2017 ජනවාරි 21 වන සෙනසුරාදා

මගේ වාහන පර්මිට්ක දෙකම දුන්නෙ දායකෙයා දෙන්නෙකුට

2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 03:00306

 

පහුගිය සතියේ රටේ මාතෘකාව වුණේ ඔබවහන්සේ. මොකද්ද මේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න ගත්ත තීරණය..?

මේ තීරණය මම අරගෙන දැන් අවුරුද්දකටත් වැඩියි. රටට ප්‍රකාශ කළේ නැති වුණාට මම වැඩ කළේ කිසිම පක්ෂයකට නැති ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට.

ඔබවහන්සේ වරෙක ප්‍රකාශ කරනවා ඔබ ද මූලික වෙලා බිහිකළ යහපාලන ආණ්ඩුවෙන් දැන් එළියට ඇවිල්ලා ඉන්නවා, මම ස්වාධීනයි කියලා. ඒ එක්කම ඔබවහන්සේ ප්‍රකාශ කරනවා වර්තමාන යහපාලනය රජය ගමන් ගන්නා මාර්ගය පිළිබඳ ගැටලුවකුත් නෑ කියලා. මොකද්ද මේ කතා දෙක..?

නෑනේ. මම ආණ්ඩුවේ කටයුතු බරපතළ ලෙස විවේචනය කරනවා. ඒත් මම ආණ්ඩුවෙන් එළියට ආවේ නෑ. මම කිව්වේ මම ස්වාධීනව කටයුතු කරනවා කියලා පමණයි.

ඒ කියන්නේ ඔබවහන්සේ තවදුරටත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්. තවදුරටත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නවා..?

ඔව්. මම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හැටියට තවදුරටත් කටයුතු කරනවා. ඒ වගේම මම ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නවා. මම ඒක බොහොම පැහැදිලිව මාධ්‍යවලට කිව්වා.

හැබැයි ඔබවහන්සේ පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව රටේ මාධ්‍ය හරහා ජනතාවට සන්නිවේදනය වුණේ නම් ඔබ ආණ්ඩුවෙන් ස්වාධීනව ඉදිරියේදී කටයුතු කරනවා කියලායි..?

ඉතින් ඒකට මම මොනවද කරන්නේ රටේ මාධ්‍ය තේරුම් ගන්න විදියට. මම මාධ්‍ය සාකච්ඡාවෙදි පැහැදිලිව කිව්වා මේක. මේකට විශාල ප්‍රචාරයක් ලැබුණා. 

එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් ඇවිල්ලා ඔබවහන්සේට ඔය කියන ආකාරයට ස්වාධීනවයි කියලා තීරණයක් ගන්න පුළුවන් ද..?

අපේ ඒ අයිතිය තියාගෙන තමයි අපි ස්වාධීන ගිවිසුමකින්, එකඟතාවයකින් පාර්ලිමේන්තුවට ගියේ.

ගිවිසුමක් කිව්වේ..?

අපි එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවානේ. ඒ ගිවිසුම අනුව අපේ අදහස් පළකරන්න තියෙන අයිතිය නැති කරන්න බැහැ.

ඔබවහන්සේට එක්සත් ජාතික පෙරමුණෙන් ලබාදීපු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඔය ගිවිසුමේ එක කාරණයක් ද..?

අපි එක්සත් ජාතික පෙරමුණට ගිහින් තියෙන්නේ අපේ අදහස් පළකිරීමේ අයිතිය නැතිකරගෙන නෙවෙයි.

රටේ දේශපාලන විචාරකයෝ පවසන කාරණයක් තමයි මෙරට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දවලින් තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර නිර්මාණය වෙලා තියෙන්නේ. ඉන් එකක් තමයි ඔබවහන්‍්සේට ලැබුණේ. ඒ කියන්නේ වක්‍රව ඔබවහන්සේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය යන්න..?

ඒක තමයි මම කිව්වේ. අයවැයේදි මට ඒ ගැන විවේචන තිබුණත් මම ආණ්ඩුවට ඡන්දය දීලා තියෙනවා. ඒ සාමූහික වගකීම ඇතුළේ මමත් එහෙම කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුණේ කොහොමද කියලා මේ මුළු රටම දන්නවා. එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ එකේ මටත් අයිතියක් තියෙනවා.

