපතිවරු මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමඟ හය දෙනෙකි. මුලින්ම මේ ධුරය දැරූ ජේ.ආර්., ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග තුන්දෙනා හැර සෙසු තිදෙනාම බලයට පත් වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමිනි. චන්ද්‍රිකාට එය ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව විය. වසරක් ඇතුළත එය අහෝසි කරන බවට ලිඛිත පොරොන්දුවක්ද තිබිණි. නමුත් ඇය බලයේ සිටි ධුර කාල දෙකම ගෙව්වේ එම බහුබූත ව්‍යවස්ථාව අත තබා ගනිමිනි.

ඉන්පසුව මහින්ද බලයට එන්නේද මේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් ඒ සමඟ යුද්ධය අවසන් කරන බවට වූ පොරොන්දුවක් විය. මහින්ද වඩාත් උනන්දු වී යුද්ධය ඉවර කිරීමට මුල් තැනක් දෙන විට රටේ ජනතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඉල්ලුවේ නැත. යුද්ධය නිම කිරීමට ජනාධිපති තනතුරේ විධායක බලතල අවශ්‍ය බවට අදහසක් ජනතාව තුළද පැවැතීම ඊට හේතුවන්නට ඇත. හැබැයි මහින්ද යුද්ධය දිනුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන හිතුවේවත් නැත. ඒ වෙනුවට 18 වැනි සංශෝධනය ගෙනැවිත් විධායක බලතල තව තවත් වැඩිකර ගත්තේය. එම ව්‍යවස්ථාව තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රුක දී තිබූ ප්‍රධානම වගන්තිය වන දෙවරක් ජනාධිපති ධුරය දැරූ තැනැත්තකුට යළිත් වරක් ජනාධිපති ධුරය සඳහා තරග වැදිය නොහැකිය යන වගන්තිය ඉවත් කෙරුණේ 18 වැනි සංශෝධනයෙනි. කොටින්ම එම සංශෝධනය හරහා සිදුකෙරැණේ එවකට බලයේ සිටි මහින්දට කැමැති තරම් කාලයක් බලයේ රැඳීමට ඉඩ ලබාදීමය. නමුත් රටේ ජනතාව ඊට අකැමැත්ත පළකළේ මහින්ද 3 වැනි වරට ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේදීය.

ඊළඟට බලයට එන වත්මන් ජනාධිපති ධුරය උසුලන මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ ප්‍රථම කතාවේදීම සඳහන් කළේ තමන් මේ ධුරය දරන්නේ එක් වාරයක් පමණක් බවය. එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත් ඊට පෙර එම ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ති කිහිපයක් ඉවත් කරන බවත් ඔහු පැවැසුවේය. එම වගන්ති කිහිපය ඉවත් කෙරුණත් තවමත් විධායක ජනාධිපති ක්‍රමය එසේමය. එයට අත තැබීමට සූදානමක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට දැන් ශ්‍රීලනිප ලේකම්වරයාගෙන් ඇසෙන්නේ 2020දීත් ජනාධිපතිවරණයක් එන බවත් එහිදී තමන්ගේ අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවත්ය. එම කතාව මීට පෙර අවස්ථා ගණනාවකදී ප්‍රකාශ වුණත් ජනාධිපතිවරයා එහෙම නොවේ යැයි කිසිම අවස්ථාවක ප්‍රකාශ කළේ නැත. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාත් සූදානම් නැති බවද? එය එසේ යැයි කීමට ඕනෑ කෙනකුට ඉඩකඩ තිබේ.

එහෙම වුණත් විධායක ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දුන් යූ.එන්.පී.යට නම් දැන් එම ක්‍රමය තිත්ත වෙමින් පවතින බව බැලූ බැල්මට පෙනේ. ජනාධිපතිවරුන් වශයෙන් යූ.එන්.පී. තිදෙනකු කටයුතු කළත් ජනාධිපතිවරණයකින් ජය ලබා ජනපතිකම් කළේ ජේ.ආර්. සහ ප්‍රේමදාස දෙදෙනා පමණි. විජේතුංග ජනපති පදවියේ දිව්රැම් දුන්නේ ප්‍රේමදාස මහතාගේ හදිසි වියෝවෙන් ඇතිවූ පුරප්පාඩුවටය. මේ අනුව සැබෑ ලෙසම යූ.එන්.පී. ජනපතිවරැන් සිටින්නේ දෙදෙනකු පමණි. වත්මන් ජනපතිවරයා යූ.එන්.පී. බහුතර ඡන්දයකින් තෝරා පත්කරගනු ලැබුවත් ඔහු ශ්‍රීලනිපයේ නායකයාය. මේ තත්ත්වය යටතේ විධායක ජනාධිපති ක්‍රමය යූ.එන්.පී.යට අරහං වීම සාධාරණ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ජවිපෙ ගෙන එන 20 වැනි සංශෝධනයට යූ.එන්.පී.ය පිටුපසින් සිටිමින් සහාය දක්වන බවට දේශපාලන කරළිය තුළ පවතින කතාබහට පසුබිම හැදුණේ ඒ අනුව වීමට හොඳමට ඉඩ තිබේ.

