2018 මැයි 26 වන සෙනසුරාදා

මහතීර්ගේ පඩි කැපිල්ල

2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:0090

මොහොමඩ් මහාතීර් 92 හැවිරිදි වියේදී මැලේසියාවේ අගමැති පදවියට මෙවර පත්වූයේ ලෝක වාර්තාවක් පිහිටුවමිනි. මහජන ඡන්දයෙන් අගමැති පදවියට පත්වූ වයස්ගතම පුද්ගලයා ඔහු විය. මීට පෙර හතර වරක්ම අගමැති පදවිය උසුලා මහතීර් ගෞරවාන්විතව ජනතා සේවයෙන් විශ්‍රාම ගත්තේ හතරවරං නොගැසූ දේශපාලනඥයකු වශයෙනි. මහතීර් යළිත් වරක් රටේ මහජනතාව විසින් බලයට පත් කරගනු ලැබුවේද ඔහු ලවා රටට සේවයක් කර ගැනීමට බව රහසක් නොවීය. මහතීර් බලයට පත්වූ පළමු සතියේම තමන් ජනතා සේවයට කැපවූ බව ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. අප මේ සටහන තබන්නේ එය අපේ රටට බොහොමයක් පැතිවලින් ආදර්ශවත් ක්‍රියාවක් වීම හේතුවෙනි.

මහතීර්ගේ ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව පළමු දිව්රැම් දීමට අනුව 13 දෙනෙකි. එම දහතුන් දෙනා මහතීර් බලයට පත්කෙරැණු සන්ධානයේ පක්ෂවල ජ්‍යෙෂ්ඨ නායකයන් බව ප්‍රකාශිතය. මුළු කැබිනට් තනතුරැ සංඛ්‍යාව 25 දක්වා ඉදිරි දිනවලදී ඉහළ යනු ඇති බවද සඳහන් වේ. නමුත් මේ සියලු දෙනාම මහතීර්ගේ යෝජනාවකට අනුව සීයට 10ක වැටුප් කපාදැමීමකට එකඟව සිටිති. මැයි 21 වැනිදා දිව්රැම් දුන් ඇමැතිවරුන් 13 දෙනා සමඟ 23 වැනිදා පළමු කැබිනට් රැස්වීම පැවැත්වූ අගමැති මහතීර් මුලින්ම යෝජනා කර තිබුණේ තමන් ඇතුළු කැබිනට් මණ්ඩලයේ වැටුප 10%කින් කපාහැර රටේ ණය බර අඩුකරගැනීමේ ව්‍යායාමයට මුලපිරිය යුතු බවය. එය අනුමත විය. මැලේසියාව මේ වන විට රින්ගිට් ට්‍රිලියනයක් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 250 ක් ණය වී ඇතැයි සඳහන්ය. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 40,000කට ආසන්නය. ශ්‍රී ලංකාවේ ණය කන්දත් මේ හා සමාන හෝ ඊටත් වැඩි විය හැකිය. එහෙත් අපේ රටේ ණය කන්ද බිලියන හතළිස් දාහක් නොව හතළිස් ලක්ෂයක් වුවත් අපේ කැබිනට් මණ්ඩලය තම වැටුප සීයට 10කින් තබා සීයට 1කින්වත් කපාදැමීමට එකඟ වෙයිද? සිහිනෙන්වත් එය සිදුවනු ඇතැයි කියන එකම පුද්ගලයකු හෝ මේ රට තුළින් නම් සොයාගත නොහැකිවන බව නම් සහතිකය. අපේ ඇමැතිලාගේ ක්‍රියාකලාපය ඔවුහු ඒ තරම් හොඳින් දැන සිටිති.

