2018 මැයි 19 වන සෙනසුරාදා

අපි ගහන ගේම මොකක්ද කියලා හරි වෙලාවට කියන්නම්

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රුකියා 
අමාත්‍ය හරින් ප්‍රනාන්දු

♦ හොරු අල්ලද්දී සමහරු අපේ කකුලෙන් ඇද්දා  
♦ කවුද කියන්නෙ සම්මුති ආණ්ඩුවෙන් වැඩක් වුණේ නෑ කියලා?  
♦ රුපියල විතරක් නොවේ හැම රටකම මුදල් බාල්දුවෙලා
♦ මේ ආණ්ඩුව කරපු දේවල් මාකට් කරගන්න බැරිවීම අවුලක් 
♦ එජාපයේ ව්‍යවස්ථාවේ එක දෙයක් වෙනස් කරනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනකු ආණ්ඩුවෙන් එළියට බැස්සා. දැන් ආණ්ඩුව කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවාද?

අනේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය තියෙන්නේ හොඳට.

ඒත් ආණ්ඩුව ටිකක් කැළඹිලා නේද?

කිසිම කැළඹීමක් නෑ. තිබ්බට වැඩිය හොඳට තියෙනවා.

දැන් ඔබලා කියනවා එහෙම. හැබැයි පසුගිය දවසක කාදිනල්තුමා කියලා තිබ්බා මේ හවුල් ආණ්ඩු ක්‍රමය හරියන්නේ නෑ කියලා?

එක් එක් පුද්ගලයන්ට නොයෙක් අදහස් තියෙන්න පුළුවන්. සම්මුතිවාදී ආණ්ඩුවක් රටේ නිදහසින් පස්සේ පළවෙනි වතාවට රටේ ඇති වුණාම යම් යම් ගැටලු සහගත තැන් එන්න පුළුවන්. එවැනි තැන් අපිටත් ඇවිත් තියෙනවා.

ඇයි එහෙම සැකයක් තියාගෙන තවත් හවුලේ යන්නේ?

මෙහෙමයි. ජනාධිපතිතුමා එක පක්ෂයක, අගමැතිතුමා තවත් පක්ෂයක. එවැනි වෙලාවට හවුල් ආණ්ඩු නැතුව වෙන කොහොම කරන්නද? ඒක තමයි මේ උත්සාහ කරලා බැලුවේ.

ඔබලා ආණ්ඩුව ගැන විශ්වාස කෙරුවට ශ්‍රීලනිපයේ 16 දෙනා නම් කියන්නේ ඔවුන් නැතුව තව වැඩිකල් ආණ්ඩුව යන්නේ නෑ කියලා?

කරන්න බැරිවෙයිද නැතිවෙයිද කියලා අපි ඉස්සරහට බලමුකෝ. සති දෙකකින් ඒක තීන්දු කරන්න බෑනේ. පොඩ්ඩක් කල් දෙන්න.

ජනතාවටත් අපිටත් පේන දේ තමයි මේ ආණ්ඩුව පක්ෂ දෙකේ ප්‍රශ්න විසඳන්න මූලිකත්වය ගත්තට රටේ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් නෑ කියලා?

එක්සත් ජාතික පක්ෂයට නම් එවැනි ප්‍රශ්න නෑ. හැබැයි ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඉන්න අයට එවැනි දේවල් එකතු කරන්න වුවමනා ඇති. හැබැයි අපිට තිබුණා අපි ලබපු ජයග්‍රහණයත් එක්ක තනි ආණ්ඩුවක් පිහිටුවන්න. ඒත් අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිකරනවා කියලා. අන්න ඒ පොරොන්දුව ඉෂ්ඨ කළා.

හැබැයි විපක්ෂය කියන්නේ රටට වුණ සෙතක් නෑ කියලා?

ඒක අමූලික බොරුවක්. මේ රටට විශාල දේවල් සිදුවුණා. නිදහසම ඇති ජනතාවට ලැබුණ. එක වැරැද්දක් වුණා. ඒක අපිත් පිළිගන්නවා. ඒ තමයි ආණ්ඩුවේ ඉඳලා කකුලෙන් අදින පිරිසක් ඉන්නවා. විශේෂයෙන් හොරු අල්ලද්දි එහෙම කකුලෙන් ඇද්ද පිරිස් හිටියා.

ඒ කවුද ඒ?

