2018 මැයි 19 වන සෙනසුරාදා

නාස්තිකාර වියදම්

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

කොළඹ නගරාධිපති නිල නිවෙසේ වැසිකිළි පද්ධතිය පසුගිය දිනක මාතෘකාවක් බවට පත් විය. වැසිකිළි උතුරා යාමක් හෝ ක්‍රියා විරහිත වීමක් හෝ නිසා නොව නගර සභා රුස්වීමේදී නාගරික මන්ත්‍රීවරයකු සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි. සුමිත් පස්සපෙරුම නම් නාගරික මන්ත්‍රීවරයා කළ එකී ප්‍රකාශයේ සඳහන් වූයේ නගරාධිපති නිල නිවෙසේ වැසිකිළි පද්ධතිය නවීකරණය සඳහා නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය රුපියල් ලක්ෂ 57 ක් වෙන්කරගෙන ඇති බවය.

නගරාධිපති නිල නිවෙසක වැසිකිළි පද්ධති අලුත්වැඩියා නොකළ යුතු යැයි බදු ගෙවන ජනතාව කවදාවත් නොකියති. එය කොළඹට, ගාල්ලට, මහනුවරට පමණක් නොව ඕනෑම නගර සභාවකට පොදු කරැණකි. නගරයේ පළමු පුරවැසියාගේ නිල නිවෙස පිරිසුදුව, මනා ක්‍රියාකාරීත්වයෙන් යුතුව පවත්වාගැනීමට පියවර නොගන්නේ නම් නගරයේ සෙසු පොදු කටයුතු කෙරෙහි ඔහු හෝ ඇය දක්වන උනන්දුව සහ සැලකිල්ල පිළිබඳව කිසියම් අදහසක් ඇතිකරගත හැකිය. කොළඹ නගරාධිපතිනිය ඒ ගැන ප්‍රකාශ කර තිබුණේ වසර 4 ක් තිස්සේ නිල නිවෙස පරිහරණය නොකිරීම හේතුවෙන් එහි වැසිකිළි පද්ධතිය අබලන් වීම නිසා එය නවීකරණය කිරීමට පියවර ගත් බවය. වැසිකිළි අබලන් නම් එය අලුත්වැඩියා කළ යුතුය. ඒ ගැන විවාදයක් නැත. නමුත් ඒ සඳහා දරණ වියදම මේ තරම් විය යුතුද? ප්‍රශ්නය ඇත්තේ එතැනය.

රුපියල් ලක්ෂ 57 ක් යනු නාගරික අඩු ආදායම්ලාභී පුරවැසියන් දෙතුන් දෙනකුට අඩු වියදම් නිවාස ඉදිකළ හැකි තරම් වන මුදලකි. එම මුදල වැය කෙරෙන්නේද පෞද්ගලික ධනයෙන් නොව ජනතාවගේ බදු මුදලිනි. නගරයේ අඩුපාඩු ඉහටත් උඩින් තිබියදී ඒ සම්බන්ධව කටයුතු නොකර නිල නිවෙසේ අලුත්වැඩියාවකට රුපියල් කෝටි බාගයකටත් වැඩි මුදලක් වැයකිරීම කොතරම් සාධාරණද යන්න ඕනෑම පුරවැසියකුගේ සිතට නැගෙන පැනයකි. අනෙක් අතට වසර හතරක් නිල නිවෙසක් භාවිතයට නොගැනීමට වගකිව යුත්තේ නගරයේ බදු ගෙවන ජනතාව නොවේ. එවැනි පොදු නොවන කටයුත්තකට ඔවුන්ගේ බදු මුදල් වැයකිරීම එම ජනතාවට සිදුවන අසාධාරණයක් වන්නේ එබැවිනි.

කොළඹ නගර සභාවේ නාස්තිකාර වියදමක් පිළිබඳව අප මෙහිදී මුලින්ම සඳහන් කළේ එය රටේ ලොකුම පළාත් පාලන ආයතනය වන බැවිනි. තවත් රටේ පළාත් පාලන ආයතන තුළ මෙවැනි නාස්තිකාර සිදුවීම් බොහොමයක් සිදුවන බව දැනගන්නට ලැබෙයි. මේ වන විට රටේ පළාත් පාලන ආයතන පිහිටුවා අවසන්ව ඇති නමුත් තවමත් ජනතාව වෙනුවෙන් වැඩ සිදුවන බවක් පෙනෙන්නට නැත. බොහොමයක් සභාවලින් තවමත් ඇසෙන්නේ මන්ත්‍රීවරුන් තමන්ගේ ගමන් දීමනා, දුරකතන දීමනා, යාන වාහන වැනි ගැටලු පොදු ගැටලු බවට පත්කරගෙන ඇති බවය. එසේම පිළිගැනීමේ උත්සව සඳහා රුපියල් දහස් ගණනින් නාස්තිකාර ලෙස මුදල් වියදම් කරන බවය. මේ වැය කෙරෙන්නේ ජනතාවගේ බදු මුදල් බවට මේ කිසිවකුටත් වැටහීමක් නැති ගානය. ගමේ, නගරයේ පොදු අවශ්‍යතා නොසලකා තම තමන්ගේ අවශ්‍යතා සඳහා බදු මුදල් වැයකිරීම අපරාධයකි.