අපේ රටේ ඇමැතිවරැන් නම් රට කොතරම් අමාරුවේ වැටුණත් තමන්ගේ වැටුප් කපාගැනීම කෙසේ වෙතත් අඩුම වශයෙන් තමන්ට ලැබෙන වරප්‍රසාද හෝ අඩුකරගැනීමට එකඟ වනු ඇතැයි සිතන්නටත් බැරිය. වරප්‍රසාද අතින් සැලකුවොත් අපේ රටේ මැති ඇමැතින් වැටෙන්නේ සුපිරි ගණයටය. මේ සුපිරි වරප්‍රසාද අතර ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් යනු එකක් පමණි. අලුත් කැබිනට් ඇමැතිවරුන් වශයෙන් දිව්රුම් දුන් වහාම අපේ දේශපාලනඥයන් කරන්නේ වැටුප් අඩුකරගැනීමට කතා කිරීම නොව හැකි තරම් ඉක්මනට ඩියුටි ෆ්‍රී සුපිරි වාහනයක් ගෙන්වාගැනීමට කටයුතු කිරීමය. කැබිනට්ටුවේ සංඛ්‍යාවද අර්ධ ශතකයකට ආසන්න නිසා ඩියුටි ෆ්‍රී වරප්‍රසාදයෙන් රටට සිදුවන පාඩුව ඉතා විශාල බව කිවයුතුද? සාමාන්‍ය කාලසීමාවකදී නම් මෙවැනි වරප්‍රසාද ගැන කතා කිරීමෙන් වැළකී සිටීමට හැකියාව තිබුණත් ඉතිහාසයේ වැඩිම ණය කන්ද ගොඩගැසීමට දායක වූ පසුගිය ආණ්ඩුවේත් වත්මන් ආණ්ඩුවේත් මැති ඇමැතින් සම්බන්ධයෙන් එසේ සිටීමට පුළුවන්කමක් නැත. මැලේසියාව ණය බර හමුවේ පෙන්වා තිබෙන ආදර්ශය මෙහිදී අපේ රටේ සියලු පුරවැසියන්ගේ මතකයට පැමිණීම වැළැක්විය නොහැක. අපට ඇසෙන්නේම ණය කන්ද අඩුකරගැනීම ගැන දෙසාබාන ලොරි ටෝක් පමණි. එය අඩුකරගැනීම සඳහා රජයෙන් කෙරෙන කිසිදු කැපකිරීමක් පිළිබඳ කතාවක් නැත.

මැති ඇමැති කැපකිරීම් වෙනුවට ණය බර අඩුකිරීමට යැයි කියමින් රටේ ජනතාව මත බදු පිට බදු ගසන ක්‍රමයක් අපි අත්දකිමින් සිටින්නෙමු. අල ගෙඩියේ, ලූනු ගෙඩියේ, පරිප්පු ඇටේ සිට බදු වැඩිකරන ආණ්ඩුව ඒ පිටට තෙල්, ගෑස්, ඇතුළු සියලු බඩු මිල වැඩිකරමින් තව තවත් රටේ ජනතාව ආර්ථික තොණ්ඩුවට හිරකරගනිමින් සිටී. එසේ සියලු බර ජනතාව පිට පටවද්දී මැති ඇමැතින්ගේ කැපකිරීම් ගැන කවර කතාද?

මහතීර් මොහොමඩ් මහතා බලයට පැමිණි විගස කල්පනා කර ඇත්තේ තමන් බලයට පත් කළ ජනතාවගේ අවශ්‍යතා තේරුම්ගෙන කටයුතු කිරීම මිස ලැබුණු බලයෙන් උදම් වී හිතුමනාපේ කටයුතු කිරීමට නොවේ. තමන්ගේ වැටුප් කපානොගෙන මහජනතාව මත බදු බර පටවා රින්ගිට් ට්‍රිලියනයේ ණය බර ඔවුන් පිට දැමීමට මහතීර්ට ඕනෑ තරම් හැකියාව තිබුණි. ජනතාවට පටි තද කරන්නැයි ඉල්ලීම් කරමින් තමන්ගේ වැටුප් සහ දීමනා, වරප්‍රසාද වැඩිකරගෙන දේශපාලන මධුසමය සැපට ගෙවාදැමීමට හැකියාවද තිබිණි. නමුත් ඒ සියල්ල පසෙකට දමා මහතීර් කළේ රටේ ණය බර අඩුකරගැනීම වෙනුවෙන් තමන්ගේ කැපකිරීම ක්‍රියාවෙන් රට හමුවේ ඔප්පු කිරීමය. ඒ සඳහා තම ඇමැතිවරුන්ට නීති දැමීමය. අපේ රටට නම් එය සිහිනයක් පමණි.

මහතීර් අවුරුදු 92දීත් මැලේසියානු ජනතාවගේ තේරීම වූයේ ඇයිදැයි සිතාගැනීමට ඔහු බලයට පත්වී ගෙවීගිය මුල් දින දහය තුළදී ගත් පියවර ප්‍රමාණවත්ය. ඔහු මැලේසියානු ජනතාව වෙනුවෙන් ඉටුකළ සේවය අපේ රටේ වත්මන් රජය බලයට පත්වී වසර තුනහමාරක් ගතවන තුරැද ඉටුනොවී තිබීම ගැන කනගාටු වෙනවා හැර වෙනත් කරන්නට දෙයක් නැත. රටේ ණය බර සැහැල්ලු කර ගැනීම වෙනුවෙන් තමන්ගේ වැටුප් කපාගනිමින් පරමාදර්ශී දේශපාලනයක නිරතවන මහතීර්ලා වැනි දේශපාලන නායකයන් අපේ රටට වඩ වඩාත් බිහිවීම මේ යුගයේ අවශ්‍යතාව බව සඳහන් කරමු.