ඒ කකුල දෙපැත්තෙන් තියන් හිටිය අය.

එජාපයෙද?

විශේෂයෙන් ශ්‍රීලනිපයේ පිරිසක්.

ඔබ හිතන්නේ ආණ්ඩුවේ ලොකුම අවුල හොරු අල්ලපු නැති එකද?

නෑ. තවත් ලොකු දෙයක් තියෙනවා. මේ ආණ්ඩුව කරපු දේවල් මාර්කට් කරගන්න බැරුව ගියා. රටට ඒ ගැන අවබෝධයක් දෙන්න බැරිවුණා.

ශ්‍රීලනිපයෙන් ඉවත් වෙච්ච 16 දෙනා කිව්වේ නම් රටට වින කරන්නේ එජාපය කියල. ඒ නිසා ඉවත් වෙනවා කිව්වේ?

එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඔවුන් ඡන්දය දුන්නයින් පස්සේ වෙන මොනවා කියන්නද? ඔබ මගෙන් මේ ප්‍රශ්නය අහන එක ගැනත් කනගාටු වෙනවා. නමුත් මම විශ්වාස කරනවා මේ කුමන්ත්‍රණ කරපු අයට කියන්න තියෙන්නේ මෙච්චර තමයි කියලා.

ආණ්ඩුව ගත්ත ගමන් තෙල් මිල අඩුකළා. දැන් නැවතත් වැඩිකරලා. දුන්න සහන හොරෙන් ගන්නවා නේද?

ලෝකයේ මිලත් එක්ක තමයි මේ බර පැටවෙන්නේ. එහෙම නැතුව පිනට ආණ්ඩු කරන රටක් නෑ. තෙල් බැරලය ඩොලර් 54ට තිබ්බ කාලයේ මහින්ද රාජපක්ෂ මහත්තයා තෙල් 158ට දුන්න කාලේ ජනතාවට දැන් අමතකයි. ඒත් අද තෙල් බැරලයේ මිල ඩොලර් 70යි. ඒ වෙලත් අපි දෙන්නේ 148ට. එදාට වඩා මිල අඩුයි. එහෙම බැලුවොත් මේ ආණ්ඩුව සාධාරණයි.

හැබැයි රුපියල අවප්‍රමාණය වීම මේ ආර්ථික අවුලට හේතුවක්?

ඔව්. මිනිස්සු කෑගහනවා. ඒත් රුපියල විතරක් නෙමෙයි ලෝකයේ සෑම රටකම මුදල් අවප්‍රමාණ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අමෙරිකානු ඩොලරය ඉතිහාසයේ කවරදාටවත් වඩා ශක්තිමත් වෙලා තිබීම.

ඔබ කිව්වා ඔබේ ආණ්ඩුවේ වෙනත් අමාත්‍යවරු කියන්නෙ අවප්‍රමාණය හොඳයි කියලා. ඇත්ත වහලනේ?

මම නැවත වතාවක් කියනවා අපේ අඩුපාඩුවක් තමයි ජනතාවට හරිදේ හරි විදිහට යන්නේ නැති එක.

ඔබ කියනවා ජනතාවට පණිවිඩ යන්නේ නෑ කියලා. ආණ්ඩුවෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු දාලා තියෙන්නෙ ඒ නිසානේ?

අන්න එතන තමයි අවුල. අමාත්‍යංශ එකට එකතුවෙලා හරි තීරණයක් අරගෙන එළියට නොදෙන එක තමයි ප්‍රශ්නේ. වෙලා තියෙන්නේ මාධ්‍යයට නිදහස දීලා තියෙන නිසා ඒ ගැන විශ්වාසය තියන් ඉන්නේ.

ඉතින් මාධ්‍යයනේ මේ දේවල් හෙළිකරන්නේ?

නෑ. මාධ්‍ය අතරත් ඉන්නවා අඳුරු සෙවනැලි වගේ ඉස්සෙල්ලා ආණ්ඩුවට කත් අදින පිරිසක්. ඔවුන් කපටියි.

ඔබලත් මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඇමැතිවරුනෙ. කියන්න එපැයි නායකයන්ට මේ ගැන?

අපි තවම හාල්මැස්සෝ. හැබැයි අපි ලොකු ඇත්තන්ට මේවා ගැන කියලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේවා තේරුම් අරගෙන වැඩ කරයි කියලා.