දැන් ඔය කියන දේවල් අහගෙන හිටියාම වැටහෙන දේ තමයි ඔබවහන්සේ ඔය කියන ආකාරයේ කිසිම ස්වාධීන බවක් නෑනේ. ඔබවහන්සේ ආණ්ඩු වෙනුවෙන් පෙනී ඉන්න ගමන් අදහස් ප්‍රකාශ කරන්න විතරක් ස්වාධීන වෙනවලු..?

ඔබේ දේශපාලන දැනුම ගැන මට කරන්න දෙයක් නෑ.

හරි ඔය කියන ස්වාධීන අදහස් දැක්වීමට ඔබ වහන්සේට මේ මාධ්‍ය සාකච්ඡාවට කලින් කාගෙන් හරි බලපෑමක් තිබුණා ද..?

නෑ.නෑ. එහෙම කාගෙන්වත් බලපෑමක් තිබුණේ නෑ. නමුත් ඒක කරන්න ඕන වෙලාවක් තියෙනවානේ.

බලපෑමකුත් තිබුණේ නැත්තම් මොකද්ද මේ ස්වාධීන වෙනවා කියන්නේ..?

ඔයා හොඳ මාධ්‍යවේදියෙක්නේ. මම මේ සිංහලෙන් කියන එක තේරෙනවානේ. මම මගේ අදහස් දක්වන්න යම් හේතුවක් තියෙනවා. අඩුපාඩු තිබුණු පලියටම ආණ්ඩුවක් විවේචනය කරන්න ඕන නෑ. යම් කිසි අවස්ථාවක් එළඹෙනවා ඒකට. ඒ අවස්ථාව එළැඹුණාම මම මගේ අදහස කිව්වා.

පහුගිය කාලේ ඔබවහන්සේ ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නැති නිසා මේ තීරණය ඔබවහන්සේ ගත්තා කියලා කතාවක් තියෙනවා. ඇත්තද..?

නෑ. ආණ්ඩුව දැන් කරගෙන යන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සමාජය හිතනවා අපි ගොළුවෝ වගේ නිහඬව ඉන්නවා කියන එක. ඒ නිසා මට අවශ්‍ය කළා අපේ අදහස සමාජගත කිරීම. එතකොට ඒ පිළිබඳ සමාජයේ සංවාදයක් ඇතිවෙනවා. මට අවශ්‍ය කළේ මේ සංවාදය ඇති කරන්න. මම හිතනවා ඒක හුඟක් සාර්ථක වුණා කියලා.

එතකොට ඔබවහන්සේ උත්සාහ කළේ මේ ආණ්ඩුව ජනතාව හමුවේ යම් කලකිරීමක සිටිනවා කියන පණිවුඩය දෙන්නද..?

කලකිරීමකට වඩා මෙතන වුණේ මගේ අදහස් පළකිරීම. මම විවේචන එල්ල කළේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන්. මෙතන මහ ලොකු දේවල් වුණේ නෑ. මම ගිය ආණ්ඩුව කාලේ ඒ ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව ගෙනාපු කැසිනෝ පනතට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ මගේ ස්වාධීනත්වය.

ඇත්තටම එහෙනම් මේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ලොකුවට කිව්වාට ඔබවහන්සේ ඊට පෙර සිටම ස්වාධීනයි..?

ඇත්තටම. මෙතන මහ අමුතු දෙයක් වුණේ නෑ.

එහෙනම් මොකටද මේ මාධ්‍ය සාකච්ඡාවේදි ඔය කතාව කිව්වේ ආයෙත් අලුතින්..?

මාධ්‍ය සාකච්ඡාවේදි අතුරු ප්‍රශ්නයක් ඇහුවාම මම උත්තර දෙන්න එපායැ. මම මාධ්‍ය සාකච්ඡාවේදි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය දුර්වලතා ගැන කතා කරද්දි මගෙන් ඇහුවා මේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අදහසද, ජාතික හෙළ උරැමයේ අදහසද කියලා. එතෙන්දි මම කිව්වා, නෑ මේක මගේ ස්වාධීන අදහස කියලා.

දැන් ඇත්තටම ඔය මහා ලොකුවට උලුප්පා දැක්වූ මාධ්‍ය සාකච්ඡාව ඔබවහන්සේ තිබ්බේ කිසිම වෙනසකට භාජනය වෙලා නෙවෙයි ද..?

නෑ. කිසිම වෙනසකට භාජනය වෙලා නෑ. මම මගේ අදහස කිව්වා විතරයි.