පළාත් පාලන ආයතන මට්ටමින් සිදුවන නාස්තිකාර වියදම් නැවැත්වීම පමණක් ප්‍රමාණවත් නැත. ප්‍රදේශයට සිදුවිය යුතු අත්‍යාවශ්‍ය වැඩ කටයුතු හෝ බොහොමයක් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ප්‍රදේශවල තවමත් සිදුනොවේ. කොළඹට ආසන්න ප්‍රදේශවල වුවද ඇතැම් මංමාවත් පවතින්නේ අඳුරේය. කණු තිබුණත් විදුලි බුබුළු පිළිස්සී ගොසිනි. ඒවා මාරැකිරීමක් නැත. ඇතැම් ප්‍රදේශවල තවමත් කුණු ගෙනයාම සිදුවන්නේ යලට මහටය. කාණු පද්ධති හිරවූ ගමන්ය. එපමණක් නොව පාරවල්වල ඇති කැඩී බිඳීයාම් ප්‍රතිසංස්කරණයක් ද සිදුනොවේ. මේ සේවා ප්‍රාදේශීය සභා, නගර සභා මට්ටමින් සිදුකළ යුතු අවම මට්ටමේ සේවාවන් අතරට ගැනෙයි. මහා පරිමාණයෙන් කොන්ත්‍රාත් ලබාගෙන සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර එවැනි අඩුපාඩු සකස් කරදීම ඒ ඒ සභාවලට පත්වූ මන්ත්‍රීවරුන්ගේ යුතුකමය. එවැනි අඩුපාඩු සකස් කිරීමෙන් තොරව මහා පරිමාණ වැඩ අරඹන විට ජනතාව එය දකින්නේ නාස්තිකාර වියදමක් වශයෙනි. එය අසාධාරණ නොවන දැකීමක් බව අපගේ වැටහීමය.

එපමණක් නොව බලය ලබාගැනීමට පෙර ජනතාව දෙවිවරුන් හැටියට දකින මන්ත්‍රීවරැන්ට බලය ලබාගැනීමෙන් පසුව ඔවුන් කරදරකාරයන් හැටියට පෙනීයන බවටද චෝදනා එල්ලවෙයි. මේ තත්ත්වය හැමදෙනාටම පොදු නැත. මන්ත්‍රී පදවි ලැබීමෙන් පසුව තමන්ගෙන් විය යුතු සේවය නිහඬව ඉටුකරන එසේම තමන්ට ඡන්දය ලබාදුන් ජනතාව සමඟ නිරතුරැව ඇසුරැ කරන මන්ත්‍රීවරුද වෙති. නමුත් තවත් සභාවලින් ඇසෙන්නේ සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා හෝ හමුවීම ජනතාවට පමණක් නොව මන්ත්‍රීවරුන්ටද අසීරු කරුණක් වී තිබෙන බවය. බලය ලැබීමෙන් පසුව හදිසියේම කාර්යබහුල වන ලොකු ලොක්කන් පාඩම් ඉගෙන ගන්නේ ඊළඟට එන ඡන්දයකදීය. ඒ බව අමතක කර කටයුතු නොකළ යුතුය.

තම තමන්ගේ බලප්‍රදේශවලදී මහජනතාව වෙනුවෙන් සිදුකෙරෙන කටයුතුවලදී නාස්තිය වළක්වාගැනීමට කටයුතු කිරීම සියලු මන්ත්‍රීවරුන්ගේ ලොකුම වගකීමකි. ආර්ථික වශයෙන් බරපතළ පීඩාවකට ගොදුරැව සිටින ජනතාවගේ මුදල් නාස්තිකාර, බොරු සෝබන වැඩට නිකරුණේ වියදම් කිරීම පාපකර්මයකි. ඒ බව සෑම මන්ත්‍රීවරයකු පමණක් නොව නගරාධිපතිවරයකුම, සභාපතිවරයකුම දැනසිටිය යුතුය. නගරයේ පොදු වැඩ අතපසුවෙමින් තිබියදී නිල නිවෙස පමණක් මාලිගාවක් මෙන් නඩත්තු කිරීමට යාම විහිළුවකි.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00