තෙල් මිල ප්‍රශ්නෙදි රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා කියනවා තෙල්වල බදු අඩුකළා නම් තියෙන මිලට දෙන්න තිබ්බා කියලා?

මම අපේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ සම්බන්ධව පිළිතුරු දෙන්න සූදානම් නෑ. ඔබලා දන්නවා ඇති එවැනි ප්‍රකාශ කරන අයගෙත් නොයෙකුත් අර්බුද තියෙනවා. ඒ අර්බුද ඔස්සේ මේ ප්‍රකාශ කරනවාද දන්නේ නෑ. ඒ නිසා මේ ප්‍රශ්නයට මට උත්තර දෙන්න බෑ. හැබැයි මේ ප්‍රකාශ ගැන ජනතාව තේරුම් ගනීවි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දැන් ඉවරද?

මම හිතනවා ඔව් කියලා. තව එක දෙයක් තියෙනවා ඉවර කරන්න. ඒ අර නායකයට අනන්තය තෙක් ඉන්න තියෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න විතරයි තියෙන්නේ. ඒක නොබෝ කලකින් වෙන්න ඕන. ඒක සිදුවුණායින් පස්සේ පක්ෂය ගැන අපි සන්තෝෂ වෙනවා.

හරින් ප්‍රනාන්දු කිව්වා පක්ෂයේ දැනෙන වෙනසක් වෙන්න ඕනේ කියලා. දැන් ඒ දැනෙන වෙනස වෙලාද හරින්ට අනුව?

මෙහෙමයි මම විශ්වාස කරනවා මගේ පෞද්ගලික අදහස පක්ෂයේ අදහස වියයුතු නැහැනේ. එක්සත් ජාතික පක්ෂය දුවන්නේ එක පුද්ගලයකුගේ පක්ෂයක් හැටියට නොවෙයි. පොහොට්ටුව දුන්නේ මහින්ද මහත්තයගේ යටතේ, ශ්‍රීලනිපය බණ්ඩාරනායකවරැන්ගේ වුණාට දැන් මෛත්‍රී මහත්තයා යටතේ දුවන්නේ. හැබැයි එක්සත් ජාතික පක්ෂය දුවන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ නෙවෙයි කියන එක පැහැදිලිව කියනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා මතත් නෙමෙයි. නවීන් දිසානායකවත්, අකිල විරාජ්වත්, හරින් ප්‍රනාන්දුවත් හින්ද නෙවෙයි එක්සත් ජාතික පක්ෂය දුවන්නේ. මේ පක්ෂයක් හැටියට.

හැබැයි බොහෝ අය චෝදනා කරනවා විවිධ අයගේ යටතේ තියෙන්නේ පක්ෂය කියලා?

එහෙම නෑ. අපිට නායකත්වයේ මුහුණුවර වෙනස් කරගන්න ඕන නම් ඒ ගැන කතා කරලා වෙනස් කරගන්නවා. එහෙම නැතුව ඔබතුමාගේ පත්තරේට කියලා විසඳගන්න ලෑස්ති නෑ.

ඒ කියන්නේ තවම ප්‍රශ්නය තියෙනවා?

අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදි ප්‍රශ්නය විසඳ ගන්නවා. මතක තියාගන්න 2015 දි අලුත් මුහුණක් දාලා මහා පතාකයෙක් වගේ හිටිය මහින්ද රාජපක්ෂ මාස 02න් පැරැද්දුවා. අපි ගහන්න ඕන ගේම කොහොමද ගහන්නේ කියලා අවශ්‍ය වෙලාවට කියන්නම්. එහෙම නැතුව මහ ලොකුවට ෂැංග්‍රිල්ලා හෝටලයේ දාගෙන වියත් මගවල් කරන්නේ නෑ. අපි අවශ්‍ය වෙලාවට කරන්නම්.

ඔබලා ඔහොම සාධාරණය කළාට පසුපෙළ මන්ත්‍රීවරු දිගින් දිගටම කියන්නේ වෙනසක් වෙන්න ඕන කියලා කල්ලි හැදිලා පක්ෂයට විරුද්ධවත්?

පක්ෂයට විරුද්ධව කොච්චර කුමන්ත්‍රණ ගැහුවත් එක්කෙනෙක්ට බැරි වුණානේ අගමැතිතුමාගේ විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න. ඒ නිසා ඔබතුමාලා ගරු කරන්න අපේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයට. පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. එහෙයියෝ වෙලා නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයට බයේ හිටිය අය වගේ අය නෑ.