එතකොට ලංකාවේ මාධ්‍ය තමයි මේ නැති ස්වාධීන වීමක් මවලා පෙන්නුවේ..?

මම මගේ අදහස කිව්වා. මාධ්‍ය ඒක පළකළා. එකේ තියෙන වරද මොකද්ද?

ඇත්තටම මාධ්‍යවලින් කිව්ව තරම් දෙයක් ඔබවහන්සේගේ මතයේ වෙලා නෑ වගේ..?

ඒක ඔබ තීරණය කරන්න ඕන. මාධ්‍ය සාකච්ඡාව සම්පූර්ණයෙන් අහලා ඔබයි තීරණය කරන්න ඕන මොනවා හරි වුණාද නැද්ද කියන එක.

ඔබවහන්සේ දැනට ජනාධිපති උපදේශක තනතුරක් දරනවා. මේ තනතුරටත් ඉදිරියේදි වෙනසක් වෙන එකක් නැද්ද..?

මගේ කිසිම තනතුරක කිසිම ප්‍රශ්නයක් නෑ. මම පළකළ අදහස් කිසිම සංවිධානයක හෝ පක්ෂයකට නැති මගේ ස්වාධීන අදහස් වීම පමණයි සිද්ධ වුණේ. ජනාධිපතිවරයාගේ වසවිසෙන් තොර ගොවිතැන පිළිබඳ උපදේශක තනතුර මම දිගටම කරගෙන යනවා.

ජාතික හෙළඋරුමයේ හිටපු නායක ඕමල්පේ සෝභිත හිමියන් පහුගිය සතියේ කියලා තිබුණා ඔබ ඔය කියන විධියට ස්වාධීන වෙනවා නම් ඔබේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙනුත් ඉවත් වෙන්න ඕන කියලා..?

ඒක උන්වහන්සේගේ අදහස. මම මගේ කණ්ඩායමක් ඉන්නවා. මම ඔවුන් සමඟ සාකච්ඡා කරනවා ඉදිරියේදි ආණ්ඩුවට වැඩි බලපෑමක් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉඳලද නැත්තම් අයින් වෙලාද කියලා. මමත් එක්ක වැඩ කරන පිරිසක් ඉන්නවානේ. ඒ අය සමඟ මම බලන්න ඕන වැඩියෙන් වාසි කෝකද. වාසි දේ බලලා ඒ විද්වත් පිරිස සමඟ මම තීරණයක් ගන්නවා.

මේ වෙද්දි ඔබවහන්සේ වසර දෙකකට අදාළව ඔබේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ලැබෙන වරප්‍රසාදයක් වූ බදු රහිත වාහන බලපත්‍රය ලබාගෙන තිබෙනවා...?

ඔව්. මම බලපත්‍ර දෙකක් අවුරුදු දෙකට ගත්තා. ඒකෙන් මුලින් ලැබුණු බලපත්‍රය දීලා ඒ සල්ලි පොදු කටයුතුවලට යොදවලා තියෙනවා.

කාටද දුන්නේ වාහන බලපත්‍ර..?

මම මගේ දායකයකුට වාහන බලපත්‍රය දීලා තියෙනවා. මේ පන්සලේ ඉදිකිරීමට දායක වූ දායකයෙකුට තමයි බලපත්‍රය දුන්නේ. ඒ දායකයා ඕනෑම වෙලාවක මට වාහනය ලබාදෙන්න සූදානම්.

2016 වසරට දෙවනුව ලැබුණු වාහන බලපත්‍රයත් ඔබ වහන්සේ බාහිර පාර්ශවයට ලබාදුන්නාද.... මුදල් ලබාගත්තා ද..?

අපි වෙනුවෙන් කැපවෙන, අපි වෙනුවෙන් වියදම් කරන දායකයකුට ඒ බලපත්‍රය ලබාදුන්නා. මමත් ජීවත්වෙනකොට මටත් උදව් කරනවානේ මිනිස්සු. මේ පන්සල් හදන්න මූලික වුණ මිනිස්සු ඉන්නවා. මම ඔවුන්ට ඒක දීලා තියෙනවා. නමුත් මම ඒකට කිසිදු මුදලක් ලබාගත්තේ නෑ.

ජනතා මනාපයෙන් පාර්ලිමේන්තු යන ජනතා නියෝජිතයෝ කියන පිරිසට ලැබෙන මේ වාහන තීරුබදු රහිතව මිලදී ගැනීමේ බලපත්‍රය බාහිර පාර්ශවයකට විකිණීමට එරෙහිව රටේ ජනමතයක් ඇති වුණා. ඔබවහන්සේ ඒ පිළිබඳ දරන්නේ කොයිවගේ මතයක් ද..?