20 වැනි සංශෝධනයෙන් කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවය. එසේ කර යළිත් පාර්ලිමේන්තුව මූලික පාලනයට යා යුතු බවය. මෙය ජවිපෙ මුල සිටම දැරූ ස්ථාවරය විය. ඔවුන් දිගටම පෙනී සිටියේ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන අදහස වෙනුවෙනි. ඔවුන් මේ ඉල්ලීම මුලින්ම චන්ද්‍රිකාට ඉදිරිපත් කොට ගිවිසුමකටද ගියත් එය ඉටුවුණේ නැත. මහින්ද සමඟද පොරොන්දුවක් තිබිණි. එයද කඩවිය. මෛත්‍රීපාල සිරිසේන මහතාට වේදිකාවට පිටින් සිටිමින් සහාය දැක්වූ ජවිපෙ දිගටම කියා සිටියේ ජනාධිපති පාලනය අවසන් කළ යුතුය කියාය. වසර තුනක් ගතවුණායින් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන යෝජනාව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් ගෙන ඒමට ජවිපෙ ඉදිරිපත් වීම දෛවයේ සරදමක් තරමට කෙනකුට පෙනී යා හැකිය. ඊට යූ.එන්.පී සහාය අනියමින් හෝ ලැබීම එම සරදම දෙගුණ වීමකි.

ජවිපෙ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ රටේ හැමදාම තිබූ ඉල්ලීමක් බවය. ඒ කාලයේ එම ඉල්ලීම හොඳ වීමත් දැන් නරක් වීමත් දේශපාලන හේතුන් මත සිදුවන දෙයක් බව ජවිපෙ අදහසය. පසුගිය අඟහරුවාදා (02) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා තිබුණේ මෙම යෝජනාව ඇතුළත් කෙටුම්පත පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජිත හේරත් ප්‍රකාශ කර තිබුණේ විධායකය අහෝසි කළ යුතු බවට එජාපය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවය. මෛත්‍රීපාල සිරිසේන මහතාද එසේ කරන බවට පොරොන්දු වී ඇති බවත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශ්වය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින ශ්‍රීලනිප පාක්ෂිකයන් තුළද මේ සම්බන්ධව විරෝධයක් නැති බවත්ය. මේ පනත සම්මත කරගැනීම ඒ නිසා ගැටලුවක් නැති බවද ඒ මහතා කියයි.

කෙසේ වුවද විමල් වීරවංශගේ පක්ෂය ප්‍රකාශ කර තිබුණේ පුස්කමින් තිබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැවත ගෙන ආවේ අගමැතිට බලය හදාදීම සඳහා බවය. ඒ ගැන විමසූ විට විජිත හේරත් කියා තිබුණේ මේ ව්‍යවස්ථාව ගැන එතුමාට එතරම් අවබෝධයක් නැතැයි කියාය. එසේ වුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව විමල්ලාගේ පක්ෂය දැඩි ලෙස ක්‍රියාත්මක වන බව පෙනී යයි. එය තමන්ගේ පක්ෂයේ අනන්‍යතාව රැකගැනීම සඳහා සිදුකරන සටනක්ද නැත්නම් සැබෑවටම රට මරඋගුලකින් බේරාගැනීම සඳහා වන සටනක්ද යන්න තවම පැහැදිලි නැත. 

දේශපාලන පක්ෂවල අදහස කෙසේ වුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව මහ සඟරැවන දක්වන විරෝධය නම් ඉතා ප්‍රබල බව පෙනෙන්නට තිබේ. මල්වතු - අස්ගිරි මහ නාහිමිවරැන් බැහැදැකීමට මහනුවර ගිය ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම හමුවේ එම මාහිමිවරැන් දෙදෙනාම ප්‍රකාශ කර තිබුණේ තමන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට දැඩිලෙස විරැද්ධ බවය. මේ අතර බ්‍රහස්පතින්දා (03) කොළඹදී රුස්වූ ජාතික මහා සංඝ නියෝජිත සමුළුව ජනපති සහ අගමැති ඇතුළු රජයෙන් ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම වහාම නවත්වන ලෙසය. එය සංඝ ආඥාවක් සේ සැලකිය යුතු බවද උන්වහන්සේලා පැවැසූහ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව උන්වහන්සේලා ප්‍රකාශ කරති. එම යෝජනාව ගෙන ඒමට උත්සාහ දැරීමෙන් ජවිපෙ නායකයා කරන්නේ මුළු මහත් රටත් ජාතියත් පාවාදීමක් බවද උන්වහන්සේලා එහිදී කියා සිටියහ.