ඔය කල්ලිය පක්ෂයට විරුද්ධවනේ පෙළ ගැහෙන්නේ?

ඔය පසුපෙළ මන්ත්‍රීවරු අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදි එක වගේ බොක්කෙන් වැඩකරනවා. එකතු වෙනවා. ඒ නිසා බයවෙන්න එපා. අපේ ප්‍රශ්න විසඳලා පෙන්නන්නම්.

හැබැයි සිකුරාදා 08 දෙනෙක් කතාවෙලා තියෙනවා ස්වාධීන වෙන්න. ඒක බරපතළයි?

එහෙම ස්වාධීන වශයෙන් වාඩිවෙන්න පුළුවන් නම් හොඳයි. අපි බලමු එතුමන්ලට ස්වාධීන වෙලා කොපමණ දුරක් යන්න පුළුවන්ද කියලා.

ආණ්ඩුව අලුතෙන් දාගත්ත ප්‍රශ්නයක් තමයි මේ සිංගප්පූරු ගිවිසුම. ඇයි මේක හැංගිලා අත්සන් කළේ?

කිසිම ගිවිසුමක් රහසිගත නෑ. මේ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් වෙන්නේ රටට වාසියක්. සිංගප්පූරුව ලංකාව අල්ලන්න නෙමෙයි යන්නේ. මේවා ගොන් තර්කද? බුද්ධිමත් මිනිස්සු කල්පනා කරන්න ඕන දොස්තරලා වර්ජනය කරනවා. ලංකාවේ දොස්තර කෙනෙක්ගෙයි, සිංගප්පූරු දොස්තර කෙනෙක්ගෙයි පඩි වෙනස බලන්න. මොන විහිළුවක්ද මේක. මේක මේ රට විනාශ කරන යාන්ත්‍රණ කතා. ඒවා මත විතරයි. සම්පූර්ණයෙන් ජනතාව මුලා කරන වචන.

ඔවුන් කියන්නේ එට්කා ගිවිසුම වක්‍රාකාරයෙන් මේ රටට ගේන ක්‍රමයක් කියලා?

එහෙම කොහොමද කරන්නේ. මොන මෝඩ කතාවක්ද?

ඔවුන් කියන්නේ සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගම් ලංකාවට ගේන ක්‍රමයක් අනුගමනය කරන්නේ කියලා?

කිසිම එහෙම දෙයක් නෑ. සම්පූර්ණ බොරුවක්. තමන්ට තියෙන ලැජ්ජාව වහගන්න කරන උපක්‍රමයක්.

ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව පසුගියදා රැස්වුණා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා 2020 තෙක් ශ්‍රීලනිපය ආණ්ඩුවත් එක්ක ගියොත් විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ජනාධිපතිවරයටත් ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ නේද?

ඔබ එතුමන්ගෙන් ඇහුවොත් නේද හරි.... මම දන්නේ නෑ..... ඒක එතුමගෙන් අහන්න.

දැන් ඔබලා කඳවුරු බඳිනකොට එහා විරුද්ධ පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ කඳවුරු බඳිනවා. 2020 දි විශාල සටනක් තියෙයි නේද?

2015 දි ජනවාරි මාසයේ අපේක්ෂකයා ගෙනාවේ මාස 02න්. ඒ නිසා අපි කලබල නෑ අනිත් අය කලබල වුණාට. ගෝඨාභය රාජපක්ෂට වඩා පතාකයෙක් මහින්ද රාජපක්ෂ කියන්නේ. අපේ අතින් වෙච්ච වැරදි තියෙනවා. ඒවා හදාගන්න එක තමයි අපිට තියෙන්නේ.

රාජපක්ෂවරු නැවත රටට අවශ්‍යයි කියලා මතයක් හැදුවේ ආණ්ඩුවෙන්. ඔවුන්ට විරුද්ධව ආපු එක දූෂණ චෝදනාවක් ඔප්පු කරගන්න බැරිවෙලා තියෙනවා. මිනිස්සුන්ට සැකයක් තියෙනවා?

ඒකට හේතුව තමයි අපේ මේ උසාවි ක්‍රමය. ඒකට අපි අලුත් ක්‍රමයක් හදලා තියෙනවා. ඉස්සරහදි ඒවා ඔප්පු වෙන හැටි බලමු.

► ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00