එහෙම වාහන බලපත්‍රය දෙන්නේ නෑ කියලා රටේ සම්ප්‍රදායක් තියෙනවා නම් ඒකේ කිසි ගැටලුවක් නෑ. මට ලැබුණු බලපත්‍රයෙන් ගත් වාහනය මට ගෙනැවිල්ලා පාවිච්චි කරන්න පුළුවන්.

රටේ ග්ලයිෆොසේට්වලට එරෙහිව, වසවිසෙන් තොර ගොවිතැන කියන සංකල්පය වෙනුවෙන් ඔබවහන්සේ දැඩිව පෙනී සිටිනවා. නමුත් මේ වෙද්දි රටේ තේ, රබර් නිෂ්පාදකයන් දැඩිව ප්‍රකාශ කරනවා මේ කියන වල්නාශක මේ විදියට තහනම් කළොත් අනාගතයේ රටේ ප්‍රධාන වැවිලි භෝග නැතිවෙලාම යාවි කියලා..?

මෙහෙමයි. තේ වගාවේ මහා පරිමාණ තේ වතු හිමියන් තමයි ඔය ඉල්ලීම කරන්නේ. රබර් වගාවට ඇත්තටම වල් නාශක වැඩක් නෑ. රබර් වගාව යට වල්ගස් තිබුණා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.

තේ වගාව වුණත් රටේ ආර්ථිකයට තීරණාත්මකයි නේද..?

මම නෑ කියන්නේ නෑ. හැබැයි තේ පඳුරැ හොඳින් රැකබලාගෙන සාරවත් ලෙස පඳුරු ගැහුවාට පස්සේ ඒ යට වල් හැදෙන්නේ නෑ. ඒ වගේම රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් ඔය ග්ලයිෆෝසේට් ඉල්ලන මහා පරිමාණ වතුවලින් සපිරෙන්නේ 25%යි. සුළු පරිමාණ වතුවලින් මේක 60%ක් දක්වා සැපිරෙනවා. නමුත් ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව 75%ක්. පළවෙනි ප්‍රශ්නය, 25%ක් වූ නිෂ්පාදනයක් වෙනුවෙන් මේ ග්ලයිෆෝසේට් අපි ගහන්න ඕනෑද. දෙවැනි එක තමයි ග්ලයිෆෝසේට් නොගහා මේකට උත්තර හොයාගන්න බැරිද. මොකද පහුගිය කාලේ රටේ තේ නිෂ්පාදනය අඩුවුණේ නියඟය නිසා.

ග්ලයිෆෝසේට් තුළ සිද්ධවෙන හානිය නිවැරදිව රටේ ජනතාව කරා රුගෙන යන්න ඔබ වහන්සේ ඇතුළු පිවිතුරු හෙටක් සංවිධානයට හැකිවුණාද..?

අපි තවදුරටත් ඒ කාර්යය සිද්ධ කරනවා. ඔබ බොන්නෙත් කැලණි ගඟේ වතුර, මම බොන්නෙත් කැලණි ගඟේ වතුර. අපි ඉන්නේ කොළඹ වුණාට උඩ කඳුකරය මේ වසවිසෙන් පිරෙව්වාට පස්සේ එහි සිට එන ගංඟාධාරා හරහා මේ වස අපේ සිරුරට ඇතුළු වෙනවා. අපි තේ නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන එක හමාරක් විතර ලබාගන්නවා. ඒ වෙනුවෙන් අපි අපේ මධ්‍යම කඳුකරය විනාශ කරන්න ඕනෑද.

මෛත්‍රී පාලනයක් ගෙන එන්න, යහපාලනය බිහිකරන්න ඔබ වහන්සේ රටේ ජනතාවට ඇප වුණා. පැවති ආණ්ඩුවේ වැරදි නොකරන බවට සහතික වුණා. නමුත් දැන් ඔබ වහන්සේම මාධ්‍ය හමු පවත්වමින් රජයට බණිනවා. එතකොට අර දුන්න ඇපය ඉවරද..?

නෑ. ඒ ඇපය අවසන් නෑ. ඒ ඇපය තියෙන නිසා තමයි ආණ්ඩුවක් හදලා පැත්තකට වෙන්නේ නැතුව මේ ආණ්ඩුවට යන පාර කියමින් මේ මග පෙන්වන්නේ.