20 වැනි සංශෝධනය රට තුළ ඉදිරියේදී ඉතා මතභේදකාරී මාතෘකාවක් බවට පත්වනු ඇති බව මේ ප්‍රකාශවලින් පෙනීයයි. දකුණේත් උතුරේත් දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනකු හැර වැඩිදෙනකු තවම මේ ගැන ඍජු අදහසක් ප්‍රකාශ කර නැත. මහින්ද කියා තිබුණේ මෙම සංශෝධනය රැගත් කෙටුම්පත දකින තුරු ඒ ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටීම සුදුසු බවය. කෙසේ නමුත් විමල්, උදය සහ දිනේෂ් ඒකාබද්දය තුළ සිටිමින් ඊට එරෙහිව දැඩි මතයක් ගොඩනංවමින් සිටිති. මහා සංඝරත්නයේ අදහස දේශපාලන නායකයන්ගේ අදහසුත් එකිනෙක ගැටෙයිද නැතහොත් එක්ව යනු ඇතැයිද ඉදිරි කාලය තුළදී බලාගත හැකිවනු ඇත. මේ ගැන උතුරේ දේශපාලන නායකයන්ගේ අදහස හැටියට පෙනෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගැනීම සුදුසු බවකි. එහෙත් කෙටුම්පත මැතිසබයට එනතුරු ඔවුන්ද ඒ ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවක්ද පෙනීයයි. කෙසේ වුවද කෙටුම්පත සකස් කිරීම අවසන් වී ඇති බවත් එය ලබන සතියේදී පමණ මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් දැනගන්නට තිබේ.

මේ අතර කැබිනට් සංශෝධනයට පසුවද ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන යූ.එන්.පීය සහ ශ්‍රීලනිපය තුළ දිගින් දිගටම අර්බුද පවතින බව පෙනෙන්නට තිබේ. ශ්‍රීලනිපය ඇතුළේ පමණක් නොව ඒකාබද්ධය ඇතුළේද ගැටුම් ඇතිවෙමින් තිබේ. සාමාන්‍යයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක් තුළ පරාජය වීමෙන් පසුව ගැටලු හටගැනීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් සමහර අවස්ථාවලදී ජයග්‍රහණ ලබා තිබියදීත් ගැටුම් හටගැනීම් දැකගත හැකිය. ඒකාබද්ද විපක්ෂයට අද සිදුවෙමින් තිබෙන්නේ එම තත්ත්වය බව පෙනෙන්නට තිබේ.

ජයග්‍රහණයට පියවරුන් බහුලවීම එයට එක් හේතුවක් විය හැකිය. ඒකාබද්ධ විපක්ෂයත් පොදුජන පක්ෂයත් දේශපාලන බලවේග වශයෙන් එකක් වුවද මේ පාර්ශ්ව දෙක තුළ අදහස් සමපාත නොවන පිරිස් සිටීම බලාපොරොත්තු විය යුතුය. මීළඟට තිබෙන ප්‍රධාන ජාතික මැතිවරණය වන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ඒකාබද්දයේ එකම  තේරීම ගෝඨාභය වුවත් ඒකාබද්දය සහ පොදුජන පෙරමුණ එක්ව ගත් කල එම තේරීම පොදු තේරීම නොවිය හැකි බව සමහරැන්ගේ මතය වී තිබේ. මේ ප්‍රවණතා ගැන මහින්දත් විමසිල්ලෙන් සිටින බව නිසැකය. සමහර විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද දැඩිලෙස විරෝධයක් නොදැක්වීමද මේ බල අරගලයේම කොටසක් විය හැකිය. එසේ වුවත් බලයේ සිටින පාර්ශ්ව දෙකේ මෙන් නොව ඒකාබද්දයේ ඇතුළේ ගැටලු එළියට එන්නේ යාන්තමට බවද පැහැදිලිය.

ශ්‍රීලනිපය හෙට (07) පවත්වන මැයි රැළියෙන් පසුව පක්ෂය තුළ සිදුවන කතාබහ බෙහෙවින් තීරණාත්මක වනු ඇත. කැබිනට් සංශෝධනය සියලු රෝගවලට ප්‍රතිකාරයක් නොවන බව ශ්‍රීලනිප නායකත්වය දැනුත් තේරුම් නොගන්නවා නම් එහි ප්‍රතිවිපාක බරපතළ වීම නොවැළැක්විය හැකිවනු ඇත. යූ.එන්.පීය තුළින්ද ඇසෙන්නේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පක්ෂයේ ප්‍රශ්න සියල්ල විසඳීමට අසමත්ව ඇති බවය. වෙනදා මෙන් නොව යූ.එන්.පීයේ පවතින්නේ ගැටලු දිගින් දිගටම ඇදීයන තත්ත්වයකි. එය කෙළවර වනු ඇත්තේ කොතැනින්දැයි තාම කිසිවකුටත් කියන්න බැරිය. ඕනෑම රටක ආණ්ඩුවක් ඇතුළේ තිබෙන පක්ෂවල අර්බුද දිග්ගැසීමෙන් නිසැකවම වාසිය ලැබෙන්නේ විපක්ෂයටය. ලංකාවේ නම් විපක්ෂයට නොව ඒකාබද්ධ විපක්ෂයටය.

 ශෂීන්ද්‍ර