මේ ආණ්ඩුව එක්ක මේක බැරිනම් ඉදිරියේදි ආණ්ඩුව පෙරළාවිද ඉස්සෙල්ලා රාජපක්ෂ ආණ්ඩුවට කළා වගේ.?

මේ ආණ්ඩුව පෙරළන්න අපිට අවශ්‍ය නෑ .මේ ආණ්ඩුව කවුද පෙරළන්නේ. මේක පෙරළන්න බෑ. මේක ඉදිරි අවුරුදු තුනෙත් පවතිනවා.

ඔබවහන්සේ පවසලා තියෙනවා ඉදිරි අවුරුදු තුනේද ආණ්ඩුවෙන් එළියේ ඉඳගෙන ආණ්ඩුවට පාර කියනවා කියලා..?

නෑ. ආණ්ඩුවෙන් එළියේ ඉඳගෙන කියලා මම කොහේවත් කියලා නෑ. ආණ්ඩුවේ ඉඳගෙන තමයි අපි ප්‍රවීනයන්ගේ එකමුතුවක් හරහා ආණ්ඩුවට මඟපෙන්වන්නේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ කියන මතයේ ඔබ වහන්සේ ඉන්නවාද..?

78 විධායක ජනාධිපති ක්‍රමය ඇතිකළ දවසේ ඉඳන්ම කථිකාවක් තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ කියලා. හැබැයි මේ සමස්ත ව්‍යවස්ථාව වෙනස් කිරීමේ තාක්ෂණික ප්‍රශ්න ටිකක් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් අපිට ප්‍රතිපත්ති දෙකකට එළඹෙන්න පුළුවන්. එකක් තමයි ඒක විධිමත්ව සංශෝධනය කිරීම. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මන්ත්‍රී කැමැත්තෙන් අපිට ඒක සංශෝධනය කරන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි විධායක ජනාධිපතික්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම.

ඔය දෙකෙන් ඔබ වහන්සේ ඉන්නේ කොතැනද..?

ඊට කලින් බලන්න මේ ආණ්ඩුව දිහා. මේ ආණ්ඩුවේ කිසිම පක්ෂයකට බලයක් නෑ. යූ.ඇන්.පී. එකට බලයකුත් නෑ, ශ්‍රී ලංකා එකට බලය පිහිටුවන්න 113ක් නෑනේ. ඒත් විධායක ජනාධිපතිවරයෙක් ඉන්න නිසා මේ ආණ්ඩුව අල්ලගෙන ඉන්නවා. විධායක ජනාධිපතිවරයෙක් නොහිටියා නම් වෙන්නේ රට සම්පූර්ණයෙන් අස්ථාවර වෙනවා.

ඔබ වහන්සේ මේ නොකියා කියන්නට ලැහැස්තිවෙන්නේ විධායක ජනාධිපතිධූරය අවශ්‍යයි කියන එකද..?

කලබල නැතිව ඉන්න. මම පැහැදිලි කරලා ඉවරවෙනකම්. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරලා අපි රට අස්ථාවර කරගන්නවාද. මෙතෙන්දි රටේ දැනට පවතින මැතිවරණ ක්‍රමය ඉතාම වැදගත් වෙනවා. ඉස්සර තිබුණේ කේවල ඡන්ද ක්‍රමයක්. ඒ යටතේ දිනන පක්ෂය දිනනවා. පරිදින කෙනා පරදිනවා. දැන් තියෙන්නේ සමානුපාත ඡන්ද ක්‍රමයක්. ඒ යටතේ තනි පක්ෂයකට රටේ බලය ලැබෙන්නේ නෑ. අපිට නැවතත් සම්පූර්ණයෙන් කේවල ක්‍රමයකට යන්න පුළුවන් නම් විධායකය අහෝසි කළාට කමක් නෑ.

හැබැයි එදා සෝභිත හිමියන් මැතිවරණයට පෙර කළ ප්‍රධානම ප්‍රකාශය වුණේ විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි කියලා..?

ඔව්. සෝභිත හිමි පාර්ශවයෙන් ආවේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ඕනෑ කියලා. හැබැයි ඊට පස්සේ අපි මේ ගැන පුළුල් ලෙස සාකච්ඡා කළා. අපිට නැවතත් පැරැණි ඡන්ද ක්‍රමයට යන්න බැරි නිසා විධායක ජනාධිපතිධූරය අහෝසි නොකර ඒකේ තියෙන නරක ලක්ෂණ පමණක් ඉවත් කරන්න තීරණය කළා.

හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයට පෙර රටට කිව්වේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියලායි රටවැසියන් හිතාගෙන ඉන්නෙ..?

නෑනේ. සංශෝධනයක් තමයි. ඒක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව ලියලා තියෙනවා. එතෙන්දි ජනාධිපතිවරයා කිව්වේ විධායකය අහෝසි කරන්න කියලා මතයක් තිබෙනවා. ඒ වගේම ඒක සංශෝධනය කරන්න කියලා මතයක් තියෙනවා. මේ දෙකම සැලකිල්ලට අරගෙන ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධයක් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරනවා කියලා එතුමා කිව්වා.

එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරියේදි ගෙන එන්නට සූදනම් වෙනවා. මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය නම් එතරම් කැමැත්තක් නෑ වගේ. ඔබවහන්සේ ඉන්නේ මේ සම්බන්ධව මොනවගේ මතයක ද..?

ඕනෑම රජයකට එහෙම සංශෝධන ගේන්න පුළුවන්. ඒකේ වැරුද්දක් නෑ. හැබැයි ඒවා සම්මත කරන්න කලින් අපි බලන්න ඕන මොකටද මේක ගේන්නේ කියලා. මේ ගේන්න හදන ව්‍යවස්ථාවේ රටේ ඒකීය භාවය අහෝසි කරවන යෝජනා තියෙනවා. ඇයි එහෙම කරන්නේ. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තරයක් හැටියටලු. ඒක උත්තරයක් ද.අපි ඔය විධියටම ඉන්දු - ලංකා ගිවිසුමත් අත්සන් කළා. කොටි සංවිධානය ආයුධ බිම තියනවා කිව්වා. වුණාද ඒවා. නෑ. 88 ඉඳලා 2009 වෙනකම් අපි යුද්ධ කලා.

ඔබවහන්සේ පෞද්ගලිකව මේ ගෙන එන්නට සූදානම් කරන ව්‍යවස්ථා වෙනසට එකඟ නැද්ද..?

එකඟ නැති නිසානේ මම එදා මාධ්‍ය හමුවේදිත් ඒක විවේචනය කළේ.

ඔබවහන්සේ එදා මාධ්‍ය හමුවේදි එල්ල කළ චෝදනා හා විවේචන මාධ්‍යයට කියන්න කළින් රටේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට කිව්වාද..?

ඔව්. අනිවාර් යෙන්ම

ඔවුන්ගේ ප්‍රතිචාරය වුණේ මොකද්ද..?

ඔව් මේක කරන්න ඕන තමයි කියලා එයාලා පිළිගන්නවා. ඒත් මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවයේ තමයි ගැටලුව. කිසි වැඩක් හරියට ඉස්සරහට යන්නේ නෑ.

ඔබවහන්සේ පෞද්ගලික මට්ටමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැහුණා කියලා සමාජයේ කතාවක් තිබෙනවා..?

ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව මම දැන් අවුරුද්දකින් විතර මුණගැහිලා නැ.

හැබැයි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ඔබවහන්සේ කිව්ව කාරණා ලැයිස්තුවම රාජපක්ෂ කඳවුරෙන් ඇහෙන චෝදනා ලැයිස්තුවට සමානයි..?

සමාන දේවල් වගේම පරස්පර කාරණාත් එතන තියෙනවා. රටේ ඒකීයභාවය සම්බන්ධව ආදී කාරණා පිළිබඳ ඔවුන්ගේ මතයට මම එකඟයි.

රණවිරුවන් විදෙස් දංගෙඩියට ගෙනයාම ගැනත් ඔබ පාර්ශව දෙකම කියන්නේ එක කාරණය..?

ඒක අපි පාර්ශව දෙක විතරක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් ඉන්නේ ඊට විරුද්ධ මතයේ.

රටේ විපක්ෂයත් විරුද්ධ නම් ජනාධිපතිත් විරුද්ධ නම් කවුද මේවා කරන්නේ..?

මම නම් වශයෙන් කියන්නේ නෑ. හැබැයි සමහරුන්ට අවශ්‍ය වෙලා තියෙනවා මේ දේවල් කරන්න.

♦ ප්‍රසාද් අබේවික්‍රම
සේයාරුව | සුමුදු හේවාපතිරණ